Home » ජාතික ප්‍රවාහන සේවයේ හැරවුම් ලක්ෂ්‍යය 2024 වර්ෂයයි

ජාතික ප්‍රවාහන සේවයේ හැරවුම් ලක්ෂ්‍යය 2024 වර්ෂයයි

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

නොවැම්බර් 10 වැනි දිනට යෙදෙන ලෝක ප්‍රවාහන දිනය නිමිත්තෙනි

තිරසර සංවර්ධනයක් සඳහා ජාතික ප්‍රවාහන පද්ධතිය විදුලියට හැරවීම යන්නෙන් කිරීමට අදහස් කරන්නේ කුමක්ද?

ප්‍රවාහන, කර්මාන්ත, පරිසර හා විදුලිබල ඇතුළු අමාත්‍යාංශ සියල්ල ඒකාබද්ධ කරමින් 2024 වර්ෂය ලංකාවේ ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණයට, විුත් හා විදුලි මාධ්‍යට හැරවීම සඳහා ජාතික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වීමයි.

මෙය රජය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහනක්ද?

මෙය රජය විසින් කරන වැඩසටහනක් නොවේ. රජයේ මූලිකත්වය, නායකත්වය හා උපදේශකත්වය යටතේ පෞද්ගලික අංශයේ ද සුවිශාල දායකත්වයක් ලබා ගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රය පිරිවැය අඩු විස්වාසනීයත්වය, ඵලදායිතාව හා පරිසර සංරක්ෂණයට හිතකර එකක් බවට පත් කිරීමට අදාළ ජනතා සහභාගීත්ව වැඩසටහනක් ලෙසයි, මෙය ක්‍රියාත්මක වන්නේ.

ලංගම ඇතුළු බස් රථ, දුම්රිය, ත්‍රි රෝද රථ ඇතුළත් රථ වාහන අංශය භාර ආයතන රැසක විෂයභාර ඇමැතිවරයා වශයෙන් ඔබ 2024 වර්ෂය තුළ ඇති කරන ප්‍රධාන වෙනස්කම් මොනවාද?   

මම විුත්කරණයට ඇතුළත් කරන ප්‍රධාන වෙනස්කම් ගැන පමණක් මෙහිදී සඳහන් කරන්න කැමැතියි. ප්‍රථමයෙන් අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමේ වැඩ සටහන ‘ ඊ මෝටරින් ‘යනුවෙන් ක්‍රියාත්මක කරනවා. ලංකාවේ දීර්ඝ කාලයක් මෙම දෙපාර්තමේන්තුව තුළ විවිධ ප්‍රමාද වීම්, අක්‍රමිකතා, වංචා, දූෂණ රාශියක් සිදුවන බවට චෝදනා නැඟෙමින් පැවැතුණා. මේ සියල්ල වැළැක්වීමට ඇති එකම විසඳුම ඩිජිටල්කරණයයි. ඒ අනුව මම මේ අමාත්‍යාංශය භාර ගැනීමට කලකට පෙර හිටපු අමාත්‍යවරු ‘ඊ මෝටරින් ‘ ව්‍යාපෘතිය සඳහා පිළිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව ටෙන්ඩර් කැඳවා ඒවා ප්‍රදානය කර සියල්ල අවසන් කර තිබුණත්, විවිධ බලවේග විසින් දිගින් දිගටම විවිධ උපාය භාවිත කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩ දුන්නේ නැහැ. ඉහත පමාවට හේතුව ලෙස දක්වා තිබුණේ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැරට ගොස් ඩිජිටල්කරණයට පෙර ගොඩනැගිලි ඉදි කළ යුතුව තිබීමයි. රජය දැනට ගොඩනැගිලි ඉදි කිරීමට මුදල් වෙන් නොකරන නිසා තවත් අවුරුදු තුන හතරක් යනකම් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දී කැබිනට් අනුමැතියක් ලබා ගත්තා.

