පන්නිපිටිය විද්‍යාංලකාර ශාඛා පිරිවෙණ 1963.10.07 දින පස්වරු 1.45ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිග බලා පැවිදි ශිෂ්‍යයන්ට පාලි වරනැඟිල්ලත් ගිහි සිසුන්ට සංස්කෘත වරනැගිල්ලත් කියවා මා විසින් ආරම්භ කරන ලදී. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ භාෂා පීඨාධිපති කොටහේනේ පඤ්ඤාකිත්ති ස්ථවිරයන් හා බෞද්ධ පීඨාධිපති බඹරැන්දේ සිරි සීවලී ස්ථවිරයන් ද, ඇතුළත් වූ සිසුන්ට ගුරු හරුකම් අනුශාසනා කරන ලදි.
පිරිවෙණක් පිහිටුවීම සඳහා මේ වටිනා ඉඩම විද්‍යාංලකාර සභාවට පරිත්‍යාග කළ මාපිටිගම ගුණරතන ස්ථවිරයන් තම ප්‍රීතිය ප්‍රකාශ කරමින් ඉඩම මිලදී ගැනීම් ආදිය සඳහා ආධාරෝපාකාර කළ හැම දෙනාටම පින් පමුණුවමින් උදාන වාක්‍යයක් බිහි කරන ලදී. එදින ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 46කි. පැවිදි ශිෂ්‍යයෝ 8 නමකි. ගිහි ශිෂ්‍යයෝ 38කි. ‘‘
පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙණ ආරම්භ කිරීම වෙනුවෙන් එහි නිර්මාතෘ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් විසින් එහි පළමු ලොග් සටහන එසේ තබන ලදි. උන් වහන්සේගේ මුවින් නිරතුරුවම පවසා ඇත්තේ ‘විද්‍යාලංකාර පිරිවෙණ කියන්නේ මගේ ජාතක දරුවෙක්‘ යන්නයි.
එකල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයටත් වඩා වැඩි සිසුන් පිරිසක් පිරිවෙණේ අධ්‍යාපනය ලබා ඇත. ආරම්භක කෘත්‍යාධිකාරි ලෙස වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් කටයුතු කළ අතර පළමු ආචාර්ය මණ්ඩලයට පළමු පරිවේණාධිපති ධුරය දරන ලද්දේ කෑල්ලේ ධම්මපාල හිමියන් විසිනි. විශ්වවිද්‍යාල පිරිවෙණක් ලෙස ආරම්භ කළ මේ පිරිවෙණ පසුව මූලික පිරිවෙණක් හා පසුව මහ පිරිවෙණක් දක්වා උසස් කෙරිණි.
පිරිවෙණ ආරම්භ කර කෙටි කාලයක් තුළදී සියලු අංශවලින් දස්කම් දක්වන ගිහි පැවිදි සිසුන් බිහි වූ අතර 70 දශකය ආරම්භයේදී දක්ෂතම වොලිබෝල් කණ්ඩායම බිහි කර ඇත්තේද විද්‍යාලංකාර පිරිවෙණ තුළිනි. අද වන විට 100කට ආසන්න සිසු පිරිසක් අධ්‍යාපනය ලබන පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණේ වත්මන් කෘත්‍යාධිකාරි ධුරය දරන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණේ පරිවේණාධිපති වැලමිටියාවේ ඥානරතන හිමියන්ය.
ප්‍රාචීන පණ්ඩිත උපාධිය දක්වා වන අධ්‍යයන කටයුතු සිදු කෙරෙන පිරිවෙණෙහි සිංහල, පාලි, සංස්කෘත භාෂාවන්ට මුල් තැනක් ලබා දීමට කටයුතු කර තිබේ.
ඊට අමතරව ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව වැනි විෂයයන්ද හැදෑරිය හැකිි අතර උසස් පෙළට ඉගැන්වීම් කරන්නේ කලා විෂයයන් පමණි.
