Home » කඳුළු වැටුණත් නොවැටුණා සේ පෙන්වන කාන්තා හිංසනයේ ඇතුළු පැත්ත

කඳුළු වැටුණත් නොවැටුණා සේ පෙන්වන කාන්තා හිංසනයේ ඇතුළු පැත්ත

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

කාන්තාවන් පිළිබඳ සමාජයක හැසිරීම එම සමාජයේ ශිෂ්ටත්වය පමණක් නොව, සමාජ ප්‍රමිතියේ දර්ශකය ද විදහා දක්වන්නේය. කාන්තාවන්ට ගෞරවනීයව සමතැන් දී සලකනු ලබන උතුම් දර්ශනයක් වූ බෞද්ධ දර්ශනයෙන් ශික්ෂිත යැයි උපකල්පිත සමාජයක කාන්තා හිංසනය ප්‍රස්තුතයක් සේ කතා කිරීමට සිදුවීම අපේක්ෂා කළ හැක්කක් නොවේ. එහෙත් අපට ඇසෙන්නේ වාර්තාගත ආකාරයෙන් සිදුවන ළමා හා කාන්තා හිංසනය, අපයෝජනය, ස්ත්‍රි දූෂණය. කිසිම ශිෂ්ටාචාරවත් සමාජයක් අපේක්ෂා නොකරන ව්‍යභිචාරයන්ය. සමාජයක් ලෙස මේ තත්ත්වයට අප මුහුණ දී ඇත්තේ කුමක් නිසාදැයි සංවාදයක් ඇති කළ යුතු මොහොතක පසුවෙමු.

ළමා ආරක්ෂක අධිකාරියේ දත්ත ප්‍රකාරව සෑම වසරකම ළමා අපචාර සිදුවීම් 8000ක් වාර්තා වෙයි. මිලියන 20ක් ජීවත්වන රටක දළ වශයෙන් සෑම පැයකටම වරක් ළමා අපචාරයක් වාර්තා වීම සැලකිය යුතු වන්නේ කුමන බරකින්දැයි ස්වයං විවේචනාත්මකව විමසිය යුතුය. මේ අපරාධ සම්බන්ධව ප්‍රධාන නෛතික භාරය දරනුයේ ළමා හා කාන්තා කාර්යාංශය විසිනි.   

ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන විමර්ශන අංශය පවතින්නේ නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර යටතේය. ඇය අපට කියන්නී මෙවැනි කතාවකි.

“ අප ගත කරමින් සිටින මේ වකවානුවේ විශාල සමාජ වෙනසක් තිබෙනවා. ආකල්ප වශයෙන් විශාල අපගමනයක් ඇති වී තිබෙනවා. අප ජීවත් වෙන්නේ දවසකට දළ වශයෙන් ළමා ලිංගික අපචාර 10ක් වාර්තා වෙන රටක. ඉන් අවම වශයෙන් 2 ක් හෝ තාත්තගෙන්ම දුව දූෂණය වෙන සිදුවීම්. නැතිනම් දූෂණය වෙලා, ගැබ් අරන් තියෙන්නෙ එක්කො මවගේ අනියම් සැමියගෙන්. තමන්ගෙ අයියගෙන්, සීයලාගෙන්, බාප්පලාගෙන්, ළඟම ඥාතීන්ගෙන්. නාඳුනන පුද්ගලයන්, පාරෙ යනකොට ඇදන් ගිහින් දූෂණය කිරීමේ සිද්ධි වාර්තා වීම් ඉතාම විරලයි.

ඊළඟට වැඩිම විසංවාදයක් ඇති කරලා තියන සයිබර් හිංසනය. ඊට අවශ්‍ය හේතු සපයලා තියෙන්නෙම වින්දිත පාර්ශ්වයම තමයි. වින්දිතයො හිංසනයට පත් වෙලා තියෙන්නෙම කැමැත්තෙන් තමන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ බෙදා ගන්න ගිහින්. දෙපාර්ශ්වය විසින් ඇති කරගත් එකඟතාව නැතිවුණු අවස්ථාවක එම පුද්ගලික තොරතුරු ලෝකයට මුදා හැරීමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙවැනි කාන්තාවන් පොලිසියට එන්නේ දීර්ඝකාලීන හිංසනයට ලක් වෙලා ඉවසගන්න බැරි තැන. එතකොට බොහෝ දේ සිදු වී අවසානයි.

