Home » සහෝදර සම්පත්තිය ශරීර ශක්තිය ගැන කියන සහෝදර රේඛා සහ මහා ත්‍රිකෝණය

සහෝදර සම්පත්තිය ශරීර ශක්තිය ගැන කියන සහෝදර රේඛා සහ මහා ත්‍රිකෝණය

by thanushika
October 21, 2023 12:34 pm 0 comment

කෙනෙකුගේ පවුල් ජීවිතය ගැන විමසීමක් කිරීමේදී සහෝදර සහෝදරියන් ගැනත් විමසන්නට අමතක කරන්නෙ නැත. සහෝදර සහෝදරියන් කී දෙනෙක් සිටීද ඔවුන් කුමන තත්ත්වයේ අයද? ඔවුන්ගෙන් ඒ අයට උදවු ලැබෙනවාද? මේ ආදී වශයෙන් තම තමන්ගේ සහෝදර සහෝදරියන් ගැන තොරතුරු දැනගන්න අපි මොනතරම් එහෙම නම් උත්සාහ කරනවාද? කෙනෙකුගේ අත බලා කෙනෙකුගේ සහෝදර සහෝදරියන් ගණන පුළුවන් නම් මොනතරම් වටිනවද කියල ඔබටත් හිතෙනවා ඇත. ඒ පිළිබඳව දැනුමක් ලබා දීම මෙවර ඉසිවරෙන් සිදු කෙරේ.

සිකුරු මණ්ඩලයෙන් පහළ මහපටඟිල්ලත් මැණික් කටුව ප්‍රදේශයත් අතර සහෝදර රේඛා පිහිටා තිබේ. මේ සමඟ පළ වන රූප සටහනින් එම රේඛාවල සාමාන්‍ය පිහිටීම බලාගත හැකි වේවි. එහි දිස්වන දීර්ඝ සෘජු රේඛාවලින් සහෝදරයන්ගේ ගණනත්, කෙට්ටු හෝ ඇදවූ රේඛාවලින් සහෝදරියන්ගේ ගණනත් දැනගත හැකි වෙයි. අත් රාශියක් බලා අත්දැකීම් ලැබූ විට කෙනෙකුගේ සහෝදර, සහෝදරියන්ගේ ගණන හරියටම කියන්නට ඔබටත් හැකි වේවි.

හස්ත රේඛා ශාස්ත්‍රය අනුව සහෝදර, සහෝදරියන්ගේ නිවැරදි තොරතුරු කියන ආකාරය ගැන මේ වනතුරු විධිමත් පර්යේෂණ කර නැති නිසා අපි ඒ ගැන වඩාත්ම විමසිලිමත් විය යුතුය. මුලින් සඳහන් කළ අන්දමට සහෝදරයන් වෙනුවෙන් වැටී ඇති රේඛාවලින් වඩාත්ම පළල්ව පිහිටා ඇති ගැඹුරු රේඛාවලින් උසස්ම දියුණුවක් ලබන සොහොයුරන් ගැන ප්‍රකාශ වෙයි. සහෝදරියන් ගැන කියැවෙන රේඛාවලින් වඩාත්ම කැපී පෙනෙන රේඛා වැටෙනු ඇත්තේ උසස්ම දියුණුවක් ලබන සොහොයුරියන් වෙනුවෙනුයි. ඒ වගේම ත්‍රිශූල, තරු ආදී ලක්ෂණවලින් අවසන් වූ සහෝදර, සහෝදරියන්ගේ රේඛාවලින්ද උසස් දියුණුවක් ලබන සහෝදර, සහෝදරියන් හඳුනාගත හැකි වෙයි. සහෝදර රේඛා අතරින් උසින් හා මහතින් වැඩි රේඛා වැටෙනු ඇත්තේ තමන්ට වඩාත් උදවු උපකාර ලබාගත හැකි සහෝදර සහෝදරියන් වෙනුවෙනුයි.

කිසිම උදවුවක් ලබාගත නොහැකි සහෝදර, සහෝදරියන් වෙනුවෙන් දුර්වර්ණ වූ කෙටි රේඛා වැටෙන බව මතක තබා ගත යුතුය. එක කුස උපන් තමන්ගේම සහෝදර, සහෝදරයන් මරා ගන්නා අයත් අප අතර ඉන්නා බව රහසක් නොවේ. තැනින් තැන කැඩුන කළු පාට සහෝදර රේඛාවලින් ඒ වගේ දේවදත්ත වැනි සහෝදරයන්ද පෙන්නුම් කරයි.

කෙටි රේඛාවලින් කැපී ගිය හෝ දෙකඩ වී ගිය සහෝදර රේඛාවලින් මළගිය සහෝදරයන් ගැන කියැවෙයි. ඒ විදියටම සහෝදරියන් ගැනත් ප්‍රකට වේ. රේඛාවන් කැපී හෝ දෙකඩ වී නම් එමඟින් ප්‍රකට වන්නේ සහෝදරයන් මිය ගොස් ඇති බවය. සමහර විට ඉදිරියේදී අකල් මරණයකට ගොදුරු වෙයි. එකට ඒකාබද්ධ වූ හෝ කරු ලක්ෂණයකින් ආරම්භ වූ සහෝදර රේඛාවලින් බොහෝ විට පෙන්නුම් කරන්නේ නිවුන් සහෝදරයින්ය.

