Home » ලෝකය කලඹන හමාස් ඊශ්‍රායල් ගැටුමේ සුලමුල

ලෝකය කලඹන හමාස් ඊශ්‍රායල් ගැටුමේ සුලමුල

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

බිලියන 8 කට අධික ලෝකවාසීන් මුහුණ දෙන දේශපාලන සහ ආර්ථික ප්‍රකම්පණ නිසි ලෙස හඳුනා ගැනීමට නම් අප ජීවත් වන වත්මන් කාලපරිච්ඡේදය නිසි ලෙස අවබෝධ කර ගැනීම අතිශයින්ම වැදගත් ය. ලෝකයේ දේශපාලන සහ ආර්ථිකය සීඝ්‍ර පරිවර්තනයකට ලක්වෙමින් පවතී. මීට වසර හාරසියයකට හෝ පන්සියයකට පමන පෙර එය බටහිර දෙසට ගමන් කළේ ය. ඉතිහාසයේ අනාදිමත් කාලයක් පුරාවට පසුගාමී කලාපයක්ව පැවති යුරෝපය මුළුමහත් ලෝකයම පාලනය කරන ප්‍රබලයකු බවට පත්විණ. නමුත් දැන් එම දේශපාලන සහ ආර්ථික අක්ෂය පෙරදිග දෙසට ගමන් කරමින් පවතී.

මෙම දැවැන්ත පරිවර්තනය නිසි පරිදි ග්‍රහණය කර ගැනීම අතිශයින් දුෂ්කර වූ කර්තව්‍යයකි. මක්නිසාද යත්, පළමුකොට අන්තර්ජාතික සම්බන්ධතාවන් හැදෑරීමෙහිලා මානව චර්යාවන් කෙරෙහි බලපාන්නා වූ සෑම සාධකයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බැවිනි. දෙවැනුව, අප ජීවත් වන මෙම තොරතුරු අවදිය තුළ සිවු තොරතුරු ගලනය, නව ප්‍රවණතා, නව වර්ධන සහ ලෝකය පිළිබඳ අපගේ සාම්ප්‍රදායික සහ ආගම් කල්පිත විශ්වාසයන් අතර ගැටුමක් උද්ගතව පැවතීමයි. තමන්ගේ පූර්ව විශ්වාසයන්ට අනුගත නොවන නවමු අදහස් පිළිගැනීමට ජනතාව මැළිකමක් දක්වන බැව් අධ්‍යයන ගණනාවක් මඟින් තහවුරුව තිබේ. තෙවැනුව, සමාජමය මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වන විවිධ තොරතුරු කන්දරාව අතර ව්‍යාජ ප්‍රවෘත්ති, අර්ධ සත්‍යය, මිථ්‍යා මත සහ සම්ප්‍රචාරණය බහුලව දැකගත හැකි වීමය. යූටියුබ් නාළිකා ඔස්සේ විෂය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ගොඩේ වෙද්දු පඳුරු ගසමින් සිටිති. මැදපෙරදිග කලාපය කේන්ද්‍රීයව වර්තමානයේ උද්ගතව ඇති සිදුවීම් පෙළ හා බැඳුණු ඔබගේ පූර්ව විශ්වාසයන් සහ ගැටුමට සම්බන්ධ විවිධ පාර්ශ්වයන්ගේ භුමිකාව පිළිබඳව අපගේ පූර්ව විශ්වාස සහ නිගමන දෙවරක් සිතා බැලිය යුත්තේ එබැවින් ය.

මැදපෙරදිග කලාපයේ වඩාත් පුළුල් ගැටුමේ අවධානය යළිත් වරක් ගාසා තීරය දෙසට යොමු වෙමින් පවතී. 2023 ඔක්තෝබර් මස 7 දින පෙරවරුවේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදෙමින් එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදා ගාසා තීරය ගොඩින්, මුහුදෙන් සහ ගුවනින් වටලමින් නේවාසික ගොඩනැඟිලි ඇතුළු විවිධ ඉලක්කවලට දැවන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටී. ලොව විශාලතම එළිමහන් සිරකඳවුර ලෙසින් සැලකෙන ගාසා තීරයට ආහාර සැපයුම, විදුලිය සහ ජලය කපාහැරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඛේදනීය ඉරණමකට මුහුණ පා සිටිති.

