Home » අඩෝහි මැරකල්ලි නායකයා විරාජ් මධුශංක

අඩෝහි මැරකල්ලි නායකයා විරාජ් මධුශංක

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

නිර්මාණයක් චරිතයක් ප්‍රේක්ෂකයා ආදරෙන් වැලඳ ගන්නේ එය ප්‍රධාන උප ප්‍රධාන, හෝ පරිච්ඡේද කිහිපයකට සීමා වූවක් ද යන්න මත සලකා නොවේ. එය ඔහුට දැනෙන ආකාරය අනුවය. විරාජ් මධුශංක ද එසේ ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳුණු නිර්මාණ රැසකට දායක වුණු නව පරපුරේ රංගන ශිල්පියෙකි. සුපුන් රත්නායකගේ අඩෝ ටෙලි නිර්මාණයේ මැර කල්ලි නායකයාගේ භූමිකාවට පණ පොවමින් රංගනයට පිවිසි ඔහු නීල පබළු, කෝලම් කුට්ටම්, බයෝ සීසන් – 2, තුම්පනේ වැනි ටෙලි නිර්මාණ හරහා පුංචි තිරය වඩාත් හොඳින් ස්පර්ශ කළේය. ගුත්තිල හරහා සිනමාවේ අත්දැකීම ලද ඔහු මියුසික් වීඩියෝ කලාවේ ද නම රැන්ඳූවෙකි.

කුඩා දරුවෙකුට තර්ජනය කර බිය ගන්වමින් අඩෝ හි කළ මැර චරිතය තමා බොහෝ සේ අපහසුතාවකට පත්කළ චරිතයක් බව පැවසූ විරාජ් රංගනයට හෝ එවන් දේ කිරීම අපහසු බව ද පැවසුවේය. කුණු කන්දක කතාවක් ඇසුරින් නිර්මාණය වුණු සුපුන් රත්නායකගේ තුම්පනේ ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූම්කාවේ මිතුරා ලෙස රඟන විරාජ් ඒ ලැබුණු අවස්ථාව තම රංගන දිවියට විශේෂ ආලෝකයක් එක් කළ බව ද පැවසීය. එමෙන්ම ධනුෂ්ක රත්නායකගේ බයෝ හි CCTV දර්ශන පරීක්ෂකවරයාගේ භූමිකාව ද ඔහුගේ සිත්ගත් චරිතයකි. ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටෙලි නිර්මාණයක විශේෂ චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවට ඒමේ බලාපොරොත්තුවෙන් සිටින ඔහු ක්ෂේත්‍රයට පිවිසුණු කාලයේ දායක වුණු අහස් මාළිගා ටෙලි නිර්මාණයේ දී ලද අත්දැකීම් තම ගමනට අත්වැලක් වූ බව ද පැවසීය.

මියුසික් වීඩියෝ කලාවට වැඩි නැඹුරුතාවක් දක්වන විරාජ්, ප්‍රේක්ෂක මනාපයේ ඉහළින්ම වැජඹුණු නලීන් ලියනගේ ගයන මගෙ පැටියෝ ගීතයේ රංගනයෙන් මියුසික් වීඩියෝ කලාවට පිවිසියේය. මේ වනවිට ඔහු රංගනයෙන් දායක වුණු මියුසික් විඩියෝ ගණන රැසකි. ඔහුගේ රංගන දායකත්වයෙන් නිර්මාණය වුණු මධුරි ප්‍රියන්වදාගේ බුදු සමිඳේ ගීතය පොහෝ දිනවල නිතර දැකගත හැකිය. ජනප්‍රිය රංගන ශිල්පිනී සඳනි ප්‍රනාන්දු සමඟ රංගනයෙන් දායක වුණු ඩරාස් වෙළෙඳ දැන්වීම විරාජ්ගේ දැන්වීම් රංගන කලාවේ විශේෂ මතක සටහනක් වූ බව පැවසූ ඔහු මෝස්තර නිරූපණයට පිවිසීමට ලැබුණු අවස්ථාව ද අගය කළේය. කලාව ගැන සිහිනය සැබෑ කරගන්නට උපකාර කළ දිල්රුක්ෂි වීරපරාක්‍රම මෙන්ම මෙතෙක් සහාය දුන් සියල්ලන්ම ස්තුතිපූර්වකව සිහිපත් කරන්නට ද ඔහු අමතක නොකළේය.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division