– මේ වන තෙක් රජයේ කිසිදු නිලධාරියකු වැව බලන්නට ඇවිත් නැහැලු
– වාර්ෂිකව පොල් ගෙඩි ලක්ෂ පහක් නිපදවීම ඔහුගේ පළමු ඉලක්කයයි
– අක්කර දෙක හමාරක වැවක් තනා ඉඩම් අක්කර විසි හතක් වගා කරන ඇඹිලිපිටියේ පශ්චාත් උපාධිධාරී තරුණයෙක්
– ඔහුගේ ඉල්ලීම රටේ තරුණ තරුණියන්ගෙන් 25%ක්වත් ගොවිතැන්වලට යොමු කිරීමයි
ඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ කොස්වැටිය පාසල අසලින් ඇති තිත්තවැල්පත මාර්ගයේ කිලෝමීටර් තුනක් දුරින් කරවිලයාය හතරමං හන්දිය හමුවෙයි. ඒ හතරමං හංදියෙන් කිලෝමීටර්යක් දුරට ගිය තැන කොහොඹ ගහ වැව හමුවෙයි. මේ ගමන දුෂ්කර නිසා තිත්තවැල්පත කොළදිවියංකඩ කන්ද අසලින් නැවතී ගිමන් හරින්නන්ට ඈතින් උඩවලව ජලාශය ද වැව්බැම්ම ද පෙනෙයි. මේ දුෂ්කර ගමන රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලෙබැද්ද නගරයේ කෙළවරෙන් මුත්තෙට්ටපොළ ගල්පාය හරහා ලයිට් පාරේ කිලෝමීටර් හතරක් ඉදිරියට ගොස් අති දුෂ්කර මඟක් ඔස්සේ තවත් කිලෝමීටර් එකහමාරක් ගිය විටද කොහොඹගහ වැව හමුවෙයි. මේ ගමන කටුක වුව ද බදුල්ල, බණ්ඩාවෙල, බෙරගල හා බලන්ගොඩ සුන්දර කඳුවැටි ඒ මඟ ඔස්සේ යන්නකුට දැක ගත හැකි වෙයි.
අතිදුෂ්කර වුව ද මේ ලයිට් පාරෙන් අතීතයේ සංචාරකයන් බලන්ගොඩට ගිය බව ද කියැවෙයි. සංඛපාල රජ මහා විහාරයට අයත් නින්දගමේ මේ කොහොඹ ගහවැව පිහිටා තිබෙයි. අක්කර දෙළොස්දහස් හාරසියක් සංඛපාල රජ මහා විහාරස්ථානයේ නින්ද ගමට අයත් වෙයි. මේ නින්දගම පිළිබඳ නොයෙක් ජනප්‍රවාද තිබේ. දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝධයන්ගේ එක් යෝධයෙක් වන පුස්සදේව විසින් සංඛපාල කඳු මුදුනට ගොස් හක්ගෙඩිය නාද කළ පසු ඒ ශබ්දය ඇසුණ දුර ප්‍රමාණයට අනුව සංඛපාල විහාරස්ථානයට නින්ද ගම් නියම කෙරිණි. ඒ අනුව සංඛපාල රජමහා විහාරස්ථානයට අක්කර 12400ක නින්ද ගමක් හිමි විය.
පෙර කල සිට මේ නින්දගමට අයත් ඉඩම්වල සංඛපාල අවට ගමේ ගැමියෝ වගා කරති. ඒ ඉඩම්වලට අයත් බදු ගෙවති. එසේ බදු ගෙවමින් මේ නින්ද ගමේ ඉඩමක වගා කළ එම්. එල්. හේමානන්ද සහ ඔහුගේ බිරියට ගොවිතැන අසීරු කාරියක් විය. එයට හේතුව නියඟයට හසුවී බොහෝවිට වගා පාළු වෙන නිසාවෙනි.
එම්. එල්. හේමානන්ද සහ එච්. එම්. චන්ද්‍රාවති ඔවුන්ගේ පුතනුවන් වන ප්‍රසාද් හරීන්ද්‍ර කුමාරට නිතර පැවසුවේ කුඹුරු රස්සාව අතහැර දිනක රජයේ රැකියාවක් ලබා ගැනීමට හොඳින් ඉගෙන ගත යුතු බවයි. ඒ බලාපොරොත්තු ඉටු කරමින් ඔහු විශ්වවිද්‍යාල උපාධිධරියකු විය. දැනට ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙක් ලෙස ද හේ කටයුතු කරයි. එහෙත් ඔහු පියාගේ රැකියාව නම් අතහැරියේ නැත. මේ ප්‍රදේශය වියළි කලාපයට අයත් වසරේ වැඩි කාලයක් වර්ෂාව නොලැබෙන ප්‍රදේශයකි. ඒ නිසා ගොවිතැන් කටයුතු බොහෝ අභියෝගාත්මකය. තම පියා කර්කෂ පොළවත් සමඟ ගැටුණ ද එහි නිසි ඵල නෙළා ගැනීමට නොහැකි වූයේ නියඟය නිසා ජලය හිඟවීමෙන් බව ඔහු අත්දැකීමෙන් දැන සිටියේය.
