කම්කරුවකු ලෙස සේවය කළ අයකු සේවය අත්හැර ගොස් සිටිය දී ඔහුට වසර හතර කාලයක් වැටුප් ලෙස රුපියල් ලක්ෂ 17ක මුදලක් ගෙවන්නට තරම් වගකීම් විරහිත නිලධාරින් මහනුවර මහ නගර සභාවේ සිටින බව පසුගියදා අනාවරණය වූයේ විගණන පරීක්ෂණයකදී ය. එහි උණුසුම යන්නටත් මත්තෙන් නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණ හතරක පිහිටි කඩ කාමර 31කින් කඩ කුලී අය කළ බවට ව්‍යාජ රිසිට් පත් අංක යොදා රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත් දහස් හයසීයක (82,77,600) ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව තිබෙන බව අනාවරණය විය.
වර්ෂ 2018 සිට 2023 ජූලි 31 දින දක්වා කඩ කුලී ආදායම් රැස් කිරීමට අදාළ නියැදි පරීක්ෂාවක දී නගර සභාව සතු කැප්පෙටිපොල, බෝගම්බර, කටුගස්තොට, මැණික්කුඹුර හා මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ යන වෙළෙඳ සංකීර්ණයන් හි පවත්වා ගෙන ගිය කඩ කාමර 31 කට අයත් කුලී හා දඩ මුදල් අය කිරීමට අදාළව නගර සභාවේ ආදායම් අංශයේ පරිගණක ගත කර තිබෙන දත්ත හා මුදල් කුවිතාන්සි පරීක්ෂා කිරීමේ දී මෙම තොරතුරු හෙළි කරගෙන තිබුණේ ජාතික විගණන කාර්යාල නිලධාරීන් ය.
මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ ගණකාධිකාරි, ආදායම් විෂයභාර නිලධාරීන්, පිරික්සුම් නිලධාරීන් හා ආදායම් පරීක්ෂක නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණයක් නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස 2018 සිට 2023 දක්වා වූ කාලය තුළ මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුව තිබෙන බව ද විගණන නිලධාරීන් හෙළි කරගෙන තිබිණි. කඩ කුලී ලේඛනවල මිශ්‍ර ආදායම් අංශයේ වෙනත් ආදායම් ලැබීමට අදාළ රිසිට්පත් අංක යොදා කඩ කුලිය හා දඩ මුදල ලැබුණු බවට බිල් කිරීම් මඟින් සිදුව තිබෙන මූල්‍ය අක්‍රමිකතාව රුපියල් හැට හතර ලක්ෂ හැත්තැ හය දහස් හාරසිය දාහතරක් ද විවිධ ආදායම් විෂයන් යටතේ ආදායම් අය කිරීම සඳහා නිකුත් කළ සත්‍ය රිසිට්පත්වල අංක කඩ කාමර කුලී අය කිරීම් ලේඛනයේ ව්‍යාජ ලෙස සටහන් කර කඩ කාමර 24ක රුපියල් 64,76,414ක කුලිය හා දඩ මුදල් ද නගර සභා අරමුදලට බැර කර නොතිබිණි. කඩ කාමර කුලී අය කිරීම් ලේඛනවල කඩ කාමර 11ක කුලී අය කළ බවට ව්‍යාජ මුදල් කුවිතාන්සි අංකයක් සටහන් කර අවස්ථා 13ක දී රුපියල් 7,23,754ක අක්‍රමිතාවක් සිදුකර ඇත. කඩ කාමර 07කින් මුදල් අය කළ බවට කඩ කාමර කුලී අය කිරීම් ලේඛනවල කුවිතාන්සි අංකයක් හෝ සටහන් නොකර අවස්ථා 08ක දී රුපියල් 3,77,787ක මුදලක් අය කළ බව ව්‍යාජ ලෙස සටහන් කර තිබෙන බව ද විගණන විමසුමේ දී අනාවරණය වී තිබිණි.
මෙම වංචා සිදු කළ බවට චෝදනා එල්ල වූයේ නිශාන්ති මැණිකේ නැමැති නගර සභාවේ ආදායම් අංශයේ හිටපු කළමනාකාර සහකාරවරියකට ය. නගර සභාවේ වසර 08 ක් පමණ අඛණ්ඩව සේවය කළ ඇය මෙම වංචාව සම්බන්ධ තොරතුරු අනාවරණය වන විට සිටියේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ රාජකාරි කරමිනි. ඒ 2023 වසරේ ජනවාරියේ වාර්ෂික ස්ථාන මාරු යටතේ ඇය එහි සේවයට ගොස් තිබීම හේතුවෙනි. මෙම වංචාව පිළිබඳ සෙවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ගේ උපදෙස් මත මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු විසින් පරීක්ෂණ කමිටුවක් පත් කරනු ලැබීය. වහාම අදාළ සේවිකාව ගේ සේවය අත්හිටුවන ලෙස කමිටුව නිර්දේශ කළත් එය දිනෙන් දින ප්‍රමාද විය. පසුව අනාවරණය වූයේ වැඩ තහනම් කිරීම අනුමත කරමින් පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ වෙත යොමු කළ ලිපිය ප්‍රධාන අමාත්‍යාංශයේ සේවකයෙකු සති දෙකක කාලයක් තිස්සේ කිසිදු හේතුවක් නොමැතිව රඳවා තබාගෙන සිට ඇති බවයි. කෙසේ හෝ ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීමෙන් පසු අදාළ නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් සේවිකාවක ගේ වැඩ තහනම් කරනු ලැබීය.
