Home » වාහන හිමිකරුවන්ගේ සාක්කුව සුද්ද කරන කොළඹ රටේ කාර් පාක් මාෆියාව

වාහන හිමිකරුවන්ගේ සාක්කුව සුද්ද කරන කොළඹ රටේ කාර් පාක් මාෆියාව

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

පුංචි බොරැල්ල පසුකොට මරදාන දෙසට යනවිට වම් පැත්තේ ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි. ටෙලිකොම් ආරම්භයේම ඇත්තේ විදුලි සංඥා පද්ධතියකි. ඉන්පසු ඇත්තේ මරදාන පාරය. එතැනින් යන විට දුරකතන ඇමතුමක් ආ බැවින් ඝෝෂාවෙන් මිදීමට වාහනය නවත්වන ලෙස ලේක්හවුස් රථයේ රියදුරාට පැවසුවෙමි.

ඇමතුමට පිළිතුරු දෙන විට ඒ නිමේෂයෙන් රියදුරා අසල ඇති කඩයකට ගොඩ වැදුණේ ය. නගර සභා ලාංඡනයක් පපුවේ මුද්‍රණය කළ කොළ පැහැති අත්කොට කමිසයක් හැඳගත් අපිරිසිදුව සිටි තරුණයකු අප ගිය රථයේ වයිපරය වැරෙන් ඇද එහි ‘පාකින් ගාස්තුව’ ටිකට් පතක් තබා නැවත වයිපරය හේත්තු කළේය. මම වෑන් රථයේ ජනේලයෙන් බෙල්ල දමා ටිකට් පත තැබූ තරුණයාට කතා කළෙමි.

“මොකක්ද ඒ ටිකට් එක”

“මහත්තයා පාකින් ටිකට් එක”

“මේක මොන පාකින්ද? මේ මරදාන පාරනේ. ඊට පස්සේ පේමන්ට් එක.”

“ඒවා මං දන්නැහැ. අපි කරන්නෙත් ජොබ් එකක්.” නගර සභාවෙන් ටෙන්ඩර් දාල අපේ බොස් මේ පාකින් එක අරන් තියෙන්නේ.”

“නගර සභාව විසුරුවලනේ තියෙන්නේ. ඉතින් කොහොමද මේවා ටෙන්ඩර් කළේ.”

ටික වේලාවක් යන විට රියදුරා සමඟ ගිය අපේ ඡායාරූප ශිල්පියා එතැනට පැමිණියේය. ඔහු වහා ටිකට් තබන තරුණයාගේ පින්තූර ගන්නට සූදානම් වෙද්දි ඔහු බැගෑපත් විය.

“අනේ පින්තූර ගන්න එපා. ජොබ් එකක් කරන්නේ. හවසට ටාගට් එක රුපියල් 4000ක් දෙන්න ඕන.”

ඊට පසු ටිකට් එකතු කරන තරුණයා කියාගෙන ගියේ අඳෝනාවකි.

“දැන් ඔය වාහනවල කණ්ණාඩි ගලවන කුඩ්ඩෝ කීදෙනෙක් මම පොලිසියට අල්ලල දුන්නද?”

තරුණයා කියාගෙන කියාගෙන ගියේ තම මුහුණ සඟවා ගනිමිනි.

“හක්කේ බුදුරැස් – බොක්කේ දඩමස්” යැයි කියමනක් තිබේ. මේ පාකින් ටිකට් කඩන පුද්ගලයන්ගේ යුනිෆෝම් එකත් එසේය. ඉදිරිපස සාක්කුවේ ඇත්තේ කොළඹ නගර සභාවේ නිල ලාංඡනයයි. එහෙත් එම ඇඳුමේ පසුපස ඇත්තේ කොම්පැනියක නමකි.

“මොකක්ද ඔය කොම්පැනියක නමක් ගහගෙන එන්නේ කමිසේ පිටිපස්සේ.”

“ඒ අපි වැඩ කරන කොම්පැනියේ නම.”

“කොහෙද තියෙන්නේ ඔය කොම්පැනිය. පාරකට කොහොමද පාකින් කඩන්නේ.”

“මේ තියෙන්නේ ටිකට් එක. මහත්තයාට කතා කරල බලන්නකො.”

වහාම එම ටිකට් එකේ ඇති අංකයට කතා කළෙමි. එහෙත් පිළිතුරක් නැත.

