– ක්‍රමානුකූලව කල්පනාකාරීව කටයුතු කළහොත් රටක් ලෙස යහපත් තත්ත්වයකට එන්න පුළුවන්
– අපි මේ රටේ දිළිඳු ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්නේ නැහැ
– ක්ෂුද්‍ර මූල්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා
ඉදිරියේදී කිසිදු රාජ්‍ය ව්‍යපාරයක් ආරම්භ නොකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය ගන්නා බව ඔබ සඳහන් කර තියෙනවා.එවැනි තීන්දුවක් රජය විසින් ගැනීමට හේතුව?
මේ වන විටත් රජයට කිසිදු ව්‍යාපාරයක් කරන්න පුළුවන් මට්ටමක නොවෙයි ඉන්නේ. දැනටම ලෝකයේ ක්‍රියාත්මක වන ව්‍යාවසායන් දිහා බලද්දී අපිට පේනවා ලෝකයේ අනෙක් රටවල්වල පවා ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වෙමින් යන්න තීරණ අරගෙන තියෙනවා. ඒ අනුව අපිත් ඒ මඟ යන්න අවශ්‍යයි. රජය ව්‍යාපාර පවත්වාගෙන ගිහිල්ලා එහි වැය බර මහා භාණ්ඩාරයට භාර ගන්න බැහැ. ව්‍යාපාරයක් තරගකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් අභියෝගවලට ඔරොත්තු දෙන්න පුළුවන් විය යුතුයි. ව්‍යාපාර තරඟකාරි කටයුත්තක් වෙන්න අවශ්‍යයි. රජය නියාමනය කරන්න සහ පහසුකම් සපයන්නා, ප්‍රතිපත්ති සම්පාදකයා පමණයි. මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී අපි රටක් ලෙස අවබෝධ කර ගන්න අවශ්‍ය කරුණක් නම් ආයෝජකයන්ට පවා හිතකර පරිසරයක් නොවෙයි අපේ රටේ තියෙන්නේ කියන කරුණ. අපේ ප්‍රතිපත්ති එකිනෙකට සහ සම්බන්ධතාවක් හෝ ස්ථාවර ඒවා නොවෙයි. ප්‍රතිපත්ති එකිනෙකට වෙනස් වෙනවා. ලෝකයේ දියුණු රටවල් පවත්වාගෙන යන ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. අපේ රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න වැඩි වශයෙන් පෞද්ගලික අංශයට දායකත්වය දක්වන්න ඕන. එසේ ඔවුන්ට ඒ දායකත්වය දැක්විය හැක්කේ ආයෝජන සඳහා සුදුසු පරිසර තත්ත්වක් නිර්මාණය කර දුන්නොත් පමණයි. ඒ තත්ත්වයයි අපි නිර්මාණය කරමින් යන්නේ.
දැනට පවතින රජයේ ආයතන නඩත්තු කිරීමට අතිවිශාල මුදලක් වැයවන බව ඔබ කියනවා. එසේ නම් ඒ ආයතන සම්බන්ධයෙන් ගනු ලබන පියවර මොනවාද?
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෙනම ඒකකයක් මුදල් අමාත්‍යංශය යටතේ පනවා තියෙනවා. එය මේ වන විට ආරම්භ කර තියෙනවා. එම ඒකකය විසින් මේ වන විටත් දැන්විම් පළ කරලා තියෙනවා ආයෝජකයන් කැඳවා ගැනීම සඳහා. එම ආයතනය විසින් ඔවුන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා හොඳම ක්‍රමවේදය කුමක්ද කියලා අධ්‍යයනය කරලා ප්‍රකාශයට පත් කරයි. ඒ තුළ අපි යම් ක්‍රියාමාර්ග ගන්නවා. අපි ජනතාවට කිසිවක් හංගන්නේ නැහැ. විනිවිදභාවයකින් කරන්නේ මේ රටේ මිනිසුන්ගේ ආර්ථීක පීඩනය මඟ හරවා ගැනීම මහජන සුභසිද්ධිය වෙනුවෙන් සුදුසුම ක්‍රියාමාර්ගය තමයි ලංකාවේ නිර්මාණය විය යුත්තේ. අපි ව්‍යාපාර පවත්වා ගෙන යෑම එහි වියදම රජය දරන්න ගිහාම සුභසාධනය කටයුතු වැටුප් ගෙවිම යටිතල පහසුකම්, අධ්‍යාපනයට රජයක් කළ යුතු වියදම සීමාසහිත වෙනවා. ඒ නිසා රජයට දිගින් දිගට ණය වෙන්න වෙනවා. කැමැති වුවත් අකමැති වුවත් රජයට සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට තවදුරටත් යන්න බැරි වෙනවා. එසේ කළහොත් දැනට දරමින් පවතින ප්‍රයත්නයන් කඩාවැටීමකට ලක්වෙනවා.