අප තේරුම් ගත යුත්තේ මේ අපරාධවලදි අති බහුතර අවස්ථාවක ඒ අපරාධය සිදු කරන පුද්ගලයා වින්දිතයන්ට විශ්වාසවන්තම, වින්දිතයන්ගේ රැකවරණයට සිටි වින්දිතයන්ගේ සමීපතමයෙක් බව. අප ජීවත් වෙමින් ඉන්නෙ අනාරක්ෂිත සමාජයක. ඒ අවබෝධය සහ ඉන් ගැලවීම සඳහා අවශ්‍ය දැනුමින් කාන්තාවන් දරුවන් සන්නද්ධ විය යුතුයි. රටේ සරසවි පද්ධතිය මේ සම්බන්ධව පුළුල් සමාජ විමර්ශනයක් කර ප්‍රතිපත්ති සම්පාදනයකට යා යුතුයි. ඒ ප්‍රතිපත්ති සම්පාදනයට මේ රටේ ජනතාවගෙන් වැටුප් ගන්නා දහස් ගණක් වූ ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් හරහා ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගික කළ යුතුයි. එසේ නැතිව මේ ප්‍රශ්නය අපට විසඳගන්න බෑ. “ ඇය කියන්නී කාන්තාවක ලෙස උපන් සහකම්පනයෙනි.

ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාරව දරුවන්ට එරෙහිව වාර්තා වන වැඩිම හිංසන ප්‍රමාණය ක්‍රෑරත්වයෙන් සැලකීමය. ඉන් අනතුරුව ලිංගික අපයෝජනය ය. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ඇතුළු බරපතළ ලිංගික අපයෝජනවලට ලක්වන අතිමහත් බහුතරය වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන්ය. මේ සම්බන්ධව අප සමඟ අදහස් දක්වන්නේ ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහය.

“ළමා ආරක්ෂක අධිකාරිය ලෙස අපට පවරලා තියෙන්නේ මහජන පැමිණිලි භාර ගැනීම සහ උචිත පරිදි එම පැමිණිලි අදාළ බලධාරීන් වෙත යොමු කිරීම. මේ එන බොහොමයක් අපරාධ වැරදි පිළිබඳ පැමිණිලි. එම පැමිණිලි පොලිස් ස්ථානයට යොමු කර නීතිය ක්‍රියාත්මක වන අකාරය සහ විමර්ශනය සිදුවන ආකාරය සම්බන්ධව පසු විපරමක් අප කරනවා.

දැනට වාර්තා වන වැරදි අතර අසභ්‍ය ප්‍රකාශනවලට දරුවන් යොදා ගැනීම, දරුවන්ට ක්‍රෑර ලෙස සැලකීම, ලිංගික අපයෝජන, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා දරුවන් යොදා ගැනීම දකින්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ළමයින්ට එරෙහි අපරාධ අතර වැඩිපුරම එන්නේ කායික වශයෙන් හිංසනය. එවැනි පැමිණිලි 2000කට වඩා 2022 වර්ෂයේ ලැබිලා තිබෙනවා.

ඊට පසුව වාර්තා වන බරපතළම කාරණාව තමයි ළමයිනට ලිංගික අතවර සිදු කිරීම. 2022 වර්ෂයේ ලිංගික අපයෝජන 729ක් වාර්තා වුණා. ස්ත්‍රි දූෂණය, නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කිරීම, ව්‍යභිචාරය ඒ අතර ප්‍රමුඛයි. ඒ අතර දූෂණය කිරීම් 167ක් තිබුණා. මේ ලිංගික අපරාධවලට වැඩි වශයෙන් ගොදුරු වෙලා හිටියෙ ගැහැනු දරුවො. එම අපරාධ අනුයාත වසරවලට සාපේක්ෂව වාර්තා වීමේ වැඩි වීමක් තිබෙනවා“.සභාපතිවරයාට අනුව ගැහැනු දරුවන් දූෂණය වීමේ නව ප්‍රවණතා අනුව මෙම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ ලෙස සැලකෙන වරදට මෙම දරුවන් යොමු වී ඇත්තේ බලහත්කාරයෙන් නොව, ස්ව කැමැත්තෙනි.

“ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙනවා අවුරුදු 16ට අඩු දරුවෙක්ව දූෂණයට ලක් කිරීම.

