ජනතාවගෙන් පුංචි තිරය ප්‍රතික්ෂේප වෙමින් තිබුණු යුගයක ටෙලි නාට්‍ය සදහා කතා රසයක් ඇති නිර්මාණ බිහිකිරීමට පෑන අතට ගත් ඔහු සද්ධා මංගල සූරියබණ්ඩාර. නිවේදකයෙක් හැටියට සාර්ථක වූ ඔහු මේ වෙද්දී අංක එකේ පිටපත් රචකයා බවට පත් වෙලා අවසන්. ඔහු ලියන හැම නිර්මාණයක්ම ආදරයෙන් ජනතාව වැලඳගන්න පෙලඹිලා. සම්මානනීය නිර්මාණ චරිත බිහි කළ සම්මානනීය තිරපිටපත් රචකයෙක් වූ සද්ධාගේ හා ඔහුගේ පුංචි පවුල ගැන යි මේ වතගොත
සද්ධා මංගල සූරියබණ්ඩාර කියන නම දැන් අංක එකේ තිර පිටපත් රචකයෙක් බවට පත් වෙලා, අපි මුලින්ම ඒ ගැන කතා කරමු..?
අංක එකද දන්නෙ නැහැ. නමුත් මේ දවස්වලත් මම ලියූ නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඇත්තටම කිව්වොත් මම තිරපිටපත් ලියන්න පටන් ගන්නේ මට වයස අවුරුදු 45දී. මේ වෙද්දී නාඩගම්කාරයෝ , කෝලම් කුට්ටම , පාරදිගේ, සල්ලි පොකුරු, සර්කස්කාරයෝ, ලක්ෂපතියෝ. වගේ නිර්මාණ බිහි කරන්න මගේ පෑන හා සිතුවිලි ඉවහල් වුණා. මේ කෙටි කාලයේ තිරපිටපත් ලිවීම තුළ යම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන මටත් සතුටු වෙන්න පුළුවන්.
ඔබ කරන නිර්මාණවල නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ බිරිඳ. ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක මුදල් යට කරලා මුදල් හොයන්න පුළුවන් ද කියන ප්‍රශ්නය ඔබටත් ඇති..?
මගේ බිරිඳ චේතනා වගේම ශ්‍රීලාල් වික්‍රමගේ හා ජනක ඉදිප්පිලිගේ නිෂ්පාදන දායකත්වය සපයනවා. නිෂ්පාදකයින් විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකද නිර්මාණ බිහි කරන්න මේ කාලේ මුදල් යොදවනවා කියන්නේ ලොකු දෙයක්. ලොකු ලාභ නැතත් කලාවට තියෙන ආදරේ නිසා උණ තියෙන නිසා අවදානමක් අරන් මුදල් යොදවනවා. මේ වෙද්දී නාට්‍ය 400ක් විකාශන පෝලිමේ නාළිකාවල තියෙද්දි මගේ නිර්මාණ භාර ගන්න ඕනම චැනල් එකක් අවස්ථාව ගන්නවා. ඒක වාසනාවක්. ටෙලි කලාව නිෂ්පාදකයින් නැතුව ඉදිරියට ගෙන යන්න බැහැ .
මයික්‍රෆෝනයක් ඉදිරියේ කතා කළාට ඔබ ආස කළේ පෑනක් අතට අරන් ලියන්න . එහෙම නේද ..?
මම නිවේදනයට ආස කළේ නැහැ , මට ඕන වුණේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. තිරපිටපත් ලියන්න, ප්‍රඩක්ෂන් පැත්තට, ඒත් අයියා චන්දන සූරියබණ්ඩාර ටී. එන්. එල්. එකේ වැඩට ගියා. ඊට පස්සේ අයියා මට අවස්ථාවක් අරන් දුන්නා මගෙ හැකියාව එළියට දාන්න. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මම නිවේදකයෙක් වුණා. ටී. එන්. එල්. ටික කාලයක් ඉඳලා අයියා ස්වර්ණවාහිනීයට ගියා මම ජාතික රූපවාහිනියට ගියා. ඔය හේතු නිසා තිරපිටපත් පැත්ත මඟහැරුණා. අවසානයේ දි කැමති දේ කරන්න ඉඩ ලැබුණා.
නිවේදකයෙක් හැටියට තවමත් ජනප්‍රිය ඔබේ සහෝදරයා චන්දන හා ඔබ අතර සමීප සම්බන්ධතා තිබ්බා,..?
