Home » පැය 7කින් ඔබේ සියලු ප්‍රාර්ථනා සපල වන කතරගම දේව බලගතු ස්තෝත්‍රය

පැය 7කින් ඔබේ සියලු ප්‍රාර්ථනා සපල වන කතරගම දේව බලගතු ස්තෝත්‍රය

කතරගම දේව දිෂ්ටිය 554 වර සජ්ජායනා කිරීමෙන් නොසිතූ විරු ප්‍රතිඵල

by Mahesh Lakehouse
November 4, 2023 12:40 am 0 comment

දිෂ්ටි කරගන්නා තල තෙල් බිඳුවක් කතරගම දේව පිළිරුවක් ඉදිරියේ පහනකට දමා ඔබේ ප්‍රාර්ථනාව ඉටුකර දෙන ලෙස ඉල්ලන්න

සියලු සතට සෙත සලසන අති උත්තම කතරගම දෙවියන්ගේ පිහිට ආධාරය නොඅඩුවම ලබාගත හැකි ක්‍රමවේද අතරින් ඔබගේ ප්‍රයෝජනය සඳහා මෙවර ඉදිරිපත් කරනු ලබන්නේ උන්වහන්සේගේ ආකර්ෂණය සහ බලය නොඅඩුවම ලබාගත හැකි ඉතා බලසම්පන්න කතරගම දේව දිෂ්ටියයි. මේ දේව දිෂ්ටිය ඉතාම බලගතුය. මෙය භාවිතයේදී ප්‍රතිඵල නෙළාගත හැකි ක්‍රමවේද රාශියකි. නමුත් ඔබගේ පහසුව තකා ඔබට පහසුවෙන් සිදුකර ගත හැකි ක්‍රමවේදයක් මෙම ලිපිය මඟින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. කතරගම දෙවියන්ගේ අනුහස පිළිබඳව ඉදිරිපත් කරන ලිපි පෙළේ සිවුවැන්න මෙයයි.

ජීවන ගමනේ විවිධ හැලහැප්පීම් සහ ඔබට ඇතිවන මානසික පීඩාවලදී දෙවියන්ගේ පිහිට ආධාරය ප්‍රාර්ථනා කිරීම අපේ සමාජයේ බොහෝ දෙනාගේ පුරුද්දකි. සාමාන්‍යයෙන් කිසිවකු තම ප්‍රශ්නය ගැටලුව තමා විසින්ම දෙවියන් ඉදිරියේ කීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබෙන බව සමහර විට ඔබ නොදන්නා එහෙත් සත්‍ය කාරණාවකි.

බොහෝ අය හුරු පුරුදුව සිටින්නේ කපු මහත්වරු ලවා දෙවියන්ට කන්නලව් කිරීමටය. ඔබට එසේ කිරීමේදී යම් පිරිවැයක්ද දැරීමට සිදුවන නිසා තම කාරණාව තමා විසින්ම දෙවියන්ට කීමට පුරුදු වුවහොත් ඔබට දෙවි දේවතාවන්ගෙන් අතිවිශාල සහනයක් ලැබෙනු ඇති බව නම් සත්‍යයකි.

විශේෂයෙන් කතරගම දෙවියන් යනු බෞද්ධ තිසරණ සරණයෙහි පිහිට ඇති ප්‍රතාපවත් දෙවි කෙනෙකි. ධර්මානුකූල දිවිපෙවෙතක් ගතකරන එසේම තිසරණයේම සරණයෙහි පිහිටා බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ වූ භක්තියකින් විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබට කතරගම දෙවියන්ගේ අනුහස් තේජස් භාවය ඇස්පනාපිට දැකිය හැකිය. මෙම ලිපි මාලාවෙන් ඔබ කතරගම දෙවියන්ගේ සැබෑ අනුගාමිකයකු භක්තියකු වන්නේ නම් ඔබට වෙනත් කිසිම ආරක්ෂාවක් අවශ්‍ය නොවේ.

මෙවර ඉදිරිපත් කරන්නේ කතරගම දෙවියන්ගේ ආරක්ෂාව ලබාගත හැකි බලගතුම ක්‍රමවේදයකි. මෙහි සත්‍යතාව ඔබට සියැසින්ම දැකගත හැක. මෙහි පළ වන කතරගම දේව දිෂ්ටිය මුලින්ම 524 වර කියවා ඔබට ‘සිද්ධි’ කරගත යුතුය. දේව දිෂ්ටිය සිද්ධි කරගත යුතු විශේෂ ක්‍රමවේදයක් ඇත.

ඒ නියමිත ශාස්ත්‍රීය කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කිරීමෙන්ම පමණි.