මෙය දරුවාගේ කැමැත්ත නැතිව හෝ දරුවාගේ කැමැත්ත ඇතිව යන ආකාර දෙකකින් සිදුවිය හැකියි. මෑතකාලීනව ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනීමේ ප්‍රවණතාව මත දැනට වාර්තා වන ගැහැනු දරුවන් දූෂණය වීමේ සිද්ධි අනුව සියයට අසූවක්ම සිදු වෙන්නේ ඔවුන්ගේ කැමැත්ත ඇතිව. එය සැබැවින්ම මුළා කර පොලඹවා ගැනීමක්. ඒ නිසා එම දැරියගේ කැමැත්ත ඇතිව සිදුවීම කියන්නේ සැකකරුවාට නිදහසට කාරණයක් නොවෙයි.

දරුවන් මේ තත්ත්වයට හේතුවක් තිබෙනවා. නව යෞවන වයසේ පසුවන දරුවන්ගේ කායික ජීව විද්‍යාත්මක වෙනස්කම් රැසක් සිද්ධ වීමෙන් ශරීර වර්ධනය, ලිංගිකත්වයට අදාළ හෝමෝන ක්‍රියාකාරීත්වය ඇති වෙනවා. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වැඩි වීම, ශාරීරික වර්ධනය වේගවත් වුණාට ඒ හරහා සිදුවන ක්‍රියකාරකම් පිළිබඳ, එහි බැරෑරුම්කම, අවදානම හෝ අනර්ථය ගැන අවබෝධ කරගත හැකි තරම් මුහුකුරා ගිය බුද්ධියක් මේ දරුවන්ට නෑ. ශරීරය හා හැඟීම් වර්ධනය වන වේගයෙන් දැනුම සහ අවබෝධය වර්ධනය වෙන්නේ නෑ.”

මෑත කාලයේදී පැමිණි කොවිඩ් වසංගතයත් සමඟ දරුවන් පාලනයෙන් වියුක්තව අන්තර්ජාලය වෙත යොමුවීම, ඔවුන්ගේ කටයුතු නියාමනය නොවීම, දරුවන් විෂයෙහි වැඩිහිටි මවුපිය අවධානය ගිලිහී යෑම වැනි කාරුණු මත දරුවන් ලිංගිකව අපයෝජනය විය හැකි අවස්ථා වැඩිවන ආකාරය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසන්නේය.

“බොහෝ විට මේ අපචාර වාර්තා වන ප්‍රමාණයට වඩා සමාජය තුළ සැඟවී තිබෙනවා.

මෙවැනි වරදක් සිදු වූ විට වින්දිත වූ දරුවා අපරාධයේ වරදකරුවෙක් කිරීමේ සමාජ මනෝභාව සමාජයෙන් ඉවත් කරගැනීම ඉතාම වැදගත්. මේ ආකාරයට ලිංගිකව අපයෝජනයට පත් වූ දරුවන්ට මනෝ සමාජයීය සහාය ලබා දෙන්න ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් වෙනවා.“ඔහු අපට සහතික වුණේය.

මේ වනවිට අධිකරණ ක්‍රියාවලි තුළ දරුවන් යළි යළිත් වින්දිතයන් බවට පත්වීම වැළැක්වීම සඳහා ළමා ආරක්ෂක අධිකාරිය දරුවා සම්බන්ධව විද්‍යාත්මක පදනමක් මත වීඩියෝ සාක්ෂියක් සහ එම සාක්ෂිය මත පදනම් වූ ලේඛනයක් සම්පාදනය කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ඒ ඔස්සේ නඩුව පවත්වාගෙන යෑමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එය අතිශය විශිෂ්ට ප්‍රවේශයක් බව විශ්වාස කරමු.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ආචාර්ය කෞෂල්‍යා හේවාවසම්ට අනුව කාන්තා හිංසනය පැති ගණනාවක් ඇති බරපතළ සමාජ ගැටලුවකි. “කාන්තාවක් විෂයෙහි පුද්ගලයෙක් අපරාධ සිදු කිරීම සඳහා ඒ අයගේ වයස, අධ්‍යාපන මට්ටම, පෞරුෂත්වය හා මානසිකත්වය තත්ත්වය වැනි පුද්ගලානුබද්ධ සාධක වගේම ජීව විද්‍යාත්මක සාධකත් බලපානවා. ආර්ථික දුෂ්කරතා පවුල් සම්බන්ධතා, සමාජ සම්බන්ධතා බිඳ වැටීම වැනි කාරණ අපරාධ ප්‍රවේශයන් ඇති කරන්න පුළුවන්. මානව සම්බන්ධතාවල පැවැත්ම, අඛණ්ඩතාව ස්ථිරභාවය වැනි කාරණාත් මේ තත්ත්වය තීරණය කරනවා.

