Home » ජැක්සන්ගේ මළ ගෙදර පක්ෂ විපක්ෂ හමු

ජැක්සන්ගේ මළ ගෙදර පක්ෂ විපක්ෂ හමු

by Mahesh Lakehouse
October 14, 2023 12:00 am 0 comment

ජාත්‍යන්තර සමුළු කිහිපයකට සහභාගී වෙමින් ජනපති මෙම සතිය ගෙවා දැමූවේ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලංකාවට ලබා දෙමිනි. ජාත්‍යන්තරය ඉදිරියේ පසෙකට තල්ලු වී තිබූ ශ්‍රී ලංකාව ජනපති රනිල්ගේ මැදිහත්වීමෙන් ඉදිරියට එමින් තිබේ. ඉන්දියානු සාගර වටද්දර සමුළුව ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර රාජ්‍යයන් 28ක විදේශ අමාත්‍යවරුන් ඊට සහභාගි වී සිටියහ.

ජනපති සති අන්තයේ මඩකලපුවේ සංචාරය කළේ රටවල් ගණනාවක පරිසර අමාත්‍යවරුන් මෙරටදී පැවැත්වූ සමුළුවට සහභාගි වීමෙන් පසුවය.

මෙලෙස ජාත්‍යන්තරය දිනා ගන්නා අතර ජනපති රනිල් මඩකලපුවේදි සිය ගෝලබාලයන්ට හොඳ උපදෙස් දුන්නේය. ඒ උත්සව හා ක්‍රියාකාරකම්වලදී සිය රූපය යොදා බැනර්, කටවුට් පෝස්ටර් භාවිත නොකරන ලෙස කියමිනි.

සඳුදා කාර්යාලයට පැමිණි ජනපති රනිල් සිය සගයන් සමඟ සාකච්ඡා කළේ ඒ වන විට ලෝකය තුළ අවධානය යොමු වෙමින් තිබූ ඊශ්‍රායල් – පලස්තීන ගැටුම ගැනය. ඊශ්‍රායල පලස්තීන ගැටුම ගැන මුලින්ම අවධානය යොමු කළේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය.

“මේ ගැටුම කොච්චර දුරට යයි ද කියලා තවම කියන්න බෑ. නමුත් මේක ලෝකයේ ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාමට බලපානවා.” ජනපති රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.

“ඔව් දැනටමත් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා. පහුගිය සති දෙක තුළ යම් පහළ යාමක් ඉන්ධන මිලේ තිබුණත් දැන් එය ඉහළ ගොස් තිබෙනවා.” මන්ත්‍රී වජිර අබේවර්ධන පෙන්වා දුන්නේ එවැන්නකි.

“ඉන්ධන මිල වැඩි වුණාම වක්‍රව බඩු මිලත් ඉහළ යනවා. මේක අපේ ජනතාවට දැනෙන ප්‍රශ්නයක්.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල කීවේ බැරෑරුම්වය.

“ජනාධිපතිතුමා මේ ගැන ජනතාවට කියන්න. මොකද අපිට පාලනය කරන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් තියෙනවා කියලා ජනතාව දැන ගන්න ඕනෑනේ.” ලේකම් සමන් ඒකනායක කී දේ කවුරුත් අනුමත කළේය.

ජනපති රනිල් ඊට පිළිතුරු දෙමින් කීවේ තමන් මේ ගැන ඇමැති මණ්ඩලයේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවය. එය මාධ්‍යයට ලබා දෙන ලෙස කී ජනපති එදින පෙරවරුවේ පැවැති ඇමැති මණ්ඩලයට ඊශ්‍රායල පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් ලංකාව දරන ස්ථාවරය මෙන්ම එයින් ලංකාවට ඇතිවන බලපෑම ගැන ද කරුණු පැහැදිලි කළේය.

ජනපති සාගලට පැවරූ වගකීම්

බම්බලපිටිය දුම්රිය මගී පාලම ගැන ජනපති කතා කළේ අගහරුවාදා පැවැති මහා මාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ හමුවකදී ය. මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ජනපති රනිල් නියෝග කළේ වහාම එම ගුවන් පාලම ප්‍රතිසංස්කරණය කරනා ලෙසටය.

