මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සිහි කරමින් මෙරට බොහෝ බෞද්ධ සිද්ධස්ථාන බිහි වූ අතර, බෞද්ධ භික්ෂුන් වෙනුවෙන් ආරාම පිරිවෙන් ද ආරම්භ විය. මිහිඳු මහරහතන් වහන්සේ සිහිවීම පිණිස මිහිඳු ජයන්තිය මුල් කර ගනිමින් සිදු කෙරුණු ව්‍යාපෘති වැඩසටහන් අතර, මිහිඳු මහරහතන් වහන්සේ මෙරට ධර්ම ප්‍රචාරය කිරීම සිහි වීම පිණිස අධ්‍යාපන ආයතන අලුතින් බිහිකිරීම විශේෂත්වයකි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවසන් කෙළවරේ මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය ආසන්නයේම ස්ථාපිත කෙරුණු මහා මහින්ද පිරිවෙණ සුවිශේෂී වේ.
මිහිඳු ජයන්තිය මුල්කර ගනිමින් ආරම්භ කරන්නට යෙදුණු ඓතිහාසික හබරණ පුරාණ ටැම්පිට රජමහ, විහාරස්ථානයට අනුබද්ධ මහා මහින්ද මූලික පිරිවෙන අනුරාධපුරයට හා පොළොන්නරුවට මධ්‍යගතව පිහිටා ඇත. එක් පෙසකින් රිටිගල කඳු පන්තිය හා අනෙක් පසින් දිස්වන්නේ සීගිරි පර්වතයයි.
පිහිටීම අතින් අලංකාර අතින් වුවද රජරට බොහෝ ස්ථානයන් මෙන්ම මෙම ස්ථානයේද දුෂ්කරතා රැසක් තිබේ. මහා මහින්ද මූලික පිරිවෙණ ස්ථාපිත කරන ලද්දේ 1992 වසරේ ජූලි මස 31 වැනිදාය. ඒ ඓතිහාසික හබරණ පුරාණ ටැම්පිට රජමහා විහාරය ඇතුළු තද් විහාර ගණයේ අධිපති සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ හුරුළු පළාතේ ප්‍රධාන සංඝනායක දිවුලන්කඩවල ශ්‍රී ධීරානන්ද නායක ස්වාමින් වහන්සේගේ කැපවීමෙන් හා මූලිකත්වයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ ජී. ඩී. මහින්දසෝමයන්ගේද සහයෝගයෙනි. පිරිවෙණ ලියාපදිංචි කර ඇත්තේ 1993 වසරේදීය.
එවකට විශාල ගැටලු මැද පිරිවෙණ ආරම්භ කෙරුණ ද පසුව සීමාසහිත ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් සාමණේර ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා 15කින් පිරිවෙණ ආරම්භ කරන ලදී. පිරිවෙණෙහි ප්‍රථම කෘත්‍යාධිකාරීන් වහන්සේ වූයේ ද දිවුලන්කඩවල ශ්‍රී ධීරානන්ද නායක ස්වාමින් වහන්සේය. ප්‍රථම පරිවේණාධිපතීන් වහන්සේ වූයේ ශාස්ත්‍රවේදී පෙරියකුලමේ සුමංගල ස්වාමීන් වහන්සේය. එසේ වසර 30කට අධික කාලයක් ගිහි පැවිදි දෙපිරිසටම සිප්සතර ලබා දුන් මහා මහින්ද පිරිවෙණ හරහා මෙරට අධ්‍යාපනයට සිදු කර ඇති සේවාව අතිමහත්ය.
පිරිවෙණින් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල වරම් ලැබූ ගමේ දරුවන් මෙන්ම භික්ෂූන් වහන්සේලා ද වෙති. එමෙන්ම පාසල්වල විදුහල්පති ධුරය දක්වා යන්නට මඟ සලසා ගත් හිමිවරුන් මෙන්ම උතුරු මැද පළාතේ විහාරස්ථාන පාලනය කරන්නට දැනුම උකහාගත් හිමිවරු ද මේ අතර වෙති.
