අල්ලේ පිහිටන අප්‍රධාන රේඛාවන් අතර මැණික්කටු රේඛා ද වැදගත් වෙයි. මණිබන්ධන රේඛා, වළලුකර රේඛා යන නම්වලින්ද මෙම රේඛා හඳුන්වනු ලබයි. ජීවන රේඛාවද බොහෝවිට අවසන් වන්නේ මැණික් කටු රේඛා ආශ්රයෙන්මය. එසේම දෛව රේඛාව, සුඛ රේඛාව, දේශාටන රේඛා මෙන්ම කීර්ති රේඛාව ද ආරම්භ වන්නේ මැණික් කටු රේඛා ආශ්රයෙන්මය. මේ අනුව හස්ත රේඛා විද්‍යාවේදී මැණික්කටු රේඛාවලට වැදගත් ස්ථානයක් හිමිවී ඇති බව ඔබටත් සිතා ගත හැකිය. අල්ල බාහුවට සම්බන්ධ කරන මැණික් කටුව මත වැටෙන මැණික් කටු රේඛා මෙහි පළවන රූප සටහනින් ඔබට හඳුනාගත හැකි වෙයි.
පළමුවෙන්ම අංක 1න් දක්වා ඇති රේඛාව දෙස බලන්න. අල්ල පැත්තෙන් මුලටම පිහිටා ඇති රේඛාව පළමුව විස්තර කරන්නෙමු. මෙය ‘තෘණ වළල්ල’ යනුවෙන් හඳුන්වයි. එම රේඛා වළල්ල බලපානුයේ පුද්ගලයාගේ කුඩා කාලයටය. එම රේඛාව පැහැදිලිව රතු පාටට හුරුව ලස්සනට වැටී ඇත්නම් ඔහු හෝ ඇය ළමා කාලයේදී බොහෝ සැප සම්පත් භුක්ති විඳි අයෙකු විය හැක. කැපී කැඩී හෝ විකෘති ලෙස පිහිටා ඇති තෘණ වළල්ලෙන් එම අය ළමා කාලයේදී දුක් කරදර විඳි අයෙකු ලෙස ද ඔබ හඳුනා ගන්න.
දෙවැන්නෙන් දක්වා ඇති රේඛා වළල්ල ධන වළල්ල ලෙස හඳුන්වනු ලබයි. එය පුද්ගලයාගේ තරුණ කාලය තුළ පැවැති ජීවන තත්ත්වය පෙන්නුම් කරයි. පැහැදිලි ලස්සන ධන වළල්ලක් ඇති අය තරුණ කාලයේ අනේකවිධ සැප සම්පත් ලබන බව හස්ත රේඛා විද්‍යාව නිගමනය කරයි. එම රේඛාව කැපී කැඩී හෝ දුර්වර්ණ වී පිහිටා තිබීම අසුබය. තරුණ කාලයේ නොයෙකුත් දුක්කම්කටොලුවලට මුහුණ පෑමට සිදුවන බව එමඟින් ප්‍රකට කරයි.
රූප සටහනේ තුන්වෙනුව සටහන් කර ඇති රේඛා ‘සම්පත් වළල්ල’ ලෙස හඳුන්වයි. සම්පත් වළල්ල බලපානුයේ කිසියම් අයෙකුගේ මහලු කාලයටය. මෙම සම්පත් වළල්ල පැහැදිලි ලෙස දර්ශනය වේ නම් මහලු වයසේ සතුටෙන් සැපෙන් දිවි ඇති තෙක් ඉන්නට අවස්ථා හිමිවෙයි. මෙම රේඛාව කැඩී බිඳි කැපී හෝ විකෘති ලෙස පිහිටියේ නම් මහලු වයසේදී දුක්කම්කටොලු මැද දිවි ගෙවීමට සිදු විය හැක.
මැණික් කටු රේඛාවකින් මතු වූ රේඛාවක් බුධ මණ්ඩලය කරා විහිද ගියේ නම් විශාල හදිසි ධන ලාභයක් හිමිවන බව කියැවේ. එම රේඛාව බොහෝ විට බුධ රේඛාවේ නැතහොත් සුඛ රේඛාවේ පිහිටීමට සමානය. ඒ කෙසේ වුවද එය සුඛ රේඛාව නොවේ. චන්ද්‍ර මණ්ඩලය හා දෙවන කුජ මණ්ඩලය හරහා පිට අල්ල පැත්තට වඩාත්ම නැඹුරු වී මෙම රේඛාව විහිදෙයි. රූප සටහනින් ඔබට එය පැහැදිලි වනු ඇත.
