Home » IMF යෑමට චාමර සම්පත් සුට් මහයි

IMF යෑමට චාමර සම්පත් සුට් මහයි

by Mahesh Lakehouse
October 21, 2023 12:53 am 0 comment

චීන සංචාරයට පෙර දින සවස් භාගය වනතුරුත් ජනපති රනිල් වික්‍රමසිංහ සිටියේ ජනපති කාර්යාලයේ ය. ඒ යොදාගත් සාකච්ඡා ගණනාවක් හේතුවෙනි. ඉරුදින පස්වරුවේ ජනපති රනිල් මුණ ගැසීමට ආවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසකි.

නියෝජිතයන් තමන්ගේ ගැටලු ජනපතිට ඉදිරිපත් කළේය. වෛද්‍යවරුන්ගේ රාජකාරි පැය ගණන පිළිබඳව වන ගැටලුව ද විසදීමට පොරොන්දු වූ ජනපති දෙපාර්ශවයේම පොදු යෝජනාවක් වූ බදු ගැටලුව විසඳීමට ද එකඟතාවය පළ කළේය.

සියලු කටයුතු අවසන් කළ ජනපති එදින රාත්‍රියේම චීනය බලා පිටත්ව ගියේ ඇමැතිවරු කිහිප දෙනෙකු ද එකතු කර ගනිමිනි. විදේශ ඇමැති අලි සබ්‍රි, ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන අය මේ ගමනට එක්ව සිටියහ.

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “ එක් තීරණයක් – එක් මාවතක්” සමුළුව 16 දා සිට 20 දා දක්වා පැවැත්වෙන අතර ඊට සහභාගී වන ලෙස චීන රජයෙන් ලද ආරාධනාවකට අනුව ජනපති රනිල් මේ ගමනට එක්විය.

සඳුදා සිය පළමු හමුව ලෙස ජනපති රනිල් චීනයේ ආයෝජන, වෙළෙඳ හා සංචාරක සැසියකට එක්වූවේය. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙම හමුව සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ ආයෝජනයට එක්වන ලෙස ජනපති රනිල් මෙහිදී චීන ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

චීනයට පැමිණ සිටි ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩොඩෝ හමුවූ ජනපති රනිල් ඔහු සමඟ ද්වි පාර්ශ­්වික සාකච්ඡා පැවැත්වූහ. ජනපති රනිල් චීනයේ සේම ලෝකයේ ප්‍රබලතම සමාගමක් වන හුවාවි සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ අඟහරුවාදා පෙරවරුවේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ජනපතිට දුන් පණිවිඩය කුමක්ද?

චීන සංචාරයේ නිරත ජනපති රනිල්ට පොලිස්පතිවරයාගේ පත්වීම ව්‍යවස්ථාදායක සභාව අනුමත කොට නොමැති බවට පණිවිඩය දුන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න. ජනපති රනිල් මේ ගැන වහාම සොයා බැලූ අතර ජනපතිවරයාත්, පොලීසිය භාර ඇමතිවරයාත් ලංකාවේ නොමැති අවස්ථාවේ එවැනි තීරණයක් ගැනීම ගැන ජනාධිපතිවරයා කනගාටුව පළ කළේය.

එසේම ජනපතිවරයා මේ ගැන සොයා බලද්දී තවත් පාර්ශ්ව ගණනාවකින් දැන ගැනීමට ලැබුණේ රටේ ජනාධිපතිවරයා නොමැති අවස්ථාවක මෙම තීරණය ගනු ලැබුවේ රට අස්ථාවර කිරීමට බවය. එසේම කුඩු මුදලාලිලා ආරක්ෂා කිරීමට මෙම තීන්දුව ගත්තේ ද යන සැකය ද මෙහිදී මතුව තිබුණි.

චීනයේ සිට ජනාධිපති, ලේකම්ට දුන් උපදෙස

අවසානයේ ජනපති සිය ලේකම් සමන් ඒකනායකට දැනුම් දුන්නේ පොලිස්පතිවරයා ලෙස යළිත් සති 03ක කාලයකට සී.ඩී වික්‍රමරත්න වහාම පත් කරන ලෙසය. ව්‍යවස්ථාදායක සභාව වෙත යළිත් එම පත්වීම යවන ලෙස ද ඔහු උපදෙස් දුන්නේ ලේකම් සමන්ටය.