මහා ත්‍රිකෝණය

මහා ත්‍රිකෝණය නිර්මාණය වන්නේ එක පැත්තකින් ජීවන රේඛාවත් අනෙක් පැත්තෙන් ශීර්ෂ රේඛාවත් අතරිනි. තවත් පැත්තකින් සුඛ රේඛාවෙනුත් මායිම් වූ ඒකාබද්ධ වීමෙන්ය. අල්ල මැද්දේ පිහිටන මේ මහා ත්‍රිකෝණය කලින් විස්තර කර දී ඇති කුජ තලාවට බොහෝ විට සමාන වගේ පෙනුණත් ඔය දෙකේ විශාල වෙනසක් තියෙන බව අමතක නොකළ යුතුය. සමහර අයගේ අත්වල සුඛ රේඛාව පිහිටා නොතිබෙන්නට පුළුවනි. එවැනි අවස්ථාවක කීර්ති රේඛාව පිහිටා තිබේ නම් එය ඒ පැත්තට මායිම වශයෙන් සැලකීමට පුළුවන. අල්ලේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින මහා ත්‍රිකෝණයක් පිහිටීම වඩාත්ම වාසනාවන්ත පිහිටීමක් වෙයි.

මනා ශරීර ශක්තියක් ඇති වීමට සේම ප්‍රගතිශීලි අදහස් මනා සේ ඇති වීමටත් හේතු වේ. ජීවන, ශීර්ෂ, හෘදය රේඛාව යන රේඛා තුනම රෝස පැහැයෙන් යුක්ත වන අල්ලත් මහා ත්‍රිකෝණයට අයත් වන ප්‍රදේශයත් ලා රෝස පැහැයෙන් යුක්ත වීමත් භාග්‍යවත් පිහිටීමක් වෙයි. නින්දිත ගති පැවතුම් ඇතිවන නිසා මෙම මහා ත්‍රිකෝණය ඉතා කුඩා වීම සුබදායක නොවේ. බාධක රේඛාවලින් ව්‍යාකූල නොවී මනාව පිහිටා ඇති මහා ත්‍රිකෝණය නිසා එයට සම්බන්ධ වන්නා වූ ජීවන රේඛා සහ අනිත් රේඛාවල බලය වර්ධනය වෙයි. කැඩී බිඳී ගිය ජීවන ශීර්ෂ සුඛ රේඛාවන්ගෙන් නිර්මාණය වන මහා ත්‍රිකෝණය අසුබ පිහිටීමකි. එවැනි සලකුණු ඇති අය ආත්මාර්ථකාමී පුද්ගලයින් වන අතර ඔවුහු දූෂිත චරිත ඇත්තෝද වෙති. මහා ත්‍රිකෝණයට සීමා වන අල්ලේ මැද ප්‍රදේශය (කුජ තලාව) වළ ගැසී තිබීම පුද්ගලයා තුසීත අයෙක් බව ප්‍රකට කරයි. මහා ත්‍රිකෝණය තුළ දිස්වන කුඩා ත්‍රිකෝණයක සලකුණ වාසනාවන්තය. රජයේ සේවයේ උසස් තනතුරු ලැබීමට මෙය හේතු වෙයි. මහා ත්‍රිකෝණය තුළ රතු පැහැති ලප පිහිටීම රුධිර ධාවනයේ රෝගවලට සහ සිරුරේ හෝමෝන සමතුලිතතාව බිඳ වැටී ඇති බවට සලකුණකි. කාන්තාවකගේ නම් දරු ගැබක පිහිටීමක් එම ලක්ෂණය තුළින් දැකිය හැකි වෙයි. මහා ත්‍රිකෝණය තුළ සුදු පැහැ ලප පිහිටීම බිඳ වැටුණ සෞඛ්‍ය තත්ත්වය පෙන්නුම් කරයි. සෙම් රෝග හා කාන්තාවක් නම් විවිධාකාර කාන්තා රෝගද වැලඳිය හැකි බව කියැවේ. එමෙන්ම මහා ත්‍රිකෝණය මත කළු ලප බෙහෙවින්ම අශුභ පල ගෙන දෙයි. නෂ්ට කාම රෝග, දරු පල හීන වීම, උෂ්ණ රෝග ආදී විවිධ ලිංගික රෝගාබාධ ඇති බවට කළු ලප සලකුණක් විය හැකි බැවින් මහා ත්‍රිකෝණය තුළ පවතින ලප කැළැල් පිළිබඳව ද නිරන්තරයෙන් පරීක්ෂාකාරී විය යුතු වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division