Home » මොළයේ විස්මිත සැත්කම කරද්දී සිතුවමකට පණ දුන් රෝගියා
අනුරපුර ශික්ෂණ රෝහලේ දී

මොළයේ විස්මිත සැත්කම කරද්දී සිතුවමකට පණ දුන් රෝගියා

අරුම පුදුම විස්මිත සැත්කම සිදු වුණේ මෙහෙමයි

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

ල්‍යකර්මයක් යනු ජීවිතයේ මුහුණ දීමට සිදුවිය හැකි කටුක අත්දැකීමකි. නිර්වින්දන වෛද්‍ය විද්‍යාව බිහිවීමට ප්‍රථමයෙන් ශල්‍යකර්මයක් යනු ඉතා බිහිසුණු අත්දැකීමක් වූයේ ඒ ශල්‍යකර්මය හා බැඳී ඇති වේදනාව සහ දැනීම නිසාය. එදා ශල්‍යකර්මයේදී සිහිය නැති කර ඊට මුහුණ දීමට ක්‍රමයක් නොතිබූ නිසා රෝගියා පාලනය කරමින් ඉතා කෙටි කාලයක් ඇතුළත ශල්‍යකර්මය අවසන් කළ යුතුව තිබුණි. ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට අදාළ වූ මේ ගැටලුව විසඳුණේ මීට වසර 177කට පෙර එනම් 1846 ඔක්තෝබර් මස 16 වන දාය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් මහ රෝහලේ විලියම් තෝමස් මෝටන් නම් දන්ත වෛද්‍යවරයා එඩ්වඩ් ගිල්බට් ඇබොට් නමැති රෝගියකුගේ ගෙලෙහි තිබූ ගෙඩියක් ඉවත් කිරීම සඳහා ඩයි එතිල් ඊතර් නමැති වායුව නිර්වින්දන කාරකයක් සාර්ථකව යොදා ගෙන මෙදින ලොව ප්‍රථම වතාවට පූර්ණ නිර්වින්දනය සිදු කළ නිසාය. මේ නිසා ඔක්තෝබර් 16ට සෑම වසරකම යෙදෙන්නේ “ලෝක නිර්වින්දන දිනය”යි.

නන් ආකාරයෙන් ලොව පුරා නිර්වින්දන දිනය සමරද්දි නිර්වින්දන වෛද්‍ය ඉතිහාසය කණපිට පෙරළන වෛද්‍ය ඉතිහාසයේ විස්මිත පෙරළියක් වූ ‘ Awake craniotomy’ හෙවත් නිර්වින්දනයට ලක් නොකර පියවි සිහියෙන් සිටියදී රෝගියාගේ විවිධ ක්‍රියාකාරකම් පිරික්සමින් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ මොළයේ සැත්කම මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව ගමනක ආරම්භයක් සනිටුහන් කරන්නේය.

අති බිහිසුණු මොළයේ සැත්කමේදී රෝගියා පූර්ණ නිර්වින්දන තත්ත්වයට පත් නොකර අවම නිද්‍රිශීලි තත්ත්වයෙන් පසුවෙද්දී මොළයේ ගෙඩියක් ඉවත් කරන අතරතුර රෝගියා සිය හැකියාවන් පෙන්නුම් කරමින් සිතුවමක් නිර්මාණය කිරීම ද මේ ඉතිහාසගත පෙරළියේ නොමැකෙන සලකුණකි. පසුගිය 9 වැනිදා අනුරාධපුර නොච්චියාගම පදිංචි 36 හැවිරිදි නිර්මාණ ශිල්පියකු වූ සමන් ජයසිංහව මේ විස්මිත ශල්‍යකර්මයට භාජනය කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුශංඛ ගෝමස්, ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොහාන් පාරිස්, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලෙවන් කාරියවසම්, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විශාඛා කර්නර් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ලයක් විසිනි.