වර්ෂාවක් නොලැබෙන කර්කෂ පොළොවත් සමඟ ගැටෙමින් නෙළා ගන්නා අස්වැන්න ප්‍රසාද්ගේ පියා කිලෝ මීටර් ගණනක් පාපැදියේ තබාගෙන විකිණීමට නගරයට යන විට ප්‍රසාද් පියාගේ පාපැදිය පසුපසින් දිව ගියේය. ‘පුතේ ගොවිතැන් කරන්න මේ පොළවත් එක්ක ගැටෙන එක හරි දුකක්. මේක අතහැරලා ඔයා හොඳින් ඉගනගෙන හොඳ රස්සාවක් කරන්න ඕන. මේ ජීවිතය දුකක්. මේ දුකෙන් මිදෙන්න නම් හොඳට ඉගෙන ගන්න යැයි ප්‍රසාද්ගේ පියා නිතර කිවේය.
එහෙත් තමා හැදී වැඩුණු නියර කුඹුර පැහීගෙන එන නිල්වන් ගොයමට සතා සීපාවුන්ට ඔහු වඩාත් ප්‍රිය කළේය. ඔහු මහා පොළවට බොහෝසෙයින් ආදරේ කළේය.
පියාගේ බලාපොරොත්තුව ඉටු කරමින් විශ්වවිද්‍යාල උපාධිධාරීයකු රජයේ සේවකයකු වන ප්‍රසාද් ගොවිකම අතහැරියේ නැත. පශ්චාත් උපාධිධාරීයකු වන සංඛපාල කොළඹගෙආර මොරගොඩ ලියනගේ ප්‍රසාද් හරීන්ද්‍රකුමාර (41).
“තාත්තා වැඩ කරන කොට මම බලා හිටියා. නියං කාලයට හරිම අසීරුවෙන් තමයි ගොවිතැන් කරන්නෙ. මේ දේට හේතුව ජලය නැතිකම කියලා මම කල්පනා කළා.”
ඔහු මේ රළු පොළව සමඟ ගැටෙන්නට ඒ දුෂ්කර අභියෝගය භාර ගත්තේය. සිය පියාට ගොවිතැන එතරම් සුන්දර නොවූයේ වසරේ වැඩි කාලයක් වැසි නොලැබෙන නිසා වගා පාළු වන නිසාවෙනි. ඔහුට වෙහෙස මහන්සිය තරම් අස්වැන්න නොලැබුණු වාර ගණන වැඩි ය. ඒ නිසාම මහපොළවත් සමඟ ගැටෙන්නට සිය පියා විඳි අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව උපේක්ෂාවෙන් යුතුව බලා සිටි ප්‍රසාද් අක්කර දෙක හමාරක නිල් දියවර පිරි වැවක් තනිවම නිර්මාණය කිරීමට අදිටන් කර ගත්තේය. මේ ඒ අනුව කොහොඹගහවැව නිර්මාණය විය. වැව් ඉස්මත්තට යාන්තම් පෙනෙන උඩවලව රක්ෂිතය නිසා වැව ඉතා සුන්දරය. වැවේ පතුල සමාන්තර උසකින් පිහිටයි. එය අඩි 65ක් පලළයි.අඩි 165 දිගකින් යුතු බැම්මක් මේ වැවේ නිර්මාණය වී තිබේ. මීටර් 500ක් දුරට වැවෙන් කෘෂිකර්මාන්තය පෝෂණය වන ජල ධාරාවක් ගලා යයි. අක්කර දෙකක වැවක් තනියම තනා ඉඩම් අක්කර විසි හතක් වගා කිරීමට හැකි විය. ඔහුට මේ සත්කාර්යයට විහාරස්ථානයේ හාමුදුරුවෝ, මිතුරන්, අහල පහළ අය උදව් කරල තියනවා. මම අක්කර 20ක් සාර්ථක ලෙස වගා කටයුතු කර ගෙන යනවා.