ඊට අමතරව අතරමඟ නතරව පවතින ගුවන් පාලම් තුනක් ඉදි කිරීමේ කටයුතු ගැන ද මෙහිදි සාකච්ඡා වූවේය. එම ගැටළුව විසදීමට ද ජනපති රනිල් විසින් සාගල රත්නායකට පැවරූ අතර ඒ අනුව ඔහු නිලධාරීන් කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. ඒ සීවලි විද්‍යාල සිසුන් මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනපතිගෙන් කළ ඉල්ලීමකට අනුවය.

කථානායක පුදුම කළ උපන්දින තෑග්ග

එම උත්සවයට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් පැමිණෙන බව දැන සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායකට තවත් ආරංචියක් දැන ගැනීමට ලැබුණේ එදින පෙරවරුවේය. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපන්දිනයත් එදිනට යෙදී ඇති බවටය. ජනපති ලේකම් සමන් ඒකනායක වහාම ඇමතුමක් ගත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නටය.

නියෝජ්‍ය මහලේකම් ඇමතු ජනපති ලේකම් විමසා සිටියේ “අද කථානායකතුමාගේ උපන් දිනය නේද?” යනුවෙනි. එය තහවුරු කරගත් ලේකම්වරයා වහාම කේක් ගෙඩියක් ගෙන්වා ගෙන උත්සවයට පැමිණි කථානායකවරයාව හදිසි පණිවුඩයක් ඇතැයි කියමින් උත්සව සභාවට යාමට පෙර ජනපති නිල කාමරය වෙත කැඳවාගෙන ගියේය.

ජනපති රනිල්ගේ කාමරයේ කේක් ගෙඩියක් තිබෙනු දුටු කථානායක මහින්ද යාපා ද පුදුමයට පත් වූ අතර කථානායකවරයා කේක් කපා ජනපතිට ද පිළිගැන්වූවේ පැමිණ සිටියවුන්ගේ සුබ පැතුම් මධ්‍යයේය.

ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ ලොතරැයියේ පළමු පිටපත ජනපතිට භාර දුන්නේ ද එදින සවසය. ඉන්දියානු සාගර කලාපීය වටද්දර සමුළුවට සහභාගීවීම සඳහා මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු විදේශ ඇමතිවරිය මෙන්ම එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය රාජ්‍ය අමාත්‍යවරිය ඇතුළු විදෙස් ඇමතිවරු රැසක් ජනපති මුණ ගැසී කතා බහ කළෝය.

මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවල ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීමට හා විනාශ වූ මාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනපති උපදෙස් දුන්නේ ලේකම් සමන් ඒකනායකටය. ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ප්‍රදර්ශනයට සහභාගීවිම සඳහා ජනපති කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත ගියේ බදාදා ය.

කලාභූෂණ රාජ්‍ය සම්මාන උත්සවය ද පැවැතියේ එදින මය. දිවයින පුරා සිටින කලාකරුවන් 200ක පමණ පිරිසකට සම්මාන පිරිනැමුවේ මහරගම තරුණ සේවා සභාවේදී ජනපතිගේ සුරතිනි.

හරීන්ට හා මනූෂට රනිල් දුන්නු උපදෙස සමුළුව නිමවා සිය කාර්යාලය වෙත පැමිණි ජනපති හරීන් මනූෂ ඇතුළු මැති ඇමතිවරු පිරිස මුණ ගැසුණේ ගමන් විඩාව පසෙක තබාය. “අපි ඇමැතිකම් මන්ත්‍රීකම් දරන එක අවසන් කියා තමයි කට්ටිය කියන්නේ” ඇමැති හරීන් කීවේ සිනා මුසුවය.

“බොරුවටනේ ඔයාලා බය වෙලා ඉන්නේ. මුලින්ම නසීර් අහමඩ් ගේ මන්ත්‍රීධුරය ගැන දීපු නඩු තීන්දුව හොඳින් කියවන්න.” ජනපති කීවේ මන්ත්‍රී දෙපළ දෙස බලමිනි.

“නසීර් අහමඩ් එයාට පක්ෂයෙන් එක්වූ චෝදනා පත්‍රයට උත්තර බැඳලා නෑ. ඒකට උත්තර දෙන්න කල් අරගෙන තියෙනවා විතරයි. තමන්ට විරුද්ධව දීපු චෝදනා පත්‍රය වැරදියි කියලා එයා පිළිතුරු දෙන්න ඕනා. ඒක කළේ නැති නිසා තමයි උසාවිය මේ තීන්දුව දුන්නේ.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූයේ එලෙසිනි.