(5) දබර ඇඟිල්ලත්, මහපට ඇඟිල්ලත් අතරින් ආරම්භ වූ රේඛා දෙකක් හෝ කීපයක් අල්ල මැදදී විහිදී ගොස් මැණික්කටු රේඛාවලට සම්බන්ධ වී ස්ත්‍රී පක්ෂයට අශුභ පිහිටීමක් වෙයි. ගණිකා වෘත්තියේ යෙදෙන ස්ත්රීන්ගේ අල්ලේ පිහිටන රේඛා ලක්ෂණයක් වශයෙන් මෙය හඳුන්වයි. කෙනෙකුගේ පරමායුෂ ගණනය කරන ප්‍රධාන රේඛාව ලෙස ජීවන රේඛාව හඳුන්වයි. එසේ වුවද පරමායුෂ නිගමනය කරන්නට පළමු මැණික්කටු රේඛාත් විශේෂයෙන් පරීක්ෂා කළ යුතුය. හොඳින් දර්ශනය වන මැණික්කටු රේඛාවක සාමාන්‍ය ආයුෂ ප්‍රමාණය අවුරුදු 30ක් වශයෙන් සැලැකේ. ඒ අනුව මැණික් කටු රේඛා දෙකක් පැහැදිලි ලෙස තිබේ නම් අවුරුදු 60ක් වශයෙන් ද, රේඛා තුනක් පැහැදිලි ලෙස ඇතිනම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවුරුදු 90 ක් වශයෙන්ද නිගමනය කරනු ලබයි. කාගේ හෝ අතක මැණික්කටු රේඛා හතරක් පිහිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවුරුදු 120 ක් ලෙස සැලකේ.
වී ඇට මාලයක් ලෙසින් වැටෙන මැණික්කටු රේඛාවලින් ධනවත් පුද්ගලයෙකු හඳුන්වා දෙයි. පැහැදිලි ලස්සන මැණික් කටු රේඛා තුනක් පිහිටි අත හිමි කාන්තාව රාජ මහේෂිකාවක් වීමට තරම් පින්බල ඇති තැනැත්තියක් බව සමුද්‍ර සෘෂිවරුන් සඳහන් කර ඇත. මැණික්කටු රේඛා මත වැටෙන ත්‍රිකෝණ ලකුණු ද සුබ පිහිටීමක් වෙයි. පිය සන්තක සියලු ධනය ඇයට හිමි වන බව එමඟින් ප්‍රකට කරයි. භූමිගත මැණික් වැනි සම්පත් ද උරුම විය හැකිය. මැණික් කටු රේඛා දෙකක් අතර කතිර ලකුණ වැටී තිබේ නම් එයින් පෙන්නුම් කරනුයේ සදාකාලික සැපවත් ගෘහ ජීවිතයකි. යම්කිසි අතක මැණික් කටු රේඛා තුනක් පිහිටා එම රේඛා තුනම ස්ථානයකින් කැපී හෝ කැඩී තිබේ නම් එම අය සියදිවි නසා ගැනීමට පෙලඹෙන බව කියැවේ.
අල්ලේ පිහිටන තවත් විශේෂ ලක්ෂණයක් ගැන දැන හඳුනා ගනිමු. එය ගුප්ත කතිරයයි. හෘදය රේඛාවත්, ශීර්ෂ රේඛාවත් අතර (6) ප්‍රදේශයෙහි මෙම සලකුණ පෙන්නුම් කර ඇත. සමහර විට ගුප්ත කතිරය, හෘදය රේඛාව, ශීර්ෂ රේඛාව හෝ දෛව රේඛාවට සම්බන්ධව පිහිටන අතර, සමහර විටෙක එම රේඛාවලට සම්බන්ධයක් නොමැතිවද පිහිටිය හැක. කුමන ආකාරයකින් පිහිටියද ගුප්ත කතිරය වඩා සුබදායක පිහිටීමක් වෙයි. එවැනි අය ගුප්ත විද්‍යාවන් හැදෑරීමට වැඩි කැමැත්තක් දක්වන අතර, එම විෂය කෙරෙහි වැඩි දක්ෂතාවන්ද පෙන්නුම් කරයි. ලෝකෝත්තර හැඟීම්වලින් බර වූ හදවතක් ඔවුන් සතු වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්