සමන් මේ අපූරු අත්දැකීම සිළුමිණට පැවසුවේ මේ ආකාරයෙනි.

“ මම සමන් ජයසිංහ. වයස අවුරුදු 36යි. නොච්චියාගමයි පදිංචිව ඉන්නේ. විවාහ වී දැනට දික්කසාද වී සිටිනවා. අම්මා බණ්ඩාර මැණිකේ. තාත්තා සාගර උදය මම වගේම කලාවට සම්බන්ධයි. එක අක්කා කෙනෙක් ඉන්නවා. අඹගහවැව විද්‍යාලෝකයටත්, පසුව නොච්චියාගම විද්‍යාදර්ෂ විදුහලටත් ගිය මට හදිසි අනතුරකින් පසුව උසස් පෙළට මුහුණ දෙන්න බැරි වුණා. පාසල් යන කාලයේ සිටම මම බෝඩ්වල චිත්‍ර අඳින වැඩ කළා. අපේ ගමේ පන්සලේ සංඝරක්ඛිත හිමි නිසා මට විහාර චිත්‍ර අඳින්න අවස්ථාව හිමි වුණා. ඒ අවුරුදු 19 දී. පන්සල් ආශ්‍රිතව කටයුතු කළ නිසා මම බුද්ධාගමට ගොඩාක් බර වුණා. එතැන් සිට මම විහාර සිතුවම් කලාවේ නියැළෙන්න, පිළිම නෙළන්න ගත්තා.

සමහර දවසට රාජකාරී කරද්දි මට විශාල නිදිමත ගතියක් දැනෙන්න වුණා. මම හිතුවේ මම මහත නිසා කියලා. ඔහොම යනකොට විටින් විට මට මුකුත්ම ඇහෙන්නේ නැතිව යන්න ගත්තා. දකුණු කකුලේ පොඩි හිරි වැටීමකුත් තිබුණා. හිසේරදයත් සැරින් සැරේ මතු වුණා. පස්සේ මම අනුරාධපුර ස්නායු රෝග සම්බන්ධ ක්ලිනික් එකකට යොමු වුණා. මුලදි පොඩි පරීක්ෂණ කිහිපයක් සිදු කළා. පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ පසුවයි වෛද්‍යවරු හඳුනා ගත්තේ මොළයේ වම්පස එනම් දකුණු පස පාලනය කරන කොටසේ ගෙඩියක් ඇති බව. ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුශංඛ ගෝමස් සහ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොහාන් පාරිස් තමයි ඒ හඳුනා ගැනීම් කළේ. මේ අතර වෛද්‍ය තිලාන් මට ගොඩාක් හිතවත් වුණා. ඒ හිතවත්කම නිසා රෝහලේ චිත්‍රයක් පවා ඇන්දා. මේ වනවිට මොළයේ ගෙඩිය සෑහෙන දුරට වර්ධනය වෙමින් තිබුණේ. වෛද්‍යවරු පැවැසුවේ මෙවැනි ගෙඩි හිමින් සැරේ හැදෙන එහෙත් මාරාන්තික ගෙඩි විශේෂයක් බව. මේ ගෙඩිය හැදී අවසාන වී මරණය ළඟා වෙනකම් රෝගියාට නොදැනෙන බවත් වෛද්‍යවරු තේරුම් කරලා දුන්නා.