අපි දෙන්නා අතර වයස් පරතරය අවුරුද්ද යි. මම මල්ලී එයා අයියා. ඒ වුණාට බොහෝ දෙනෙක් කියන්නේ මම චන්දනගේ අයියා කියලා. ඒත් මම මල්ලි. දැන් නම් අයියගේ කළු කෙස් ටික ටික සුදු වෙලා නිසා ඒ මගේ අයියා කියලා පේනවා. කොහොම නමුත් කියන්න ඕන මම මාධ්‍යට එන්නේ ඔහු නිසා කියලා. ඒ වගේම ඒ කාලේ අපි දෙන්නා හරි සමීපයි. දැන් රාජකාරි නිසා දෙන්නම කාර්‍යබහුල වෙලා. අපි අපේ වැඩ එක්ක කාලේ යොදවනවා. ඉඳහිට තමයි මුණගැහෙන්නේ.
සද්ධා මංගල සූරියබණ්ඩාර ගේ ස්කිල් එක හඳුනාගෙන ස්කිල් එක මාකට් කරන්නේ ඔබේ බිරිඳ ..?
මගේ ස්කිල් එක මාකට් කරන්න පටන් ගත්තේ මගේ බිරිඳ චේතනී. ඒක තමයි ඇත්ත. මම මාධ්‍ය ආයතනවල වැඩ කරද්දී වෙනත් රැකියා කළා. චේතනී මගෙන් වැඩක් ගන්න ඕන නිසා එයා ඇකඩමි එකක් පටන් ගත්තා තිර රචනයට අවතීර්ණ වෙන්න පෙලඹුවා. තිර රචනය කරන්න පටන් ගත්තට පස්සේ චේතනී කිව්වා නිෂ්පාදනය පැත්තට යොමු වෙමු කියලා, සංවාද කරා.
අතිශය කාර්‍යබහුල ඔබ ඔබේ රාජකාරිය විතරක් කරද්දී ඈ ඔබට සහය වෙමින් කුටුම්බයත් ඇදගෙන යනවා..?
චේතනී විජේතුංග කියන තරුණිය මට මුලින්ම දකින්න ලැබෙන්නේ මම ඇඩික් එකේ වැඩ කරද්දී, එයා ආවේ ස්වේච්ඡා සේවිකාවක් හැටියට. ඒ හඳුනා ගැනීම ආදරේ දක්වා දුර දිග ගියා. ඒ කාලේ එයා චන්න විජේවර්ධනගේ ගෝලයෙක්. මම මාධ්‍යයේ හිටියට එයා මාධ්‍යට සම්බන්ධ වෙන්නේ මගේ පස්සෙන් ඇවිත් නෙමෙයි, එයාම හොයාගෙන ගිය ගමනක් ඒක. එයා පත්තරේක වැඩ කළා. ඊට පස්සේ ලක්හඬ එක්ක එකතු වුණා. අපි විවාහ වුණා. පුතා ඉඳුවර ලැබුණා. ඒත් ඒක්ක එයා මාධ්‍ය ජීවිතේට සමුදීලා ටික දවසක් ගියාට පස්සේ ඇකඩමි එක පටන් ගත්තා. අම්මගේ, බිරිඳගේ වගකීම් වගේම හැම වැඩක්ම කරන්නේ එයා. මම මහා රෑ 12ටත් පිටපත් ලියද්දි එයාට මාර ඉවසීමක් තියෙනවා ඒවා ඉවසන්න. මගෙන් වෙන්නේ රාජකාරි වැඩ විතරයි. වාහනේ හෝදන්න ගෙනියන්නෙත් එයා. ඇත්තටම එයා මට හයියක්.
පුතා ඉඳුවර පොඩියට හිටියට නළුවෙක් ගායකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්..?
අපේ පුතා ඉදුවරඩ පොඩි කාලේ හරි ලජ්ජාශීලි දරුවෙක්. එයා කැමති නැහැ පිරිස්ගත වෙන්න. නළුවෙක් වෙන්නෙ අහම්බෙන් එයාට අනූව. මගේ වයිෆ් කිව්වා පුතාව ඇකඩමි එකට දාමු සබකෝලෙත් යයි කියලා. ඉතින් චේතනීගේ කැමැත්ත එක්ක පුතාගේ අකමැත්තෙන් එයාව අපේ ඇකඩමි එකට දැම්මා. යද්දීම කිව්වා මැදට ගෙන්නල මාව රඟපාන්න දැම්මොත් මම ගෙදර එනවා කියලා. ඒ නිසා එයා කැමති විදිහට එහි නාට්‍ය ගැන ඉගෙන ගන්න ඉඩ දුන්නා. එයාට කැමැත්තක් ඇවිත් එයාම කිව්වා තාත්තා මට පොඩි චරිතයක් දෙන්න බැරිද නාඩගම්කාරයෝ නාට්‍යයේ කියලා . දෙන්න චරිතයක් නොතිබ්බ නිසා පාර දිගේ නාට්‍යට අවස්ථාව අරන් දුන්නා. එයා සාර්ථකව කළා. ඊට කලින් එයා අවුරුදු 10 දි ගිටාර් ඉගෙනගන්න මධුරංග මල්ලි ළඟට දැම්මා. රංග දසනායක ගෙන් ඉගෙන ගත්තා සංගීතය, විශාරද කරා. ඊට පස්සේ අග්නි පියාපත් නාට්‍යයේ හා නාට්‍ය පහක පසුබිම් සංගීතය එයා කරා. එයාව කලා කාරයෙක් කළේ එයාගේ අම්මා චේතනී.