මෙම වංචාව සම්බන්ධ පරීක්ෂණ අවසන් වීමට පෙර ඇය විසින් කළ බව කියන තවත් වංචාවක සුලමුල අනාවරණය කර ගැනීමට විගණන අංශ සමත් විය. මහනුවර මහ නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ 04ක කඩ කාමර 18ක බදු අයිතිය එක් බදු කරුවකු ගෙන තවත් අයකුට පැවරීමේ දී ගාස්තු වශයෙන් අය කර තිබූ රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂ අනූ තුන්දහස් හත්සිය අනූවක (13,593,790) මුදලක් නගර සභා අරමුදලට බැර නොකර තම පෞද්ගලික ගිණුම් තුනකට එම මුදල් බැර කර ගැනීමට අදාළ සේවිකාව කටයුතු කර තිබිණි. මෙම වංචාව හෙළි වීමත් සමඟ අදාළ කළමනාකාර සහකාරවරිය නගර සභාවේ සේවය කළ වසර හතකට ආසන්න කාලයේ දී වංචා කර තිබෙන මුළු මුදල රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අනූවකි. මහනුවර නගර සභාව සතු කඩ කාමර බදු ගත් පුද්ගලයන් ඒවාහි ව්‍යාපාර කරගෙන යන අතරතුර වෙනත් අයට පවරන අවස්ථා වල දී ආසන්න වශයෙන් රුපියල් 5,45,000ක මුදලක් බදුකරු විසින් නගර සභාවට ගෙවිය යුතුය. කටුගස්තොට මැණික්කුඹුර වෙළෙඳ සංකීර්ණයේ කඩ හිමියකු මෙසේ පැවසුවේය. නගර සභාවෙන් ගත්ත කඩයක් මට කටුගස්තොට තියෙනවා. කඩ හිමියෙක් එයාගේ කඩේ මට පවරා දෙන්න කැමැති වුණා. අපි ගනුදෙනු කතා කර ගත්තා. පස්සේ ඒක නීත්‍යනුකූලව පවරා ගන්න අවශ්‍ය කටයුතු කර ගන්න නගර සභාවට ගියාම නිශාන්ති කියන නිලධාරිනිය කිව්වා ඒවා කරන්න හරි අමාරුයි ටිකක් කල් යනවා කියලා. ඊට පස්සේ එයා කතා කරලා කිව්වා නගර සභාව කඩ කාමර පැවරීමේ දී අය කරන මුදල එයාගේ ගිණුමට දාන්න එතකොට ෆයිල් එක හදලා ඉක්මනට දෙන්නම් කියලා. සල්ලි දැම්මට පස්සේ එයා කඩ කාමරය පැවරීමේ බදු ඔප්පු පිළිවෙළට හදලා දුන්නා. ඒකේ හත් දෙනෙක් අත්සන් කරලා තියෙනවා. විගණනයෙන් ප්‍රශ්න කළාම තමයි අපි දන්නේ මෙතන වංචාවක් වෙලා තියෙනවා කියලා.
දැනට චෝදනා එල්ල වී සිටින නිශාන්ති මැණිකේගේ සැමියා සිටින්නේ විදේශගතව ය. දැනට සති දෙකකට පමණ ඉහත දී ඇය කල් ඉකුත්ව තිබූ තම විදේශ ගමන් බලපත්‍රය ද අලුත් කරගෙන තිබෙන බව දැන ගන්නට තිබේ. මේ ඔස්සේ ඇය විදේශ ගත වීමේ සූදානමක් තිබෙන බවට අනුමාන කළ හැකිය. කෙසේ වුවත් ලිපිය ලියන දිනය වන විටත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇයට එරෙහිව විදෙස් ගතවීමේ තහනම් නියෝගයක් ලබාගෙන නොතිබිණි.
කඩ කාමර පැවරීමේ ක්‍රියාවලිය ආවාට ගියාට කළ නොහැකි ය. වංචාවක් සිදුවීම වැළැක්වීම සඳහා සකස් කළ අධීක්ෂණ ක්‍රියාවලියකට එය යටත් ය.