මේ වන විට ට්‍රිලියන එකහමාරක් පමණ භාණ්ඩාගාරයෙන් වැය කරන රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවුවහොත් එහි සේවකයන් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු මොනවද?
දැනට සමහර ආයතනයන්හි කළමනාකාරීත්වය මඟින් ස්වේඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාමාර්ග ගෙන තියෙනවා. එමෙන්ම සමහර ආයතන ඒකාබද්ධ වීමක් ද, ඇතැම් ආයතන සම්පූර්ණ පෞද්ගලික අංශය හවුල් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යෑමට ද කටයුතු කරනවා. ඇතැම් දේශපාලන පක්ෂ ජනප්‍රිය කතා කිව්වට මේ රටේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. අනාගතය සුබවාදී කර ගන්නයි අපි කතා කළ යුත්තේ. නිලධාරීන්, ජනතාව ඇතුළු සියලු දෙනාටම මෙහි වගකීමක් තියෙනවා. ඉන්දියාව මේ හා සමාන ප්‍රතිසංස්කරණ කරමින් පවතිනවා. අනෙක් රටවලුත් මේ වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මිලියන විසි දෙකක ජනගහනයක අනාගතය වෙනුවෙනුයි අපි වැඩ කළ යුතු වන්නේ. රජයක් විදිහට අපිට වගකීමක් තියෙනවා. අපිට සුරංගනා කතා නොවෙයි වැදගත් වෙන්නේ. රජයට දෝෂාරෝපණයක් ආවත් ජනතාව පසුකාලීනව තේරුම් ගනීවි අපි රජයක් ලෙස කළේ කළ යුතුම දේ බව.
ආනයන සීමා ඉවත් කර තියෙනවා.ඉදිරියේදී ආනයනය සිදු කිරීමට ප්‍රමාණවත් සංචිත තිබෙනවාද?
පෞද්ගලිකව ආනයනය කරන වාහන හැර අනෙක් සියලු දේවල්වල සීමා ඉවත් කරලා තියෙනවා. මෙතෙක් කල් ආනයන සීමා ගැන කතා කරන පිරිස් දැන් කතා කරන්නේ වාහන ආනයන සීමා ගැන විතරයි. අපි ක්‍රමානුකූලව තමයි මේ සීමා ඉවත් කිරීම සිදු කළේ. මෙහිදී අපිට ලොකු ගැටලුවක් වෙලා තිබුණේ අත්‍යවශ්‍ය නොවන ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම පසුගිය කාලවලදී සිදු වීමයි. රාජ්‍ය ආදායම කළමනාකරණය කර ගන්න බැරි වුණා. විදේශ ණය කළමනාකරණය කරන්න බැරි වුණා. වියදම කළමනාකරණය කර ගන්න බැරි වුණා. විදෙස් විනිමය කළමනාකරණය කර ගන්න බැරි වුණා. සාර්ව ආර්ථික ක්‍රියාවලියට අවධානයට යොමු කරලායි අපි මේ දේවල් ක්‍රමානුකූලව කරන්නේ. මේ රට වැටුණු තැනින් ගොඩට ගැනීමයි වැදගත් වෙන්නේ. ආහාර උද්ධමනය 95% දක්වා ඉහළ ගිහින් තිබුණා. නමුත් මේ වන විට 5% දක්වා අඩු වෙලා තියෙනවා. මේ සියලු දේවල්වල වියදම් පක්ෂය අද ක්‍රමානුකූලව පහතට වැටිලා තියෙනවා. ණය ප්‍රතිපත්ති අද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස ක්‍රමානුකූලව ප්‍රතිඵලදායි වෙලා තියෙනවා. පොලී අනුපාතය මුදල් ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව යහපත් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මේ දේවල් ඇතුළේ යම් යහපත් තත්ත්වයකට පැමිණ තියෙන නිසා අපිට විදෙස් රටවල සහ IMF එකේ සහය ලැබෙමින් පවතිනවා. අපි ගැන විශ්වාසය ගොඩනැඟිලා තියෙනවා. ක්‍රමානුකූලව කල්පනාකාරීව කටයුතු කළහොත් රටක් ලෙස යහපත් තත්ත්වයකට එන්න පුළුවන්.
ආනයන සීමා කිරීමෙන් පසුගිය කාලයේදී ඇතැම් භාණ්ඩවල ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි වූ අවස්ථා තියෙනවා නේද? එමඟින් ඇතැම් භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගියා. ඉදිරියේදී භාණ්ඩ මිල අඩු වෙයිද?
