Home » පොත් මිල ඉහළ නගිද්දී පහළ යන කඩදාසි මිල

පොත් මිල ඉහළ නගිද්දී පහළ යන කඩදාසි මිල

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

– කඩදාසි මිල අඩුවීමේ වාසිය යටිමඩි ගැහුවේ ප්‍රකාශකයන් ද?
– 2022න් පසු 400%කින් වැඩිවූ කඩදාසි මිල පසුගිය ජුනි මාසයේ සිට 40% අඩුවීමක් 
– කොවිඩ් කාලේ වහපු සමහර ප්‍රෙස්වල ප්‍රින්ටින් මැෂින් කිලෝ ගාණට නාඩාර්ලා කඩනවා
– පුහුණු මැෂින් මයින්ඩර්ලා පිටරට යන්නේ මිදි කඩන්න, ලෙඩ්ඩු බලාගන්න ජොබ්වලට
– කොරෝනාවලට ගමේ ගිය මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් ගමේ කුඹුරු කොටනවා, ආයෙ කොළඹ ප්‍රෙස්වලට ආවේ නැහැ
– තරුණ පරපුර මුද්‍රණ යන්ත්‍ර පුහුණුවට එන්නේ නෑ
– ඩිජිටල් ක්‍රමවලට මුද්‍රිත පොත් සහ අයිතම රාජ්‍ය ලේඛනාාගරය ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරයි

ඩදාසි හිඟය හේතුවෙන් ටෙලර් ගනුදෙනුව වෙනුවෙන් රිසිට්පත් නිකුත් නොකරන බව කරුණාවෙන් සලකන්න.

මින් ඉදිරියට විදුලි බිල්පත් හෝ රතු නිවේදන කඩදාසි නිකුත් නොකරන අතර ඔබේ දුරකතන අංකය මනු කියවන්නාට ලබාදී ඔන්ලයින් රෙජිස්ටර් වන්න ඊ.ටී.එෆ්. ‘C’ පෝරමය දැන් නිකුත් කරනු නොලැබේ. කරුණාකර එය භාගත කර ගන්න.

කඩදාසි, පත්තර, කරදාසි හෝ පත්තර යන මොනවායිනුත් කියන්නේ ඒවා යොදා ගන්නේ මුද්‍රණාලවල මුද්‍රණ වැඩවලට බවය. අන්ධානුකරණයෙන් ‘ඔන්ලයින්’ කරණයට බිලිවීමත් සමඟ මෙරට මුද්‍රණ වෙළඳපොළ දැන් මුහුණපාමින් සිටින්නේ ඉතිහාසයේ දැවැන්තම අභියෝගයටය.

ලංකාවට මුලින්ම එක්දහස් අටසියගණන්වල ආ මුද්‍රණ යන්ත්‍ර අතින් කරකවන හා පයින් පාගා ක්‍රියාත්මක කරන යන්ත්‍රය. එහෙත් පසුකාලීනව පැමිණි සියලු යන්ත්‍ර විදුලියෙන් ක්‍රියා කරන ඒවාය. මුද්‍රණ යන්ත්‍රවලට ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ත්‍රිෆේස් විදුලියයි. විදුලි බිල මුද්‍රණ කර්මාන්තයේදී මුද්‍රිත අයිතමය ඩිසයින් කිරීම, ප්ලේට් දැමීම, මුද්‍රණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම, කඩදාසි කැපීම, ඩයිකටින් බයින්ඩින්, ලැමිනේට්, වානිෂ් ආදී සියලු අංගෝපාංග සඳහා අත්‍යවශ්‍යම අංගයකි. පසුගියදා ඇති වූ විදුලි බිල වැඩිවීමේදී මුද්‍රණ කර්මාන්තය මහත් අභියෝගයකට ලක්විය. අප මේ ගැන මුලින්ම විමසුවේ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති අනිල් කාරියවසම්ගෙනි.