මේ කර්කෂ පොළවත් සමඟ ඔට්ටුවෙමින් ගොවිතැන් බතක් සරි කරන මාපියන්ගේ සෙවණක හැදුණු ප්‍රසාද්ට පශ්චාත් උපාධිය දක්වා ගිය ගමන ද කොහොඹ ගහ වැව තනන තරමටම දුෂ්කරය. එහෙත් හයක් හතරක නොදන්නා කුඩා කල සිට ගොවිතැනට හොඳ නෑකමක් ඔහු සතු විය. “අපේ කුඩා කාලයේ ඉඳලා ම ගොවිතැනත් එක්ක ලොකු නෑකමක් තිබුණා.
“මම පුංචි කාලේ ඉඳලා ම ආදරය කළේ පරිසරයට. මම කල්පනා කළා උපාධියක් ගන්නවා කියල කියන්නෙම රජයේ රස්සාවක් කරනවා කියන එක නෙවෙයි කියලා. අපි කැමති දේවල් සහ ආස කරන දේවල් එක්ක ජීවිතය විඳින්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ සිහිනය තිබුණෙ හොඳට ගොවිතැන් කරන හොඳ ගොවියෙක් වෙලා රටට ජාතියට ණය නැති මිනිහෙක් විදිහට මැරෙන දවසට සැනසීමෙ මැරෙන්න පුළුවන් කියලා.
මම පාසල් ගියේ තිත්තවැල්පොත විද්‍යාලයට. උසස් පෙළට ගියේ පල්ලෙබැද්ද මහ විද්‍යාලයට. ඊට පස්සෙ රුහුණු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරැවා. නැවත කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. ඒ වගේම විවෘත විශ්ව විද්‍යාලයේ පරිසර කළමනාකරණය හා සංරක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් කළා. මේ ඔක්කොම සුදුසුකම් ටික තියාගෙනත් මම ආණ්ඩුවේ රැකියාවකට ඉල්ලුම් කළේ නැහැ. එහෙත් පසුව මම රජයේ රැකියාවකට ගියා”.
ඔහු පළමු වර සාමාන්‍ය පෙළ අසමත් වී දෙවන වරටත් පෙනී සිට විශිෂ්ට ලෙස සමත් වී තිබේ. උසස් පෙළට ද මුහුණ දී පළමු වර අසමත් වී දෙවන වර උසස් පෙළට පෙනී සිට පල්ලෙබැද්ද මහා විද්‍යාලයෙන් සරසවි වරම් හිමි කර ගත්තේය. ඔහු විශේෂ වන්නේ දුක් ගැහැට මතින් රුහුණු විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා උපාධිය නිසා නොවේ. කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් පශ්චාත් උපාධිය නිසා ද නොවේ. විවෘත විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් පරිසරවේදී විශේෂ ඩිප්ලෝමාව නිසා ද නොවේ. නොපසුබට උත්සාහය ජීවිතයේ හැම අභියෝගයක් ම භාර ගැනීමට සමත් විය. ඔහු සුවිශේෂ වන්නේ ඒ හෙයිනි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙවරක් කර උපාධි වරම් ලබාගත් ඔහු උත්සාහයෙන් උනන්දුවෙන් සියලු දෙනා කළ නොහැකියි බව කියන කොහොඹගහවැව තැනිමේ අභියෝගය භාර ගත්තේය. ඔහු අවසානයේ කොහොඹ ගහ වැව තැනුවේය.
“විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අතරත් නිවාඩුවට ගෙදර එන්නෙ ගොවිතැන් කරන්න බලාගෙන. මට හිතුණා තාත්තා කරගෙන ආපු ගොවිතැන්වලට තාක්ෂණය මුසු කරන්න. ඒ වගේම ඉඩම් ප්‍රමාණයත් වැඩි කළා. ඒ දවස්වල තාත්තා නියං කාලයට හරිම අසීරුවෙන් ගොවිතැන් කරන්නෙ. පැළ විනාශ වෙනවා. අස්වැන්න අඩු වෙනවා. මේ තත්ත්වයට ස්ථිර විසඳුමක් ලබා ගන්න ඕන කියලා මම හිතුවා. මට හිතුණා මේ ඉඩමේ ම වැවක් හදලා වහින කාලයට අපතේ යන ජලය රඳවා ගන්න ක්‍රමවේදයක් සකස් කරන්න ඕන කියලා. “මේ වැව හදන්න පටන් ගත්තේ 2012 වසරෙදී. වැව හදන්න සල්ලි තිබුණෙත් නෑ. ඒත් මම ටික ටික පියවරෙන් පියවර අක්කර දෙකහමාරක වැවක් හැදුවා. අවසන් කළේ 2021දි. වැවට නමක් තිබ්බා. කොහොඹගහවැව කියලා. ඊට හේතුව කොහොඹ ගසක් අසල පිහිටා තිබෙන නිසා. දැන් කරදරයක් නැතුව වැස්ස නැති කාලයටත් වගා කරන්න පුළුවන්. මේ පළාතේම ජලය හිඳුණත් වැව නිසා ගොවිතැන්වලට බාධා වෙනව අඩුයි.
