නාට්‍ය කලාව දියුණුවේ හිණි පෙත්තටම නැඟි අවදියක නාට්‍ය නිෂ්පාදන කළමනාකරණය නම් එවකට නොතිබුණු විෂයය ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙන එඩ්වඩ් චන්ද්‍රසිරි නාට්‍ය කලාවට නැතිවම බැරි පුද්ගලයකු වීමේ පාර කපා ගන්නේ ඒ ඔස්සේ ය. ඊට පෙර රන්කඳ, හුනුවටයේ කතාව, සුබ සහ යස වැනි පසිඳු නාට්‍ය කිහිපයක ම සංවිධානය කිරීමේ කටයුතු කරන හෙතෙම බොහෝ නාට්‍යකරුවන් සමීප ව ඇසුරු කිරීමේ භාග්‍ය උදා කරගන්නේ ය.
පුවත්පත් කලාවේදියකු වශයෙන් සිය භූමිකාව සේම ග්‍රන්ථ රචකයකු වශයෙන් ද සිය නාමය පාඨක ප්‍රජාව අතර සටහන් කරන හේ ලංකාවේ වාසය කරන මැලේවරුන්ගේ විශේෂතා ගැන කරන ලද අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙසින් මැලේවරුන්ගේ අභිමානය නම් කෘතිය රචනා කරන්නේ ය. අනතුරුව ඒ සොයාගත් කරුණු ඔස්සේ ඔහු රසින් සපිරි මැලේ බොජුන් නම් කෘතිය ද පාඨක ප්‍රජාවට ඉදිරිපත් කරන්නේ ය. මේ ඒ පිළිබඳවත් ඔහුගේ දීර්ඝකාලීන කලා භාවිතය ගැනත් කරන ලද සාකච්ඡාවක සංක්ෂිප්තයයි.
මැලේ ප්‍රජාවත් එක්ක ඔබේ තියෙනවා දීර්ඝකාලීන ගනුදෙනුවක්. කොහොමද මේක පටන් ගන්නෙ?
2004 දි මගේ මැලේ යාළුවෙක් හිටියා එම්රාන් ඩීන් කියලා. ඔහු තමයි මට ආරාධනා කළේ ලංකාවට සංක්‍රමණය වුණු මැලේවරුන්ගේ ඉතිහාසය ගැන ලියන්න කියලා. මැලේවරුන්ගේ සංවිධානයක් වෙන පර්තුබුහන් බංස මලායු ශ්‍රී ලංකා සංවිධානය තමයි මේ සඳහා මූලික වුණේ. ඒ වෙනකොට මට ඒ වගේ දෙයක් කරන්න විවේකයක් තිබුණෙ නෑ. ඒ නිසා මම යෝජනා කළා සිංහලෙන් ඉගෙන ගත්ත මැලේ කෙනෙක් මේකට යොදා ගත්තොත් හොඳයි කියලා. එයාලා හොයා ගත්තා ඒ සුදුසුකම් තියෙන විදුහල්පතිවරයෙක්. ඔහු පොත් කිහිපයකුත් ලියපු කෙනෙක්. එයා පොත ලියලා මට පිටපතක් දුන්නා. ඒක කියෙව්වම මට තේරුණා මේක නම් ගැළපෙන්නෙම නෑ කියලා. පුනරුච්ඡාරණ දෝෂ හරියට තිබුණා. ශෛලියත් හරි නෑ. ඒ නිසා මම කිව්වා මේක නම් හරියන්නෙ නෑ, අපි ඒ ගැන සාකච්ඡා කරමු කියලා. ලේඛකයත් එක්ක මැලේ විද්වතුන් කිහිපදෙනෙක් මේ සාකච්ඡාවට ආවා. අපි හය මාසයක් තිස්සෙ උත්සාහ කළා, මේක නිවැරදි කරගන්න. මැලේ විද්වතුන් මට යෝජනා කළා, මේ වැඩේ හරියන්නෙ නෑ මේක ඔබ අලුතෙන් ලියන්න කියලා. මටත් ඒ ගැන ලොකු අවබෝධයක් ඒ වෙනකොට ඇවිත් තිබුණෙ. මට එහෙමයි මැලේවරුන්ගේ අභිමානය කෘතිය ලියන්න පාර කැපුණෙ. මේ කෘතිය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණා.
කොහෙන්ද මූලාශ්‍රය සහ විස්තර සොයා ගත්තෙ?