කාන්තාව කියන්නේ පසුගාමී සමාජයක වැඩි වශයෙන් අවදානම්සහගත කණ්ඩායමක්. අපරාධයට ලක්වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඔවුන්ගේ ශාරීරික ශක්තිය සාපේක්ෂව හීන වීම, අහිසංකකම වැනි තත්ත්ව වින්දිතයෙක් වෙන්න හේතු වෙලා තිබෙනවා. මේ තත්ත්ව වළක්වා ගැනීමට අපරාධකරුවකුට අපරාධයක් කළ හැකි අවස්ථා වළක්වා ගැනීම තමයි වඩාත් සුදුසුම ප්‍රවේශය ලෙස මා දකින්නේ.

මවුපියන් දරුවන්ගේ ආරක්ෂාව නිසි ලෙස ලබා නොදීමත් වින්දිතයෙක් වෙන්න කාරණාවක්. අධ්‍යාපන කටයුතු හෝ වෙනත් අධ්‍යයනයන් සඳහා බව කියමින් ලැප්ටොප්, දුරකතන වැනි උපකරණ පාලනයකින් තොරව ලබා දුන්නට පස්සේ ළමයි සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසු වීමේ අවදානම වැඩියි. දරුවන්ව මේ අපරාධකරුවන් ගැන දැනුම්වත් කිරීම, මවුපියන්ගේ අධීක්ෂණය දරුවන් වෙත වැඩිපුර යොමු කිරීම නිසැකවම සිදුකළ යුතුයි. අපරාධ සම්බන්ධව ගන්නා නෛතික ක්‍රියාමාර්ග කාර්යක්ෂම කිරීම මෙන්ම ලිංගික අධ්‍යාපනය ලබා දීමත් වැදගත් .”

ඇය පවසන්නේ ලිංගික අපරාධයකට ලක්වන වින්දිත කාන්තාව වරදකරුවා වන සමාජයක ලිංගික අපරාධවලට ලක්වන කාන්තාවන් දැඩි මානසික පිඩාවන්ට ලක්වී සිය දිවි නසා ගැනීම්වලට යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්වන බවය.

“කාන්තා හිංසනයට අදාළ නීති රීති යාවත්කාලීන විය යුතු සේම සංශෝධන අවශ්‍යතැන්වල සංශෝධන විය යුතුයි. නමුත් පවත්නා නීතිය හෝ කාර්යක්ෂම ව ක්‍රියාත්මක කිරීමයි වඩාත් සුදුසු වන්නේ. “ ආචාර්යවරිය පවසන්නේ කාන්තාවන්ට සිදුවන අපරාධ වළක්වා ගැනීමට ආකල්පමය වශයෙන් සමාජ පරිවර්තනයක් කළ යුතු බවය..

අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්යවරියකි.

“අපේ අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයෙ කාන්තාවන් අඩුයි. එහි දී ස්ත්‍රී දූෂණය සහ ළමා අපයෝජනය වැනි සිදුවීම්වලදි පිරිමි වෛද්‍යවරයකුට කියන්නෙ නැතිව කෙරෙන මඟහැරීම් සම්බන්ධව සිදු කළ මැදිහත්වීම්වලදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය මම හරියටම අත්වින්දා. කාන්තාවන්ට සිදුවන අස්වාභාවික මරණ ගැන පර්යේෂණය කරන්න අප පෙලඹුවෙත් ඒ අත්දැකීම.

“කාන්තාවන් වැඩිදෙනෙක් අතවරයට පත්වන්නේ හිංසනයට පත්වන්නේ දන්න අයගෙන්. නිවෙස් පරිසරය තුළින්.