“මේ විදුලි බිල මහා පරිමාණ මුද්‍රණකරුවන්ටත් වඩා බලපාන්නේ සුළු පරිමාණ මුද්‍රණකරුවන්ට. මහා පරිමාණ මුද්‍රණකරුවන්, ත්‍රිෆේස් ජෙනරේටර් සහ සෝලාපවර් වගේ මූලාශ්‍රවලින් සාමාන්‍ය විදුලි බිලට අඩුවෙන් විදුලිය ලබාගන්න යොමු වෙනවා. ඒත් සුළු පරිමාණ මුද්‍රණකරුවන්ට මේ පහසුකම් ලබාගන්න මූල්‍යමය හැකියාවක් නැහැ. විදුලි බිලට සමාන්තරව සියලු සේවා හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා මුද්‍රණ අයිතමවල නිෂ්පාදන පිරිවැය වැඩිවීම මුද්‍රණ ගාස්තු ඉහළ යාම ක්‍රමිකව සිදුවන්නක්.”

කොරෝනා වසංගතයත් සමඟ මෙරට බොහෝ මුද්‍රණ ආයතනවලට තම සේවකයන්ට පඩි ගෙවන්නට සිදු වූයේ සියලු මුද්‍රණාල වසා තිබියදීය. කොළඹ නැවතී සිටි මුද්‍රණාවල සේවකයන් ඒ අවස්ථාවේ ගමට ගිය අතර අන්තිමට ඔවුන් ගෙදරට වී කොස් ගෙඩියක් කා, කුඹුරක ‘කයියකට’ සැට් වී ගමට අනුගත ජීවිතයට හුරු විය. අවසානයේ කොරෝනාවෙන් පසු රට ප්‍රකෘති තත්ත්වයට පත්වෙද්දී මේ ගමට ගිය බොහෝ ‘මුද්‍රණ පුහුණු ශ්‍රමිකයන්’ නැවත කොළඹ ආවේ නැත. ඇතැම් සේවකයන් මාස ගණනක් ‘පින් පඩි’ ගෙන වැඩි ලංසුවකට වෙනත් මුද්‍රණාලවලට මාරු විය. අවසානයේ වූයේ මෙරට කොළඹ කේන්ද්‍ර කරගත් දැවැන්ත මුද්‍රණාල පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයකට මුහුණපෑමය.

දැවැන්ත මුද්‍රණ ආයතනවල පවා වැටුප් ගෙවීමට අපහසුව වාර කිහිපයකින් පඩි කොටස් ලෙස මුදාහැරීම නිසා මුද්‍රණ යන්ත්‍රවල, බයින්ඩින් යන්ත්‍රවල, ලැමිනේටින් යන්ත්‍රවල, ඩයිකටින් යන්ත්‍රවල පුහුණු ශ්‍රමිකයන් විදේශගත වූයේ තම පුරුදු ‘ප්‍රින්ටින්’ රස්සාවට නම් නොවේ. ඔවුන්ගේ විදේශ රැකියා අතර මිදිවතුවල මිදි කැඩීම, වයසක ලෙඩ්ඩු ලබා ගැනීම, හෝටල්වල කෝකියාට අලළුණු කපා අත්උදව් දෙන සහායකයන් ආදී රැකියා ද විය.

මේ මුද්‍රණ කර්මාන්ත අර්බුදය ගැන අප ඊළඟට කතාබස් කළේ තමාගේම මුද්‍රණ ව්‍යාාපරයක් පවත්වාගෙන යන කාන්තා පාර්ශ්වයකිනි. ඇය දිස්නා අතාවුදය. ඇගේ මුද්‍රණ ව්‍යාපාරය සන්රේ කලර් ග්‍රැෆික් නමින් පිහිටියේ මරදානේය.

“දැන් ප්‍රින්ටින් වැඩ අඩුයි. ඒ කියන්නේ සේල්ස් අඩුයි. මගේ මුද්‍රණාලයේ සොසේජස් පැක් කරන පෙට්ටි ගහනවා. සොසේජස් අලෙවිය අඩු නිසා දැන් පෙට්ටි ගහන්නේ අඩුවෙන්. බිස්කට් මිල වැඩි වුණාම මිනිස්සු බිස්කට් කන්නැතුව ගියා. ඒ නිසා පැකේජින් මැටීරියල්වලට ඉල්ලුම අඩුවුණා.