ගොඩක් විස්තර තියෙන්නෙ විදෙස් මූලාශ්‍රවල. ඒවා හැමදෙයක්ම අර සාකච්ඡාවට ආව මැලේ විද්වතුන් මට හොයලා දුන්නා. ඒවා ගොඩක් තිබුණෙ ඉංග්‍රීසියෙන්. සමහර ඒවා මම පරිවර්තනය කර ගත්තා. එයාලත් සමහර ඒවා පරිවර්තනය කරලා දුන්නා. ඒකෙ මැලේවරුන්ට විශේෂ අනන්‍යතා ගැන සඳහන් වෙනවා. ඒ අතර නූර් රහීම් ලියූ Malay Culinary Delights, සිත්ති ෆාතිමා සෆිඩීන්ගේ Favourite Recipies from the Heart of my Home සහ ශ්‍රී ලංකා මැලේ සංගමය ප්‍රකාශයට පත් කළ Recipi Makanan Melayu කෘති ත්‍රිත්වය ගැන මතක් කරන්න ඕන.
රසින් සපිරි මැලේ බොජුන් කියන ඔබේ මේ නවතම කෘතියට ඇතුළත් වෙන්නේ මැලේවරුන්ගේ අභිමානය කෘතියේ සඳහන් කරුණකින් ඔබ්බට ගිය කතාවක් නේද?
ඔව්, එහි තිබුණා ඔවුන්ගේ විවිධ අනන්‍යතා ගැන. ආහාර, ක්‍රීඩා, රාජ්‍ය පාලනයට ඔවුන්ගේ සම්බන්ධය වගේ විවිධ අංශ ඒකෙ සාකච්ඡා කරලා තියෙනවා. එයින් එක් කොටසක් තමයි මේ ආහාර සංස්කෘතිය. මැලේවරුන්ගේ සංවිධානයෙන් තමයි මට මේ කෘතිය ලියමු කියලා ආරාධනා කළේ. මැලේ කෑම ගැන කවුරුත් ඒ වෙනකොට සිංහලෙන් පොත් ලියලා තිබුණෙ නෑ. ඉංග්‍රීසි පොත් දෙකක් ලියැවිලා තිබුණා. ඒ මෙහෙන් යුරෝපයට සංක්‍රමණය වුණු අය ලියපු ඒවා. ඒ පොත් දෙක මම අධ්‍යයනය කළා. ඒ කාලෙදි ලංකාවෙත් ඉංග්‍රීසියෙන් පොතක් නිකුත් වුණා. මම ඒකත් අධ්‍යයනය කළා. මම දිවයින පුවත්පතට අවුරුද්දක් විතර ලිව්වා අපි නොදන්න මැලේ සංස්කෘතිය කියලා තීරුවක්. කට්ටියම කිව්වා මේක පොතක් විදියට කරමු කියලා.
තීරු ලිපියක් පොතක් විදියට ගනිද්දි යම් යම් වෙනස්කම් කරන්න වෙනවා. ඔබ එවැනි සංස්කරණය කිරීමක් කළා ද?
ඔව්, මම ඒක එහෙමම පොතට ගත්තෙ නෑ. යම් වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. මැලේවරුන්ගේ සංගමයට මම කිව්වා මැලේ සූපවේදය ගැන විශේෂඥ දැනුමක් තියෙන කාන්තාවන් තුන්දෙනෙක් මට සම්බන්ධ කරලා දෙන්න කියලා. එයාලත් එක්ක මම හයමාසයක් තිස්සේ මේ ගැන හැදෑරුවා. ඊටපස්සෙ සංශෝධන සහ එකතු කිරීම් රාශියක් කළා. මම ඒකෙන් සාමාන්‍ය වට්ටෝරුවලට අහු වෙන්නෙ නැති ප්‍රායෝගික දේවල් ටිකක් මේකට එකතු කළා. ඒකෙන් මේකට ලොකු ආලෝකයක් ලැබුණා. සමහර අපි භාවිත කරන නාමවල වෙනස්කම් එහෙමත් තිබුණා. උදාහරණයක් විදියට අපි නාසිගුරාන් කියන එකේ හරි නම නාසිගොරේන්. ඒක මැලේවරුන්ට අදාළ බදින ලද බත් වර්ගයක්.
ඔබ මැලේවරුන්ගේ සංස්කෘතිය අධ්‍යයනය කරන්නට පෙර කලාවට අදාළ ව විවිධ කෘති ගණනාවක් සම්පාදනය කරනවා. ඒ අතරෙන් ආර්.ආර්. සමරකෝන් ගැන රසාලිප්ත රඟමඬලක උරුමක්කාරයා නමින් ලියන කෘතිය විශේෂයි.
