Home » ආර්ථිකයට අලුත් මාවතක් පෙන්වූ පශු සම්පත් ප්‍රදර්ශනය

ආර්ථිකයට අලුත් මාවතක් පෙන්වූ පශු සම්පත් ප්‍රදර්ශනය

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය 50 වැනි සංවත්සරයට සමගාමීව පැවැත් වූ ‘ජාතික පශු සම්පත් ප්‍රදර්ශනය – 2023’, පසුගිය 6 සහ 7 දෙදින පුරා ඔවුන්ගේ කුරුණෑගල මැල්සිරිපුර ගොවිපළේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකේය පශු සම්පත් කර්මාන්තය පිළිබඳ ඉතිහාසයේ පළමුවරට පැවැත් වූ මෙම සත්ත්ව ප්‍රදර්ශනය ජනතාවට නැවුම් අත්දැකීමක් විය.

එනිසාම, සත්ත්ව නිෂ්පාදන සහ ගොවිපළ ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන අය පමණක් නොව, ඒ පිළිබඳ හදාරන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් මෙන්ම, වයඹ පළාතේ පාසල් ගණනාවක සිසුන් විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණ සිටීම විශේෂත්වයකි.

කුරුණෑගල අක්කර දහයක් පුරා විහිදුණු මැල්සිරිපුර ගොවිපළේදී මේ සියලු දෙනා නිදහසේ ඒ සතුන්ට බොහෝ ළං වී ඔවුන් පිළිබඳ සියලු විස්තර දැන කියා ගන්නා අයුරු සුලභ දසුනක් විය.

එතෙකින් නොනැවතී, සතුන්ගේ හිස යන්තමින් හෝ අතගාන්නට පෙලඹුණු වැඩිහිටියන් මෙන්ම දරුවන් ද මේ ප්‍රදර්ශන භූමියේ සුලභ දසුනක් විය.

එතෙක් අප දැන සිටියේ හරකුන් සහ එළදෙනුන් එනමින් පමණි. එහෙත් හොඳින් හැදුණු වැඩුණු ඇඟ පතක් සහිත ෆ්‍රීෂියන්, ජර්සි, සඉවාල් සහ දෙමුහුන් යන වර්ගයන්ට අයත් දෙනුන් සහ පිරිමි සතුන් මේ ප්‍රදර්ශනයට කැපී පෙනෙන සුන්දරත්වයක් එක් කළේය.

තද කළු පැහැයෙන් යුතු මූරා සහ නිලිරවී වර්ගයේ මී හරකුන් සහ මී දෙනුන් පමණක් නොව, ජාන වෙනස් වීමක් හේතුවෙන් රෝස පැහැති සමකට උරුමකම් කී ඇලි වර්ගයේ මී දෙන ද කාගේත් අවධානයට ලක් විය.

සිය දිගු කන්වලින්, කැරකී වැඩුණු අංවලින් සහ පිරුණු ලොම් සහිත සිරුරකින් හෙබි ජමුනාපාරි, සානන් සහ බෝයර් වර්ගයේ එළු එළිච්චියන් විටෙක මහා ආඩම්බරකරුවන් විය. කළු, සුදු සහ දුඹුරු පැහැයෙන් යුක්ත වූ මෙම එළු වර්ග, මහත දෙහෙත ශරීරවලින් යුතු වූ අතර, කිසිවකුත් තමන් අල්ලනවාට අකමැති බව හඟවමින් සිය අං තට්ටුවෙන් ඔවුන් තල්ලු කර දමන්නට ඒ එළු එළිච්චියන් දෙපාරක් සිතුවේ නැත.

එහෙත් ප්‍රදර්ශනය නරඹන්නට ආ පුංචි ඈයෝ ඇති තරමක් හිස අතගාන තුරු ඔහේ හිටියා විනා, අහිංසක බැටළුවන් එසේ කළේ නැත. බොකුටු නැට්ට වේගයෙන් වනමින් තමන් බලන්නට ආ ළමයින් අසලම කැරකුණු පුංචි ඌරු පැටවුන්, ලාජ් වයිට් සහ ලෑන්ඩ්රේස් වර්ගයේ සද්දන්තයන්ගේ පුංචි පැටවුන් විය.

අඩි හතරකට වඩා දිගු ශරීරයක් හිමි හොඳින් වැඩුණු ලාජ් වයිට් සහ ලෑන්ඩ්රේස් වර්ගයේ සූකර සද්දන්තයන් බොහෝමයක් දෙනා සිටියේ බිම පෙරළීගෙන ය. ඒ තම සද්දන්ත ශරීරය තමන්ටවත් ඔසවා ගන්නට බැරි තරමේ බරකින් යුක්ත වූ නිසා වන්නට පුළුවන. චීන ඌරු වර්ගයට අයත් ඔවුන් රෝස පැහැ වුව ද, ඇඟ පුරා මඩ නාගෙන සිටි ඩියුරොක් වර්ගය නම්, තද දුඹුරු පැහැති ඒ මඩ පාටට ම උරුමකම් කීවේ ය.