“පරිගණකයත් මුද්‍රණ වැඩ අර්බුදයක් ඇතිවන්න හේතු වුණා නේද?” මගේ ඊළඟ ප්‍රශ්නය විය.

“ඔව් ඉස්සර ලෙටර් හෙඩ් එකක් ප්‍රින්ට් කරල ඒක දාන්න ලියුම් කවරයකුත් ප්‍රින්ට් කරා. දැන් ලියුම ටයිප් කරල ඊමේල් කරනවා. ඒකෙන් ප්‍රින්ටින්වලට ලොකු පහරක් එල්ල වුණා.”

දිස්නා කියන්නේ ජනතාව ලීසිං, ෆිනෑන්ස් ණය ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා නොගැනීම සහ ආයතන මඟින් ඒවා ලබා නොදීම නිසා ද බඩට පහර වැදුණේ මුද්‍රණාලවලට බවය.

“ඉස්සර ණය ඉල්ලුම් පත්‍ර, ගැරන්ට ෆෝම්, රතු නිවේදන, ලෝන් ඇරියස් රිමයින්ඩ් ෆෝම් දැන් යනවා අඩුයි. වට්ස්ඇප් කරනවා, නැත්නම් ඊමේල් කරනවා.”

අප මුද්‍රණ අර්බුදය ගැන කරුණු සොයන විට රටේ ප්‍රධාන රක්ෂණ සමාගම්, බැංකු, ෆිනෑන්ස් කොම්පැනි සඳහා ඩයරි, කැලැන්ඩර් මුද්‍රණය කරන මුද්‍රණාල ගැන විපරම් කරන්නට ද අමතක කළේ නැත. එවැනි දැවැන්ත මුද්‍රණ ඇණවුම් ටෙන්ඩර් භාරගන්න මුද්‍රණාලයක කළමනාකරු අපට කිව්වේ මෙවැන්නකි.

“පසුගිය අවුරුදුවල එක ඉන්ෂුවරන්ස් කම්පැනියක් පොඩි ස්ලිම් ඩයරිය, ඩෙස්ක් ඩයරිය, මැනේජ්මන්ට් ඩයරිය වර්ග තුනම කස්ටමර්ලාට නිකම් දුන්නා. ටේබල් ටොප් කැලෙන්ඩර්කුයි, පින්තූර පිටු 12ක කැලැන්ඩරේ එක්ක දින කැලැන්ඩරුත් ගැහුවා. සාමාන්‍යයෙන් මේවා ප්‍රින්ට් කරන්න පටන් ගන්නේ සැප්තැම්බර්වල. ජනවාරි මුල් සතිය වෙනකම් ප්‍රින්ට් කරනවා. මේ සැරේ ඒවා මුකුත් නෑ.”

මුද්‍රණ යන්ත්‍රවලට අමතර කොටස් ගෙන්වූයේ අසූව දශකය වනවිටත් ජර්මනියෙනි. එහෙත් ඒ කොටස් ලංකාවේ මුලින්ම ලේට් පට්ටලවල දමා ලියන ලද්දේ සුගතදාස ස්ටේඩියම් ඉදිරිපිට කලම්බෝ ලේට්වර්ක් අධිපති හෙට්ටිආරච්චි විසිනි.

“ඉස්සර නම් මේ වගේ නත්තල් – අලුත් අවුරුදු සීසන් එකට කලින් මුද්‍රණවල මැෂින් ගලවල සර්විස් කරලා ගෙවුන කෑලි ලියවල දානවා. දැන් එහෙම කරනවා අඩුයි. දැන් කටර් බ්ලේඩ් එකක් මුවත් තියන්නම රුපියල් 1500/=ක් විතර යනවා. තලයක් මුවත් තියන ගිනිගලක් තිබ්බේ රුපියල් 9500/=යි. දැන් ගිලි ගලක් රුපියල් 38,000/=යි. ප්‍රින්ටින් මැෂින්වල ආනයනය කරන කොටස් වගේම බෙයාරින්, ස්ප්‍රින් වගේ කොයි දේත් 300%කින් විතර මිල වැඩිවෙලා තියෙන්නේ.”