මේ නිසා ශල්‍යකර්මයට ගන්න අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්තෝබර් 5 වැනිදා නතර වුණා. ශල්‍යකර්මයට පෙර බයක් දැනුණා. නමුත් වෛද්‍යවරු පැවැසුවා මීට වසර දෙකකට පෙර මේ ආකාරයේම ගෙඩියකට නිර්වින්දනය නොකර ශල්‍යකර්මයක් සිදු කළ බවත් ඊට මටත් සුදානම් වීම යෝග්‍ය බවත්. ඔවුන් පෙන්වා දුන්නේ එය දරා ගැනීමේ හැකියාව මට තිබිය යුතු බව. ඔක්තෝබර් 9 වැනිදා උදේ 7.15 ශල්‍යාගාරයට මාව ගත්තා. පසුව මුලින්ම හිරි වැටෙන බෙහෙත් ඔළුව වටේට විද්දා. දැන් මට තිබුණේ මඳ සිහිය. වෛද්‍යවරු දුන් නියෝග සියල්ල මම මද සිහියෙන් කරලා තිබුණා. අඩ නින්දේ සිටි මට සැරින් සරේ ඔවුන් කතා කර පොත්පත් පෙන්වා එක එක දේ විමසුවා. මේ අතර රෙද්දකින් ආවරණය වූ හිසේ පිටුපස කොටසේ සිට වෛද්‍යවරු ශල්‍යකර්මය කෙරුවා. තවත් පිරිසත් ඉදිරියෙන් සිටියා. ඒ අවස්ථාවේ ශල්‍යකර්මයක් කරන බවවත් මට දැනුණේ නැහැ. ඔවුන් මට නෙළුම් මලක් අඳින්න දුන්නා. ඒත් මට අඳින මොහොත ගැන හරි මතකයක් නැහැ. අඩ නින්දෙන් තමයි මම නෙළුම් මල ඇඳලා තියෙන්නේ. මුලින් මට අඳින්න පුළුවන් මොනවද කියලා ඇහුවා. මම කිව්වා නිදිමතක් තියෙනවා නම් අපි චිත්‍ර අඳින්නේ නැහැ කියලා. පස්සේ ඒ අය දුන් ක්‍රියාකාරකම මම කරලා තියෙනවා. ශල්‍යකර්මය ඉවර වුණේ සවස 3.45ට. පැය 6 ක විතර කාලයක් ගිහින් තියෙනවා. ශල්‍යකර්මයෙන් පස්සේ තිබුණේ හිරි ගතිය පමණයි. දැඩි සත්කාර ඒකකයට දැම්මට පස්සේ නින්ද යන්න බෙහෙත් දුන්නා. පැය 50 දැඩි සත්තාර ඒකකයේ සිටියා. වෛද්‍යවරු කිව්වේ සෙන්ටි මීටර 5ක ගෙඩියක් තිබුණා කියලා. මෙය ඇවිත් තියෙන්නේ මැද මොළයේ සිට බවත් ඒ නිසා වන හානිය අවම කිරීමට නිර්වින්දනය නොකළ සිදු කළ යුතු බවයි ඔවුන් මට පැවැසුවේ.“

සමන් ගේ වම් මොළයෙ දකුණු අර්ධයේ ඉදිරිපස ක්‍රියාකරකම් පාලන ප්‍රදේශයේ හටගත් ගෙඩිය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සංකීර්ණ විය. ශල්‍යකර්මය අතරතුර රෝගියා සමඟ නිරන්තරයෙන් කතාබස් කරමින් ඔහුගේ මතකය, දකුණු පස අත හා කකුල චලනය සිදු කරන ක්‍රියාකාරකම් අතරතුර මොළයේ ගෙඩිය ඉවත් කිරීම ‘ Awake craniotomy ‘නම් වෛද්‍ය සංකල්පයට අයත් විස්මිත සැත්කමකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සටහන් කරමින් ‘Awake Craniotomy’ ශල්‍යකර්මය 2020 දෙසැම්බර් 3 අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළේ ද ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුශංඛ ගෝමස්, ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොහාන් පාරිස් ඇතුළු වෛද්‍යවරු පිරිසමයි. මෙසේ මොළයේ අවධි තත්ත්වයෙන් සිදු කළ දෙවැනි ශල්‍යකර්මය අනුරාධපුර ශික්ෂණ රෝහලේද් මේ වෛද්‍ය පිරිසම සිදු කළේ 2021 ජනවාරි 15 වැනිදාය. ඒ 42 හැවිරිදි අපස්මාර රෝගයෙන් පෙළුණු ගොවියකුගේ ගෙඩියක් ඉවත් කිරිමේදීය. විදේශයන්හි මෙවැනි හැකියා ඇති රෝගීන්ගේ මෙවැනි ශල්‍යකර්ම සිදු කරන්නේ වයලීන්, ගිටාර් වාදනය කිරිම වැනි ඔවුන්ගේ චාලක හැකියා පිරික්සමිනි.