ඇයි කාන්තාවන් හිංසනයට ලක් වන්නේ, ඇයි කාන්තාවන් සිය දිවි නසා ගන්නේ කියන කාරණය ගැන අපේ අධ්‍යයනයට අනුව පෙනී ගොස් තිබුණේ ඊට පදනම් මතුපිට හේතුව ප්‍රේම සම්බන්ධතා සහ අක්‍රමවත් සම්බන්ධතා මත ඇතිවන තත්ත්ව බවයි. ප්‍රතිශතයක් වශයෙන් සමස්ත සිද්ධිවල සියයට 40ක් පමණ පදනම් වී ඇත්තේ මේ මානව බැඳීම්“

වර්ෂ 2015 -2018 කාලය තුළ පළාත් පහක සිය දිවි නසා ගැනීම් සම්බන්ධව අප කළ පර්යේෂණයේදී හෙළි වුණේ කාන්තාවන් වැඩිදෙනෙක් මරණයට පත් වන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයා හෝ පෙම්වතා අතින්. ගේ ඇතුළෙ තියන ප්‍රශ්නය විසඳා ගන්න බැරි වීම නිසයි සිය දිවි නසා ගැනීම් හෝ ඝාතන සිද්ධ වෙන්නේ.

අපි විසින් 2025-2018 කාලය පළාත් පහක සිය දිවි නසා ගැනීම් 252ක් අධ්‍යයනය කළා. ඉන් සියයට 25ක් පවුල් ප්‍රශ්න. සියයට 40ක්ම එක හේතුවක් හොයා ගන්න බැරි හේතු. ප්‍රේම සබඳතා මුල් වූ කාරණා සියයට 12යි.

“පවතින තත්ත්ව උඩ අපරාධයක් වුණත් කාන්තාවක් කාටවත් නොකියා දරාගෙන සිටීම නිසාම හුදෙකලා වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය දිය දිවි හානි කරගැනීම විය හැකියි. එයට අභ්‍යන්තර හේතුව වෙලා තියෙන්නේ තමන් හා බැඳුණ සම්බන්ධතා බිඳ වැටීම් සමඟ ඉතාම හැඟීම්බරව ගන්න තීරණ. දරුවන්ගේ සිය දිවි නසාගැනීම් දෙස විමසීමෙන් බැලුවොත් මතුපිට පෙනෙන හේතුවට වඩා ගැඹුරු සමාජ කාරණාවක් එම සිදුවීම තුළ තිබෙනවා.

අපරාධයකට ගොදුරු වූ පසු මුලින්ම ඇති වන්නේ කම්පනයක්. ඊට පසුයි එම සිදුවීම පිළිබඳ ඇතිවන තරහක් එක්ක මානසික පිඩාවට පත් වෙන්නේ. එම ස්වභාවය හඳුනා ගනිමින් ඊට අවශ්‍ය උපදේශන හා ප්‍රතිකර්මවලට නොකඩවා යොමු වීමෙන් අපරාධය සමඟ ගොදුරු වන මනෝභාවයෙන් එළියට ආ හැකියි.” ඇය කියන්නීය.

කාන්තාවන්ට එරෙහි විශාල හිංසනයක් සයිබර් අවකාශය හරහා සිදුවන්නේය. ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මේ සම්බන්ධව අපට කියන්නේ මෙවැනි කතාවකි.

“කාන්තාවන්ට එරෙහි පරිගණක අපරාධ වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ සමාජ මධ්‍යයන්ගෙන් හඳුනාගත් පුද්ගලයන් සමග සම්බන්ධතා ඇති කරගෙන ඡායාරූප සහ වීඩියෝ පට හුවමාර කරගැනීමෙන්. වැඩිපුරම සිදුවීම් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 14-16 සහ 35-45 අතර වයස් ඛාණ්ඩවල. නව යොවුන් වයසේ දරුවන් අතට විශාල වශයෙන් පරිගණක උපකරණ සහ අන්තර්ජාල ප්‍රවේශය වැඩිවීම දරුවන් මේ අපරාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි කර තිබෙනවා. දරුවන්ගේ කායික මානසික පරිවර්තනය වන යොවුන් අවදියේදී ඔවුන්ව ඒ තත්ත්වයට ගොදුරු කරගැනීම පහසුයි.

විශේෂයෙන් රැකියාවක් නොකර නිවෙස් තුළ ඉන්න වයස අවුරුදු 35-45 වයස් ඛාණ්ඩයේ කාන්තාවන් ගොදුරු කරගැනීම සඳහාම තරුණ කණ්ඩායම් ඉන්නවා. ඔවුන් ඉතා ඉක්මනින් මේ කාන්තාවන් හා කුලුපග වී ඔවුන්ගේ නිරුවත් ඡායරූප සහ වීඩියෝ ගෙන්වාගෙන එම කාන්තාවන් බ්ලැක්මේල් කරලා වෙනත් වරප්‍රසාද ගන්න යනවා. නැත්නම් ෆේක් එකවුන්ට් එකකින් එම දර්ශන මුදා හරිනවා.