ලංකාවේ දැවැන්තම මුද්‍රණ ආයතනයක් වන්නේ ප්‍රින්ට් කෙයාර් පී.එල්.සී. ය. එහි කළමනාකාර අධ්‍යක්ෂ නිශාන්ත පෙරේරා මුද්‍රණ හිමියන්ගේ සංගමේ විධායක සභිකයෙකි. මේ මුද්‍රණ අර්බුදය ගැන නිශාන්ත අදහස් දැක්වූයේ මෙසේය.

“අපි කියන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම ප්‍රින්ටර්ස්ලා එක්වෙන්න ඕන කියලා ප්‍රින්ටර්ස් ඇසෝසියේෂන් එකට. අපේ සංගමය තමයි ආණ්ඩුව එක්ක කතා කරල කඩදාසිවල බද්ද අඩු කළේ. ඩොලර් හිඟ වෙච්ච වෙලාවේ ලංකාවේ කඩදාසි නැතුව ගොඩක් ප්‍රෙස් වැහුවා. මුද්‍රණාල හිමියෝ ඔක්කොම එකතු වුණොත් අපිට ආණ්ඩුවට අපේ බලය – එකමුතුකම පෙන්නල මීට වඩා සාධාරණ සහනයක් ලබාගන්න පුළුවන්.”

එයිට්කන් ස්පෙන්ස් ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් ආයතනය මෙරට තවත් දැවැන්තම මුද්‍රණ ආයතනයකි. එහි කළමනාකාර අධ්‍යක්ෂ දේශාන්ත සිල්වාත් ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සමිතියේ විධායක සභිකයෙකි. ඔහු මේ මුද්‍රණ අර්බුදය ගැන දක්වන්නේ වෙනස් අදහසකි.

“කවුද කියන්නේ ප්‍රින්ටින්වල අර්බුදයක් ගැන. රටේම කර්මාන්ත පහුගිය ආර්ථික අර්බුදයට මුහුණ පෑවා. ඩොලර් ප්‍රශ්නය මුද්‍රණ කර්මාන්තයට කෙලින්ම බලපෑවා. මොකද මේ කොළ, බෝඩ් ගේන්නේ චීනෙන් – ඉන්දියාවෙන් – ඉන්දුනීසියාවෙන් නිසා. ඊටත් වැඩිය මේවායේ මිල ලෝක වෙළෙඳපොළේ වැඩි වුණා. දැන් ටිකක් අඩු වෙමින් යනවා.”

“මුද්‍රණ ශිල්පයට අදාළ ශිල්පීන් විදෙස් රැකියාවලට යාම මුද්‍රණ අර්බුදය නිසා නොවේද?” මම දේශාන්තගෙන් අසා සිටියෙමි.

“ඒක බුද්ධි ගලනය. ඔය දොස්තරලා, බෑන්කර්ස්ලා යන්නේ. ඒ වගේ ප්‍රින්ටින්වල පුහුණු ශ්‍රමිකයන්ට විශාල රැකියා අවස්ථා තියෙනවා මැදපෙරදිග. හැබැයි ඒ පුහුනු ශ්‍රමිකයන්ට විතරයි. මෙතැන වෙන්නේ අපි මුද්‍රණය කරන දේ දෙන්නේ නිෂ්පාදකයෙක් හෝ ඇසුරුම් කරන කෙනෙක්ට. එතැනදී ඉල්ලුම අඩු වුණා. ඉල්ලුම අඩු වුණ නිසා ඒ ද්‍රව්‍ය ඔතන්න ගන්න මුද්‍රිත ද්‍රව්‍ය ඉල්ලුම අඩු වුණා. දැන් චොකලට් සේල් එක, සිගරට් සේල් එක, අරක්කු සේල් එක අඩු වුණාම ඒවායේ ලේබල් මුද්‍රණ ඉල්ලුම අඩු වෙනවා. සමහර ප්‍රෙස්වල මැෂින් දුවාගන්න නිෂ්පාදන වියදමටත් අඩු මිලට (undercourt) ප්‍රින්ටින් ගත්තොත් නම් එතැන අර්බුදයක් හටගන්න පුළුවන්.”