ගාසා තීරය මිහිතලය මත වඩාත් ජනාකීර්ණතම ස්ථානයක් බවට පත්වූයේ කෙසේ ද? එය පලස්තීන සන්නද්ධ සටන්කාමීන්ගේ තෝතැන්නක් බවට පත්වීමට හේතුව කුමක් ද? එම ගැටලුවලට පිළිතුරු සෙවීමට නම් පළමුකොටම වත්මන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට මුල් වූ දේශපාලන සන්දර්භය කෙරෙහි අපගේ අවධානය යොමු කළ යුතු ය.

ගාසා තීරය යනු මධ්‍යධරණී සාගරයේ ගිනිකොණ දිග වෙරළ තීරයේ පිහිටි පටු බිම් කඩකි. කිලෝ මීටර 41 ක් දිගින් සහ කිලෝමීටර 6 සිට 12 දක්වා පළලින් යුත් ගාසා තීරයේ මුළු බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 365 කි. එය උතුරින් සහ නැගෙනහිරින් ඊශ්‍රායලයටත්, දකුණින් ඊජිප්තුවටත් වටව පවතී.

ඉපැරණි වෙළඳ මාර්ගයක් මෙන්ම වරායක් ලෙසින් ගාසා තීරය පලස්තීනය යනුවෙන් හැඳින්වෙන භූගෝලීය කලාපයේ කොටසක් ලෙසින් පවතී. 20 වන සියවස මුලදී, එය ඔටෝමානු අධිරාජ්‍යයේ කොටසක් ලෙස ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් සහ ක්‍රිස්තියානි අරාබි ජනතාව වාසය කළ ප්‍රදේශයක් විය. පළමු ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පලස්තීනයේ පාලනය බ්‍රිතාන්‍යයන් අතට පත්වීමත් සමඟ ගාසා තීරයේ සිටි දැන උගත් ජනයා නැඟී එන පලස්තීන ජාතික ව්‍යාපාරය හා එක්විය.

1948 වසරේ ඊශ්‍රායලය පිහිටුවා ගැනීමෙන් අනතුරුව, ඊශ්‍රායල හමුදා දකුණු දිග පලස්තීනයේ ගම්මාන 29 කට පහරදීමත් සමඟ ඊජිප්තු හමුදාවේ සහාය ඇතිව ගම්වැසියෝ දස දහස් ගණනින් ගාසා තීරයට පලා ගියහ. ඔවුන්ගේ සහ ඔවුන්ගෙන් පැවත ගෙන එන්නන් විශාල පිරිසක් ගාසා තීරයේ තවමත් වාසය කරති.

ඊශ්‍රායලය සහ එහි අරාබි අසල්වාසීන් අතර 1967 වසරේ සිදුවූ දින හයේ යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය ඊශ්‍රායල හමුදා පාලනයට නතු විය. ඊශ්‍රායල හමුදා පාලනය යටතේ ජනයා තම ගම්බිම්වලින් පලවා හරිමින්, නිවාස කඩාබිඳ දමමින් සහ අවිහිංසාවාදීව සිදු කෙරුණු දේශපාලන විරෝධතාවන් ද මර්දනය කරමින් පලස්තීන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කෙරුනු බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය චෝදනා කරයි.

ඊශ්‍රායල හමුදා පාලනය නිම කොට ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් පලස්තීනුවෝ 1987-1991 සහ 2000-2005 වසරවල අවස්ථා දෙකකදී නැඟී සිටියහ. ගාසා තීරය කේන්ද්‍ර කර ගත් මූලධර්මවාදී පලස්තීන ඉස්ලාමීය සන්නද්ධ ව්‍යාපාරයක් ලෙස 1988 වසරේ හමාස් සංවිධානය පිහිටුවා ගැනෙනුයේ ඊශ්‍රායල පාලනයට එරෙහිව සටන් වැදීමේ අරමුණු පෙරදැරිව ය. “ජිහාඩ් යුද්ධයකින් තොරව පලස්තීන ගැටලුවට අන් කිසිදු විසඳුමක් නොමැත. සාකච්ඡා, යෝජනා සහ අන්තර්ජාතික සමුළු කාලය කා දැමීමකි“, හමාස් සංවිධානය පිහිටුවා ගැනීමේ ප්‍රඥප්තිය තුළ පවා ඔවුන්ගේ මෙම ප්‍රචණ්ඩකාරීත්වය ගැබ්ව පවතී.

හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් ගාසා තීරයේ ඊශ්‍රායල ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර දියත් කරන ලද අතර, ප්‍රහාර හමුවේ 2005දී ඊශ්‍රායලය ඒකපාර්ශ්විකව ගාසා තීරයෙන් ඉවත් විය. 2006 වසරේ පැවති පලස්තීන ව්‍යවස්ථාදායක මැතිවරණයේදී හමාස් සංවිධානයේ දූෂණ චෝදනාවන්ට ලක්ව සිටි තම ප්‍රතිවාදියා වන ෆාටා සංවිධානය පරාජය කළේය. 2007 මැයි මාසයේදී හමාස් සහ ෆාටා සටන්කාමීන් අතර කෙටි ගැටුමකින් පසුව, හමාස් සංවිධානය ගාසා තීරයේ සම්පූර්ණ පාලනය සියතට ගත්තේය.

ගාසා තීරයේ පලස්තීනුවෝ කවරහු ද?

ගාසා තීරයේ මිලියන 2.3 කට අධික වැසියන් මිලියන 14ක් වූ ගෝලීය පලස්තීන ප්‍රජාවේ කොටසකි. ගාසා තීරයේ වැසියන්ගෙන් තුනෙන් එකක් පමණ ගාසා තීරයට තම පවුලේ මූල පවතින බැව් කියති. ඉතිරි තුනෙන් දෙක 1948 යුද්ධයෙන් සරණාගතයින් බවට පත්වූවන් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් වන අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ගාසා අවට නගර සහ ගම්වලින් පැමිණියෝ වෙති.

ගාසා තීරයේ පලස්තීනුවන් අතර තරුණ නැඹුරුවක් පවතී. මුළු ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් වයස අවුරුදු 18 ට වඩා අඩු අය ය. ගාසා තීරයේ වැසියෝ දැඩි දරිද්‍රතාවෙන් පීඩාවට පත්ව සිටින අතර, දිළිඳුකමේ අනුපාතය 53% ක් තරම් ඉහළ මට්ටමක පවතී.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව පසුගියදා එල්ල කළ ප්‍රහාරය දෙපාර්ශ්වය අතර මීට ඉහතදී හටගත් ප්‍රධාන අවි ගැටුම් හතර සහ නිරතුරුව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි කිසියම් සමාන රටාවක් දැකිය හැකි ය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට රොකට් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන හෝ ඊට සමාන ප්‍රහාරයක් එල්ල කරන සෑම විටෙකම ඊශ්‍රායල හමුදා ගාසා තීරයට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරයි. එහෙත්, ඊශ්‍රායලය තුළට ඇතුළු වී මේ ආකාරයට ජන ඝාතනයක් සිදු කිරීමට හමාස් සංවිධානය පෙලඹුණේ ඇයි?

හමාස් සංවිධානය මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවකට යොමු කිරීමට බලපෑ එක් හේතුවක් නම් ගාසා තීරය තුළ සටන්කාමී කණ්ඩායම් අතර වර්ධනය වෙමින් පවතින බල අරගලයයි. හමාස් සංවිධානයට සෙසු අන්තවාදී කණ්ඩායම්වලින්, විශේෂයෙන් ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ කණ්ඩායමෙන් ප්‍රබල තර්ජනයක් එල්ල වෙමින් පවතී. සෙසු සන්නද්ධ කණ්ඩායම් ද හමාස් සංවිධානයෙන් බැහැරව ස්වාධීනව ඊශ්‍රායලයට රොකට් වෙඩි ප්‍රහාර එල්ල කරයි. ඊට ලැබෙන ප්‍රතිචාරය සැමට භුක්ති විඳීමට සිදු වේ.

