මිනිස් ඉතිහාසයේ සඳට මිනිසුන් යවන්නට සමත් වූයේ එකම එක රටක් පමණි. ඒ අමෙරිකාවයි. පළමුවරට ඔවුන් එම දස්කම කළේ 1969 වසරේය. අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ දැවැන්තයකු වූ රුසියාව පවා සඳ වෙත අජටාකාශගාමීන් යැව්වේ නැත. එසේ තිබිය දී අප අසල්වැසි ඉන්දියානුවෝ සඳ මත පා තැබීමට සූදානම් වෙති. ඔවුන්ගේ මෙම වෑයම සාර්ථක වුවහොත් එය ඉන්දියාව ලබන සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත. පසුගිය සතියේ මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ වසර 2040ට පෙර ඉන්දියානු අජටාකාශගාමියකු සඳ මත පා තබනු ඇති බවයි.
අමෙරිකාවට පසු සඳට මිනිසුන් යැවූ දෙවැනි රට බවට පත් වීමට ඉන්දියාවට හැකි වේවි ද යන්න නිශ්චිතව කිව නොහැක. මන්ද යත් මේ වනවිට චීනය ද සඳ වෙත අජටාකාශගාමීන් යැවීමට සූදානම් වෙමින් සිටින බැවිනි. චීන විද්‍යාඥයන් පවසා ඇත්තේ වසර 2030ට පෙර ඔවුන් සඳ මත මිනිසුන් ගොඩ බැස්සවීමට බලාපොරොත්තු වන බවයි. ඔවුන්ගේ එම ඉලක්කය සාර්ථක වුවහොත් ඉන්දියාවට හිමි වනු ඇත්තේ මෙම තරගයේ තුන්වැනි තැන ය.
ඉන්දියාව මේ වනවිට අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ වේගවත් ගමනක නිරතව සිටින රටක් බව රහසක් නොවේ. ඔවුන්ගේ අරමුණ වන්නේ සිවුවැනි අභ්‍යවකාශ බලවතා බවට පත් වීම ය. මෙයට මාස කිහිපයකට පෙර ඔවුහු සඳෙහි දක්ෂිණ ධ්රැව කලාපය මත (මිනිසුන් රහිත) යානයක් ගොඩ බස්සවමින් ඉතිහාසයට එක් වූහ. මෙයට පෙර කිසිදු රටක් මෙම කලාපය මත යානා ගොඩබස්සවා තිබුණේ නැත. එය සැලකුණේ දුෂ්කර, අභියෝගාත්මක කටයුත්තක් වශයෙනි. ඉන්දියාව කෙසේ හෝ එම අභියෝගය ජය ගැනීමට සමත් විය.
සඳ වෙත මිනිසුන් යැවීමේ ඉන්දියානු වැඩපිළිවෙළ අදියර කිහිපයකින් සමන්විත වන්නක් බව පෙනේ. ඒ අනුව ඉන්දියාවේ අභ්‍යවකාශ ගවේෂණ කටයුතු භාර ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳ වෙත මිනිසුන් යැවීමට පෙර අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට සූදනම් වෙයි. මෙහිදී පෘථිවියේ සිට කි.මී. 400ක් පමණ ඉහළ අභ්‍යවකාශයට අජටාකාශගාමීන් තිදෙනෙකු යැවීමට එහි විද්‍යාඥයෝ සැලසුම් කරමින් සිටිති. ඉන්දියාව මේ වනවිට යානා කිහිපයක්ම අභ්‍යවකාශ ගතකර ඇති නමුත් ඒ එකකවත් අජටාකාශගාමීන් ගමන් කළේ නැත. ඔවුන් අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට සැරසෙන්නේ පළමු වතාවටයි. තව වසර දෙකකින් එනම් 2025 වසරේ මෙම ඉලක්කය ජය ගැනීම ඉන්දියානු විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. මෙම අජටාකාශගාමීන් දින තුනක කාලයක් අභ්‍යවකාශයේ ගත කරනු ඇති බව සඳහන්ය. මෙම ගමන සඳහා දැනටමත් අජටාකාශගාමීන් තෝරාගෙන අවසන් බව වාර්තා වේ. ඔවුන් ඉන්දියානු ගුවන් හමුදාවේ පළපුරුදු ගුවන් නියමුවන් ය. මේ වනවිට මෙම පිරිස පුහුණු වීම්වල නිරත වෙමින් සිටිති.