මෙරට පත්‍රකලාවේදීන්ට වඩාත් සමීප වෘත්තීය මුද්‍රණකරුවකු වන්නේ ප්‍රේම් දිසානායකය. ඔහු ෆාස්ට් ප්‍රින්ටරි ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධානියාය.

“මේ මුද්‍රණ අර්බුදයට ප්‍රධාන සාධකය වුණේ කඩදාසි මිල 500%කින් වැඩිවී පොත් ගහන ග්‍රෑම් 70 රිම තිබ්බේ රුපියල් 3800/=යි. අන්තිමට ඒක රුපියල් 18,000/=ට ගියා. දැන් ආයිමත් රුපියල් 9000/= බැස්සා. ප්ලේට් තහඩු මිල 400%කින් වැඩි වුණා. දැන් මුද්‍රණාලයක් පවත්වා ගෙන යන එක අසීරු කටයුත්තක්. විදුලි බිලක්, ටෙලිෆෝන් බිලක් මුද්‍රණය කරන්නෙ නෑ. ඉතින් ප්‍රෙස්වලට යන කලදසාව මොකක්ද? රෙඩ් නෝටිස් එකක් එන්නේ නෑ. ස්මාට් ෆෝන් එකක් නැතුව බිල දන්නැතුව ලයිට් කපපු ගැමියකු ගියාම රුපියල් තුනයි ගාණක් අය කරල බිලක් අරන් දෙනවා.”

මේ අතර මෙරට දැවැන්තම කඩදාසි ආනයන සමාගමක් වන සයිෆි ට්‍රේඩින් වෙත ගොස් මේ කඩදාසි මිල ගණන් ගැන විමසීමට අප අමතක කළේ නැත. එහි කළමනාකරු ජෙයරාම් රාජා අප සමඟ කතාබහට එක් විය.

“කඩදාසි මිල අඩු වුණේ ජුනි, ජුලී, අගෝස්තු මාසවලදී. ඔක්තෝබර් අග ඉඳන් ආයිත් කඩදාසි මිල නඟින්න පටන් ගන්නවා. ලොකේ යුද්ධයත් තියෙන කොට ඕන දේක බුකිං ප්‍රයිස් වැඩි වෙනවා. නොවැම්බර්, දෙසැම්බර් කියන්නේ කැලන්ඩර් – ඩයරි සීසන් එකට කොහොමත් කඩදාසි මිල වැඩි වෙනවා”