බටහිර ඉවුරේ පාලනය ගැන කතාවක්

අනෙක් අතට, ඉකුත් දෙසැම්බර් මාසයේදී පිහිටුවා ගත් අගමැති බෙන්යමින් නෙතන්යාහුගේ රජය ඊශ්‍රායල ඉතිහාසයේ බලයට පත් වඩාත් අන්ත දක්ෂිණාංශික රජය ලෙසින් සැලකේ. පලස්තීනුවන් වෙසෙන අනෙක් ප්‍රදේශය වන බටහිර ඉවුර තම රටේ කොටසක් ලෙස ඊශ්‍රායලයට ඈඳා ගැනීමට තිබෙන අභිලාෂය නොසඟවා පළ කරන ඊශ්‍රායල රජය එම ප්‍රදේශයේ නීති විරෝධී යුදෙව් ජනපද ප්‍රසාරණය කිරිම අඛණ්ඩව සිදු කරමින් සිටී. බටහිර ඉවුරේ පාලනයට හිමිකම් කියන පලස්තීන අධිකාරියට ඒ පිළිබඳව නිහඬව සිටිනු හැර කළ හැකි කිසිවක් නොමැත.

මෙම ජනාවාසකරණයට එරෙහිව පසුගිය වසරේදී බටහිර ඉවුරේ තරුණ පිරිස් එක්ව “ලයන්ස් ඩෙන්“ නමින් යුත් සන්නද්ධ කණ්ඩායමක් පිහිටුවා ගනිමින් ජානපදිකයන්ට එරෙහිව ඔවුහු ගැටුමක නිරතව සිටිති. බටහිර ඉවුරේ පමණක් නොව ගාසා තීරයේ ද තරුණ කොටස් මෙම ලයන්ස් ඩෙන් කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ නව උද්‍යා්ගයකින් පසුවෙති.

මීට අමතරව, නෙතන්යාහුගේ සන්ධාන රජයේ අමාත්‍යවරයකු වන ඉටාමාර් බෙන්-ගවීර් ඉස්ලාම් ආගමේ වඩාත් පූජනීය දෙවොලක් ලෙසින් සැලකෙන අල් අක්සා දේවස්ථාන පරිශ්‍රයට ගමන් කිරීම පලස්තීනුවන්ගේ පමණක් නොව ඉස්ලාමීය ලෝකයේම දැඩි විරෝධයට මුල්වී තිබේ. අන්‍යාගමිකයන් මෙම දේවස්ථාන පරිශ්‍රයට යාම් ඊම් එම ශුද්ධ භූමිය අපිරිසුදු කිරීමක් බැව් හමාස් සංවිධානය කියයි. එහි අරමුණ අරාබිකරය තුළ සහ ඊටත් ඔබ්බට විහිද යන ඉස්ලාමීය ලෝකය තුළ තම ජනප්‍රියතාව වර්ධනය කර ගැනීමේ අරමුණු පෙරදැරිව බැව් පෙනේ. හමාස් සංවිධානය තම නවතම මෙහෙයුම නම් කොට ඇත්තේ ද “ඔපරේෂන් අල්-අක්සා ෆ්ලඩ්ස්“ යනුවෙනි.

හමාස් සංවිධානය මෙවැනි ප්‍රහාරයකට යොමු කළ තවත් හේතුවක් විය හැක්කේ අරාබි රටවල් ක්‍රමයෙන් ඊශ්‍රායලය සමඟ සාම සම්මුතීන්ට එළැඹීම ය. අමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් 2020 වසරේදී ඇති කර ගත් ඒබ්‍රාහිම් සම්මුතිය මඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, සුඩානය සහ මොරොක්කෝව මෙලෙස ඊශ්‍රායලය සමඟ තම සබඳතා යථා තත්ත්වයට පත්කර ගත්තේ ය.