එක් තීරයක් එක් මාවතක් සමුළුව චීන ජනපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ බදාදා ය. අට වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් චීන ජනාධිපතිවරයා මෙහිදී එළිදැක්වූ අතර රාජ්‍ය නායකයන් සමුළුවට කැඳවාගෙන ආවේ උත්තමාචාර මැදිනි. එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සමුළුවට සමගාමීව පැවැති “ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” සම්මන්ත්‍රණය ද ජනපති රනිල් ඇමතුවේය.

චීනයෙන් ලැබුණු සහතිකය

එහිදී දේශගුණික විපර්යාස කලාපයට බලපාන ආකාරය ගැන ජනපති කරුණු පැහැදිලි කර දුන්නේය. ජනපති රනිල්, චීන මුදල් ඇමති ලී යූ කුං මුණ ගැසුණේ බ්‍රහස්පතින්දාය. ලංකාවේ ලොකුම ණය හිමියා වන චීනයේ මුදල් ඇමති මුණ ගැසීම මෙරටට විශාල බලාපොරොත්තු ගොන්නක් ගෙනෙන හමුවක් වූයේය.

බලාපොරොත්තු වූ ලෙසම චීන මුදල් ඇමතිවරයා කීවේ මෙරට ණය ප්‍රශස්තකරණ වැඩසටහනේදී දෙපාර්ශවයටම සරිලන පරිදි මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළකට චීනය සහාය දක්වන බවය. එදිනම ජනපති රනිල් ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයෝ මුණ ගැසුණේය. ඒ අතර චීන සන්නිවේදන හා ඉදිකිරීම් සංස්ථාව, සිනොපෙක් සමාගම, BYD සමාගම ද විණි.

වරාය නගරයට ආයෝජන ගෙන ඒමට මෙම සාකච්ඡාවේදී සමාගම් නියෝජිතයෝ ජනපතිට පොරොන්දු වූහ. ලංකාවට පැමිණි ජනපති රනිල් පක්ෂ විශේෂ සමුළුවට එක්වීම සඳහා සෙනසුරාදා සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙත ගියේය.

අගමැති දිනේෂ් පක්ෂ නායකයන් කැඳවූයේ ඇයි?

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ විශේෂ රැස්වීමක් බදාදා (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුව, විපක්ෂය නියෝජනය කරන සහ ස්වාධීනව කටයුතු කරන පක්ෂවල නායකයෝ රැසක් එක්ව සිටියහ.

“පාර්ලිමේන්තු මහ මැතිවරණයටත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕන කියලා, අපි කාලෙක ඉඳන් කියනවා. මගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාරක සභා තුනක ම මේ ගැන කතා කරලා නිර්දේශ දුන්නා. 60%ක් කොට්ඨාස මට්ටමින්, 40%ක් සමානුපාතික මට්ටමින්. දැන් අධිකරණ ඇමැතිතුමා අමාත්‍ය මණ්ඩලයට මේ ගැන යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එකෙන් කියවෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225ක් විය යුතුය. ඉන් 160 දෙනෙකු මැතිවරණ කොට්ඨාසවලින් සෘජු ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගත යුතු අතර, ඉතිරි සංඛ්‍යාව වන මන්ත්‍රීවරයන් 65 දෙනෙකු ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීමට විධිවිධාන සැලසීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ ඊට අනුකූල නීති කෙටුම්පත කෙටුම්පත් කිරීම…..යනාදී වශයෙන්” දිනේෂ් කතාව ඇරඹීය.

මෙහිදී කැබිනට් මණ්ඩලයට මෙම යෝජනා ගෙනා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාද කරුණු දැක්විය. ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණ අපේක්ෂකයන්ගේ ඇප මුදල් ගැන සංශෝධනයක්ද ඔහු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

“මෙම යෝජනා ගැන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ අදහස් විමසන්නයි, අපි ඔබතුමන්ලා කැඳවනු ලැබුවේ.”