මුද්‍රණ යන්ත්‍රයක ඇත්තේ ද්‍රව්‍යමය වටිනාකමක් නොවේ. එහි මුද්‍රණය කරන අයිතමයේ ගුණාත්මක බව මත නිෂ්පාදනයට මිලක් නියම වෙයි. එහෙම දැන් සුළු මධ්‍යම පරිමාණ මුද්‍රණාල හිමියන් ලක්ව ඇති අර්බුදය නිසා ඔවුනට සිදුව ඇත්තේ තම මුද්‍රණ යන්ත්‍ර ඇතුළු අනෙකුත් උපකරණ විකුණා දමා ණයතුරුස් බේරා දැමීමටය. ඒත් ඒවා ගන්නට ගැණුම්කරුවන් ලංකාවේ නම් නැත. පරණ පුරුදු ලෙටර් ප්‍රෙස් යන්ත්‍රවලට නම් විදේශීය ඉල්ලුමක් ඇත්තේ ඒවාවල කඩදාසි පෙට්ටි, ලේබල් කැපීමට හැකි නිසාය. ලංකාවේ ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට ජනප්‍රියතම මුද්‍රණ යන්ත්‍රය වන්නේ හයිඩල්බර්ග් කෝර්ඩ් ජර්මන් නම් යන්ත්‍රයයි. එහි මුද්‍රණ ප්‍රමාණය අඟල් 18″ x 24″ කි. මේ යන්ත්‍රය ලෝක වෙළෙඳපලට ඇවිත් ඇත්තේ හැටේ දශකයේදීය. වරකට තනි වර්ණයක් මුද්‍රණය කළ හැකි මේ යන්ත්‍රයත් කොරෝනා උවදුරට පෙර ලක්ෂ 30 ඉක්මවා ගිය අවස්ථා ද දැකගත හැකි විය. එහෙත් දැන් මේ හොඳ තත්ත්වයේ යන්ත්‍රයක් ලක්ෂ 15කටවත් මිලදී ගන්නට ගැණුම්කරුවන් නොසිටීම මේ යන්ත්‍ර හිමියන් තව තවත් බැංකු ණය ගොඩක එරීමට හේතුවී තිබේ. මේ ජර්මන් යන්ත්‍ර පරණ යකඩ සඳහා කැඩෙන්නේ කලාතුරකින් වන අතර අනෙකුත් ඔට්ලි, සොලෝනා, ගෙස්ටෙට්නර්, රයෝබි, මෑන්රෝලන්ඩ් වැනි මුද්‍රණ යන්ත්‍ර රාත්තල් ගාණට පත්තර නාඩර්ලාට කැඩීම හෝ ඉන්දියාවට පැටවීම සිදු කෙරෙනු දක්නට ඇත.

මුද්‍රණාලයක් පවත්වාගෙන යෑමට නිත්‍යානුකූලව එයට පරිසර අධිකාරියේ අනුමැතිය අවශ්‍යව තිබේ. එමෙන්ම එම මුද්‍රණාලය මුද්‍රණාල පත්‍ර ආඥා පනත අනුව ජාතික ලේඛනාගාරයේ ලියාපදිංචි කොට දිසා විනිසුරුවරයා ඉදිරියේ මුද්‍රණකරු දිවුරුම් දිය යුතුය. ඉන්පසු ලිත්මසක් පාසා මුද්‍රණය කළ දේවල් පිටපත් අත්සන්කොට රාජ්‍ය ලේඛනාගාරයට යැවිය යුතුය. පත්‍රිකා, පෝස්ටර්, ලියකියවිලිවලට වඩා පුවත්පත් හා සඟරා සඳහා මේ නීතිය තදින් ක්‍රියාත්මක විය. රණසිංහ ප්‍රේමදාස ජනපතිට එරෙහිව මුද්‍රණය කළ දුසිම් ගාණක් විකල්ප පත්තර මර්දනයට යොදා ගැනීම සැලසුම් කෙරුණේ මේ ආඥා පනතයි. ඒත් ඊට කලියෙන් ප්‍රේමදාස ජනපති මිය පරලොව ගියේය.

මේ මුද්‍රණාල ආඥා පනත වත්මන් අලුත් මුද්‍රණ තාක්ෂණයත් සමඟ අර්බුදයක් බවට පත්වී තිබේ. දැන් වෙළඳපොළට ඇවිත් ඇති ඩිජිටල් ඕෆ්සෙට් හෝ ඩිජිටල් ප්‍රින්ටින් මඟින් මුද්‍රණය කළ පොත්පත් රාජ්‍ය ලේඛනාගාරය මගින් ලියාපදිංචි නොකිරීම මේ අර්බුදයයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානවලදී මෙමම පනත අනුව ග්‍රන්ථය රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචිය අනිවාර්යය. එහිදී ඩිජිටල් ක්‍රම මඟින් පොත් මුද්‍රණය කරන්නන් දැඩි අසාධාරණයකට ලක් වේ.