“රටේ සල්ලිවලින් ඉගෙනගෙන රජයේ නොවන රස්සාවක් කරන්නේ ඇයි කියලා ගොඩක් දෙනා මගෙන් ඇහුවා. මම ඒ අයට කිව්වෙ ඇයි අපි රටට දෙයක් කරන්න මෙච්චර කම්මැලි වෙන්නෙ කියලා. අද මාත් පවුල් පහකුත් හවුල් වෙලා ගොවිතැන් කරනවා. දවසකට අපේ ගොවිබිමේ මිනිසුන් විසිපහක් තිහක් වැඩ කරනවා. ඒ අනුව රටේ ආහාර නිෂ්පාදනයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. වසරකට කන්න දෙකට වී කිලෝ විසිපන්දහසකට වැඩිය දෙන්න පුළුවන්. කුඹුරු අක්කර පහක් වැඩ කරනවා. ඒ වගේ ම වට්ටක්කා කිලෝ දහදාහක්, එළබටු කිලෝ විසිදහසක්, මෑකරල් කිලෝ දෙතුන් දහසක්, තක්කාලි කිලෝග්‍රෑම් පන්දහසක් වගේ අස්වැන්න ලැබෙනවා.ඒ වගේම මම කැරට්, බීට්, නොකෝල්, රතුලූනු වගා කරනවා. කෙසේ වෙතත් ඒ ඒ කාලවල වෙළෙඳ පොළ ඉල්ලුමට සරිලන විදිහට තමයි මම ගොවිතැන් කරන්නෙ.දැනට පොල් වත්තෙන් පොල් ගෙඩි හාරදහසක් විතර එක වරකට කඩනවා. මේ වන විට අක්කරයක ටොම්ජේසී අඹ වගා කරල තියෙනවා. මේ හැම එකක් ම මගේ ආර්ථිකයට වගේ ම රටේ නිෂ්පාදනයට එකතු කිරීමට ලැබීම ලොකු සතුටක්.”
“මේ වැව හදල තියෙන්නෙ මගේම සල්ලිවලින්. රටේ මොන දේ කිව්වත් බැහැ කියන මිනිස්සු ඉන්න රටක මට පුළුවන් වුණා ඕනම දෙයක් කරන්න පුළුවන් කියල පෙන්වන්න. මම පරිසරය විඳිනවා. වැවට ජලය බොන්න, නාන්න කුරුල්ලන්, උරගයින් හා සිව්පාවුන් ඇතුළු සත්තු විශාල ප්‍රමාණයක් එනවා. සංචාරක පක්ෂීන් එනවා. වැවක් හැදුවා ම ජලජ පරිසරයක් නිර්මාණය වෙනවා. භූගත ජල මට්ටම ඉහළට එනවා. ඒ ආශ්‍රිතව භූමිය පුරාම ජල අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. මේ නිසාම මම මේ පරිසරයට හරි ආදරෙයි. සිංහල හින්දු අවුරුදු දවසෙත් මම ගොවිපොළේ ඉන්නේ. මේක පරාර්ථකාමී ක්‍රියාවලියක්. ඒ නිසා මේ ගොවි බිම මගේ ආත්ම තෘප්තියට හේතු වෙනවා.
“සංඛපාල රාජමහා විහාරස්ථනයට අයත් නින්ද ගමේ ඉඩමක අපි වගා කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට වගා කරගෙන ආව විදිහටයි. වාර්ෂික බදු පදනම මත අරගෙන තියෙන්නෙ. ඒ ස්වාමීන් වහන්ලාසේලාගේ ආශීර්වාදය අපිට තියෙනවා.