එදා දිනේෂ්ගේ කමිටුවේ නිර්දේශ දැන්වත් ක්‍රියාත්මක වේද?

මෙහිදී පැමිණ සිටි පක්ෂ නායකයන් එක් එක් අය අදහස් දැක්වූහ. විශේෂයෙන් මහ මැතිවරණයට මිශ්‍ර ක්‍රමය හඳුන්වා දීමෙන් කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් ලැබීමේ වාසිය මෙහිදී අවධානයට ලක්විය.

“දිනේෂ් ගුණවර්ධන කමිටුව මෙම නිර්දේශ දුන්න වෙලාවෙත්, ඒවා ක්‍රියාත්මක වුණේ නෑ. ඒවා දැන්වත් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. මේක ගැන අපි තවත් මේ ගැන සාකච්ඡා කළ යුතුයි” පක්ෂ නායකයෙක් කීය.

“ඊළඟ පාර්ලිමේන්තු සතියේ තවත් සාකච්ඡාවක් දාගන්න පුළුවන්”

“සාකච්ඡා අවසානයේ පක්ෂ නායකයන්ගේ අදහස් ඇතුළත් කරලා වාර්තාවක් අපි අමාත්‍ය මණ්ඩලයට දෙනවා” දිනේෂ් පැවසීය.

දිනේෂ් හදිසියේම පාසලකට ගියේ ඇයි?

මේ අතර අඟහරුවාදා (17) අගමැති දිනේෂ්, හදිසියේ මහරගම විජේරාම ප්‍රදේශයේ පාසලකට පැමිණියේය. ඒ, ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයටයි. ඔහු එහි ගියේ එම පාසලට යාබදව පිහිටි අනාරක්ෂිත තාප්පයක් හදිසියේ කඩාවැටීමෙන් ඇතිවූ හදිසි අනතුර පිළිබඳ සොයාබැලීමටයි. මෙම අනතුරේදී දස හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලැබීය. අගමැතිවරයා සමඟ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ද පැමිණ සිටියහ.

මහින්දව බෙදාගැනීමට පොරයක්

ළඟ ළඟම එන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය නිමිත්තෙන් පොහොට්ටුවේ පළාත්පාලන නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය අමාත්‍යවරු හා කැබිනට් අමාත්‍යවරුන් දිවයින පුරා උත්සව සංවිධානය කිරීමට සුදානමින් සිටිති. විශේෂයෙන්ම දිවයින පුරා පින්කම් මාලාවක් සංවිධානය කර ඇත. මේ පිළබඳව සාකච්ඡාවක් පසුගියදා නෙළුම් මාවතේදී පොහොට්ටුවේ කාර්යාලයේදී පැවැත්විණි. “කුරුණෑගල හම්බන්තොට කොහොමත් ලොකුවට වැඩසටහන කරනවනෙ. කසාගල පන්සල මුල්කරගෙන කරන මේ පුණ්‍ය ක්‍රියාවලට අපි එකෙන්ම ඉන්නවා“ ජ්‍යෙෂ්ඨයින් පැවසීය. ඉන් අනතුරුව කතා කළේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාය “ඔව්, ඔව් මට ගම්පහට එක දවසක් වෙනම ඕනෙ. මේ ආගමික වැඩසටහන් කරන්නත් එදාට මහින්ද මහත්තයා ගම්පහ ඉන්න ඕනෙ“ ප්‍රසන්න පැවසීය. මහින්දානන්ද අළුත්ගමගේ හා එස්.එම් චන්ද්‍රසේන තමන්ට වෙනම දින ලබා දෙන ලෙස නාමල්ගෙන් ඉල්ල සිටියේය. මෙහිදී ජොන්ස්ටන්, රෝහිත සී.බී ඇතුළු සියලු දෙනාම මේ ආගමික කටයුතු සම්බන්ධීකරණයට ඉදිරිපත් වූහ.

නාමල‍්ගේ දිව්‍යලෝක ගමන?