මෙරට මුද්‍රණ ව්‍යාපාරය තුළ පැහැදිලි ලෙස දැකගත හැකි කරුණක් නම් මුද්‍රණ යන්ත්‍ර උපකරණ ක්‍රියා කරවන මැෂින් මයින්ඩර්ලා ලෙස පුහුණුවට තරුණ පරපුර එක් නොවීමය. දැනටමත් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් නොහොත් මයින්ඩර්ලා බොහෝ දෙනෙක් වයස 40 ඉක්මවූවන්ය. දැන් තරුණ පරපු වැරෙන් උස්සා මේසයක් මත තබා තට්ටු කර මුද්‍රණ යන්ත්‍රයට කොළ ඇතුළු කිරීමේ බර වැඩ කරන්නට කැමැත්තක් නැත. ඔවුන් කැමති ඒ.සී. කාමරයකට වී කකුල් වනමින් ෆේස්බුක් බලන විනෝදකාමී ජොබ් එකකටය. මේ තරුණ පරපුර මුද්‍රණ යන්ත්‍ර ඔපරේටර් රැකියාවට නොඒමෙන් සිදුවන්නේ මේ ඉන්න හතළිහ පැන්න මයින්ඩර්ලා වයසට ගොස් මිය පරලොව ගියදාක අපේ මුද්‍රණ කර්මාන්තයත් ජන්මාන්තරගත වන බව නොවේද?

මේ අතර ශ්‍රී ලංකා මුද්‍රණ ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2023, පසුගිය ඔක්තෝබර් 26 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. එය තෙදිනක් පැවැත්වේ. එමෙන්ම මුද්‍රණ සම්මාන උලෙළ පැවතුවුණේ 2023 ඔක්තෝබර් 27 වැනිදා කොළඹ 03 මැරිනෝ බීච් හෝටලයේදීය. ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පිහිටුවන ලද්දේ 1956 දීය. ශ්‍රී ලංකා මුද්‍රණ 2023 – ප්‍රදර්ශන හා වෙළඳ ප්‍රදර්ශනයෙහි ප්‍රධානියා වන්නේ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද කටයුතු කරන, කැප වූ කමිටු සභාපති උදය හෙට්ටිආරච්චි ය. ඊට සමගාමීව 2023 ජාතික මුද්‍රණ සම්මාන උලෙළේ ප්‍රධානියා වන්නේ ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ පළවැනි උප සභාපතිවරයා ලෙස කටයුතු කරන කමිටු සභාපති ජනක රත්නකුමාර ය. සංගමයේ සභාපති අනිල් කාරියසම්ගේ නොමඳ සහය, ප්‍රධාන ලේකම්, එම්. සෙන්තිනාදන් සහ ගෞරවනීය සාමාජිකයන් අනුකමිටුව – නිශාන්ත පෙරේරා දේශාන්ත සිල්වා, චායන වික්‍රමසිංහ, චමිල විතානගේ සහ වසන්ත බණ්ඩාර සමඟින් සිදුවීම් කළමනාකරු ලෙනාඩ් එඩ්වඩ්, සංගමයේ ල්කම් ලක්ෂිත සෙනෙවිරත්න සහ මූල්‍ය විධායක සෞම්‍යා ප්‍රියදර්ශනී යන අය මේ දැවැන්ත මුද්‍රණ ප්‍රදර්ශනයේ ඔසවා සිටින කාර්ය බහුල චරිතය. මාළුකාරයා, පාන්කාරයා මෙන්ම ප්‍රෙස්කාරයා යැයි මෙරට මුද්‍රණාල හිමියා අවඥාවට ලක් නොකොට ගෞරවනීය ලෙස ‘මුද්‍රණ හිමියා’ ලෙස ගෞරව නාමයෙන් ඔහු ඔසවා තැබීමට මෙම ප්‍රදර්ශනය සහ සම්මාන උලෙළ මහත් පිටුබලයක් වනු නියතය.

  

වජිර ලියනගේ, ඡායාරූප- වාසිත පටබැඳගේ, සුදත් මලවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division