මහා මහින්ද පිරිවෙනේ කාලයක සිට සිදු කරන්නා වූ මහඟු සේවාවක් ගැන මෙහිදී විශේෂයෙන් සිහිකළ යුතුය. ඒ කිසිදු අකුරක් පවා නොදන්නා සිසුන් පිරිවෙණට ගෙන්වා ඔවුන්ට සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන්නට අවශ්‍ය පසුබිම සකස් කර දීමය. ඒ අනුව වයස අවුරුදු 15 හෝ 16 ඉක්මවා ගිය සිසුහු පවා ප්‍රාථමික අකුරු උගැනීම පිණිස පිරිවෙණට පැමිණෙති. ඔවුහු අධ්‍යාපනයේ ඉහළට යන්නට නොව එදිනෙදා යමක් කමක් කියවා තේරුම් ගැනීමට එසේ අකුරු උගනිති.
අද වන විටද එසේ ප්‍රාථමික මට්ටමේ අකුරු කරන්නට ආ සිසුහු 7 දෙනකු පමණ පිරිවෙනේ අධ්‍යාපනය හදාරති. පාසලේ 6 ශ්‍රේණියට සමාන්තර අධ්‍යාපනය ලබා දෙන පිරිවෙන් මූලික ශ්‍රේණිය හරහා ලබා දෙන සේවාව ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ය.
අධ්‍යාපනයෙන් පමණක් නොව බාහිර කුසලතා හරහා ද පිරිවෙනේ බොහෝදෙනා දස්කම් දක්වා ඇත. ඉතා දුෂ්කර පහසුකම් අඩු පිරිවෙණක් වුවද පසුගිය වසරේ උතුරු මැද පළාතේ ඵලදායිතා සම්මානය හිමි කර ගැන්මට හබරණ මහා මහින්ද පිරිවෙණ සමත් විය. එසේම එහිදී සමස්ත ශ්‍රී ලංකාවෙන්ම කුසලතාවක් දිනා ගැන්මටද පිරිවෙණ සමත් විය.
වර්තමානයේ පිරිවෙණ පවත්වාගෙන යෑමට විශාල බාධාවක් එල්ල වී ඇත්තේ වඳුරන්ගෙනි. පිරිවෙන් ශාලාවේ වහලය මතට වඳුරන් නිතරම පැනීම නිසා එහි වහලය ඇතැම් ස්ථානවලින් පුපුරා ගොස් වැසි දිනවලට පිරිවෙන් ශාලාව ගංගාවක් මෙන් දිස්වන තත්ත්වයක් පවතී. මේ නිසා මේ වස්සාන සමයේ පිරිවෙණ පැවැත්වීමට විශාල බාධාවක් සිදුව ඇත.
මූලික ශ්‍රේණියේ සිට මූලික පිරිවෙන් අවසන් ශ්‍රේණිය දක්වා පන්ති 6ක් පිරිවෙණ තුළ පවත්වාගෙන යනු ලබන අතර, වත්මන් ටැම්පිට විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ වන බෝගස්වැවේ විපස්සී නායක ස්වාමින් වහන්සේගේ අප්‍රතිහගත ධෛර්යය හා වර්තමාන කෘත්‍යාධිකාරීන් වහන්සේ වන ලක්සිරිගම නන්දසිරි ස්වාමින් වහන්සේගේ උත්සාහයෙන් වර්තමාන පරිවේණාධිපතීන් වහන්සේ වන අම්බුළුගල වාචිස්සර ස්වාමින් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය යටතේ පිරිවෙණ ඉතා සාර්ථකව පවත්වාගෙන යන බව නියෝජ්‍ය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී, පූජ්‍ය පදවියේ ධම්මදස්සි හිමියෝ පවසති. කුඩා සාමණේර ස්වාමීන් වහන්සේට අධ්‍යාපනයට විශාල බාධාවක් වී ඇති පිරිවෙන් ශාලාවේ වහලය අලුත්වැඩියා කර දීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති.
lතාරක වික්‍රමසේකර