ඊළඟට අපි ගියේ ගෝල්ෆේස් එකටය. ලොරිවල සිට අයිස්ක්‍රීම් වෙළෙඳාම ගෝල්ෆේස්හි බහුලව දැකගත හැකිය. අයිස්ක්‍රීම් එකක් ගන්නට නැවැත්වූ කාර් එකකට ‘පාකින් ටිකට්’ එකක් කැඩීම නිසා ඇති වූ ආරවුලක් අප යන මොහොතේ දැකගත හැකිවිය. අයිස්ක්‍රීම් වෙළෙන්දා අයිස්ක්‍රීම් ලොරියෙන් බිමට බැස තම පාරිභෝගිකයා වෙනුවෙන් සටනට බැස සිටියේය.

“අපි අවුරුදු 20ක් මෙතැන අයිස්ක්‍රීම් වික්කා. අයිස්ක්‍රීම් එකක් ගන්න එන මිනිස්සුන්ට පාකින් කැඩුවේ නෑ.”

“ඒ වුණාට බොසා අපි හවසට ලොක්කට ටාගට් එක දෙන්න ඕන.”

“තමුසෙලව උදෙත් පොලිසියෙන් ඇවිත් එලෙවුවා නේද? නගර සභාවෙන් මේ පාකින් වෙන්දේසි කරල තිබ්බ. පාකින් දැන් මුකුත් නෑ. මිනිස්සුන්ව මංකොල්ල කන්න එපා. මේක මාෆියාවක්.”

මේ අතර මේ ගෝරනාඩුවෙන් බියට පත් කාර් එකේ පැමිණි අයිස්ක්‍රීම් ගන්නට ආ තැනැත්තා රුපියල් 100ක් පාකින් කැඩූ පුද්ගලයාට ගෙවා පැන ගියේ හණිකටය.

ගෝල්ෆේස් භූමියට සමාන්තරව නැවැත්විය හැකි වාහන ගණන 107කි. එහි කිහිප තැනක පාකින් ටිකට් කඩන මැෂින් ඇත. එහෙත් එයින් එකක්වත් දැන් වැඩ කරන තත්ත්වයේ නැත.

“මොකෝ මේ පාකින් මැෂින් වැඩ කරන්නේ නැත්තේ.” ඒ අසල රැඳී සිටි අන්නාසි වෙළෙන්දකුගෙන් අසා සිටියෙමි.

“ඔය මැෂින් ඔක්කොම මේ පාකින් මාෆියාව කරන උන් කඩල තියෙන්නේ. සමහර කොල්ලො කෙල්ලො වාහනයෙන් බහින්නෙ නැතුව වාහනය ඇතුළේ ඉඳන්ම කතා කර කර ඉන්නවා. එයාලව බය කරල පාකින් සල්ලි කියල කප්පන් ගන්නවා.”

මේ පාකින් සල්ලි සතයක්වත් කොළඹ නගර සභාවට යන්නේ නැහැ. මේක මාෆියාවක්. වාහනයක් නවත්තල ගෝල්ෆේස් යන අහිංසක මිනිස්සුන්ව බය කරල ‘පාකින්’ කියල සල්ලි ගන්නවා. සල්ලි දුන්නැත්තන් කට්ටිය වටවෙලා වාහනයට යන්න දෙන්නේ නෑ. පොලිසියෙන් ආවොත් පැනල දුවනවා.

එතැන සිටි පාකින් සල්ලි එකතු කරන තලත්තෑනි පුද්ගලයකුගෙන් ‘පාකින් ගාස්තු’ ගැන ඇසුවෙමි.

“අනේ මහත්තයෝ පෙරේද තමයි වැඩට ආවේ. ගෝල්ෆේස් එකේ ටිකට් කඩන්න පස් දෙනෙක් ඉන්නවා. මේ සල්ලි නගර සභාවට යනවද නැද්ද දන්නෑ. හවසට ටාගට් එක දෙන්න ඕන. උදේ 6 ඉඳන් රෑ දොළහ වෙනකම් රුපියල් 5500/=යි.

“හවස 6න් පස්සේ පාකින් ටිකට් කඩන්න තහනම් නේද?” මම අසා සිටියෙමි.

පාකින් ටිකට් කැඩූ තැනැත්තා නිරුත්තරය.

