Home » ඇලීම් බැඳීම්වල බැඳුණු මිනිසුන්ගේ කතාව මායා දැල

ඇලීම් බැඳීම්වල බැඳුණු මිනිසුන්ගේ කතාව මායා දැල

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

වසර 22ක නීති වෘත්තියෙහි ප්‍රවීණයකු වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ කලාව හඳුනාගන්නේ පාසල් වියේදීය. ඔහු අතින් ලියවුණු නවකතා, කෙටිකතා, පරිවර්තන කතා මෙන්ම විද්‍යා ප්‍රබන්ධ ගණන ද අතිමහත්ය. වේදිකා නිර්මාණ 15කට පමණ රංගනයෙන් දායකවුණු ඔහු අතින් නිමවුණු වේදිකා නාට්‍ය ගණන 6කි. ඔහුගේ 7 වැනි නිර්මාණය ලෙස මායා දැල එළිදකින්නේ වසර 26කට පසුවය. ඔක්තෝබර් 12 වැනිදා එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත වන එහි මංගල දර්ශනයට ලහි ලහියේ සූදානම් වන ඔහු අපට හමුවූවේ පුහුණුවීම් අතරතුරේදීය.

මායා දැල කියන්නේ සංගීතය මූලික කරගත් වේදිකා නිර්මාණයක්. කොහොමද මේ දිනවල පුහුණුවීම් කටයුතු?

පුහුණුවීම් කටයුතු නොකඩවාම කරගෙන යනවා. මේක තෝන්ටං වයිල්ඩර් සම්ප්‍රදායට අනුව මියුසිකල් මෙලෝ ඩ්‍රාමා ෂානරයට කෙරෙන නිර්මාණයක්. මියුසික් කියන්නෙ මේකෙ ප්‍රධාන චරිතයක්. දිගටම පුහුණුවීම් කළේ මියුසික් එක්ක. විශාරද දුමාල් වර්ණකුලගේ හඬින් ගීතවත් වන තේමා ගීතය හැරුණම තවත් සංගීත ඛණ්ඩ 13ක් මෙහි ඇතුළත් වෙනවා. ඇදහිය නොහැකි සංගීතයෙන් මායා දැල වර්ණවත් කරන්නේ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙන් පසුව නිර්මාණකරුවකුගේ හැඟීම් හරියටම තේරුම් ගත් එකම සංගීතවේදියා මොහු කිවුවත් හරි.

මීට කලින් මං කළ විද්‍යා ප්‍රබන්ධයක් වටා ගෙතුණු පිළිරූ වගේම ගිම්හානයේ 1990, 1993 වසරවල යෞවන නාට්‍ය සම්මාන උලෙළේ සම්මානිත වුණා. රොබෝවරුන් වටා ගෙතුණු පිළිරූ ප්‍රතිනිර්මාණය කරන්න කවුරුහරි දායක වෙනවනම් අදටත් ඒක වටිනා නිර්මාණයක්. ඒ වගේ නිර්මාණ කොටස් වශයෙන් පුහුණු වෙලා අවසන් රිහර්සල්වලදි තමයි නාට්‍ය සම්පූර්ණයෙන් එළන්නෙ. රංගන ශිල්පීන් එක්කෙනෙක්වත් අඩුවෙන්වත්, කොටස් වශයෙන්වත් මායා දැල පුහුණුවීම් කරන්න බෑ. මේකට මං රිහර්සල් 40ක් ප්ලෑන් කළා. දැනට 38ක් ඉවරයි. 5, 9 දිනවල තව 2ක් තියෙනවා. 10 වෙනිදා එල්ෆින්ස්ටන්හිදී කොස්ටියුම්, ලයිට් එක්කම රිහර්සල් එකක් යනවා. 11 විතරයි නිවාඩුවක් තියෙන්නෙ. 12 වෙනිදා 6.30ට ෂෝ එක. එදාට 3.30 කොස්ටියුම් මේකප් එක්ක අවසන් රිහර්සල් එක තියෙනවා. මංගල දර්ශනයට කලින් රිහර්සල් 43 විතර කෙරෙනවා.

තෝන්ටං වයිල්ඩර් සම්ප්‍රදාය අභියෝගයක් නෙවෙයි ද?

තෝන්ටං වයිල්ඩර් කියන්නේ අවම රංග භාණ්ඩ ප්‍රමාණයක් යොදාගැනීම. ඒ නිසා තමයි රිහර්සල් වැඩි ප්‍රමාණයක් යොදාගත්තේ. 1990 වසරේ බන්දුල විතානගේ සූරීන්ගේ හිරු දහස නාට්‍යයට තමයි මේ රීතිය මුලින්ම යොදාගත්තේ. තෝන්ටං වයිල්ඩර්ගේ Our Town කියන නාට්‍ය බන්දුල සර් හිරු දහස කියල සිංහලට පරිවර්තනය කළා. Our Townහි රංග භාණ්ඩ විදිහට පුටු කීපයයි තිබුණෙ. හිරු දහසෙ පුටු 12ක් තිබුණා. මායා දැලට යොදාගත්තෙ පුටු 3යි, ගිටාර් එකයි. ස්ටේජ් එක පුරාම යන විශාල මකුළු දැලේ මුහු කළ හැකි මකුළුවෙක් ඉන්නවා. ඒක සංකේතයක්. ප්‍රධාන චරිතය වන නිරෝධ ගනුදෙනු කරන්නෙ ඒ මකුළුව එක්ක.