ලොව ප්‍රධානතම සුන්නි මුස්ලිම් රාජ්‍යය ලෙසින් සැලකෙන සෞදි අරාබිය ද ඊශ්‍රායලය සමඟ වෙනම ගිවිසුමකට එළැඹෙන බවට රාවයක් පසුගිය සති කිහිපය පුරා අසන්නට ලැබිණ. මෙය මුළුමහත් පලස්තීනයටම බලපාන්නා වූ කාරණයක් බැව් නොරහසකි. පලස්තීනය සමඟ පුළුල් සාමයකට එළැඹෙනු වෙනුවට අරාබි රටවල් සමඟ සාමයක් ඇති කර ගැනීම තම ප්‍රමුඛතාව බව නෙතන්යාහු අවධාරණය කරයි.

හමාස් සංවිධානයේ අරමුණ

යට දැක්වූ පරිදි හමාස් සංවිධානයේ ඒකායන අරමුණ ඊශ්‍රායලය විනාශ කොට ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම ය. එහෙත්, ඊශ්‍රායලය 1967 දින හයේ යුද්ධයට පෙර පැවති දේශසීමාවන් දක්වා පසුබැසීමට සූදානම් නම් ටෙල් අවිව් පාලනය සමඟ සටන් විරාමයට එළැඹීමට තමන් සූදානම් බැව් හමාස් සංවිධානය පවසයි. හමාස් සංවිධානයේ වචන පිළිගැනීමට ඊශ්‍රායලය සූදානම් වන බවක් නොපෙනේ. යම් හෙයකින් සෞදිය ඊශ්‍රායලය සමඟ සම්මුතියකට එළැඹුණහොත් මෙම කොන්දේසියට තවදුරටත් වලංගුභාවයක් නොමැති බැව් හමාස් සංවිධානය කල්පනා කරනු නොඅනුමාන ය.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ත්‍රස්තවාදයේ පරිසමාප්ත ස්වරූපය ප්‍රදර්ශනය කිරීමකි. ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයකු වන මාර්තා ක්‍රෙන්ෂෝ පවසන පරිදි, ත්‍රස්තවාදය එය පැන නඟින අවස්ථාව හා සබැඳි විශේෂිත වූ සන්දර්භය මත රඳා පවතින අතරම, බොහෝවිට ජාතික දේශසීමාවන් පරයා ගමන් කරයි. නූතන ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයන්ගේ නිරික්ෂණවලට අනුව ප්‍රධාන කාරණා තුනක් දැක ගත හැකි ය. පළමුකොටම, ත්‍රස්තවාදය යනු මනෝවිද්‍යාත්මක සංග්‍රාමයක එක් ප්‍රබල ස්වරූපයකි. මෝටර් රථ අනතුරු හෝ හෘදයාබාධවලින් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාවට වඩා බෙහෙවින් සීමිත පිරිසක් ත්‍රස්ත ක්‍රියාවලින් මිය යන නමුදු, සමීක්ෂණවලින් හෙළිවී ඇති පරිදි මහජනතාවගෙන් වැඩි දෙනකු ත්‍රස්තවාදය කෙරෙහි දැඩි බියකින් පසු වෙති. නූතන සන්නිවේදන මාධ්‍ය යොදා ගනිමින් තම අරමුණු පිළිබඳ ලෝකයට ප්‍රකාශ කිරීමට ත්‍රස්තවාදීහු උනන්දුවක් දක්වති. ඊශ්‍රායලයට නවතම ප්‍රහාරය සඳහා හමාස් සංවිධානය යොදා ගත්තේ ඊජිප්තුව සහ සිරියාව එක්ව 1973 වසරේ දියත් කළ යොම් කිපූර් නැතහොත් රාමදාන් යුද්ධයට වසර 50 ක් සපිරෙන දිනයට පසුදා ය. ත්‍රස්තවාදය යනු රහස්‍යභාවය, රැවටීම සහ ප්‍රතිවාදියා මවිතයට පත් කිරීමේ ක්‍රියාවලියකි.