මෙසේ කතා කරමින් සිටින විට “අන්න වටේම යනවා මීඩියාවල නාමල් විපක්ෂයේ වාඩි වෙනවා කියලා“ ජොනී සිනාසෙමින් පැවසීය. “ඔව්. ඔව් මාත් දැක්ක ඕවා කාලෙන් කාලෙට එන කතා. පක්ෂය එහෙම තීන්දුවක් ගත්තොත් මාත් යනවා. අපායට ගියත් විපක්ෂයට ගියත් දිව්‍ය ලෝකෙට ගියත් මම යන්නෙ පක්ෂය එක්ක“ කියමින් නාමල්ද සිනාසෙමින් පැවසීය.

පාර්ලිමේන්තුවේ ගහගත්තේ කවුද?

පසුගිය 20 වැනි සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ යම් ගැටුමක් සිදුවීම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.

සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ හා සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර යම් බහින්බස්වීමක් සිදුව තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පුස්තකාලය ඉදිරිපිට ඇති විදුලි සෝපානය අසලදී මෙම සිද්ධිය සිදු වී ඇත.

ඩයනා චෝදනා කරන්නේ රෝහණ බණ්ඩාර තමාට බැණ වැදුණු බවත් සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා තමන්ට පහර දුන් බවයි.

නමුත් රෝහණ බණ්ඩාර ප්‍රකාශ කරන්නේ ඩයනා ගමගේ තමාට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවයි. සුජිත් සංජය පෙරේරා ප්‍රකාශ කරන්නේ මෙම හබය පාලනය කිරීමට ගිය ඩයනා ගමගේ ඇයගේ හෑන්ඩ් බෑගයෙන් තමාට පහර දුන් බවයි. එම පහරදීම වැළැක්වීමට තමා උත්සාහ ගත් බවද එම මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ‍දෙපාර්ශවයෙන්ම ලැබුණු පැමිණි CCTV කැමරා ඔස්සේ නරඹා පරීක්ෂණයක් සිදු කිරීමට කමිටුවක් පත්කර ඇත. කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කතානායක අජිත් ‍රාජපක්ෂ පත් කර ඇති අතර කමිටු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, (වෛද්‍ය) රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක සහ ඉමිතියාස් බාකීර් යන පත් කර තිබේ.

අනුර කුමාර වෙනුවෙන් කිරිඇල්ල

වැඩි වශයෙන් තරුණ ප්‍රජාවට පාර්ලිමේන්තුවේ ඉඩ ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසිනි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බිස්නස් කමිටුවේදී සාකච්ඡා විය.

“මේක ගෙනත් තියෙන්ෙන ඡන්ද කල් දමන්න. අපි ⁣මේකට විරුද්ධයි” අනුර කුමාර දෙබරයට ගලක් ගැසීය.

“මේකට ජ.වි.පෙ. විරුද්ධ ඇයි. ඔබතුමන්ල තරුණයන් ගැන කතා කළාට කවදත් තරුණයන්ට තැනක් දෙන්නේ නෑ.”දොලවත්ත කීය.

“නෑ… මන්ත්‍රීතුමා එහෙම කියන්න එපා.”කිරිඇල්ල, දොලවත්තට සද්දයක් දැමීය.

“ඔබතුමා මොකද ජ. වි. පෙ. පැත්තට කතා කරන්නෙ. ඒ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගන්න” දොලවත්ත කීය.

චාමරගේ බදු සංශෝධන

මෙවර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා වූයේ බදු සංශෝධන පනත් කෙටුම්පත ගැනය. මෙවර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වුණේ 17 වැනිදා උදෑසන පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1දීය. ඒ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

“දැන් ඔබතුමන්ල අරක්කු මිල වැඩි කළා. ඒක වාසිද?”

චාමර සම්පත් ඇසුවේ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටියගෙනි.

“අපි අරක්කු මිල වැඩි කළේ අයි.එම්.එෆ් කියපු නිසා. ඒත් ඒකෙන් වාසියක් නෑ” සියඹලාපිටිය ඇත්තම කීය.

” අයි.එම්.එෆ්. දන්නෙ නෑ මෙහෙ කසිප්පු කියල දෙයක් තියෙනව කියල. මම අයි.එම්.එෆ් යවන්න. මම කියල දෙන්නම්.”