ඉන්දියාව මේ ආකාරයෙන් මිනිසුන් අභ්‍යවකාශයට යවන්නට සමත් වුවහොත් ලෝකයේ එම දස්කම කළ සිවුවැනි රට බවට පත් වෙයි. මෙයට පෙර මේ ආකාරයෙන් මිනිසුන් අභ්‍යවකාශයට යවා ඇත්තේ අෙමරිකාව, සෝවියට් දේශය සහ චීනය පමණි. මේ අතරින් පළමුවරට මිනිසකු අභ්‍යවකාශයට යැව්වේ සෝවියට් දේශය යි. මෙලෙස අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ලෙස ඉතිහාසයට එක් වූයේ යූරි ගගාරීන් ය. 1961 වසරේ ඔහු ගමන් කළ යානය හැඳින්වුණේ වොස්ටොක්-1 (Vostok-1) යන නමිනි. එම වසරේම අමෙරිකාව ද අජටාකාශගාමියකු අභ්‍යවකාශයට යැවීමට සමත් විය. ෆ්‍රීඩම් 7 (Freedom-7) නමැති යානයෙන් අභ්‍යවකාශයට ගිය එම අජටාකාශගාමියාගේ නම ඇලන් ෂෙපර්ඩ් ය. චීනය පළමු වරට මිනිසකු අභ්‍යවකාශයට යැව්වේ 2003 වසරේ යි. ඒ ෂෙන්ෂෝ-5 (Shenzhou-5) නමැති යානයෙනි. එහි නැඟී අභ්‍යවකාශයට ගිය චීන අජටාකාශගාමියා වූයේ යැංග් ලිවෙයි ය.
මිනිසකු අභ්‍යවකාශයට යැවීම මහත් අභියෝගාත්මක කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. යානය යම් අනතුරකට මුහුණ දුන්නොත් එහි ගමන් කරන අජටාකාශගාමීන්ගේ ජීවිතවලට ද දැඩි තර්ජනයක් එල්ල වෙයි. මේ නිසා මෙවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා දැඩි සූදානමකින් සිටීම අත්‍යවශ්‍යය.
මෙයට අදාළ අත්හදා බැලීමක් ද ඉන්දියානු විද්‍යාඥයන් විසින් පසුගිය සතියේ සිදු කරනු ලැබිණි. මිනිසුන් අභ්‍යවකාශයට ගෙන යන රොකට්ටුව යම් අනතුරකට ලක් වුවහොත් අජටාකාශගාමීන් නිරුපද්‍රිතව නැවත පෘථිවියට ගෙන ඒමේ ක්‍රමවේදය අත්හදා බලන ලදී.
මෙවැනි අවස්ථාවක සිදුවන්නේ අජටාකාශගාමීන් ගමන් කරන කොටස අනතුරට ලක් වූ රොකට්ටුවෙන් ඈතට පන්නවා නැවත පෘථිවිය වෙත ගෙන ඒමයි. මෙහි දී පැරෂුටවල ආධාරයෙන් එම කැප්සියුලය ඉන්දියන් සාගරය මත පතිත කරවනු ලැබේ.
කිමිදුම්කරුවන් රැගත් ඉන්දීය නාවුක හමුදාවේ නෞකාවක් ඒ වනවිට ඒ ආසන්නයේ රැඳී සිටිනු ඇත. මෙම කිමිදුම්කරුවෝ අජටාකාශගාමීන් සිටින කොටස ආරක්ෂාකාරීව ගොඩබිම වෙත රැගෙන එති. මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 21 වැනි දින කරන ලද අත්හදා බැලීම සාර්ථක වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසා තිබිණි.