‘Awake Craniotomy’තවමත් වෛද්‍ය විද්‍යාවට අලුත්ම සංකල්පයකි. ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුශංඛ ගෝමස් සහ

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොහාන් පාරිස් මීට පුහුණු වූයේ එක්සත් රාජ්‍යධානියේ මැන්චෙස්ටර් හි පිහිටි මිඩ්ලන්ඩ් රෝයල් රෝහලේදීය.

“අපිට අවශ්‍ය වුණා මෙය ලංකාවේ ක්‍රියාත්මක කරන්න. මෙහි ප්‍රධාන වාසිය රෝගියාට වගේම රෝහලටත් ලැබෙනවා..“

“මෙම Awake craniotomy කියන්නේ ලෝකයේ දියුණු රටවල් සිහිය සම්පූර්ණයෙන්ම නැති නොකර කරන ශල්‍යකර්මයක්. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සංකූලතා අවම කරමින් රෝගියාගේ මොළයට හානිකර කොටස් ඉවත් කිරීමයි. මෙහි ප්‍රධාන වාසි දෙකක් තියෙනවා. එකක් සංකූලතා අවම වීම. දෙවැන්න රෝගියා ශල්‍යකර්මයෙන් පසු රෝහල්ගතව සිටීමට සිදුවන කාලය අවම වීම. මේ නිසා වියදම් මෙන්ම රෝගියාගේ අපහසුතා ද අඩුවීමක් වෙනවා. මෙවැනි ශල්‍යකර්ම සෑම රෝගියකුටම කරන්නේ නැහැ. එය කිරීමට අත්‍යාවශ්‍ය වන රෝගීන් පිරිසක් ඉන්නවා. රෝගියා හොඳ සිහිකල්පනාවෙන් සිටියොත් පමණයි මෙය සාර්ථකව කළ හැක්කේ. මන්ද ශල්‍යකර්මය පුරාම රෝගියා අප සමඟ කතාබස් කළ යුතුයි. මෙවැනි ශල්‍යකර්ම සිදු කරන්නේ මොළයේ ගෙඩියක්, පිළිකාවක්, ලේ කැටියක්, සැරව ගෙඩියක් වැනි එකකට නිසා මොළයේ ප්‍රධාන ස්ථානවලට ආසන්නව පිහිටද්දි තමයි ‘Awake Craniotomy’විදියට ශල්‍යකර්මය සිදු කිරීම වාසිදායක වන්නේ.

ශල්‍යකර්මයේදී ඔළු කට්ට ඉවත් කර ඇතුළතට ගිය පසු මොළයේ සෑම කොටසක්ම පේන්නේ එක වගේ. ‍ශල්‍යකර්මයේදි ගෙඩිය වෙන්කර හඳුනා ගැනීමට හොඳ පළපුරුද්දක් තිබිය යුතු වන්නේ මොළයේ කොටස් හා මෙවැනි ගෙඩි සියල්ලේ හැඩරුව වර්ණය එක හා සමාන නිසා. කලින් ලබා ගන්නා එම්. ආර්. අයි. පරීක්ෂණ මෙන්ම නැවිගේටින් සිස්ටම් වැනි ක්‍රම හරහා මේ ගෙඩිය හඳුනා ගැනීම සිදු කළ හැකියි.