“මෙරට අගනුවර ප්‍රධාන වශයෙන් වාහන පාකින්වල ටිකට් කැඩීමට නිල ඇඳුම් ඇඳි පිරිසක් කරළියට එන්නේ 1977න් පසු ආර්. ප්‍රේමදාස අගමැතිවරයා වූ යුගයේදීය. ඉහළට ඉගෙන නොගත් පිරිස් මේ සඳහා තෝරාගෙන ඇත. ඔවුනගේ මේ වෘත්තිය කොළඹ නගර සභාව යටතේ ‘පැන්ෂන්’ ඇති රැකියාවක් ද විය. මෙයින් බොහෝ දෙනාට අගනුවරින් ‘මහල් නිවාසයක’ හිමිකම ලබා දෙන්නට ද එවක පියවර ගෙන තිබූ බැවින් එය ආත්මාභිමානය ඇති රැකියාවක් ද විය.

ප්‍රේමදාස අගමැති යුගයේ කියන්නේ මීට වසර 45කටත් පෙරය. මුලින්ම වාහනයක් ගාල් කරන්නට අයකොට ඇති මුදල සත 25කි. මුලින්ම ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයේ 400කට රැකියා ලබා දී ඇත. 7

අප ගිය වාහන නවත්වන රථ ගාලක සිටි වියපත් කාන්තාවක් 45 වසරකට පෙර වාහන නැවැත්වීමට ගාස්තු අය කිරීම ආරම්භ වූ හැටි අපට විස්තර කළේ මෙසේය.

“මට ජොබ් එක දුන්නේ ප්‍රේමදාස උත්තමයා. ගේකුත් දුන්නා. පළවෙනියටම සත 25 ටිකට් එක කැඩුවේ තඩි බෙන්ස් කාර් එකකට. ඒ නානා කෙනෙක්ගේ. සල්ලි දෙන්නට බෑ කිව්වා. ඒත් පවුලේ දුක කිවුවම සල්ලි දුන්නා. ගාස්තු අය කරන්න පටන් ගත්ත දවසේ තැන් 10කට වඩා තැන්වල ටිකට් කඩන අයට පහර දීලා තිබුණා. ප්‍රේමදාස මහත්තයා ගුටි කාපු අයගේ ගෙවල්වලට ගිහින් කනගාටුව ප්‍රකාශ කළා. ඊට පස්සේ පාකින්වලට පොලිස් ආරක්ෂාව දෙන්න වුණා.”

ඒත් ප්‍රේමදාස යුගයෙන් පසු මේ වාහන ගාස්තු අය කරන ජොබ් එකට අලුත් පරම්පරාවක් කොළඹ නගර සභාව බඳවා ගත්තේ නැත. අන්තිමට වූයේ නාගරික මන්ත්‍රීවරු මෙම ‘වාහන පාක්’ අත්පත් කරගෙන පෞද්ගලික ගැනුම්කරුවන්ට බදු දීමය. මෙය දෙවැනි වන්නේ කොළඹ නගරයේ ඇති ප්‍රසිද්ධ වැසිකිළි බදු ගැනීමට පමණි. මේ ඇතැම් වැසිකිළිවල දවසක ආදායම රුපියල් 15,000කට අධිකය.

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ වර්ගමීටර් 99,000ක භූමි ප්‍රදේශයක වරකට වාහන 7,000ත් 7,500ත් අතර ප්‍රමාණයක් ගාල් කළ හැකි රථ ගාල් 121ක් වේ. එයින් වර්ග මීටර් 85,800ක භූමි ප්‍රදේශයක් සහිත වාහන 6,500ක් පමණ ගාල් කළ හැකි රථගාල් 112ක් පෞද්ගලික සමාගම් 19කට කොන්ත්‍රාත් පදනම මත ලබා දී තිබේ. එමෙන්ම වර්ග මීටර් 8,620ක්වූ වාහන ගාල් කරන ස්ථාන 9ක් නගර සභාවේ රථවාහන පාලක හා පාලිකාවන්ට ලබාදී තිබුණි.

මීට අමතරව වාහන 111ක් ගාල් කළ හැකි වර්ග මීටර් 1,279ක්වූ ප්‍රදේශයක් මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ට තම කාර්යාලය ඉදිරිපිට වාහන ගාල් කිරීමට ද වාහන 26ක් ගාල් කළ හැකි වර්ගමීටර් 299ක් ව්‍යාපාරික ස්ථානයන්ට ද ලබා දී තිබුණි.