කොළඹ හුණුපිටිය ගංගාරාම ප්‍රදේශය ආශ්‍රිත ගොඩනැගිලි සංකීර්ණයක ගොඩනැගිලි කිහිපයක් ලබාගෙන ඊ මෝටරින් ව්‍යාපෘතිය එතැනට ගෙන යාමට වැඩපිළිවෙළක් දියත් කළා. මෙය භාරව කටයුතු කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු විෂය භාර ඇමැති වූ ලසන්න අලගියවන්න ඇමැතිවරයා. මෝටර් රථයක් ආනයනය කර ලියාපදිංචිය අවසන් කරන තෙක් පුද්ගල සම්බන්ධයක් නොමැතිව දියුණු තාක්ෂණය මඟින් මෝටර් රථ ලියාපදිංචිය සිදු කිරීමේ විප්ලවීය වෙනස අපි ලබන වර්ෂයේ ක්‍රියාත්මක කරනවා. මෙවැනි විප්ලවීය වෙනසක් ඉතිහාසයේ සිදුවී නැහැ. දෙවනුව අපි පොසිල ඉන්ධන භාවිතය වෙනුවට විදුලි භාවිතයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ වාහන එකලස් කිරීම, නිෂ්පාදනය, අපනයනය සඳහා පුද්ගලික අංශයට ලබාදිය හැකි උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. තුන්වැන්න විදුලි වාහන. මෙතෙක් ලංකාවේ විදුලි වාහන ලියාපදිංචි වූයේ නැහැ. ඒ සඳහා වූ ප්‍රමිති සකස් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. දැනට විදුලි ත්‍රී රෝද රථ ලියාපදිංචි කර අංක තහඩු ලබා දීම සිදුකර තියෙනවා. දුම්රිය හා බස්රථවල ටිකට් පත් නිකුත් කිරීම ඊ ටිකටින් හරහා කරනවා. එවිට ප්‍රවේශ පත්‍ර හා සම්බන්ධ ආදායම් අහිමි වීම්, වංචා දූෂණවලට ඇති ඉඩ ඇහිරෙනවා. බස්නාහිර පළාත් සඳහා විදුලි බස් රථ 200ක් ධාවනය කරවීමේ වැඩසටහන සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම් සිදු කර තියෙනවා. කැලණි මිටියාවත දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා විදුලි දුම්රිය බවට පත් කිරීමට විදේශීය ආයෝජන ලබා ගැනීම සඳහා උත්සාහ දරනවා.

මේ අනුව ලබන වර්ෂයේ විදුලි බලයෙන් ධාවනය වන යතුරු පැදි, මෝටර් කාර්, බස්, දුම්රිය යනාදිය අපිට ප්‍රායෝගික යථාර්ථයක් වෙයිද?

මම ඇමැතිවරයෙක් වශයෙන් සිහින දැක නැහැ. කළ නොහැකි යැයි කියූ ජාතික ව්‍යාපෘති රාශියක් අපි සාර්ථකව ක්‍රියාත්මක කර තියෙනවා. ඒ නිසා මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයත් සියලුම පාර්ශ්වයන්ගේ එකඟත්වය ලැබුණොත් 2024දි ක්‍රියාත්මක කළ හැකියි. මන්ද මේ වන විට ඔබ අපි නොදන්නා මේ රටේ සුවිශේෂ නිර්මාණාත්මක හැකියාවෙන් යුතු මිනිසුන් ස්ව ශක්තියෙන් රටට ආඩම්බරයක් විය හැකි විදුලි වාහන නිෂ්පාදනය කරනවා පමණක් නොව, ඒවා දැනටමත් විදේශයන්ට අලෙවි කරනවා. විදුලි පාපැදි, විදුලි යතුරුපැදි , විදුලි මෝටර් කාර්, විදුලි ත්‍රී රෝද රථ යනාදිය නිෂ්පාදනය කරන ආයතන හා පුද්ගලයන් 15-20ක් ඉන්නවා. ඔවුන් ජාත්‍යන්තරය සමඟ තරග කර විදේශ වෙළෙඳපොළට ප්‍රවේශ මාර්ගය සකසා ගෙන තියෙනවා. ඊට අතිරේකව විදුලි වාහන සඳහා අවශ්‍ය බැටරි, නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ‘ඊ චාර්ජින් පොයින්ට්‘ සකස් කර ක්‍රියාත්මක කරනවා. ලංකාවේ විදුලි වාහනවල චාර්ජින් යන්ත්‍ර ලංකාවේ සාදා වෙනත් රටවලට අපනයනය කරන ආකාරය දකින විට ඔබ පුදුමයට පත් වේවි.

නමුත් බොහෝ විට ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ අපේ රටේ එවැනි කර්මාන්ත සංවර්ධනයක් සඳහා බයිසිකලයක ඉස්පෝකයක්වත් සාදා ගත නොහැකි රටක් බවයි…?