නාට්‍යයක් අවසන් වුණාට පස්සේ කොපමණ කාලයක් ගන්නවද ඊළඟ පිටපත ලියන්න ..?
ඇත්තටම කිව්වොත් විවේක බුද්ධියෙන් ලියන්න දැන් නම් කාලයක් නැහැ. හැම නාට්‍යකම මුලින්ම එපිසෝඩ් විස්සෙන් විස්සට ලියන්නේ. සමහර වෙලාවට එක නාට්‍යක් ඉවර වෙන්න කලින් අලුත් එකක් ලියනවා. නාට්‍ය දෙක තුනක පිටපත් එකට ලියනවා. නිදහසේ කාලය අරන් ලිව්වේ නාට්‍ය දෙකයි. ඒ කළු අරලිය හා නාඩගම්කාරයෝ නාට්‍ය දෙක. සල්ලි පොකුරු ලිව්වේ සති එකහමාරකින්. ආසයි නිදහසේ කාලේ අරන් ලියන්න.
කලාකරුවෝ ඕනෑම කලා කටයුත්තක් කරන්න අත්දැකීම් එක් රැස් කරන්න ඕන. ඔබ කොහොමද නාට්‍යයෙන් නාට්‍ය වෙනසකට ලක් කරන්නේ ..?
චිත්‍රපටයක් බලන්න පොතක් කියවන්න මට කාලයක් නැහැ. ඒ කාලේ සමහර සිදුවිම් අත්දැකීම් මම තවමත් මගේ පිටපත් අතරට ගෙන එනවා. මිනිස්සු එක්ක කතා කරද්දී ඒ කතා කරන විදිහ හැසිරෙන විදිහ මම සමහර චරිත ලක්ෂණ කර ගන්නවා. එයා ඇඹිලිපිටියේ. කොහොම නමුත් බණ්ඩා ජනතාව ආදරෙන් වැලඳගත්තා. පොලිසිය, හොරු, පාතාලේ අය, වගේ පිරිස් එක්ක ගැටෙන්න මාධ්‍ය ජීවිතේ ඉවහල් වුණා. ඒ අත්දැකීම් වුණත් මම චරිත අතරට අරගෙන ඇවිත් තියෙනවා.
ඔබේ හිතේ මැවෙන චරිත ඔබ ලිව්වට. ඔබ ලියන දේ කියවලා ඔළුවට දා ගන්න දේ එක්ක තමයි අධ්‍යක්ෂ චරිත කැමරාවට ගෙන එන්නේ, වෙනස් විම් එද්දී ඔබ මොකද කරන්නේ ..?
නාට්‍ය ෂූටිං කරද්දී මම යන්නෙ නැහැ, මුල් කොටස බලන්න විතරයි යන්නෙ. සමහර දවස් තියෙනවා මම නාට්‍ය අධ්‍යක්ෂක ශිවා එක්ක රණ්ඩු කරගත්ත. මම කියන දේ අහලා වෙනස් කරපු තැන් වගේම ඔහොම පොඩ්ඩක් ඉවසපං බං කියලා මට කෑගහලා ශිවා එයාට ඕන දේ කරපු අවස්ථාත් තියෙන. මොන වෙනස කරත් කරපු වෙනස අසාර්ථක වෙලා නැහැ. සාර්ථක වුණා මිසක්.
ශිවගුරු නාදන් එක්ක විතරද වැඩ කරන්නේ ..?
වැඩිපුර වැඩ කරන්නේ ශිවා එක්ක. සංජය නිර්මාල් එක්ක හා ක්‍රිෂ්ටි ශෙල්ටන් එක්ක නාට්‍ය දෙක බැගින් කරලා තියෙනවා
සද්ධා මංගල සූරියබණ්ඩාර කියන නම නිසා නාට්‍ය නරඹන අයත් ඉන්නවා, ඒ ගැන කියලා කතාබහට සමු දෙමු..?
එහෙම පිරිසක් ඉන්න එක ගැන සතුටක් තියෙනවා. ඇඟිලි සලකුණු , ඕල්රයිඩ් බ්‍රේක් ඩවුන් වගේ වැඩසටහන්වලින් නිවේදකයෙක් විදිහට මාව හඳුන ගත්ත සුළු පිරිසක් මම ලියන නාට්‍ය නරඹනවා කියන්නත් පුළුවන්, කොහොම නමුත් නාට්‍යයට සම්බන්ධ වුණු සියල්ල ඒ සාර්ථකත්වයට හේතුවක් කියලා මතක් කරන්න ඕන.
හර්ෂණී වීරරත්න