ඉන්දියාවේ මෙම අභ්‍යවකාශ වැඩපිළිවෙලේ ඊළඟ අදියර වන්නේ මිනිසුන් අභ්‍යවකාශයට යැවීමට පෙර රොබෝ අජටාකාශගාමිනියක අභ්‍යවකාශයට යැවීම යි. එම අත්හදාබැලීම ලබන වසරේ සිදුවනු ඇති බව සඳහන් වේ. අභ්‍යවකාශයට යන මෙම ඉන්දියානු රොබෝව නම් කර ඇත්තේ වයෝමිත්රා යනුවෙනි.
එම නමෙහි තේරුම අභ්‍යවකාශයේ මිතුරිය යන්න යි. මෙම වයෝමිත්රාට හින්දි සහ ඉංග්‍රිසි යන භාෂා කතා කිරීමට ද හැකියාව ඇත. අභ්‍යවකාශයේ පවතින අඩු ගුරුත්වාකර්ෂණය යටතේ යම් යම් පරීක්ෂණ සිදු කිරීම, යානය තුළ උපකරණවල ක්‍රියාකාරිත්වය පරීක්ෂාවට ලක් කිරීම වයෝමිත්රාට පැවරෙන රාජකාරි ය. 2025 වසරේ සැබෑ අජටාකාශගාමීන් අභ්‍යවකාශයට යන ගමනේ දී ද ඇය ඔවුන් සමඟ ගමන් කිරීමට නියමිත අතර විවිධ කටයුතුවලදී ඇය අජටාකාශගාමීන්ට සහය වනු ඇත.
මේ ආකාරයෙන් ඉදිරියට යමින් ඇති ඉන්දියානු අභ්‍යවකාශ ගවේෂණ වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරක් 2035 වනවිට ඉටු කර ගැනීමට ඉන්දියානු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. එනම් අභ්‍යවකාශ විද්‍යාගාරයක් පිහිටුවීම යි. දැනට මෙවැනි විද්‍යාගාර අභ්‍යවකාශයෙහි රඳවා ඇත්තේ පාර්ශ්ව දෙකක් පමණි. ඒ ඇමරිකාවේ නාසා ආයතනය සහ චීනයේ අභ්‍යවකාශ ගවේෂණ ආයතනය යි.
කෙසේ හෝ වේවා, ඉන්දියාව සිය අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සඳහා විශාල වශයෙන් මුදල් වැය කරමින් සිටිය දී එය ප්‍රශ්න කරන පාර්ශ්ව ද නැතුවා නොවේ. ඉන්දියාව යනු විශාල දිළිඳු ජනගහනයක් සිටින රටක් බව රහසක් නොවේ.
එසේ තිබිය දී එම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සහ සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර නගා සිටුවීමට කටයුතු නොකර අභ්‍යවකාශ ගවේෂණය සඳහා බිලියන ගණනින් මුදල් වැය කරන්නේ මන්දැයි මෙවැනි අය විමසති.
මෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විද්‍යාඥයන් පවසන්නේ අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රය තුළ අත් කරගන්නා තාක්ෂණික ජයග්‍රහණවලින් වෙනත් ක්ෂේත්රවලට ද විශාල වශයෙන් ප්රතිලාභ හිමි වන බවයි.
අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සඳහා සොයා ගන්නා නව තාක්ෂණය ඇසුරෙන් නිදපවන මෙවලම් වෛද්‍ය, සන්නිවේදන, අධ්‍යාපන, ආපදා කළමනාකරණ, ආරක්ෂක, ජල කළමනාකරණ ආදී බොහෝ ක්ෂේත්රවල ද භාවිත වෙයි.
සඳ ගවේෂණය ඉන්දියාවට වෙනත් දීර්ඝ කාලීන ප්රතිලාභ ද අත් කර දිය හැකි වැඩපිළිවෙළකි.
සඳ මත ඇති ස්වභාවික සම්පත් ආදිය පිළිබඳ සොයා බැලීමට මෙකල බොහෝ රටවල් අතර තරඟයක් ඇතිව තිබෙන්නේ එවැනි දේ සොයා පාදා ගතහොත් බොහෝ ප්රතිලාභ අත්කර ගැනීමට හැකි වන බැවිනි.
නිහාල් පීරිස්