එවැනි සර්ව අසුබවාදී ආකල්ප තියෙන අය වෙනුවෙන් අපි වැඩපිළිවළක් සකස් කර තියෙනවා. ලංකාවේ පුද්ගලික අංශයේ නිර්මාණාත්මක දක්ෂතා ඇති සියලු දෙනාගේ නිර්මාණ එළිදක්වන ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෝක ප්‍රවාහන දිනයට සමගාමීව නොවැම්බර් 10, 11 හා 12 තෙදින තුළ හෝමාගම හරිත සරසවි බිමේදී පැවැත්වෙනවා. මෙහිදී විදුලි මෝටර් වාහන පමණක් නොව ලොව විදුලි වාහන කර්මාන්තයට ආනුශංගික වන විවිධ අතුරු නිෂ්පාදන වන බැටරි, අමතර කොටස්, යෙදවුම් මෙවලම් ප්‍රදර්ශනය කරනවා. මේ සඳහා දේශීය පුද්ගලික ආයතනවලට අතිරේකව විදේශවල සිටින විදුලිවාහන නිෂ්පාදකයන්ටත් ආරාධනා කරනවා. ඒ තුළින් මෙතෙක් මේ රටේ ජනතාව නොදැන සිටි ආඩම්බරයක් විය හැකි විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තකරුවෝ රාශියක් නිහඬව විවිධ අභියෝග ජයගෙන ඇති බව පෙන්නුම් කරනවා.

ඔවුන් ඒ තත්ත්වයට පත්වූවා නම් ඇයි එවැනි වාහන පුළුල්ව රට තුළ භාවිතයක් නෙපෙනෙන්නේ..?

එය හොඳ ප්‍රශ්නයක්. එවැනි නිෂ්පාදකයන්ට රජයෙන්, ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ලැබිය යුතු පූර්ණ අනුග්‍රහය පසුගිය කාලයේ ලැබී නැහැ. දැන් විශාල වශයෙන් ප්‍රවාහන, කර්මාන්ත හා අනිකුත් රාජ්‍ය අංශ එකතු වී විශේෂ ප්‍රමුඛතාවක් ලබා දී තියෙනවා. උදාහරණයක් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් දුම්රිය දෙපාර්තමේන්තුව සතු මරදාන එල්ෆින්ස්ටන් ඉදිරිපස වූ ගරා වැටුණු ගොඩනැඟිලි කිහිපයක් ලබා දුන්නා, ට්‍රේස් නම් ආයතනයට. ඒ තුළ නව නිපැයුම්කරුවෝ රාශියක් තම නිෂ්පාදන හරහා නිර්මාණ කාර්යයයේ යෙදෙනවා. තරුණ විශ්වවිද්‍යාල උපාධිධාරීන් දහස් ගණනක් නිර්මාණ කාර්යයේ යෙදෙනවා. මම ප්‍රවාහන ඇමැති ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනයට ඌණ උපයෝජිත ගබඩා සංකීර්ණයක් විදුලි මෝටර් වාහන නිෂ්පාදනය සඳහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දුන්නා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විදුලි වාහනවල තිබිය යුතු ප්‍රමිතීන් සකස් කර ඒවා ලියාපදිංචිය ආරම්භ කර තියෙනවා. මෝටර් වාහන පනත ඉදිරියට ගැළපෙන පරිදි සංශෝධනයට නීතිපති වෙත යවා තියෙනවා.

ඔබ සැහීමකට පත් වෙනවද, මෝටර් රථ කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්න විසඳී ඇති බවට..? 

කිසිසේත්ම නැහැ. විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඉතිරිව තියෙනවා. විශේෂයෙන් මෝටර් රථ වාහන, අමතර කොටස් ආනයනයේදී ඔවුන් මැදිහත් වී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යූ. ඇන්. ඩී. පී. වැනි ආයතන සමඟ එක්ව විශේෂ ණය යෝජනා ක්‍රම සකස් කර දිය යුතුයි.

අපේ රට විදුලි වාහන භාවිතයට හැරවීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සහයෝගයක් ලබාගත හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

ඔව්. කොවිඩ් 19 වසංගතයෙන් පසු යූ ඇන්. ඩී. පි. ආයතනය, යු. ඇන්. එස්කෙප් ආයතනය ඇතුළු විවිධ රටවල මේ සම්බන්ධ කටයුතුවලට සහභාගී වුණා. සෑම රටක්ම ඉතා විශාල වශයෙන් තිරසාර සංවර්ධනය සඳහා පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැරව විදුලියෙන් හෝ වෙනත් බලශක්තීන්ගෙන් ක්‍රියාත්මක වන වැඩමුළු පවත්වා වේගයෙන් ඉදිරියට ගොස් තියෙනවා. විශේෂයෙන් විශාල ජනගහනයක් ජීවත් වෙන චීනයේ හා ඉන්දියාවේ පාපැදි, යතුරුපැදි, මෝටර් වාහන දුම්රිය යනාදිය සියල්ල ශීඝ්‍රයෙන් විදුලියට පරිවර්තනය වුණා. කොරියාව ඇතුළු වෙනත් බටහිර රටවල් පර්යේෂණ කරමින් මේ සඳහා මැදිහත් වෙනවා. පරිසර වැඩසටහන් යටතේ කාබන් ක්‍රෙඩිට් මඟින් පරිසර සංරක්ෂණයට කෙරෙන දායකත්වය වෙනුවෙන් අරමුදල් පිහිටුවා මේ සඳහා ආධාර කරනවා. 2030 -40 දශකය තුළ ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් පොදු ප්‍රවාහනය ඇතුළු අනිකුත් අංශ ඩිජිටල්කරණයට විුත් හා විදුලි මාධ්‍ය භාවිතයට පෙලඹනවා.