රාජ්‍ය ඇමැති චාමර කී කතාවට මැති ඇමතිවරුන්ට සිනාව නතර කරගත නොහැකි විය.

“හැබැයි මට ඉංග්‍රීසි බෑ. මම සිංහලෙන් කතා කරන්නම්, දෙමළෙන් කතා කරන්නම්, ඉංග්‍රීසි කතා කරන්න කවුරු හරි ඕන” රාජ්‍ය ඇමතිවරයා යළි කීය.

“අරක්කු මිල වැඩි වෙන කොට මිනිස්සු කසිප්පු බොනව. සුරාවේ ආදායම වැඩි කරන්නනම් හොර අරක්කුවලට ගහන දඩය වැඩි කරන්න ඕන.”චාමර කීය.

“මම ගමේ ⁣මිනිහා. මමත් ඕව දන්නවා”

රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කීය.

“ඔබතුමා ගමෙි මිනිහ වුණාට. මේව පාවිච්චි කරන්නෙ නෑනේ මම නම් ගල් පාවිච්චි කරනවා. ඒක නිසා මේ ගැන හොඳට දන්නවා”චාමර කී කතාවට මැති ඇමතිවරුන්ගෙන් ලැ⁣බුණේ ඉහළ ප්‍රතිචාරයකි.

ප්‍රසන්න අයිස්ක්‍රීම් කානිවල් එකේ

⁣උඩුගම්පොළ, සෙනරත් පරණවිතාන මධ්‍ය මහා විද්‍යාලයට වසර එකසිය ගණනක් පිරීම නිමිත්තෙන් මේ දිනවල එහි සැණකෙළියක් පැවැත්වේ. එහි සමාරම්භක දිනය යෙදී තිබුණේ පසුගිය අඟහරුවාදාය. අධික වැසි සහිත දිනයක් වුවද ඇමැති ප්‍රසන්න ද එදින සන්ධ්‍යාවේ මේ සඳහා සහභාගී විය.

“ආ… මේ මහ වැස්සෙ ඇමැතිතුමා එයි කියල අපි හිතුවෙ නෑ”

“මගේ ගමේ වැඩෙක් නම් පුළුවන් හැම වෙලාවෙම මම එනවා.” ඇමැතිවරයා කීය.

“ඉස්සර නිතර නිතර ඔබතුමා උඩුගම්පොළ එනවා. ඒක අපිට⁣ ලොකු පහසුවක් වුණා. කොහෙද මේ කාලකණ්නි ගෙවල් පුච්චල කරපු විනාසයක්.”

තවත් අයෙකු කීය.

” මාත් එක දවසක් ගෝල්ෆේස් ගියා. හැබැයි ගෙවල් පුච්චන වැඩවලට අපි සම්බන්ධ නෑ.”

එහි සිටි අයකු කීය.

“ගෙවල් ගිනි තියපු අය කවුද කියල අද එළිවෙලා. දැන් ඒ අය හැංගිලා. අපි එළියේ දේශපාලනය කරනවා. ගෙවල් ගිනි තියල අපිව නවත්වන්න බෑ. කාලකණ්ණි අරගලකාරයන්ට බයවෙලා හිටියනම් අපි මෙහෙම එළියට බැහැල ඇවිදින්නෙ නෑ නේ.” ඇමතිවරයා පැවසුවේ තරමක ආවේගයෙනි.

ඇමති ප්‍රසන්න ද මැදියම් රැය පසුවනතුරුම සංගීතය රස විඳිමින් ජනතාව සමඟ එක්වී අයිස්ක්‍රීම් කානිවල් එක නැරඹූහ

සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලන්සාගේ පලු අරි

මේ අතර පසුගියදා පැවැත්වුණු සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මන්ත්‍රීවරයාට තොරතුරු දෙන පිරිසක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී ලන්සාට සජබ නායකයින් නොසෑහෙන්න දොස් නඟා ඇති බවද වාර්තාවේ.