2017 වසරේ ජූලි 26 දරන ගැසට් නිවේදනයේ සඳහන් පරිදි කොළඹ නගර සභා අතුරු ව්‍යවස්ථාවක් යටතේ රථවාහන ගාල් බදු දීම සඳහා වන කොන්දේසි ඇතුළත් කර තිබුණි. ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වන විට රථ වාහන ගාල් 112න් 100ක් පුද්ගලික ආයතන 9කට ලබා දී ඇත. එහිදී අදියර රැසක් යටතේ මේ බදුදීම් සිදු කර ඇති අතර පළමුවැනි අදියරේ සිට 16 අදියර දක්වා බදු දීමේදී මහනගර සභාවේ රථවාහන පාලිකාවන් විසින් වාහනවලින් මුදල් අය කර දුන් ප්‍රමාණය අනුව බදු අය කිරීමට අදාළ සැලසුම් සකස් කර ඇති අතර 17 අදියර හා 18 අදියර යටතේ වාහන ගාල් බදු දීමේදී වාහන ධාරිතාව හා අය කරනු ලබන මුදල් අනුව ගණනය කිරීම් සිදු කිරීමට සැලසුම් කොට තිබුණි.

කොළඹ නගරසභා නාගරික මන්ත්‍රීවරුන් රථ ගාල් හරහා කරන කෝටි ගාණක දැවැන්ත ජාවාරම ගැන විගණන වාර්තාවක් නිකුත් වූයේ පසුගිය වසරේ අප්‍රේල් 08 දිනැතිවය.

මේ සම්බන්ධව මාස 6කට අධික කාලයක් තිස්සේ විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද වෝහාරික විගණනයකින් පසු විගණන වාර්තාවක් කොළඹ නගර සභාවේ ලේකම් වෙත එවා තිබූ අතර පිටු 41කින් යුත් දැවැන්ත විගණන විමසුමක් වන ඒ හරහා සභාවේ බොහෝ මන්ත්‍රීවරුන් නිරුවත් කොට තිබුණි. 2022 අප්‍රේල් 08 දිනැතිව SIF/C/AG/AE/2022/02 අංක දරන එය නියෝජ්‍ය විගණකාධිපති (විශේෂ විමර්ශන හා වෝහාරික) එස්. එම්. ඩී. එස්. සුදීශ් රෝහිත විසින් අත්සන් කර තිබුණි.

මේ විගණන වාර්තාවෙන් හඳුනා ගත් වාහන පාකින්වලට අමතරව තම කාර්යාල ඉදිරිපිට වාහන නැවැත්වීම යැයි කියා කළ මහා පරිමාණ වංචාවක් ද හෙළිදරව් විය. ඒ අනුව නාගරික මන්ත්‍රීවරුන් 119 දෙනා අතුරින් 110 දෙනකු වර්ගමීටර් 2.4×4.8 ප්‍රමාණයක් අනුමැතියෙන් වෙන් කර ගෙන තිබී ඇත.

එයින් 60 දෙනකු අනුමැතිය ලබා ගෙන ඇත්තේ තම කාර්යාල කොළඹ 11 ඇති බව දක්වමිනි. එහෙත් ලබාදී ඇති ලිපිනයන්හි කිසිදු කාර්යාලයක් නොමැති බව තහවුරු වී තිබේ. එමෙන්ම තවත් 13 දෙනකු කොළඹ 12 කාර්යාල ඇති බව දක්වා වාහන ගාල් ලබා ගෙන තිබේ. ඊට අමතරව අධික වාණිජ ප්‍රදේශයක් වන කොළඹ කේසර් වීදියේ ද කාර්යාල ඇති බව දක්වා රථගාල් වෙන් කරගෙන තිබුණු අතර එම ස්ථාන පදික වෙළඳුන්ට දෛනික කුළිය මත කුලියට දී තිබුණේ රුපියල් 5000ත් රුපියල් 7000ත් අතර මිල ගණන්වලටය. ඒ කියන්නේ තම කාර්යාල පවත්වා ගෙන යාමට වාහන නැවැත්වීමට යැයි අත්කරගත් පාකින් ඉඩකඩකින් එක් මන්ත්‍රීවරයකු මාසිකව ලබන ලාබය ලක්ෂ 2කට අධිකය.

