Home » ලොවම දිනන දරුවන් තනන හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය

ලොවම දිනන දරුවන් තනන හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment
අචාර්ය මණ්ඩලය, ඉහළ කළමනාකරණ මණ්ඩලය, බාලදක්ෂ කණ්ඩායම

හෝමාගම නගරයට කිලෝමීටරයක් පමණ දුරින් නිහඬ නිසංසල, දැකුම්කළු පරිසරයක ස්ථාපිතව ඇති හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, බස්නාහිර පළාත් සභාවට අයත් 1AB වර්ගීකරණය යටතට ගැනෙන පාසලකි. හෝමාගම කලාපයේ, හෝමාගම කොට්ඨාසයේ ප්‍රධාන පාසලක් ලෙස සැලකෙන මෙය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මිශ්‍ර පාසලකි.

මෙහි ඉතිහාසය පිරික්සා බලන විට 1900 වසර වන විට පැවැතියේ දැනට හෝමාගම සතිපොළ අසල ඇති හෝමාගම මහා විද්‍යාලය පමණි. කාලය ගෙවී යාමත් සමඟ නව ඉංග්‍රීසි පාසලක අවශ්‍යතාවය දැඩිලෙස දැනුණු බැවින් එකල මෙම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දානපතියකු වූ බී. ඒ. සෙමනේරිස් අප්පුහාමිට අයත් කුරුඳු ඉඩමක් ඒ සඳහා පරිත්‍යාග කිරීමට එකඟ වී ඇත. එවකට සිටි දේශපාලන අධිකාරිය විසින් 1937 දී මෙම කුරුඳු ඉඩම එළිපෙහෙළි කර ගොඩනැගිලි හතරක් ඉදිකරන ලද අතර එය ක්‍රමයෙන් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය නම් වූ තක්ෂලාව පිහිටා ඇති සුන්දර භූමිය බවට පත්විය. මෙහි වපසරිය අක්කර හතකි.

1937 වසරේ අරඹන ලද මේ විද්‍යාලය රජයේ ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි පාසල හෙවත් Government Senior English School ලෙස නම් කෙරිණි. ඒ අනුව හෝමාගම මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට ඉහළට පවත්වන ලද ඉංග්‍රීසි මාධ්‍ය ශ්‍රේණි හා මාවත්ගම විදුහලේ 6 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණිවල දරුවන්ටද මේ විද්‍යාලයේ දොරටු විවිර විය. එවකට පාසල වරු දෙකම පවත්වන ලද අතර, 6 වන ශ්‍රේණියේ සිට කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය දක්වා ශ්‍රේණි පවත්වා ඇත. සිසු සිසුවියන් 168 ක ගෙන් හා 05 දෙනෙකුගෙන් යුතු ආචාර්ය මණ්ඩලයකින් සමන්විතව පැවති බව මෙහි ඉතිහාසය කියයි.

පසුව 1949 වසරේ සිට එක් වරුවක් පමණක් උගන්වන පාසලක් වූවා පමණක් නොව සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ඉගෙනුම් කටයුතුද කරන ලදී.

පසුව 1979 දී ගරු ගාමණී ජයසූරියගේ සුවිශේෂී උනන්දුව මත මෙම විද්‍යාලය හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය ලෙස නම් කරන ලදී. ඒ අනුව උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ, කලා යන සියලු අංශවලින් අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට හැකි විය. නැවත 1998 වසරේදී පළමු ශ්‍රේණිය ඇරඹූ අතර 1-13 ශ්‍රේණි පවත්වන පාසලක් බවට පත් විය.

වර්තමානයේ දියගම කනිෂ්ඨ විද්‍යාලයේ සියලු දරුවෝ ද, පනාගොඩ යුද හමුදා විද්‍යාලයේ පන්ති දෙකක දරුවෝද වාර්ෂිකව මේ විද්‍යාලයේ 6 ශ්‍රේණියට ඇතුළත් වෙති. හෝමාගම මහා විද්‍යාලයෙන් මෙම විද්‍යාලයේ 6 ශ්‍රේණියට ඉල්ලුම්පත් යොමු කරන සියලුම දරුවන්ද ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ප්‍රමුඛතාව මත පුරප්පාඩු සඳහා ඇතුළත් කර ගැනීම වර්තමානයේ සිදුවේ.

වසර 80ක ඉතිහාසයකට උරුමකම් කියන හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය හෝමාගම මැතිවරණ කෙට්ඨාසයට අයත් එකම මධ්‍ය මහා විද්‍යාලය වේ.