පසුගිය පාර්ලිමේන්තු සතියේදී ආණ්ඩු පක්ෂ ලොබියේ සිටි නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, අනුර යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන මැති ඇමැතිවරුන් ආගිය තොරතුරු කතාකරමින් සිටියදී ඒ අසලට පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් පැමිණ තිබේ.

“නායකතුමා වටකරගෙන කට්ටිය මොනාද කතාකරන්නේ, රහසිගත වැඩක්ද”බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙකු විමසුවේ පිරිස දෙස බලමිණි.

“අපේ නෑනේ මල්ලි ඔය රහසිගත වැඩ, අපි හැංගිලා ගහන්නේ නෑ”අනුර යාපා කීවේය.

“හැංගිලා ගහන්න ගියපු ඔක්කොටම වැරදුණා, ඒ නිසා අපේ වැඩ අපි කරන්නේ එළිපිට, ඒවා විවෘතයි” නිමල් ලන්සාද කතාබහට එක්විය.

“ලන්සා ඇමැතිතුමාවනං විපක්ෂ නායකතුමාට පෙන්න බැරිලු, මේ සැරේ ගෘප් මීටින් එකේ ඇමැතිතුමාගේ පලු ඇරලා කියල ආරංචියක් ආව “ගම්පහ නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙකු කීවේය.

එකවරම ඔහු දෙස බැලූ නිමල් ලන්සා”ඒ මොකක්ද ඒ පාර වෙලා තියෙන්නේ… මටත් ඕක කීප දෙනෙක් කිව්වා, හැබැයි මම ගණන් ගත්තේ නෑ, ඒකියන්නේ ඇත්තටම එහෙම වෙලාද “කුතුහලයෙන් මෙන් විමසීය.

ලන්සාගේ ඔත්තු සේවා

“ඔව්. ඔව් හොඳටම පලු ඇරලා”ගම්පහ මන්ත්‍රීවරයා ලන්සා දෙස බලමින් කීවේය.

“විපක්ෂ නායකතුමාට කාලෙන් කාලෙට කට්ටිය ඔහොම ලණු දෙනවා, මම ඉතින් එයත් එක්ක හම්බන්තොට දේශපාලනය කල මිනිහනේ. මොකෝ මම නොදන්නවායෑ එයා ගැන”අමරවීර ඇමැතිවරයා ද සිනාසෙමින් කිවේය.

“එක පාරටම කිව්වලු ලන්සට තොරතුරු දෙන කට්ටිය ඉන්නවා. ඒ වැඩේ වහාම නවත්තන්න කියල හොඳටම බැනල”ගම්පහ මන්ත්‍රීවරයා කීවේය.

“අයියෝ..ඕකේ ගොසිප් මට ඇවිත් වැඩක් නෑනේ..මට මොකටද සජබ ගොසිප්…ආවත් වැඩක් තියනවද, ඒවා මට නම් ඇත්තටම වැඩක් නෑ”ලන්සා සිනාසෙමින් කියාගෙන ගියේය.

වාසු, ජී. එල්, ඩිලාන් සජිත් හමුවෙති

පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා දෙකක් පැවැත්වුණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුව පාර්ලිමේන්තුව තුළත් සහ සමාජය තුළත් මතුකරලා බලපෑමක් කරන්න පියවර ගත් බවයි.

රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කරන්න කටයුතු කරපු මන්ත්‍රීවරු රට තුළ ඇතිවී තිබෙන සෞඛ්‍ය ගැටලුවට වගකිව යුතු බවයි.

රටේ වංචා දූෂණවලට වඩා මිනිසුන්ගේ ජීවිත විශාල තර්ජනයකට ලක්ව ඇති බව මනෝ ගනේෂන් අදහස් දක්වමින් පැවසුවේය.

එම සකච්ඡාවේදී වාසුදේව නානායක්කාර පැවසුවේ පක්ෂ භේදවලින් තොරව රටේ තිබෙන අර්බුදවලට විසඳුම් හොයන්න සියලු දෙනා එකම වේදිකාවකට පැමිණිය යුතු බවයි.

වජිරගෙන් අපුරු මාධ්‍ය පාඩමක්

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය සඳුදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.