මේ වාහන පාකින් මාෆියාව නිසා වඩාත් අසරණ වන පිරිසක් වන්නේ දුර පළාත්වල සිට කොළඹ නගරය බැලීමට එන පාසල් සිසුන් රැගත් බස් රථයි.

“දැන් අපි කෞතුකාගාරය ළඟ නැවැත්තුවත්, පරණ පාර්ලිමේන්තුව ගාව නැවැත්තුවත්, ග්‍රහලෝකාගාරය ළඟ ළමයි බැස්සුවත් බස් එක එතැන පාක් කරන්න බෑ. කොහේ හරි පාකින් එකක බස්එක නවත්වන්න ඕන. බස් එක නවත්වන කොට ගාණ ඇහුවාම ගාණ කියන්නේ නෑ. යනකොට කියන ගාණක් ‘කප්පමක්’ වගේ දෙන්න ඕන. කතාවට ගියොත් බස් එකේ යතුර ගන්නවා, සමහර තැන්වල පැයට දෙකට රුපියල් 1500ක් ගන්නවා. ළමයි කොළඹ අතරමං කරන්න බැරි නිසා මේ කප්පම ගෙවල හරි ළමයි ටික ගාවට යනවා.”

මේ වාහන පාකින් මාෆියාවෙන් තවත් වඩාත් අසරණ වන පිරිසක් නම් දුරබැහැර සිට භාණ්ඩ රැගෙන ඒමට කොළඹට එන පිරිසය. මේ අප සමඟ අදහස් දැක්වූයේ දිවුලපිටියේ සිට පැමිණි ලොරියක් හිමි හාඩ්වෙයාර් හිමියෙකි.

“යකඩ තොග කඩ තිබෙන ගල්වලේ, නිව්මූර් ස්ට්‍රීට්, බණ්ඩාරනායක මාවත වගේ පාරවල ලොරි පාක් කරන්න බැරි නිසා ආමර්වීදියෙ, කොටහේනේ තැනක බඩු ටික ගන්නකම් නතර කර ගන්නවා. ඉස්සර කොළඹ නගර සභාව වාහන පාක් කරන කාලේ දවසක් තිබ්බත් ගාස්තුව රුපියල් 500 ට වැඩිය ගත්තේ නැහැ. දැන් සමහර පාකින්වල පැයට – දෙකට රුපියල් 1500 බලෙන් ගන්නවා. මේක මාර පාකින් මාෆියාවක්.”

මීළඟට අප ගියේ ලේඩි රිජ්වේ රෝහල අසලටය. රෝහලට යාබද බොරැල්ල හරස් පාර බාර පි. සොමිනෝනාටය. ඇයගේ පදිංචිය ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ කාර්යාලය යාබද වත්තකය.

“මං මුලින් වැඩ කළේ නගර සභාවේ පාකින් රස්සාව. පෙන්ෂන් ගියා. දැන් මෙතන වැඩ. දවසේ ටාගට් එක රුපියල් 4500/=යි. ”

සොමිනෝනා කියන්නේ බොහෝදෙනකු නිකන් තියෙන පාරට පාකින් ටිකට් කඩන්නේ කොහොමදැයි තමන් සමඟ අරියාදුවට එන බවය.

“දැන් ඔය පාකින් ටිකට්වල සල්ලි හවසට නගර සභාවට බඳිනවද?”

“නෑ නෑ මහත්තයා හවසට ඇවිත් අරන් යනවා.”

“මහත්තයා මේ පාකින් එක බද්දට අරන් තියෙනවා කියල නගර සභාවෙන් ඇවිල්ල බලල එහෙම තියෙනවද?”

“ඉතින් බලෙන් සල්ල ගන්න උදවියගේ මාෆියාවයි, ඕගොල්ලන්ගේ මාෆියාවයි දෙකම එකයි නේද?”

මෙරට අධික ලෙස වාහන පාකින් අවශ්‍යතාවක් ඇති ස්ථානයක් නම් කාසල් මාර්තෘ රෝහල අසලය. අප එහි යන විට එම පාකින් එකේ ත්‍රිරෝද රථ රියැදුරකු අප සමඟ කතාබහට එක්වූයේ උද්යෝගයෙනි.