මීට සති කිහිපයකට පෙර 60 වන සැමරුම වෙනුවෙන් ‘විදුලකර අභිමන්‘ නමින් විශිෂ්ට ගණයේ විශේෂ සමරු කලාපයක් එළි දක්වන ලදී. පැවිදි සිසුන්ට විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙසින් පිරිත් පුහුණු කිරීම්, ධර්ම දේශනා කිරීමට හා බෝධි පූජා පැවැත්වීම වැනි භික්ෂූන් වහන්සේට අත්‍යවශ්‍ය පුහුණු කිරීම්ද සිදු කෙරේ. එමෙන්ම භික්ෂූ ආකල්ප වැඩි කිරීමට මෙන්ම භාවනා වැඩසටහන්ද ක්‍රියාත්මකය.
එමෙන්ම සිසුන් සම්බන්ධ කරගෙන වැඩිහිටි නිවාසයන්ට ආහාර ලබා දීම මෙන්ම පාසල්වල පෙර පොහෝ දින වැඩ සටහන්ද ක්‍රියාත්මක කෙරේ. 2019 වසරේ පෙබරවාරි 11 දින පන්නිපිටිය විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට පත් ගැමුණුපුර සෝමවංශ නාහිමියන් විසින් පිරිවෙණ ආරම්භයට පෙර ඉදි කරන ලද ගොඩනැගිලි නවීකරණය කර නවීන යුගයට සරිලන සේ ස්මාට් පන්ති කාම අරඹා පුස්තකාල, විද්‍යාගාර ස්ථාපිත කර පිරිවෙණ නවීකරණය කරන ලදී.
ආචාර්යවරුන් බඳවා ගැනීමේදීද අදාළ විෂයට අමතරව පරිගණක දැනුම මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කෙරේ. ඉදිරියේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද පිරිවෙණේ අධ්‍යයන කටයුතු කිරීම උන් වහන්සේගේ අපේක්ෂාව වී තිබේ.
පිරිවෙණ අතර සුවිශේෂී පිරිවෙණක් ලෙස පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණ හැඳින්විය හැක්කේ එහි කිසිදු විහාරස්ථානයක් නොමැති බැවිනි. එය හුදෙක්ම අධ්‍යාපන ආයතනයක් පමණි. එහි දායක සභාවක් නොමැත. නේවාසික භික්ෂූන් වහන්සේට දානය සකසා ලබා දීම විනා බාහිර දාන මාන ලබාදීමක්ද සිදු නොවේ.
පරිවේණාධිපති හිමියන්ගේ ඉලක්කය වී ඇත්තේ සිසුන් සංඛ්‍යාව 150ක් දක්වා වර්ධනය කර ගැනීමටය.
සාමාන්‍යයෙන් පිරිවෙණ තුළ දක්නට නොවුණත් මේ පිරිවෙණේ භික්ෂුන් වහන්සේගේ මාධ්‍ය ඒකකයක් ස්ථාපිතය. ‘බුදුපුතු මාධ්‍ය ඒකකය‘ නමින් හඳුන්වන එමඟින් නිවේදන හැකියාව දියුණු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව එකි සිසුවෙක් අනිවාර්යයෙන්ම සතියේ දින 5ට අදාළව එක් එක් භාෂාවකින් කතාවක් කළ යුතුය. එහිදී සඳුදා සිංහල, අඟහරුවාදා ඉංග්‍රීසි, බදාදා පාලි හා බ්‍රහස්පතින්දා සංස්කෘත ලෙසින් කතා කළ යුතු අතර සිකුරාදා නැවත සිංහල මාධ්‍ය භාවිත කෙරේ.
පිරිවෙන් ඒකකයෙන් පිරිවෙන් රැක ගැනීම උදෙසා දැනට වඩා වැඩි කර්තව්‍යයක් සිදු කළ යුතුය. වර්තමානයේ නීති රෙගුලාසිවලට පමණක්ම යට වී කටයුතු කරන තත්ත්වය මඟ හැර උගතුන් බිහි කරන තෝතැන්නක් ලෙස පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණ පත් කළ හැක්කේ එවිටය.
තාරක වික්‍රමසේකර