ගව, මී හරක්, එළු සහ ඌරන් යන මේ සියලු වර්ග, මෙම ප්‍රදර්ශනයට සහ තරගයට ඉදිරිපත් කළ පිටස්තර ගොවිපළ හිමියන්ට අයත් සතුන් විය. දෙවැනි දිනයේ පැවැත්වූ හොඳම සත්ත්වයා තේරීමේ තරගය සඳහා ඔවුන් සියලු දෙනා ඉදිරිපත් කර තිබිණි.

එකී සියලු වර්ගවල ගැහැනු පිරිමි දෙපාර්ශ්වයෙන් ම හොඳම සත්ත්වයා තෝරා ගැනුණු අතර, ජයග්‍රහණය කළ සත්ත්වයා වෙනුවෙන් පළමු සහ දෙවැනි ස්ථානවලට එවැනිම තවත් සත්ත්වයෙක් ත්‍යාග ලෙස ලබා දෙන්නටත්, තුන් වැනි ස්ථානය සඳහා කෘෂි උපකරණ සහ මෙවලම් ලබා දෙන්නටත්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කටයුතු කර තිබිණි.

මේ පිළිබඳ ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති, සත්ත්ව පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

” අප මේ ප්‍රදර්ශනයට සූදානම් වූයේ මීට මාස 6 ක පමණ කාලයක සිටයි.

පශු සම්පත් ඉතිහාසයේ පළමු වතාවටයි, ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ නියැළී සිටින ගොවීන්ගේ දෙනුන්, ගවයන්, මී ගවයන්, ඌරන් වැනි සතුන් අතරින්, හොඳම සත්ත්වයා තේරීමේ තරගයක් පැවැත් වුණේ.

මෙයින් අප බලාපොරොත්තු වූයේ එම සතුන් ඇති කරන ගොවීන් දිරිමත් කර, තව තවත් හොඳින් සතුන් බලා ගැනීමට ඔවුන් පෙලැඹවීමයි. ඒ විතරක් නෙවෙයි, ව්‍යවසායකයන් ලෙස, සත්ත්ව පාලනයට උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාවට මෙම ප්‍රදර්ශනයෙන් අදහස් ගන්නට හැකියාව ලැබුණා. ඔවුන්ට අවශ්‍ය ඕනෑම උපදෙසක් ලබා දීමට අප සූදානම්.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල් විතරක් නෙවෙයි, ඉන්දියාවත් මේ තරගය සෑම වසරකම ඉතාමත් උත්සවශ්‍රීයෙන් තමන්ගේ රටවල පවත්වනවා. ගොවිපළ හිමියන් මේ සඳහා ම වසර පුරා තම සතුන් සූදානම් කරනවා. නමුත් අපේ රටේ මෙවැනි දෙයක් සිදු වූයේ පළමුවතාවට. ඒ නිසා ගොවීන්ට, ගොවිපළ හිමියන්ට මෙන්ම මහජනතාවටත් මෙය අලුත් අත්දැකීමක් වුණා. මින් ඉදිරියට වසර පහකට සැරයක්වත් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට අප තීරණය කළා.

ඒ වගේම මේ ප්‍රදර්ශනයේදී ජාතික පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපළවල ඇති කරන කළුකුම්, ගිනි කුකුළු, ගං කුකුළු වැනි සෑම කුකුළු වර්ගයක් මත්, තාරවුන්, පාත්තයන්, වටු කුරුල්ලන්, හාවන් වර්ග, ගිනිපික්, බැටළුවන් ඇතුළු වර්ග 60ක සතුන් 400කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළා.

සත්ත්ව ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැළෙන අයට, වැඩි නිෂ්පාදන අස්වැන්නක් ලබා දෙන තෘණ වර්ග, බඩ ඉරිඟු, සෝගම් වැනි භෝග වර්ග පිළිබඳ දැනුම වගේම බීජ සහ පැළ ලබා ගැනීමේ හැකියාව ද ලබා දුන්නා.

ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපළවල අවුරුදු විසිපහකට වැඩි කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ සේවකයින් ඇගැයීමට ලක් කරමින් මූල්‍යමය තිළිණ ප්‍රදානය කිරීම ද එදින සිදුවූවා…”

මේ සියලු කාරණා අතර, ඔහු වඩාත් අවධාරණය කළේ, පවතින ආර්ථික අපහසුතාවලින් ගොඩ එන්නට වෙර දරන කාන්තාවන්ට තම නිවෙසේ කිකිළි පැටවුන් කිහිප දෙනකු හදන්නට කැමති නම්, කිරි ගව පාලනය සඳහා එළදෙනුන් ඇති කරන්නට කැමති නම් හෝ කුඩා ගොවිපළක් සඳහා සතුන් අවශ්‍ය නම්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ඒ සඳහා අවශ්‍ය නීරෝගි සතුන් ලබා ගත හැකි බවයි.

එනම්, ගෘහ ආර්ථිකයට සහ රටේ ආර්ථිකයට පශු සම්පත දායක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය තම මණ්ඩලයෙන් ලබා දෙන බවයි.

ඒ හෙයින්, රුපියල් මිලියන 15ක් පමණ වැයකොට පැවැත්වූ මෙම ප්‍රදර්ශනයේ ඵල නෙළා ගැනීම ජනතාවගේ ද වගකීමකි.

 

ඉනෝකා පෙරේරා බණ්ඩාර ජායාරූප - පී. කේ. රත්නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division