Home » සොබා දහමට ජීවය දෙන කොළඹ සරසවියේ QR මෙහෙයුම

සොබා දහමට ජීවය දෙන කොළඹ සරසවියේ QR මෙහෙයුම

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment
QR කේතය යෙදූ නාගසක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහචාර්ය එච්. ඩි කරුණාරත්න QR කේතය මඟින් දත්ත පරික්ෂා කිරීම

– සියලු පැළ හඳුනා ගන්නේ QR කේත මඟින්. පැළ 2500කට QR කේත
– ජංගම දුරකතනය හරහා QR කේතයෙන් ශාක විශේෂතා අධ්‍යයනය කිරීමට හැකියාව
– ලංකාවේ මුල්ම වතාවට විශ්වවිද්‍යාල සිසුන් දායක කරමින් ආරම්භ වූ අගනා වැඩසටහනක්

මිනිසාගේ ජීවය ඇත්තේ සොබා දහම මතය. පරිසරය යනු අප ජීවත්වන වටපිටාවයි. නිරුපද්‍රිතව ජීවීතය රැක ගැනීමට නම් මිනිසා සොබා දහම සමඟ අඛණ්ඩ ගනුදෙනුවක් පවත්වා ගත යුතුය. මිනිසා සොබා දහමේ කොටසකි.

කොළඹ විශ්වවිද්‍යාලය විසින් ගහකොළ රැක ගැනීමට ශාක ආරක්ෂා කිරීමේ සුවිසල් කාර්යභාරයක් ආරම්භ කර ඇත. මේ ගහකොළ රැකගැනීමේ සත් මෙහෙවරට සහ ශාකවල ඇති වටිනාකම හඳුනාගෙන ඒවායේ දත්ත රැස් කරමින් එම දත්ත QR කේතයක් මඟින් ශාකය පිහිටි ස්ථානයේදිම දැක බලා ගැනීමට හැකියාව ලැබෙන ආකාරයට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. මේ ව්‍යාපෘතියේ නිර්මාතෘ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචායර් එච්. .ඩී. කරුණාරත්නය. එසේම ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ප්‍රතිභා මහානාමහේවා එම මණ්ඩපයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රධානත්වය ගෙන කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන අරමුණුවල ( SDGs) 13 සහ 15 වගන්ති වලට අනුව එම වගන්ති නියෝජනය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක වේ; කොළඹ විශ්වවිද්‍යාලයේ QR ක්‍රමය මඟින් ශාක හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ රෝපණය කළ සහ විශ්වවිද්‍යාලයේ ඇති ශාක මේ QR ක්‍රමය මඟින් හඳුනා ගැනීමට හැකි වීම මෙහි විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දක්වා ඇති තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සමඟ එහි ක්‍රියාකාරකම් පෙළ ගැස්වීමට කොළඹ විශ්වවිද්‍යාලය දැඩි කැපවීමක් සිදු කරන අතර, ඔවුන්ගේ මූලික ඉලක්කය වන්නේ මෙම වැදගත් ගෝලීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සක්‍රියව දායක වීමයි. විශේෂයෙන්, මේ වැඩසටහන තිරසර සංවර්ධන ඉලක්ක අංක 15 වන භෞමික පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය සංරක්ෂණය සහ තිරසර භාවිතය කෙරෙහි අවධානය යොමු කර ඇත. මීට අමතරව දේශගුණික විපර්යාස සහ එහි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා සක්‍රියව ක්‍රියාකරන තිරසර සංවර්ධන ඉලක්ක අංක 13ද සාක්ෂාත් කර ගැනීම මෙම වැඩසටහන මඟින් අපේක්ෂිතය. මෙම තීරණාත්මක තිරසර සංවර්ධන ඉලක්ක දෙක කෙරෙහි ඔවුන්ගේ උත්සහාය යොමු කිරීමෙන්, පරිසරය සුරැකීමට සහ සැමට වඩා තිරසර අනාගතයක් පෝෂණය කිරීමට අර්ථවත් බලපෑමක් ඇති කිරීම විශේෂිත අරමුණු අතර වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන අරමුණුවල ( SDGs) 13 සහ 15 වගන්තිවලට අනුව එම වගන්ති නියෝජනය වන පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් කොළඹ විශ්වවිද්‍යාලයට මෙය අනුවර්ථනය කර ගත් බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචායර් එච් .ඩී. කරුණාරත්න පවසයි. “ ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ අභිමතාර්ථ සහ තිරසර සංවර්ධන අභිමතාර්ථ දෙකම එකතු කරගනිමින් මෙය කොළඹ විශ්වවිද්‍යාලයට අන්තර් ග්‍රහණය කරමින් පවතින බව උපකුලපතිවරයා පවසයි. ඒ අනුව; 2023 ජනවාරි පළමු වැනිදා මේ සංකල්පය මූලාරම්භ කර ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය එච්. එම්. කරුණාරත්න පවසයි