මේ අනුව අපේ රටේත් විදුලි වාහන පිළිබඳ දැනුම්වත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන පැවසුවොත්?

විශේෂයෙන් ජනමාධ්‍ය ඇමැති වශයෙන් ජාතික රූපවාහිනියට, ස්වාධීන රූපවාහිනියට, ගුවන් විදුලි සංස්ථාවට, ලේක්හවුස් ආයතනයට විශේෂ වගකීමක් පවරා තියෙනවා, මේ රටේ ජනතාව වැඩි වශයෙන් පරිසර හිතකාමී අඩු වියදම් සහිත විදුලි වාහන පරිභෝජනයට පෙළ ගස්වන්නටත් ඒ සඳහා ඔවුන් දැනුම්වත් කිරීම සඳහා පූර්ණ දායකත්වයක් ලබා දෙන ලෙසටත්. එසේම පුද්ගලික අංශයේ මාධ්‍ය විසිනුත් අනාගත දැක්මක් සහිත මේ ප්‍රවාහන පද්ධතියේ හැරවුම් ලක්ෂ්‍යය දක්වා යන ගමනට සහය දෙයි කියා බලාපොරොත්තු වෙනවා.

විදුලි බලය අර්බුදයක්ව පැවැති කාලයේ වාහනත් විදුලියට හැරවීම අභියෝගයක් නෙමෙයිද?

මෙය සම්පූර්ණයෙන්ම හුදු නොදැනුවත් බව නිසා කරන ප්‍රකාශයක්. ඔබට ට්‍රේස් ආයතනයට ගියොත් බැලිය හැකියි, බැටරි චාර්ජින් මධ්‍යස්ථාන සූර්ය බලයෙන් කරන ආකාරය. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් වාහන අද පර්යේෂකයන් නිෂ්පාදනය කර තියෙනවා. ඒ නිසා ජාතික ප්‍රවාහන පද්ධතියට මෙය අතිරේක බරක් නොවැටෙන ආකාරයට වෙනත් බලශක්ති ප්‍රභව නිෂ්පාදනය කර ගැනීමටයි, ඒ පර්යේෂණ ආයතන කටයුතු කරන්නේ. නමුත් ඒ පර්යේෂණ ආයතනවලට ලබාදී ඇති රාජ්‍ය අනුග්‍රහය නම් ප්‍රමාණවත් නැහැ. වෙනත් රටවල විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී තියෙනවා. නමුත් මේ සඳහා විශ්වවිද්‍යාල පද්ධතියෙන් වැඩි දායකත්වයක් ලබා දිය හැකියි. අධ්‍යාපන ඇමැතිව සිටියදී මම පාසල්වලට තාක්ෂණවේදය හඳුන්වා දුන්නා. එහි ඉංජිනේරු තාක්ෂණයේ එක් විශාල කොටසක් වන්නේ මෝටර් වාහන තාක්ෂණයයි. එසේ උසස් පෙළ ඉගෙනුම් ලබන විශාල පිරිසක් අද සිටිනවා.

ඒ සිසුන්ටත් නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් ප්‍රායෝගික අත්දැකීමක් ලැබීමට අවස්ථාව හිමි වෙනවාද?

ඔව්. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව තාක්ෂණවේදය හදාරන සියලු සිසුන්ටත්, විශ්වවිද්‍යාලවල සිසුන්ටත් අනිකුත් උනන්දුවක් දක්වන සියලු දෙනාටත් මේ ප්‍රදර්ශනය නොවැම්බර් මස 10 සිට 12 දක්වා දැක ගැනීමට අවස්ථාව ලබා දෙනවා. වර්ෂ අවසානයේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර විද්‍යුත් හා විදුලි ප්‍රදර්ශනය මඟින් 2024 වර්ෂයට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පිම්මක් පැනීමට හැකි වේ යැයි අපි විශ්වාස කරනවා.

සුභාෂිණී ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division