සමාජයේ කතිකාවක් ගොඩනැගී තිබෙන නව මාධ්‍ය නියාමන පනත පිළිබඳ මෙහිදී වජිර දීර්ඝ විග්‍රහයක් සිදුකළේය.

“ලෝකයේ දියුණු වූ රටවල් තොරතුරු සන්නිවේදනය, එසේ නොමැති නම් මාධ්‍ය නිවැරදි කිරීම සඳහාත් ජනතාවට නිවැරදි තොරතුරු සැපයීම සඳහාත්, නීති රීති පද්ධතිය සකස් කරගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට සිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරී පනත එම රටේ දියුණුවට ඉතාමත් වැදගත් වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන මාධ්‍යය සංවර්ධන අධිකාරී විකාශන පනත ඉතා වැදගත්. නමුත් අපි උදාහරණයක් ලෙස සිංගප්පූරු පනත සහ ශ්‍රී ලංකාවේ පනත සංසන්ධනය කරලා බැලුවහොත් ඊට වඩා ශක්තිමත් ද භාවයෙන් අඩු තොරතුරු සන්නිවේදන පනතක් ශ්‍රී ලංකාවේ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ ගැන විවිධ අය විවිධ අදහස් පළ කිරීම ස්වාභාවිකයි. පුරුදු වී තිබෙන වැරදි තොරතුරු සැපයීම තුළ රටක් විනාශ වෙන මාර්ගය වෙනස් කර ගැනීමට කාලය එළඹිලා තිබෙනවා.“යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් මේ මස 21 වෙනි සෙනසුරාදා සවස 02 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය 1946, එහෙම නැතිනම් 1948, එහෙම නැතිනම් 1952, එහෙම නැතිනම් 1960, 1977 විවිධ අවස්ථාවල ශ්‍රී ලංකාවට තිබුණු අභියෝගය ජයගත් දේශපාලන පක්ෂයක් හැටියට, උදාහරණයක් ලෙස නිදහස් අධ්‍යාපනයට මුල් තැන දී ක්‍රියා කරපු දේශපාලන පක්ෂයක් හැටියට, ඒ වගේම නිදහස් සෞඛ්‍යයට විශේෂ අවස්ථාවක් ලබා දී ක්‍රියා කරමින් තිබෙන දේශපාලන පක්ෂයක් හැටියට, ඒ වගේම නිදහස් ආර්ථිකය ඇති කිරීම සඳහා 1978න් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය සමඟ රටේ සම්පූර්ණ වෙනසක් ඇති කිරීම සඳහා ක්‍රියා කරපු දේශපාලන පක්ෂයක්.

එක්සත් ජාතික පක්ෂයත් ඒ ගමන් මගේ ඉදිරියට යා යුතුව තිබෙනවා. එහෙනම් 21 වෙනිදා පවත්වන විශේෂ සම්මේලනයේදී යෞවන යෞවනියන්ගේ තරුණ හඬ අනුව ලෝකයේ ආරම්භ වෙලා තිබෙන නව තාක්ෂණය සමඟ ඉදිරියට යන දේශප­ාලන පක්ෂයක් බවට පරිවර්තනය කළ යුතුව තිබෙනවා. පැරණි දේශපාලන කතා වලින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යන්න කිසිසේත්ම බලාපොරොත්තු වන්නේ නැත. යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

“සණස” සමඟ අජිත් රාජපක්ෂ ගමට බහී

අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා සහ සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය අතර හමුවක් සිදුවිය.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් “සණස” තුළින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩසටහන ගමට ගෙන යාමට මෙහිදී සැලසුම් ‍කෙරිණි.

මෙමගින් ගම්මාන 5000ක ග්‍රාමීය ආර්ථීකය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 දෙනෙකු දැනටමත් එම වැඩසටහනට සහාය දැක්වීමට කැමැත්ත පළකර තිබේ.

දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින්, පුද්ගලික අංශය හා මහජනතාව සම්බන්ධ‍ කරගනිමින් සහභාගීත්ව සංවර්ධනය යටතේ සණස සංවර්ධන සමිති තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division