ඊට අමතරව කාන්තාවන්ගේ ඡායාරූප දුරකතන අංකත් සමඟ අසභ්‍ය වෙබ් අඩවි වෙත යොමු කරනවා. එම අංකයට දිගටම කෝල් එද්දි තමයි දන්නේ එහෙම වෙබ් අඩවියක ඇගේ ඡායාරූප මුදා හැරලා කියලා.

අන්තර්ජාලය භාවිතයේ දී ඉතාම සැලකිලිමත් වීමට වග බලා ගන්න. ෆේස්බුක් ගිණුම පුද්ගලික ගිණුමක් කරගෙන නොහඳුනන කෙනෙක් වෙත ඊට ප්‍රවේශ වීම වළක්වා ගැනීම වැදගත්. පරිගණක අපරාධ අංශයේ ප්‍රධානියා සමාජයට දෙන්නේ එවැනි උපදෙසකි.

මේ වන විට කාන්තාවන් සම්බන්ධව කම්කරු නීතිය තුළ පවතින යම් නීති සංශෝධනය කිරීම හා අහෝසි කිරීමේ උත්සාහය සම්බන්ධ පවතින තත්ත්වය තවත් ව්‍යාකූල කළ හැකි ප්‍රවේශයක් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ අප සමග කතා කළාය.

“අපි ඉන්නේ පීතෘ මූලික සමාජයක. මේ සමාජය ඇතුළෙ සමාජ මනෝභාවය තියෙන්නෙ කාන්තාව හිංසනයට පත් වීම අනුමත කරන ස්වරූපයක්. එවැනි සමාජයක තමයි මේ කම්කරු නීති සංශෝධනය වෙන්නේ. අපට ලැබී තිබෙන ආරංචි අනුව සතියට වැඩ කරන දවස් ගණන දින 04ක් කර වැඩ කරන පැය ගණන 10ක් කරනවා. වෘත්තිකයන් සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරවයි මේ තීරණ අරගෙන තියෙන්නේ.

පැය 10ක් වැඩ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නේ නෑ. පැය 10ක් වැඩ කිරිමේදී ශ්‍රමිකයකුට පැය 02ක අතිකාල නැති වීම යන ගැටලුව ශ්‍රමිකයන්ගේ පැත්තෙන් මතු වෙනවා. ඒ වගේම පැය 10ක් වැඩ කර තව පැය කීයක් අතිකාල සේවයේ යොදවනව ද යන්නට සැලසුමක් තියනව ද? එහෙම වැඩ කරන කාන්තාවකගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව වගකියන්නෙ කවුද?

රෑ වැඩ කරන කාන්තාවන්ට හැකියාවක් තිබුණත් රජයෙන් හා පුද්ගලික ආයතනවලින් සහතිකයක් දෙනවද මේ අයගේ ආරක්ෂාව,ප්‍රවාහන සේවා පිළිබඳව? කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට ලක් විය හැකියි සහ එයින් කාන්තාවන්ගේ ජීවිතවලට හානියක් වීමට බලපාන පසුබිම පිළිබඳ පොදු පිළිගැනීම නිසයි කාන්තාවන් ආරක්ෂා වන ක්‍රමවේද මින් පෙර සකසා තිබෙන්නේ.

කම්කරු නීති වෙනස් කරනවා නම් කාන්තාවන් හිංසනයට ලක් කරන කණ්ඩායම් ගැනත් රජය වගකීම ගන්න ගෙන ඔවුන්ගේ ක්‍රමවේදය පැහැදිලි කළ යුතුයි“. ඇය පවසන්නීය.

අපරාධ විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයෝ කාන්තාවන් අපරාධ අවස්ථාවලට මුදා හැරෙන අවස්ථා අවම කිරීමට යෝජනා කරති. අනෙක් අතින් නීති සම්පාදකයෝ එවැනි අවස්ථා වැඩි කරන නීති සංශෝධනවලට යති. පසුගාමී සමාජ ජීවිතයක් සහිත මිනිසුන් බහුල සමාජයක අපි ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රයක් කරමින් සිටින්නේදැයි නොදනිමු.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division