“චීන ණය සහනය ගැන අයි.එම්.එෆ් කටිටිය දන්නේ නෑ කියන්නේ.” ඒ පැනය මහාචාර්ය ආශු මාරසිංහගෙනි.

“ඔව් ඒක එයාලට කියන්නේ නෑනේ. චීනය සමඟ අපි කතා කළා එයාලා අපිට සහනයක් දෙන්න එකඟවෙලා තියෙනවා. සාකච්ඡා ඉවර වුණාට පස්සේ ගිවිසුම් අත්සන් කළා.” සාගල රත්නායක කීවේ එවැන්නකි.

නව පරිසර ඇමති කවුද?

නසීර් අහමඩ්ගෙන් හිස්වූ පරිසර ඇමතිධුරය ව්‍යවස්ථානුකූලව ජනපති යටතට පත්ව තිබෙන බව මෙහිදි හෙළිදරව් විණි. ජනපති චීන සංචාරයෙන් පසු නව ඇමතිවරයෙකු මේ විෂයට පත් කරන්නේ ද නැති ද යන්න ගැන තීන්දුවක් ගැනීමට නියමිතය.

කපු වගාව විදේශ විනිමය ගෙනෙන මහා පරිමාණ මෙන්ම ගෙවතු වගාවක් ලෙස ද ප්‍රචලිත කිරීමේ ආරම්භයක් ලෙස, අග්‍රාමාත්‍ය කාර්යාලය මාසිකව මෙහෙයවන ‘සංකථන මණ්ඩපය’ මෙවර වෙන් කළේ ලෝක කපු දිනය වෙනුවෙනි.

උත්සවය අවසානයේ අග්‍රාමාත්‍යවරයා ළඟට ගිය අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම පෙන්වා කියා සිටියේ “සර් මෙයා හිතල තියෙන්නේ කපු දිනය කිව්වම වෙන අර්ථයක්. ඒකයි ඔය පොලොන්නරුවේ ඉඳලා තකහනියක් කිට මරලා ඇවිත් තියෙන්නේ.”

“මෙයාගේ විහිළු සර්, මම ආවෙ දැනටමත් කපු වගාකරන අපේ වැලිකන්ද ගොවීන් එක්ක. මේක අපේ පෙදෙස්වල තවත් ව්‍යාප්ත කරගන්න හම්බ වුණොත් ගොවි ආර්ථිකයට වගේම රටට ඩොලර් ගේන මහා වටිනාකමක් සර්.” ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඉන්දීය විදේශ ඇමති නාමල් ගැන මහින්දගෙන් ඇහුවේ මොනවාද?

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පසුගිය 11දින සිදු විය. මෙම හමුව සිදුවූයේ මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින නිල නිවසේ රාත්‍රී 7ට පමණය. මෙම හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහභාගි වුහ. මුලින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැලීමට පැමිණි ඉන්දීය විදේශ ඇමති ජයශංකර් දීර්ඝ කතා බහක නිරත විය. මෙහිදී මෙම හමුව පැවැත්වෙන විට නාමල් රාජපක්ෂ පැමිණ සිටියේ නැත. ජයශංකර් අමාත්‍යවරයා මෙහිදී නාමල් රාජපක්ෂ කොහිදැයි විමසීය. නාමල් පැමිණියේ ඉන් අනතුරුව විනාඩි 15ක් පමණ ගිය පසුය.නාමල් පැමිණෙනු දුටු ජයශංකර් නාමල්ට පැවසුවේ ඔබ කොහෙද කියා මම මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ බවයි. මෙහිදී නාමල් පැවසුවේ තමා පක්ෂ කාර්‍යාලයේ රැඳී සිටි බවයි. නමුත් ජයශංකර් මහතා පැමිණීමත් සමග මෙම හමුවට සහභාගිවීම සදහා කඩිනමින් පක්ෂ කාර්‍යාලයෙන් පිටත් වූ බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් සමග පෞද්ගලික කරුණු කාරණා රාශියක් කතාබහ කළ අතර එම හමුව ඉතාම සුහදශීලීව අවසන් විය. මෙහිදී සාකච්ඡා කළ දේශපාලනික කරුණු කාරණා පිළිබදව නම් කිසිදු ආරංචියක් එළියට පැමිණියේ නැත. මෙම හමුවෙන් අනතුරුව නාමල්ට දුරකතන ඇමතුමක් ලැබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෙනි. ඒ කොළඹ අවන්හලකදී මුණ ගැසීමටය.අවසානයේ නාමල්ගේ වාහනයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ හා සාගර කාරියවසම් කෙලින්ම පැමිණියේ කොළඹ අවන්හලකටය. ජොන්ස්ටන් ප්‍රනාන්දු සමඟ ඉන්දික අනුරුද්ධ ද පැමිණ සිටියහ