මේ ශල්‍යකර්මයේදී රෝගියාව ඊට පුහුණු කිරීමක් කළ යුතු වෙනවා. රෝගියා දන්නවා, තමන්ගේ ශල්‍යකර්මය සිදු කරන්නේ සිහියෙන් සිටින අවස්ථාවක බව. මේ නිසා මුලින්ම රෝගියා බය වෙනවා. ශල්‍යකර්මයට පෙර මේ රෝගියාට වෛද්‍ය උපදෙස් ලබා දෙමින් පුහුණු සැසි දෙකක් පවත්වනවා. ඒ වගේම ශල්‍යාගාරය, රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගියාට සමීප කරවනවා. අපි අහන ප්‍රශ්න, පින්තූර ඇතුළත් පොත් කලින්ම පෙන්වා එයට හුරු කිරීමක් කරනවා. පසුව ශල්‍යකර්මයේ පියවර කියා දෙනවා. කැක්කුම් දැනෙන විට පැවැසිය යුතු අයුරු ගැන රෝගියා දැනුම්වත් කරනවා.

Awake craniotomy ශල්‍යකර්මය කරන ආකාර කිහිපයක් තියෙනවා. එකක් වන්නේ සිහි නැතිකර ශල්‍යකර්මය ආරම්භ කර හිස් කබල ඉවත් කර මොළය විවෘත කළ පසු නැවත සිහි ගන්වා ඉතුරු කොටස කරගෙන යාමයි. මොළයේ ඇතුළත සංවේදි ස්ථාන කිසිවක් නැති නිසා මුල් අදියර අවසන් වනතෙක් සිහි නැතිකර පසුව සිහිගැන්වීම කරනවා. දෙවැන්න ආරම්භයේ සිට හිස් කබලේ ස්ථාන කිහිපයකටම හිරිවැටීම් කිහිපයක් ලබා දෙනවා. ස්නායුවල සංවේදීතාව එයින් නවත්වනවා. ඔළු කට්ට හිල් කරද්දි එන වේදනාවට කෙටිකාලීන වේදනා නාශක ලබා දෙනවා. එය මිල අධිකයි. මොළයට ඇතුළු වූ පසු රෝගියාට වේදනාව නොදැනෙන නිසා කතා කර ඇහැරවමින් ශල්‍යකර්මයට පෙර චලන නිරීක්ෂණය කරනවා.

ශල්‍යකර්මය ආරම්භ කිරීමෙන් පසු ඒ ගෙඩියේ කොටස් හඳුනා ගෙන කුඩා කොටසක් ඉවත් කරමින් රෝගියාට එවිට කුමක් දැනෙන්නේ ද යන්න විමසීමක් කරනවා. වෙනසක් නොදැනෙන්නේ නම් එය සාර්ථකයි. ඉන් අනතුරුව ශල්‍යකර්මය ආරම්භ කරගෙන යනවා. අතරින් පතර විවේක කාල ලබා දෙමින් රෝගියාගේ චලන නිරික්ෂණය කරනවා. අත්පා චලනය, කලින් සුදානම් කරගත් පොතේ ආකෘති හඳුනා ගැනීම, අංක ගණනය කිරීම් ආදී මතක පිරික්සනවා. සමහර විට විශේෂ හැකියා ඇති කලාකරුවන්, ගිටාර් වාදකයන් මීට සම්බන්ධ වුණොත් ඒ අයගේ විශේෂ හැකියා නොනැසෙන පරිදි ශල්‍යකර්මය සිදු කරන්න විශේෂ අවධානයක් යොමු කරනවා. මෙවැනි අයට ඔවුන් කරන කාර්ය ඒ අවස්ථාවේදි කරන්න සිහි කල්පනාව තියෙනවා, අපේ අණ පිළිපදින්න දෙනවා. නමුත් දිගුකාලීන මතකයක් හිමි වන්නේ නැහැ. ශල්‍යකර්මයෙන් පසු මේ මතකය ඔවුන්ගෙන් ගිලිහෙනවා. එය කරන්නට හැකි වන්නේ ඔහු විශේෂිත හැකියාවක් ඇති ශිල්පියෙක් නම් පමණයි. ඔහු ශල්‍යකර්මය අතරතුර මේ කටයුත්ත කරගෙන යනවා කියන්නේ ශල්‍යකර්මයෙන් කිසිදු හානියක් සිදු නොවූ බවයි. අපි මේ කාර්යය ආරම්භ කරන්නේ ශල්‍යකර්මයේ අවසන් පියවරේදී. ශල්‍යකර්මය අවසන් වෙද්දි ඔහුට මේ කටයුත්ත අවසන් කරන්න පුළුවන් නම් එය සාර්ථකයි.