දෙවැනුව, ප්‍රකට ත්‍රස්ත මර්දන පර්යේෂකයකු වන බෝවාස් ගැනෝර් පවසන පරිදි, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාව රඳා පවතිනුයේ ත්‍රස්තවාදියාගේ අරමුණ සහ ශක්‍යතාවයන් මත ය. 2014 ගාසා යුද්ධය නිම කිරීමේ සටන් විරාමයකට එකඟ වුව ද, හමාස් සංවිධානය ඊශ්‍රායලය විනාශ කිරීමේ සහ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීමේ තම සිහිනය අත්හැර නොමැත. ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ, අරමුදල්, බුද්ධි අංශ තොරතුරු සහ රාජ්‍යතාන්ත්‍රික රැකවරණය හමාස් සංවිධානයට තම හිතවත් රටවලින් සැපයේ. හමාස් සංවිධානය සතුව රොකට් වෙඩි, ඩ්‍රෝන යානා, සහ සුළු අවි මෙන්ම හානිය අවම කර ගනිමින් පවුරු බිඳ හෙළීම සඳහා බුල්ඩෝසර්, අධි තාක්ෂණික ආරක්ෂක පද්ධති මඟ හැර පියාසර කළ හැකි පැරාග්ලයිඩර්ස් හමාස් සංවිධානය සතුව පවතී.

තෙවැනුව, අධි ප්‍රතික්‍රියාකාරීත්වයකට සහ ගැටුම් වඩාත් තීව්‍ර කිරීමට ත්‍රස්තවාදියා සතු අභිලාෂයයි. දේශීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් තමන්ට ලැබෙන සහාය හීන වෙමින් පවතින තත්ත්වයක් තුළ හමාස් සංවිධානයට මෙවැනි භීෂණයක් අවශ්‍යව තිබූ බවක් මෙම ප්‍රහාරයෙන් හෙළි වේ. ප්‍රහාරයට එල්ල වන ප්‍රතිප්‍රහාරය ජීවිත සහ දේපොල විනාශ කළ ද, ත්‍රස්තවාදයේ පැවැත්මට පෙරළා එය මහෝපකාරී වන බැව් හමාස් සංවිධානය මනාව අවබෝධ කොට ගෙන සිටී.

ඉකුත් සති කිහිපය තුළ, ගාසා වැසියන්ගෙන් හමාස් සංවිධානයේ නායකත්වයට එල්ල වූ දූෂණ චෝදනා සහ තම ජීවන තත්ත්වය පිළිබඳ මැසිවිලි දැන් තාවකාලිකව හෝ යටපත්ව ගොසිනි. ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර එකඟතාව ද නුදුරු දිනෙක අපේක්ෂා කළ නොහැකිය. හමාස් සංවිධානයට තමන් සිතූ පරිදිම ඊශ්‍රායල රජය කුපිත කිරීමට හැකිව තිබේ. “බලගතු පළිගැනීමක්“ පිළිබඳව අගමැති නෙතන්යාහු අනතුරු අඟවයි. එළැඹ ඇති සංග්‍රාමය තුළ දකුණු දිග ලෙබනනයේ ද ආතතීන් තවදුරටත් උත්සන්න වනු ඇත. හිස්බුල්ලා සංවිධානය ද මෙවැනිම ගැටුම් වර්ධනයක් අපේක්ෂාවකින් පසු වේ. හමාස් සටන්කාමීන් සොයමින් ගෙයින් ගෙට යන දුෂ්කර මෙහෙයුමක් තුළ ඊශ්‍රායලය දරුණු සහ දිග්ගැස්සෙන සංග්‍රාමයකට අවතිර්ණයව සිටී. මෙය ඊශ්‍රායලය දුර්වල කිරීමට තමන්ට ලැබුණු අනගි අවස්ථාවක් බවට ඉරානය කල්පනා කරනු ඇත. එමෙන්ම, මැදපෙරදිග කලාපයේ තම ප්‍රතිවාදියා වන සෞදිය සහ ඊශ්‍රායලය එක්වීම තාවකාලිකව හෝ වැළැක්වීමට හැකිවීම ඉරානයට අස්වැසිල්ලට හේතුවක් වනු නිසැක ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division