රවි ලොකු තනතුරක් ඉල්ලයි

හිටපු ඇමැති රවි කරුණානායක එජාපයේ ලොකු තනතුරක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

රවී කරුණානායකගේ යෝජනාවට දැඩි විරෝධයක් පළ කරමින් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ එජාපය බින්දුවෙන් පටන්ගෙන දැන් ලොකු ගමනක් අරඹා ඇති අතර ඒ ගමන අවුල් කිරීමට අවශ්‍ය නොවන බවයි.

මධ්‍යම කමිටු සාකච්ඡාවට සහභාගීවීමට මහලේකම්ට නොහැකි වී ඇත්තේ ඔහු ප්‍රමාද වී පැමිණීම නිසාය. ත්‍රිකුණාමල රැස්වීම් ගණනාවකට ගොස් පාන්දර පැමිණිමත් යොදාගත් රැස්වීම් කිහිපයක් නිසා නියමිත වේලාව පසුවූ බවත් මහලේකම් රංගේ ජනපති දැනුම්වත් කළේය. ඒ වන විටත් මධ්‍යම කමිටුවේ සාකච්ජා වූ කරුණු දැන සිටි රංගේ ජනපතිට කීවේ පිරිසක් පක්ෂයෙන් ඉල්ලා අස්වෙද්දී මහලේකම් ධුරය ගෙන තමන් කටයුතු කළ බවත් ඔබතුමා ජනාධිපති වූ පසු නැවත පක්ෂයට රිංගා ගන්න හදන අය දැන් අපේ තනතුරු ඉල්ලා සිටින බවත්ය.

බදාදා පක්ෂ කළමනාකරණ කමිටුවට සිරිකොත මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ද රවී කරුණානායක පක්ෂයේ නියෝජ්‍ය නායක කම හෝ මහලේකම් ධුරය තමාට දෙන ලෙස ඉල්ලා ඇති අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කළමනාකරණ කමිටුවට පෙරපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවී ඒ ගැන සාකච්ඡා කරමු කියාය.

ඒ අනුව රුවන්, සාගල ,වජිර සහ අකිල යන පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එම හමුවට සහභාගි වී ඇත.

සාගල රත්නායක මෙහිදී අදහස් දක්වමින් කියා ඇත්තේ කවුරුත් කර ඇර ගිය වෙලාවේ ඉතිරි වූයේ ඉතා සීමිත පිරිසක් පමණක් බවයි. සිරිකොත වැඩ කටයුතු ද ඉතා හොඳින් කරගෙන යන අතර මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ද රටවටා යමින් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ කරට ගෙන උනන්දුවෙන් කරගෙන යන බවයි. රුවන් විජයවර්ධන ද පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සඳහා තමා රට වටේ යාම අරඹා තිබෙන බවත් තනතුරු තිබුණත් නැතත් පක්ෂය වෙනුවෙන් කළ යුතු දේ සිදු කරන බවත් සඳහන් කළේය.

රුවන් සමඟ එකතු වී තමා ද පක්ෂය ගොඩ ගැනීමේ වැඩසටහන මෙහෙයවන බව අකිල විරාජ් එහිදී සඳහන් කළේය.

පක්ෂයේ සියලු ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික මතයට ඇහුම්කම් දෙමින් රවී නිහඬවම සිට තිබේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව රැස්වූ කළමනාකරණ කමිටුවේ දී අදහස් දක්වමින් මහලේකම් රංගෙ කියා ඇත්තේ ඉතා අමාරු කාලයේ තම දර දිය ඇද කටයුතු කළ බවත් ඉස්පාසුවක් නැතුව රට වටා ගමන් කරමින් කරන්නේ ඒ කාර්යභාරය බවත්ය. තමා වැඩ නොකරනවා යැයි කිසිවකු කියනවා නම් එළියට බැස ඇස් ඇර බලන්නැයි ද රංගෙ කියා ඇත.

ප්‍රබල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහාය ලන්සාගේ සන්ධානයට

මේ අතර පසුගියදා කොළඹ පිහිටි හෝටලයකදී දේශපාලනයට සම්බන්ධ ජනප්‍රිය ක්‍රිකට් තරු කිහිපදෙනෙකු සහ නව සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පැවැත්වුණි.