“අප මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ පවතින සියලුම ගස්වැල්වල තොරතුරු ඩිජිටල්කරණය කරමින් දත්ත ඇතුළු තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කර තියෙනවා. ඒ අනුව 2023 ජනවාරි පළමුවැනිදා විශ්වවිද්‍යාලය අසල තියෙන ගස්වල දත්ත සටහන් කරන කේතයන් මූලික වශයෙන් ආරම්භ කරනු ලැබුවා. මුළු විශ්වවිද්‍යාලයේ පවතින ගස්වැල්වලට QR කේතයක් ලබා දීම මෙහි විශේෂත්වයයි. මෙහිදී අප සතු ජංගම දුරකතනයේ QR කේතය ගසේ වන QR කේතය හා සම්බන්ධ කළවිට ගස පිළිබඳ සියලු තොරතුරු එක් රැස්කර ගැනීමට හැකිවෙයි. ඒ අනුව ගස සිටුවූ දිනය ගසේ වර්ගය විද්‍යාත්මක නාමය, ගසේ ප්‍රභේදය කුමක්ද, ඖෂධ වටිනාකමක් පවතිනවාද යන්න පිළිබඳව දත්ත රැසක් එහි පවතියි. විද්‍යාත්මක නාම, අනුවර්ථන නාම, පිපෙන මල්, ගස කොතෙක් කල් පවතිනවාද, ගසේ යම් අවදානම් සහිත බවක් තියෙනවාද යන්න එහිදී බලාගන්න පුළුවන්. එසේ ම ඒවායේ කරන්න පුළුවන් වෙනස්කම් පිළිබඳව සඳහන් වෙනවා. “

“කොළඹ විශ්වවිද්‍යාලයේ පමණක් ගස් එකසිය විස්සක් පමණ ගිය වසරේ සිටුවීම සිදු කළා. මේ දත්ත එක්රැස් කරගැනීමෙන් කොළඹ නගරයේ කාබන්ඩයොක්සයිඩ් කොතෙක් පිටකරනවා ද, ඔක්සිජන් කොතරම් පිට කරනවාද යන දේ අපිට හඳුනාගන්න පුළුවන්. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මහනගර සභාව, මාධ්‍ය ආයතනවල යම් දායකත්වයක් තිබෙනවා නම් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ගස්වැල් පිළිබඳව තොරතුරු විද්‍යාත්මකව ලබාගෙන කොළඹ නගරයේ ජිවත් වෙන පිරිසට උද්භිද විද්‍යාව පිළිබඳව හදාරන විද්‍යාර්ථීන්ට තොරතුරු රැස් කර ගැනීමට මෙය මහෝපකාරි වෙනවා. එසේම මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම මේ ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙනවා නම් ඉතාමත් හොඳයි. “