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂ සමූහය 2004 වර්ෂයේදී විදුහල්පති සරත් කිත්සිරිගේ මගපෙන්වීමෙන් ආරම්භ විය. 2019 වර්ෂයේ සිට අද වන විට බාලදක්ෂ බාලකයින් මෙන්ම බාලදක්ෂ බාලිකාවන්ද සමඟින් හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාවේ ක්‍රියාකාරී බාලදක්ෂ සමූහයක් ලෙස බාලදක්ෂයින් 40 දෙනෙකුගේ පමණ සාමාජිකත්වයෙන් ක්‍රියාත්මක වේ. වසර 19 කට පසු ප්‍රථම වරට 2023 වර්ෂයේදී ජනාධිපති බාලදක්ෂ බාලිකාවන් දෙදෙනෙකු විද්‍යාලයීය බාලදක්ෂ සමූහයෙන් බිහි කිරීමටද හැකි විය.

2023 කලාප මලල ක්‍රීඩා තරගාවලියේ දී 12න් පහළ මීටර් 100ය ඩෙහෙන් දෙව්නක හා දෙහාන් දෝජිත මී.80 කඩුලු මතින් පැන දිවීම ඉසව්වලින් පරිසාධන සාධන මට්ටමට ළඟා විය. මීට අමතරව 16න් පහළ දුර පැනීම, මීටර් 200 හා මීටර් 400 ය යන ඉසව්වලින් විනුති උමයංගනා ප්‍රථම ස්ථානය දිනා ගත් අතර, ශනුරි ඕෂදි මීටර් 100ය කඩුලු මතින් පැන දිවීම ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තාය. තිමිර රන්දික උස පැනීමෙන් ප්‍රථම ස්ථානයත්, ප්‍රබුදිත අමාසෙන් 18 න් පහළ හෙල්ල විසිකිරීම තෙවන ස්ථානයත්, රමේෂා 20න් පහළ මීටර් 100 කඩුලු තෙවන ස්ථානයත්, තනුක චමෝද්‍ය මීටර් 110 කඩුලු – දෙවන ස්ථානයත් දිනා විද්‍යාලයට මහත් කීර්තියක් අත් කර දීමට සමත් විය.

එදා මෙදා තුර හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි කරන ලද සුවිශේෂී චරිත විශාල ප්‍රමාණයකි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය වූ පුෂ්පා කළුබෝවිල, අන්තර් ජාතික ව්‍යාපාරිකයකු වූ රිචී සමූහ ව්‍යාපරයේ අධිපති චිරන්ත හෙට්ටිආරච්චි ද, ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ වල්පොල හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිවූ රටම දන්නා පුද්ගලයෝ ය. මීට අමතරව නීතීඥයින්, වෛද්‍යවරුන්, හමුදා නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් බිහිකරලීමට මෙම විද්‍යාලය සමත් වී ඇත.

හෝමාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් අතුරින් 90% ක් පමණම හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ වෙති. ආරම්භයේදී රජයේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික ඉංග්‍රීසි පාසල, රජයේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල, හෝමාගම මහා විද්‍යාලය, නවෝද්‍යා පාසල ආදී විවිධ මට්ටම් පසු කරමින් විද්‍යාලයේ දෙමාපියන්, ආදි සිසුන් හා සුබ පතන්නන්ගේත්, දේශපාලන අධිකාරියේත් පූර්ණ සහයෝගය හා ආශීර්වාදය මත දිනෙන් දින දියුණුවට පත්වන හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය වන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I පන්තියේ නිලධාරිනියක වන ඒ. පුෂ්පානි ආදිහෙට්ටියි. 2023 අප්‍රේල් 17 වැනිදා විද්‍යාලයට පැමිණි ඇය විසින් විද්‍යාලයේ දියුණුව සඳහා වෙනස්කම් රැසක් සිදු කරන ලදී. “හොඳම දේ දරුවන්ට – නිවැරදිම දේ දරුවන්ට ” යන තේමාවේ පිහිටා තම පරිපාලන කටයුතු සිදු කරන ඇය විනය ගරුක දරු පරපුරක් නිර්මාණය කිරීමෙහිලා දැඩි උත්සාහයක නිරතව සිටින්නීය. ඇය හා 106ක් වූ ආචාර්ය මණ්ඩලයත්, පස්දෙනකුගෙන් සමන්විත අනධ්‍යන කාර්ය මණ්ඩලයත්, 2400ක් දූ දරුවන් වෙනුවෙන් තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන්නීය.

   

රසික කොටුදුරගේ, ඡායාරූප- නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division