මූලික මුදල් ගෙවීම් වලින් පසු පිරික්සුම් නිලධාරි අත්සන් කර එය ආදායම් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි වෙත යොමු කළ යුතුය. ඉන්පසුව අදාළ ලිපි ගොනුව යන්නේ ප්‍රධාන පරිපාලන නිලධාරි වෙතය. එතැනින් අනුමැතිය ලද පසු නැවත එය ආදායම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයාගේ අධීක්ෂණයට යොමු කෙරේ. ඉන් නොනැවතී ප්‍රධාන ගණකාධිකාරිවරයාගේ අනුමැතියට යන ලිපි ගොනුව බදුකරු වෙත නිකුත් කෙරෙන්නේ නාගරික කොමසාරිස්ගේ ද අත්සන ඊට ලැබුණු පසුවය. සභාව ක්‍රියාත්මක වන සමයේ දී නම් එයට අවසන් අත්සන යොදනු ලබන්නේ නගරාධිපතිවරයා ය.
මේ ආකාර වංචා සිදුව තිබෙන බව විගණනය මඟින් අනාවරණය කර තිබියදී පසුගිය 19 වැනි දින නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියක ආදායම් ලෙස නගර සභාවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51ක මුදලක් නගර සභා ගිණුමට බැර නොකර රැගෙන ගොස් තිබුණේ දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කරන්නට ය.
මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මෙසේ කීවේය.
‘පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාට මම කිව්වා නගර සභාවට ගිහින් මේ ගැන විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව වැඩ තහනම් කිරීම මේ වන විට සිදු කර තිබෙනවා. අධීක්ෂණ ක්‍රියාවලියේ දුර්වලතා රැසක් තිබෙන බව මේ වංචා දිගින් දිගටම සිදුවීම තුළින් පැහැදිලි වෙනවා. මොකද එකපාරක් දෙපාරක් නෙවෙයි අවුරුදු හතරක් පහක් මේක වෙනකොටත් අධීක්ෂණ නිලධාරීන්ට ඒක අහුවෙන්නේ නැහැ කියන්නේ ඒක ප්‍රශ්නයක්‘
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශ හා අධ්‍යාපන ලේකම් මේනක හේරත් මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.
‘මම නාගරික කොමසාරිස්වරයාට දැනුම් දුන්නා එකම දෙපාර්තමේන්තුවේ අවුරුදු 03 ට වැඩියෙන් ඉන්න අය වෙනත් දෙපාර්තමේන්තුවලට දාන්න කියලා. නගර සභාවේ ඉන්න හැමෝම හොරු නෙවෙයි. ඉතාම හොඳින් කැපවීමෙන් රාජකාරි කරන බහුතරයක් ඉන්නවා. යම් තැනක සොරකමක්, වංචාවක් වෙනවා නම් ඒ තැනින් ඒක කරන පුද්ගලයා වෙනත් දෙපාර්තමේන්තුවකට ගියාම අලුතින් එන කෙනාට කලින් හිටපු කෙනා කරපු දේවල් අහු වෙනවා. මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලකගේ අදහස මෙසේය.
‘ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම මූල්‍ය වංචාවන්ට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් නගර සභාව මහනුවර පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළා. පොලිස් විමර්ශන වගේම පළාත් පාලන කොමසාරිවරියගේ උපදෙස් මත විශේෂ කමිටුවක් මඟින් ද මේ ගැන පරීක්ෂණයක් සිදු කරනවා.
මධ්‍යම පළාත් සභාවට අයත් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවලත් මහනුවර මහ නගර සභාවේත් පසුගිය වසර පහක කාලය තුළ රුපියල් ලක්ෂ 700ක පමණ මූල්‍ය වංචා සිදුව තිබේ. මෙම වංචාවලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ වැඩ තහනමට ලක්වූ පස් දෙනාගෙන් සිවු දෙනෙකුම කාන්තාවන් ය. මොවුන්ගේ වැඩ අධීක්ෂණය භාරව සිටි පරිපාලන නිලධාරින් සිය වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙතෙක් සෑහීමකට පත්විය හැකි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර ඇතැම් වගකිව යුතු ඇතැම් නිලධාරීන් මේ වන විට පසුවන්නේ විශ්‍රාම යෑමේ වයසට ආසන්නව ය. වංචා හා දූෂණ කරන පුද්ගලයන්ගේ ජාලය හඳුනා ගැනීමට ප්‍රමුඛතාව දෙන්නේ නම් මධ්‍යම පළාතේ රාජ්‍ය මුදල් රුපියල් කෝටි ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.
ඡායාරූප- මහනුවර මහ නගර සභාව
මහනුවර, අසේල කුරුළුවංශ