කල් නොයවා ඉන් නිසි ප්‍රතිඵල ලබාගත හැකිය. මෙම කතරගම දේව දිෂ්ටිය යමෙක් පළමුවර කියවන්නේ නම් පුර පක්ෂයේ කෙම්මුර දිනක අලුයම 4.30ට එය ආරම්භ කළ යුතුය. දණහිසෙන් ඉහළ උස් ස්ථානයක රතු රෙද්දක් එළා ඒ මත පිරිසිදු අඹ කොළ අතුරා ඒ මැද කට පළල් භාජනයක තල තෙල් බඳුනක් තබා වටේට රතු මල් අතුරා බුලත් කොළයක් මත මැටි පහනක් තබා එය තල තෙල්වලින් දල්වා අඟල් අටක පමණ තැඹිලි කොළයක් ගෙන තෙල් බඳුන නොකඩවා කලතමින් එක දිගට 544 වර මෙහි සඳහන් කතරගම දිෂ්ටියෙන් දිෂ්ටි කර ගන්න.

පසුව ඔබට ඕනෑම අවස්ථාවකදී ඕනෑම ගැටලුවකදී එම තෙල් බිංදුවක් කතරගම දේව පිළිරුව ඉදිරියේ පහනකට දමා දල්වා තම ප්‍රාර්ථනය කියන්න.

සහතික වශයෙන්ම පැය 7ක් යාමට පෙර ඔබගේ ප්‍රාර්ථනාව සත්‍ය වශයෙන්ම ඉටු වනු සත්‍යයය.

උන්වහන්සේගේ දේව ආකර්ෂණය, දේව ආරක්ෂාව, නොඅඩුවම ඔබට ලැබෙනු නියතය.

අප කතරගම දෙවියන් උදෙසා බාරහාර වී ඉක්මන් ප්‍රතිඵල ලබාදීමේදී මෙම ක්‍රමය පරම්පරාවෙන් සිදු කරන බැවින් අත්දැකීම් බහුල නිසා ඔබට සහතික කර මෙය ප්‍රකාශ කළ හැකිය. අති ප්‍රබල මෙම දේව දිෂ්ටිය ඇසුරෙන් ප්‍රතිඵල නෙළා ගැනීමේදි ඔබ පුදුමයට සහ විස්මයට පත්වනු ඇත. මෙය ශීලාදි ගුණයෙහි පිහිටා සිදු කරන්න. තෙරුවන් නැමද පින් දී දෙවියන් සතුටු කරන විට ඔබගේ කාර්යයන් ඉටු වනු ඇත. මේ සියල්ල අවසානයේ ඉතාම පිරිසිදු සිතින් තුන් සිතම පහදා උන්වහන්සේ බලාපොරොත්තු වන්නා වූ තුන් බෝධියෙන් එක් බෝධියක අවබෝධය ලබා ගැනීම සඳහා වූ පාරමිතා බලයට දුකට පත් සවුසතට සෙත පතා ශන්ති දානය කිරීම සඳහා දේව අවබෝධය ශක්තිය ලැබේවා යැයි සිතමින් උන්වහන්සේට පින් දෙන්න.

මහානුභාව සම්පන්න කතරගම දේව දිෂ්ටිය

ඉතිපීසෝ භගවා හර හර සම්මුඛ දේවා වාවා
අරහං හර හර සම්මුඛ දේවා වාවා
සම්මා සම්බුද්ධ හර හර සම්මුඛ දේවා වාවා
විජ්ජාචරණ සම්පන්නෝ හර හර සම්මුඛ දේවා වාවා

සුගතෝ හර හර සම්මුඛ දේවා වාවා
ලෝක විදු හර හර සම්මුඛ දේවා වාවා
අනුත්තරෝ හර හර සම්මුඛ දේවා වාවා
පුරිස ධම්ම සාරථී හර හර සම්මුඛ දේවා වාවා
සත්ථා දේව මනුස්සානං හර හර සම්මුඛ දේවා වාවා

බුද්ධෝ භගවාති හර හර සම්මුඛ දේවා වාවා
අභිධර්මය දෙසු මුනි අදිටනින් සම්මුඛ දේවා වාවා
මුනිගුණ අණයට ඕඩිවාවා සිඝ්‍ර වාවා
තෙරුවන් අණයට ඕඩි වාවා ඕඩි වාවා

පින් දීම

කඳ කුමර සුරින්දා – ජීවයේ පිහිට රන්දා
සතට සුවය බන්දා – දුන් සෙනෙහේ නිබන්දා
සිහිකර මන නන්දා – අත නළල් හිම බන්දා
වැතිර තුති පලන්දා – පින් පුරමි වන්ද වන්දා

සළාතනෝ මහා දේවා
බලෝ මයුර වාහනෝ
දේවින්දෝ කාචර ගාමේ
ඉමං පුඤ්ඤාණු මෝදතු

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division