වැවක් හැදුවෙ කොහොමද කියලා හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනවා. වැව් බැම්ම, සොරොව්ව, පිට වාන අධ්‍යයනය කළා; ඒ දැනුම අරගෙන මේ වැව මගේම නිර්මාණයක් විදිහට කළා. වෙනත් තාක්ෂණික උපදෙස් ගත්තෙ නෑ. රංජිත් සුරංග, අබේනායක මෙටල් ක්‍රෂර් එක වාහන දුන්නා. ටිපර් රථ දුන්නා. යාළුවො උපකාර කළා. අතමාරුවට සල්ලි දුන්නා. උදව් කරපු සියල්ල මතක් කරන්න අවශ්‍යයි. රජයට අයත් කිසිම ආයතනයකින් ඇවිල්ලවත් බලලවත් සහයක් දීලාවත් නෑ. අද වෙනකම් කිසිම නිලධාරියෙක් වැව බලන්නවත් ඇවිල්ලා නැහැ. දැනට මේ වැවේ ජලයෙන් වගා කරලා පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. පොළව වියළී ගියත් වැව නිසා ගොවිතැනට අවශ්‍ය ජලය කොහොඹගහ වැවෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා.
තිඹොල්කැටිය ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ විවිධ භෝගයන්ට අදාළ නිලධාරීන්ගේ අධීක්ෂණය සහ උපදෙස් නම් නිතරම ලැබෙනවා.
ප්‍රසාද්ගේ කෘෂිකාර්මාන්තය ආශ්‍රිත ඉලක්ක රැසක් වෙයි. වාර්ෂිකව පොල් ගෙඩි ලක්ෂ පහක් නිපදවීම ඔහුගේ පළමු ඉලක්කයයි. තවත් වසරකින් එම සිහිනය සැබෑ කර ගැනීමට ඔහුට හැකි වනු ඇත. ප්‍රසාද් පදිංචි නිවෙසේ සිට කොහොඹ ගහ වැව ඇත්තේ කිලෝමීටර 8ක් දුරිනි. එහෙත් ඔහු දිනපතාම තම වගා බිමට පැමිණෙයි. දුක් මහන්සි වී වැඩ කර රටට ජාතික ආර්ථිකයට සෘජුවම දායක වෙන්න හිතක් පහළ වීම සිදුවන්නේ ද කලාතුරකිනි. ප්‍රසාද් සත්පුරුෂයෙක් වන්නේ ඒ හෙයිනි.
“සතුන්ගේ හානි, නිෂ්පාදන සඳහා අවශ්‍ය බීජ, පොහොර, පළිබෝධනාශක, වල් නාශක මිල ඉහළ යෑම දැඩිව බලපානවා. නිෂ්පාදන වියදම ඉහළ යන තරමට ආදායම ප්‍රමාණවත් නැහැ. ඇග්‍රො ටුවරිසම් කෘෂි සංචරණය මෙම ස්ථානයට හඳුන්වා දීම මගේ බලාපොරොත්තුව. දැනට ඒ සඳහා මුල පුරල තියෙන්නෙ.”
මේ තිත්තවැල්පත ලයිට් පාර ගමේ පොදු ගැටලු රැසක් ඇති බව ඔහු පවසයි. ගමේ පවුල් ප්‍රමාණය අඩුයි. විශාල පිරිසක් භාවිත කරන මාර්ගයක් අබලන්ය. කොළඹගෙආර සිට බලන්ගොඩට යාමට හැකි මේ මාර්ගය වසර ගණනාවකින් පිළිසකර කර නැත. උඩවලව සංචාරයට පැමිණෙන විදේශීය සංචාරකයන් මේ මාර්ගයෙන් බලන්ගොඩට යාමට පැමිණ බෙහෙවින් දුෂ්කර නිසා ආපසු හැරී යන අවස්ථා නිතර දකින්නට ලැබෙන බවද ප්‍රසාද් පවසයි. ඒවගේම කෘෂි නිෂ්පාදන නගරයට ගෙනියාම ද එය විශාල අභියෝගයකි.
“අපේ රටේ පුරවැසියන්ට යුතුකමක් සහ වගකීමක් තියෙනවා රට වෙනුවෙන් ඉටු කරන්න. එනම් මියැදෙන්නට පෙර අපේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට අවශ්‍ය බව ප්‍රසාද්ගේ අදහසයි. ඔහුගේ ඉල්ලීම රටේ තරුණ තරුණියන්ගෙන් සියයට විසිපහක්වත් ගොවිතැන්වලට යොමු විය යුතු බවයි. යහපත් ආකල්ප සංවර්ධනය කර ගත යුතුයි. අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට පෙර අපි රට වෙනුවෙන් කුමක්ද කළේ ද යන්න සිතිය යුතුයි. අපේ යුතුකම් ගැන තුට්ටුවකටවත් මායිම් නොකර අයිතිවාසිකම් ගැන පමණක් කතා කිරිමෙන් කිසිදු දිනක අපේ රට දියුණු නොවන බව ඔහුගේ අදහසයි.
තුෂාර හෙට්ටිආරච්චි, සුභද්‍රා දේශප්‍රිය