මේ අවස්ථාවට අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා සහ සුගීශ්වර බණ්ඩාර එක්ව සිටියහ.

ක්‍රීඩාව සහ නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ඊට අමතරව දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන ද සාකච්ඡා කර ඇත.

“ඇමැතිතුමා.. හුඟාක් අය සන්ධාන හැදුවා, ඉස්සරහටත් හදයි, ඔබතුමාලගේ සන්ධානේ ගැන නිතරම කතාවෙනව කියල අපිට පේනවා, නිකම්ම නිකන් සන්ධානයක් වගේ හදන්න නම් එපා. එහෙම වුණොත් ආවට වඩා වැඩි වේගයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරයි “හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලන්සා සහ අනුර දෙස බලමින් කිවේය.

“නෑ නෑ අපි මෙච්චර කල් පිම්බුවේ චරිත. ඒක ජනතාව ප්‍රතික්ෂේප කළානේ “අනුර යාපා එසේ කියද්දී ලන්සා කිවේ “මෙදා සැරේ අපි දිනවන්නේ වැඩපිළිවෙළක්, අපි කණ්ඩායමක් විදිහට ඒකට වැඩ කරනවා”කියාය.

“අපේ කට්ටියගේ සහයෝගය දෙන්නම් ඔබතුමාලගේ වැඩ පිළිවෙළ ගැන අපෙත් පැහැදීමක් තියනවා”දකුණු පළාත නියෝජනය කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු කිවේය.

“ඒක අපේ වැඩපිළිවළට වටිනවා” සුගීශ්වර කිවේය.

හඳපාන්ගොඩ නෝනා ලන්සා සොයා ගෙන එයි

මේ අතර පොහොට්ටුවේ ප්‍රබල වෘත්තීය සමිති නායිකාවක් ලෙස කටයුතු කළ පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පසුගිය බදාදා පෙරවරුවේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා ඇතුළු පක්ෂයේ පිරිසක් හමුවී පැවති සාකච්ඡාවකින් අනතුරුව නව සන්ධානයට එක්ව තිබේ.

ජැක්සන්ට අවසන් ගෞරව දැක්වීමට දේශපාලඥයින් රැසක්

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පසුගිය අඟහරුවාදා උදෑසනම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයට පැමිණියේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විකාශය වන “සුභාරතී” වැඩසටහනට සහභාගි වීම සඳහාය.

වැඩසටහන අවසන් වී ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයෙන් නික්මුණු වජිර කෙලින්ම පැමිණියේ බොරැල්ල ජයරත්න මල්ශාලවේ තැන්පත් කර තිබුණු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී, මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි.

වජිර එම ස්ථානයට පැමිණෙ විටත් විශාල මහජන සහභාගිත්වයක් ජැක්සන්ගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.

මල් ශාලාව තුළට ගොඩවැදුණු වජිර පළමුවෙන්ම ජැක්සන් ඇන්තනීගේ බිරිඳ කුමාරි මුණසිංහ මුණ ගැසී සිය ශෝකයත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශෝකයත්, තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ශෝකයත් පළ කර සිටියේය.

මහින්ද – වජිර හමුවක්

ඉන් අනතුරුව වජිර ජැක්සන්ගේ දේහය අසළට ගොස් ඔහුට අවසන් ගෞරව දැක්වූයේය. අවසන් ගෞරව දැක්වීමෙන් පසු වජිරට පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මුණ ගැසුණේය. පසුව ඔවුන් දෙදෙනා කතාබහක නියැළමෙින් සිටියදී ජැක්සන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ද එක්විය.

මහින්ද රාජපක්ෂයන් සිය අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරව ශාලාවේ අසුන්ගත්තේය. ඔහු අසුන්ගත් ස්ථානයට ආසන්නේ වජිරත් රැඳි සිටි බැවින් ඔහුත් සමඟ කතාබහ කිරීමට වජිරත් අමතක නොකළේය.

දීර්ඝ වශයෙන් ඔවුන්ගේ කතාවට භාජනය වූයේ ජැක්සන් ඇන්තනී අපේ රටේ කලාව වෙනුවෙන් සිදුකළ සේවාව පිළිබඳවය. ස්වල්ප වේලාවක් මෙසේ සාකච්ඡා කළ ඔවුන් සියල්ල විසිර ගියේ පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ද ජැක්සන් පිළිබඳ මතකය යළි සිහිකරමින්ය.