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රිපාලී මණ්ඩපයේද රුක්රෝපණ වැඩසටහන සහ QR කේත මඟින් ශාකවල දත්ත ඩිජිටල්කරණය කිරීම ඉතාමත් සාර්ථකව සිදු කෙරෙයි. එහි මණ්ඩපාධිපති ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ “ශ්‍රී පාලිය මණ්ඩපය අක්කර තිස් හයක වපසරියක් පුරා විහිදුණු රුක් ගොමුවක්. එහි පරිසරය ඉතාම සුන්දරත්වයෙන් පිරිලා. අතීතයේ සූරිය මල් ව්‍යාපාරය වාමාංෂික ව්‍යාපාරය ආරම්භ කරපු ස්ථානය. මෙහි විශාල ගස් ප්‍රමාණයක් තියෙනවා. ඒ ශාක ආරක්ෂා කරලා මේ මණ්ඩපය හරිත ශ්‍රි පාලියක් කරන්නයි උත්සහ කරන්නේ. මෙතැනදි මෙහි අපි අතිවිශාල ප්‍රමාණයක් පැළ සිටුවීම් කරනවා. එපමණක් නොවෙයි මෙහි බොහෝ වර්ගවල ශාක තියෙනවා. මේ විශ්වවිද්‍යාලවල දරුදැරියන් ශාකවල ඇති වටිනාකම හඳුනාගෙන නැහැ. මෙමඟින් දරුවන් ශාක පිළීබඳව වටිනාකම හඳුනා ගන්නවා. ශාක පද්ධතිය රැක ගත්තොත් පමණයි අපි රැකෙන්නේ. පරපුර ආරක්ෂා කිරීම නිසා තමයි අපි මේ ශාක ඉහළින්ම සලකනු ලබන්නේ. විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ පළමු වතාවටයි මෙවැනි දෙයක් සිදු කරන්නේ. මේ මණ්ඩපයේ ඇති සියලුම ශාකවලට QR කේතය ලබාදෙනවා. එය දත්ත ගබඩාවකට දමනු ලබනවා. මේ ශාකය පිළිබඳව කවුරු හෝ අධ්‍යයනය කරන්නේ නම් ජංගම දුරකතනය හරහා එය සිදුකළ හැකියි එහිදී සියලු දත්ත ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි. පර්යේෂණයකට හො පෞද්ගලික කාර්යයක වුවත් මේ ශාකයේ සියලු තොරතුරු මේ QR කේතය තුළ අන්තර්ගත වෙනවා

කවරකුට හෝ එක් තැනක සිට ශාක පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවකාශ ලැබෙන බව තිරසර සංවර්ධන අභිමතාර්ථ කමිටුවේ සාමාජික QR ව්‍යාපෘතිය භාරකරු QR රේටර්වරයෙකු වන අජිත් රණසිංහ පවසයි. “ශ්‍රී පාලි මණ්ඩපයේ ශාක 2500ක් පමණ තියෙනවා. මේවායේ සියල්ලේම QR කේත සැකසුම කරමින් යනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම අනුබද්ධ ආයතනවල තොරතුරු මෙහි අන්තර්ගත වනවා. උස, වට ප්‍රමාණය එහි විශ්කම්භය, ගසේ කාබන් ප්‍රමාණය අපි සලකුණු කර ගන්නවා. විද්‍යාත්මක නම එහි සම්භවය භාවිත කරන අවශ්‍යතාවය ඖෂධ වටිනාකම ශ්‍රි ලංකාවට ආවේණිකද නැතිද යන්න එසේම රතු දත්ත පොතේ ඇතුළත් ශාකයක්ද යන්න පිළිබඳව ඕනෑම කෙනෙකුට මේ විස්තර QR කේතය මඟින් බලාගන්න පුළුවන්.

මීට සමගාමීව ශ්‍රීපාලී මණ්ඩපයේ තිරසර සංවර්ධන ඉලක්ක (SDG) කමිටුව විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් මස 3 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. දේශීය පලතුරු හා ඔසු පැළ 250ක් සිටුවීමෙන් ශ්‍රි පාලී මණ්ඩපයේ ශාක හා ජෛව විවිධත්වය වැඩි දියුණු කිරීම හා ශ්‍රි පාලී මණ්ඩපයේ පවතින ශාක සඳහා QR කේත හඳුන්වා දීම මඟින් එම ශාකවල තොරතුරු ඩිජිටල්කරණය කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ ශ්‍රි පාලී මණ්ඩපයේ මණ්ඩපාධිපති විසින් නිල වශයෙන් දියත් කරන ලදී.

මේ ව්‍යාපෘතිය සඳහා අධ්‍යක්ෂ ජාල කළමනාකරණ අංශයේ ආචාර්ය හිරාන් ජයවීරගේ උපදෙස් පරිදි මේ ව්‍යාපෘතියේ ජාල සැකසුම සචිත දිල්ශාන් කොළඹ විශ්වවිද්‍යාලයේ කියුරේටර්වරයෙකු වන ප්‍රසාද් විමලසේන ඇතුළු අධ්‍යයන සාමාජිකයින්, පරිපාලන සාමාජිකයින් සහ අනධ්‍යයන සාමාජිකයින් මේ සඳහා දායකත්වය දෙනු ලබයි. තිරසර සංවර්ධනයේ වටිනාකම සරසවියෙන් ඔබ්බට ද ව්‍යාප්ත කිරීම මේ පිරිසගේ අභිමතාර්ථයයි.

ඡායාරූප – රංජිත් අසංක

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division