ඉදිරියේදී අඩු වෙන්න අවශ්‍යයි. එයට එක් හේතුව උද්ධමනය ඉහළ මට්ටමක පැවැතීමයි. ආනයන සීමා තිබුණා. ඒ වගේම අපේ රටේ ව්‍යාපාරවල සදාචාර සම්පන්න බවක් නොතිබීමත් මිල ඉහළ යාමට හේතුවක් වුණා.ඩොලර් එක ඉහළ යනකොට ඊට සාපේක්ෂව ඉහළ යා යුතු මිල මෙන් සියගුණයකින් භාණ්ඩ ඉහළ දැමීමට වෙළෙන්දො කටයුතු කළා. භාණ්ඩ හිඟ මවාපෑවා. ඉල්ලුම සැපයුම මතයි අපි ක්‍රියා කළ යුතු වන්නේ. සදාචාරාත්මකව අපි කටයුතු කළ යුතුයි. ඉන්දියාවේ ලූණු බද්ද වැඩි වෙන විට මෙහෙ ළූනු මිල ඉහළ දැම්මා. ඒ වගේ සදාචාර සම්පන්න නොගැළපීම් තියනවා. ඒ නිසා එක් පැත්තකට පමණක් සීමා කරලා කතා කරන්න බැහැ. අවස්ථාවාදීව කටයුතු කළහොත් ලොකු පීඩාවන්ට මුහුණ දෙන්න වෙයි. රටක් ලෙස අපි පොදුවේ සිතිය යුතුයි. මේ අවස්ථාවේදි IMF එක අපිට වැදගත්. අපි රටක් ලෙස නැවත ගොඩ ඒමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතුමයි. IMF එකට නොයාමේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතුවොත් එය වැරැදියි. යම් සහනයක් ලබා දුන්නට පස්සේ අපි දැනගන්න අවශ්‍යයි කෙසේ හෝ ඉදිරියට යන්න. ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණ කරලයි ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් වෙන්නේ. ඉන් අනතුරුව ධනාත්මක තත්ත්වයක් ඇති කර ගත යුතුයි.
අඩු ආදායම්ලාභීන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් යම් සහනයක් රජය මේ වන විට ලබාදී තියෙනවාද?
ඒ සම්බන්ධයෙන් අලුතෙන් අපි අධිකාරියක් සකස් කරමින් පවතිනවා. එහි ප්‍රමාදයක් තියෙනවා. ඉදිරියේදී එසේම ක්ෂුද්‍ර මූල්‍ය නියාමනය සඳහා කෙටුම්පතට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර නඟා සිටුවීමට යම් සහනයක් රජය විසින් ලබාදීමට කටයුතු කරනවාද?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්, ණය සම්බන්ධයෙන් මූල්‍ය වගකීමක් ලබා දීමට අපි කටයුතු කරනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් මූලික පියවර ආසියානු සංවර්ධන බැංකුවත් සමඟ සමගාමීව අරගෙන තියෙනවා. මේ වසර අග වන විට එය කරන්න පුළුවන්. ඇප කර ලබාදීමට ආයතනයක් බවටයි එය පරිවර්තනය වෙන්නේ. රජය මේ පවතින අර්බුදය තුළ සැලකිය යුතු මූල්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කිරීම වැදගත් විසඳුමක් බවට පත්වෙයි. එසේම මේ වන විට පොලී අනුපාතයත් අඩු කර තියෙනවා.
අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ප්‍රමාදයක් පවතින බව ඇතැමුන් කියනවා. මේ ප්‍රතිලාභීන්ට අස්වැසුම කඩිනමින් ලබාදීමට යම් වැඩපිළිවෙළක් තියෙනවාද?
අස්වැසුම ප්‍රතිලාභීන්ට එය ලබාදීම යම් ප්‍රමාදයක් තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී හිඟ මාසවල එනම් ජුනි මාසයේ සිට අගෝස්තු දක්වා ගෙවීමට කටයුතු කරනවා. මේ අවුරුද්ද අවසානය වන විට සම්පූර්ණ ගෙවිම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කරනවා. අභියාචනා සම්බන්ධයෙන් විරෝධතා සම්බන්ධයෙන් සමීක්ෂණ කරලා ඉවර නැහැ. අපි මේ රටේ දිළිඳු ජනතාව සමඟ සෙල්ලම් කරන්නේ නැහැ. මේ ක්‍රමවේදයන්ගේ දුර්වලතා හඳුනාගෙන අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා.
සුභද්‍රා දේශප්‍රිය