කලාකරුවෝ ගෝඨාභය වටකරගනිති

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අභාවප්‍රත්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් හෝම් වෙත ගියේය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර ද මිට එක්විය. ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ ඇතුළු දුවා දරුවන් සමඟ ගෝඨාභය රාජපක්ෂ ශෝකය බෙදා ගත්තේය.

ඒ අවස්ථාවේ පැමිණ සිටි කලාකරුවන් බොහෝ දෙනෙකු ද ගෝඨාභය රාජපක්ෂ සමඟ කතාබහ කළ අතර නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිණිය ද පැමිණියාය.

“කොහොමද නිල්මිණි, කෝ මධු”රාජපක්ෂ හිටපු ජනාධිපති විමසීය.

නිල්මිණි සිනා සුනා මිස ඊට පිළිතුරු නොදුන්නාය.

අජිත් රාජපක්ෂට රාජ්‍ය නිලධාරීන්ගෙන් පැසසුම්

විවෘත පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තුවේ ජන සන්නිවේදන අංශය එක්ව සිදු කරනු ලබන වැඩමුළුවක් පසුගිය 12 වැනිදා පැවැත්වුණේ කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදීය.

මෙහිදි තමා මුහුණදුන් අභියෝග ගැන අජිත් රාජපක්ෂ කතා කළේ ඔහුගේ අත්දැකීම් සමඟින් වූ අතර දීර්ඝ වේලාවන් සිදුකළ එම කතාව ගැන රාජ්‍ය නිලධාරීන් දැඩි ලෙස අවධානය යොමු කොට තිබුණි.

ඉන් පසුව සිදු වූ සංවාද මණ්ඩපයේදී බොහෝ රාජ්‍ය නිලධාරීන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාගේ කතාව බෙහෙවින් අගය කිරීම විශේෂත්වයකි.

“ඔබතුමා අපි මුහුණ දෙන ගැටළු ප්‍රායෝගිකව පෙන්නුම් කරමින් කරපු කතාව අපි ගැනම කරපු කතාවක් වගේ. අපිට විශාල ධෛර්යයක් ඒ කතාවෙන් ලැබුණා” යනුවෙන් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුම අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා අසලටම පැමිණ ප්‍රකාශ ක‍රනු දක්නට ලැබිණ.

නිලධාරීන්ට ඇමැති කෙහෙලිය හොඳටම දෙහි කපයි

මෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති ප්‍රශ්නකාරී සමාගමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් යොමු කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ව්‍යාජ ලිපි ලේඛන යොදාගනිමින් අදාල සමාගම ඖෂධ සැපයීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, වෛද්‍ය සැපයීම් අංශය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් පසුගියදා එම අමාත්‍යාංශයට කැඳවූ අවස්ථාවේ ඇමැතිවරයා ඔවුන්ට ද දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබේ. දිගින් දිගටම ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල එල්ල කරන චෝදනා හමුවේ ඔවුන් නිරුත්තර වී තිබේ.

වජි‍රගෙන් ලන්සාට කේක්

SLIT මහනුවර ශාඛාව විවෘත කිරීමෙන් පසුව මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණි සාගල රත්නායක, වජිර අබේවර්ධන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ, මහාචාර්ය ලලිත් ගමගේ ඇතුළු පිරිස ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡාවක නිරත වුහ.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යාපනය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල ශාඛාවක් ආරම්භ කිරීම වැදගත් බවයි. ඒ සම්බන්ධයෙන් බොහෝ වේලාවක් එම පිරිස සාකච්ඡා කළහ.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී. නිමල් ලන්සාගේ උපන් දිනය පසුගිය සිකුරාදා දිනට යෙදී තිබුණි. මේ වෙනුවෙන් එදින උදෑසන ලාන්සා මන්ත්‍රීතුමන් වෙනුවෙන් වජිර ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ලාන්සා මන්ත්‍රීතුමන්ව දැනුම්වත් නොකර හොර රහසේම එතුමා කැඳවා ලන්සා මන්ත්‍රීතුමන් විසින් කේක් ගෙඩියක් කැපීම සිදුකළ අතර මේ අතර වාරයේ දී ජනාධිපතිවරයා ද දුරකතනයෙන් ලන්සා අමාත්‍යවරයාට සුබ පැතීම සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division