“මෙතැන පාකින් එක ගත්ත ටෙන්ඩරය දැන් කැන්සල් වෙලා තියෙන්නේ. ඒ වුණාට කුඩුකාරයෝ, චණ්ඩි බලෙන් පාකින් ගන්න මාෆියාවක් යනවා. ඊයෙත් පොලිසියෙන් ඇවිත් මේ පාකින් කඩන එවුන්ව එලෙවුවා.”

දරුවකු ප්‍රසූත කරන්නට එන මවක් රැගෙන එන වාහනයකින් පවා බලහත්කාරයෙන් පාකින් සල්ලි ගන්න මාෆියාව ඒ තරම් ප්‍රබලය.

මේ අතර නාරාහේන්පිට පාර දෙසින් කනත්තට සමාන්තරව ඇති පාකින් එකේද දැකගත හැකි වූයේ ගාලගෝට්ටියකි. එම පාකින් එකේ සිටි පුද්ගලයා අප දැක බියපත් විය.

“අනේ මහත්තයෝ මම මොන පාකින් කොම්පැනියකවත් නෙමෙයි. වාහනයක් බලාගෙන තේකක් බොන්න කීයක් හරි හොයා ගන්නවා. මේ පාකින් එකට නගර සභාවෙන් පැත්ත පළාතේ එන්නේ නෑ. වාහන වැඩි මළ ගෙවල්වලට බලෙන් පැනල පාකිං කඩනවා චණ්ඩිකමෙන්. ටිකට් දෙන්නෙත් නැහැ.”

අපි ගිය වාහන පාකින් අතර වැඩිම සල්ලි ගැවසෙන ‘පාකින්’ එක විය යුත්තේ මෝටර් රථ වාහන කාර්යාලය නොහොත් RMV ඉදිරිපිට වාහන පාකින් එකය. එය ඉදිරිපිට ලොතරැයි කුටියක් පවත්වා ගෙන යන නන්දාවතී මෙසේ පැවසුවා.

“මේ RMV එක ඉස්සරහ පාකින් එක තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායක කාලෙ සුමේධ කියල කෙනෙක්ට දීලා තිබ්බා. දැන් මේකේ අයිතිකාරයෝ නැහැ. හිතෙන හිතෙන ගණන් චණ්ඩි ඇවිත් ගන්නවා. මාර මාෆියාවක්, සමහර වාහන ට්‍රාණ්සර් කරගන්න එන අය සල්ලිත් අරන් එන්නේ. ඒ අයවත් සුද්ධ කරනවා. සමහරු අඬ අඬා යන්නේ. මේවා ගැන කියනවට මට ඇසිඩ් ගහනවා කියලා තියෙන්නේ.”

අපි මේ කියන වාහන පාකින් ටිකට් කඩන ‘මාෆියාව’ සරුවටම කෙරුණේ මහරෝහල අසලය. එතන සෙක්ෂන් තුනකට කඩා පුද්ගලයන් යොදවා තිබුණි. මෝටර් සයිකල් කොතරම් වැඩිදැයි කිවහොත් ඒ ගැන වෙනම පුද්ගලයන් යොදවා ඇත. කේරි විදුහල අසල සිට වෝඩ් පෙදෙස දක්වා යොදවා ඇති පිරිස 5කට වැඩිය. මහ රෝහලේ සිට නොරිස් කැනල් පාරේ සංස්ථා අරක්කු කාර්යාලය පසුකොට ආසිරි සර්ජිකල් රෝහලත් පසුකොට නොරිස් ඇළ දෙපැත්තේම වාහන පාකින් මාෆියාව සරුවටම දැකගත හැකිය. සාමාන්‍යයෙන් වාහන පාකින් ටිකට් කඩන්නේ උදේ 6 සිට සවස 6 වනතුරුය. මේ කියන මහරෝහල් පාකින් මාෆියාව විශේෂ වන්නේ පැය 24 පුරාම පාකින් ‘ගරානා මාෆියාව’ ක්‍රියාත්මක වන නිසාය.

“කොළඹ නගරයේ ඇති වාහන නැවතුම් ස්ථාන දෙවර්ගයකි. ඉන් ප්‍රධාන වන්නේ කොළඹ මහ නගර සභාවට අයත් වාහන පාකින්ය. අනෙක්වා අයත් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියටය.

කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය වන්නේ භද්‍රානි ජයවර්ධනයි. අප මේ ගැන ඇගෙන් විමසීමට නගර සභාවට ගිය විට ඇය අප යොමු කළේ සහාකාර නාගරික කොමසාරිස්වරිය වන නදීකා දමයන්ති වෙතය. ඇය අපව යොමු කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ඉන්ජිනේරු රථවාහන) මංජුල කුලරත්න වෙතය.

“අපිට 2013න් කාර්යසාධනය අනුව අලුතින් රථවාහන පාලිකාවන් බඳවා ගන්න බෑ. ඊට පස්සේ තමයි මාසික කොන්ත්‍රාත් පදනම මත මේ පාකින් පෞද්ගලික අංශයට බාර දුන්නේ. මේ නගර සභා පාකින්වල නගර සභා පාලන මිලක් තියෙනවා. ඒක ටිකට් එකෙත් තියෙනවා. වැඩි ගාස්තුවක් ගත්තොත් පැමිණිලි කරන්න අංකයකුත් තියෙනවා.”

“පැමිණිලි අංකය මොකක්ද?”

“0112698529 තමයි පැමිණිලි අංකය. මේ අංකයට පැමිණිලි නිතරම ලැබෙනවා. අගතියට පත් පාර්ශ්වය ඉදිරිපත් වෙනවා නම් අපි වහාම පැමිණිල්ල විභාගයට ගන්නවා. අවශ්‍ය වෙන්නේ මේ වගේ මාෆියාවකින් බැට කාපු අය පැමිණිලි කරන්න ඉදිරිපත් වෙන එක. නගර සභාවේ කීර්ති නාමයටත් හානියක් නිසා. අනික අපි මාස 6ක තැන්පතුවක් තියාගෙන තමයි මේ ටෙන්ඩරය ප්‍රදානය කරන්නේ.

2020 වන විට නගර සභා පාලනය යටතේ පැවතියේ වාහන පාකින් 7ක් පමණි. ඒ බෝධිරාජ මාවත, වේල්ල වීදිය, ශාන්ත ජෝසප් වීදිය, කදිරේෂන් වීදිය, පරණ යෝක් වීදිය, කොල්ලුපිටිය හා වැල්ලවත්ත මාකට් වාහන පාකින්ය. මංජුල පවසන්නේ දැන් සියලු පාකින් පෞද්ගලික අංශයට පවරා ඇති බවය. ඒ කියන්නේ කොළඹ නගර සභාවට අයත් වාහන පාක් 135ම දැන් ඉතින් පෞද්ගලික අංශයට ලබාදී හමාර බවය.

බේස්ලයින් පාරත්, මෙරින් ඩ්‍රයිව් ප්‍රදේශයත් පාකින් අයත් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියටය. එහි විධායක ඉංජිනේරු නිලන්ත විජේසිංහගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියෙමි.

“RDA එක මේ තැන් දෙකේ කාටවත් පාකින් ටිකට් කඩන්න බලයක් දීලා නෑ. ඕන කෙනෙක්ට පුළුවන් පොලිසි යන්න. අපි දැන් මේ තැන්වල නිශ්චිත ස්ථාන හඳුනා ගෙන ටෙන්ඩර් මඟින් පෞද්ගලික අංශයට මිල ගණන් කැඳවන ක්‍රමවේදයක් සකසා ගෙන යන්නේ. අපි මේ ටිකට් කඩන තැන් කීපයක් නිරීක්ෂණය කරල පොලිසියට දැනුම් දුන්නා. අපි වගකීමෙන් කියනවා ඔය තැන්වල පාකින් ටිකට් කඩන්න කිසිම බලයක් කෙනකුට නිත්‍යනුකූලව ලබා දී නැහැ කියලා.”

අවසන් වශයෙන් අපට කිව හැක්කේ කොළඹ නගරයේ පාකින් මාෆියාව කොටස් දෙකකට වෙන් කළ හැකි බවය. ඉන් ප්‍රධාන වන්නේ නියමිත ගාස්තුවට වඩා හිතුමතේ මිනිසුන්ගෙන් පාකින් මුදල් අයකර ගන්නා මාෆියාවය. අනෙක පාකින් ගාස්තුවක් අය කිරීමට කිසිම බලයක් නැති තැනක බලහත්කාරයෙන් පාකින් මුදල් අය කරන මාෆියාවය. දැන් කළ යුතුව ඇත්තේ මේ පාකින් මාෆියාවෙන් අසරණ වන හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැඟී සිටීම පමණි.

ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්න

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division