මේ වන විට අනවශ්‍ය කොටස් ඉවත් කර අවසන් වෙනවා. ඉතුරුව ඇත්තේ යළි හිස්කබල වැසීම පමණයි. එහිදී අපිට යළි රෝගියාව දිගු නින්දකට හෝ වේදනා නාශක ලබා දීමක් කළ හැකි වෙනවා. සාමාන්‍යයෙන් මොළයේ ශල්‍යකර්ම සිදු කරන සියලු රෝගීන් පළමු පැය 12-14 දැඩි සත්කාර ඒකකයේ තබනවා. මේ සඳහා වෛද්‍ය විනිශ්චය මෙන්ම රෝගියාගේ කැමැත්ත තිබිය යුතුමයි..“ ඒ මෙම ශල්‍යකර්මය සිදුකළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුශංඛ ගෝමස්ය.

විශේෂඥ වෛද්‍යවරු පවසන පරිදි මේ ආකාරයේ ශල්‍යකර්මයකින් පැමිණිය හැකි ප්‍රධානතම සංකූලතාව වන්නේ ශල්‍යකර්මයේදී මොළයේ ක්‍රියාකාරීත්වය අධි තත්ත්වයට පත්වී රෝගියාට ෆිට් එකක් පැමිණීමය. එවිට සේලයින් වතුරෙන් මොළට තෙත කිරීමක් මෙහිදී සිදු වෙයි. එසේත් සාර්ථක නොවුණොත් පමණක් රෝගියා ශල්‍යකර්මය අතරතුර නිර්වින්දන තත්ත්වයට පත් කෙරේ.

මෙම ශල්‍යකර්මය සිදු කිරීමට ඇවැසි වන්නේ මොළය ආශ්‍රිත ශල්‍යකර්මයන්ට පමණි. මන්ද සන්වේදන ස්ථානවල ක්‍රියාකාරිත්වය පිරික්සෙමින් එය කළ හැකි නිසාය. මෙම ශල්‍යකර්මයට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුශංඛ ගෝමස්,

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රොහාන් පාරිස්, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලෙවන් කාරියවසම්, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විශාඛා කර්නර් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ලයට සහභාගී විය.

“දැන් මට හිටියටත් වඩා සුවයි. 12 වැනිදා ටිකට් කැපුවා. දැන් මට කිසිම ඇඟේ අමාරුවක්වත් දැනුණේ නැහැ. මේ අය මිහිපිට දෙවිවරු. කියන්න වචන නැහැ…..“ සමන් ජයසිංහ පින් දෙන්නේය.

ඔහු සිය ශල්‍යකර්මය සිදු කරන අතරතුර චිත්‍රයට නැඟූ නෙළුම් මල තවමත් බොහෝ දෙනා පුදුමයට පත්කර ඒ තුළ ඇත්තේ අපිට නොපෙනෙන බලවේගයක් නොව මිනිස් චාලක හැකියා හා මනස අතර වූ සම්බන්ධතාවකි. ඒ සියල්ල රැක ගනිමින් වද්‍ය විද්‍යාව අද බොහෝ දුර ගොස් ඇත්තේය.

 

සුභාෂිණී ජයරත්න, පසුබිම් තොරතුරු හා සේයාරු අනුරාධපුර සංචාරක සෂිණි මදූෂානි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division