ඔහු 2010 දි ජීවිතෙන් සමුගන්න කලින් අවුරුදු 25ක් මම ළඟින් ඇසුරු කළා. ඔහුගේ කලා ජීවිතය, ඇවතුම් පැවතුම් ආදී සියලු දේ ගැන මට හොඳ දැනුමක් තිබුණා. අඛණ්ඩව නාට්‍ය කරපු සමරකෝන්ට 1978 ඉඳන් 1985 දක්වා විරාමයක් තිබුණා. ඔහුට ඉඩක් ලැබුණෙ නෑ නාට්‍යයක් කරන්න. ඒ වෙනකොට ඔහුගේ අහසින් වැටුණු මිනිස්සු සහ කැලණි පාලම නාට්‍ය දෙකම රට පුරාම හොඳ ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන දුවන කාලෙ. නාට්‍ය රචනය, නිෂ්පාදනයට අමතරව කළමනාකරණය කරන්න වුණෙත් සමරකෝන්ටමයි. සමරකෝන් වගේ කෙනකුට මේක ඔරොත්තු දුන්නෙ නෑ. නිෂ්පාදන කළමනාකරණය මම ඉගෙන ගත්තා. ඒක ජේලර් උන්නැහැ නාට්‍යයට මම හඳුන්වා දුන්නා. ඒකෙ තිබුණු විශේෂත්වය තමයි සමරකෝන්ට සම්පූර්ණයෙන් නිර්මාණය ගැනම හිතන්න නිදහසක් ලැබීම. මේ දේවල් නිසා මට ගොඩක් සමරකෝන්ව ළඟින් ඇසුරු කරන්න ලැබුණා. නිර්මාණකරුවා ගැන වගේම චරිතය ගැනත් මට විග්‍රහ කරන්න ලැබුණෙ ඒ නිසා. ඔහු ඉපදුණු නාවලපිටියේ පිටිසර ගමට මම ගියා. ඔහුගේ ඒවගේම ඔහු පාසල් ගිය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ගියා. පාසල් මිතුරන් සමඟ කතා කළා. ඒ නිසා ඒ සියල්ල එකතු කරලයි මම ආර්. ආර්. සමරකෝන් චරිතය ගැන ලියන්නෙ
ඔබ විශේෂ කැමැත්තක් දක්වනව ද චරිත කතා ලියන්න. ශතකයක නොනැසෙන මතකය – ඉලංගරත්න කෘතියත් ඔබ සම්පාදනය කරනවා?
ඒ කෘතියේදී මම විශේෂ අවධානය යොමු කළේ ඉලංගරත්නගේ සාහිත්‍ය කලා මැදිහත්වීම ගැන. මගේ හැඟීමක් තිබුණා ඉලංගරත්නගෙ සාහිත්‍ය කලාව නිසි අවධානයට ලක් වුණේ නෑ කියලා. ගුරුකුලත් ඔහුට එරෙහිව සිටියා. ඉතින් මේ දේවල් නිසා මට හිතුණා ඉලංගරත්නගෙ සාහිත්‍ය කලාව ගැන ලියන්න ඕන කියලා.
සිනා සයුරත් ඛාණ්ඩ හතරත් බොහෝ පාඨකයන් අතර ජනප්‍රියයි. අපහාසය වෙනුවට උපහාසය සම්පාදනය කරන මේ කෘති ගැන කතා කළොත්?
ඇත්තටම සතුටෙන් සිටින සමාජයක් කියන්නෙ නීරෝගි සමාජයක්. මම ඒකෙදි අවධානය යොමු කළේ කලා ලෝකයේ මම ඇසුරු කළ චරිත හා ගෙතුණු රසමුසු තැන් ලියන්න. සමහර නාට්‍ය අරන් අපි දුර පළාත්වලට යද්දි බස් එකේ දවසම යන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට මේ කලාකරුවන්ගේ කතා කියන්නෙ ඇත්තටම සිනා සයුරක්. ඉතින් මම මේවා සටහන් කරලා තියා ගත්තා. ඒ අයගේ කතා අනෙක් අයට එක්තරා විදියකට පාඩම් වගේ. අනෙක කතාවල කොතැනකවත් මම කාටවත් අපහාස කරලා නෑ. ඉතින් මම මේ අත්දැකපු, අත්විඳපු දේවල් අනෙක් අයටත් ලබා දෙන්නයි ලියන්න හිතුවෙ. ඒ පොත් පෙළ අතිශය ජනප්‍රිය වුණා.
සුමුදු චතුරාණී ජයවර්ධන