පුහුණුවීම් වාර 43ක් කියන්නෙ ලොකු පරාසයක්. රංගන ශිල්පීන්ගෙ දායකත්වය ගැන කතා කළොත්?

ඒ ගැන නම් කිව යුතුමයි. උදිත ගුණවර්ධන කියන්නෙ වෘත්තීය මට්ටමේ අතිදක්ෂ රංගන ශිල්පියෙක්. ගාමිණී ජයලත් කියන්නෙත් වසර 38ක පමණ අත්දැකීම් බහුල ප්‍රවීණයෙක්. මේ වෙද්දි මාත් නිර්මාණ 15කට විතර දායකවෙලා තියෙනවා. ඒ ඇරුණම අනිත් තිදෙනාම ආධුනිකයි. ඉනෝකාට පණ පොවන මොනිකා සේරසිංහ මේ වෙද්දි ප්‍රවීණයන් හා කරට කර ගැටෙනවා. ඒ වගේම නීතිඥ තාරිකා ද සිල්වා කොතරම් චරිතයට ආවේශ වෙලාද කියනව නම් සමහර වෙලාවට උදිත පවා ගැස්සිලා යනවා. වේටර්ගේ භූමිකාවට කසුන් හොඳ සාධාරණයක් කරනවා. ගාමිණී අයියට විශේෂයෙන් ස්තුති කළ යුතුයි. පහුගිය දිනවල මොනිකා අසනීපවෙලා ඉද්දි ඒ අඩුව නොදැනෙන්න ඔහු කාන්තා හඬින් මොනිකගෙ දෙබස් කියමින් පුහුණුවීම් අඛණ්ඩව කරගෙන යන්න ලොකු සහායක් ලබාදුන්නා. ප්‍රවීණයෙක් විදිහට ඔහුට නාට්‍යයේ තියෙන්නෙ පොඩි කාල පරාසයක්. ඔහුට ආරාධනා කරද්දි මොනව කියයිද කියල මගේ හිතේ දෙගිඩියාවක් තිබුණත් වේදිකාව කියන්නෙ අපේ ආත්මය මල්ලි කියලා, ඔහු හරිම කැමැත්තෙන් ඒක භාරගත්තා. මේ ශිල්පීන්ගේ කැපවීම ගැන නම් කියන්න වචන නෑ. මේක දැන් ඔවුන්ට ජීවිතේම වෙලා.‍ මේ කණ්ඩායමම යොදාගෙන කරන තවත් අලුත් නිර්මාණයක් මේ වෙද්දිත් මගෙ අතින් ලියවිලා ඉවරයි.

කුඩා වියේදීම ඔබ කලාවට නැඹුරුව සිටියත් රංගනයට පිවිසීම සිදුවෙන්නෙ අහම්බෙන්?

අවුරුදු 20ක් තරම් බාල වියේදී මගේ පළමු නිර්මාණය ලෙස රොබෝවරුන් ගැන කියැවෙන පිළිරූ යෞවන සම්මාන උලෙළේ දෙවැනි වටයට තේරෙද්දි විනිශ්චය මණ්ඩලයේ හිටපු සුගතපාල ද සිල්වා මහතා සැකයෙන් ඒ ගැන විමසුවා මගේ ප්‍රබන්ධ ලිපි කියවල තිබුණ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සර් එතැන හිටිය නිසා එදා මගේ කලා ජීවිතේ බේරුණා. මං රංගනයට පිවිසෙන්නෙ බන්දුල විතානගේ සූරීන් නිසා. ඒ හමුවීමට හේතුව වුණේ ජයන්ත චන්ද්‍රසිරි අයියා. ඒ දවස්වල මං ඔහුගේ නවලිය අතිරේකයට ලියනවා. දවසක් ඔහු මට කිවුව බන්දුල සර් අලුත් වැඩක් කරනවා, ගිහින් ඔහුගෙන් ඉන්ටවිව් එකක් ගන්න කියලා. ඒ හමුවීම තමයි හිරු දහසෙ ප්‍රධාන භූමිකාවකින් රංගනයට පිවිසෙන්න අවස්ථාව උදා කළේ. ජයන්ත චන්ද්‍රසිරි කියන නාට්‍යවේදියා, පුවත්පත් කලාවේදියා මගේ ජීවිතේට ගොඩක් වටින කෙනෙක්. ඒ වගේම ලක්හඬ ගුවන්විදුලියේ ආරම්භක 36 දෙනාගෙ කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට මට අවුරුදු හයක පමණ ගුවන්විදුලියේ අත්දැකීම් තියෙනවා. වෘත්තියෙන් නීතිඥයකු වුණත් මගේ ආත්මය තියෙන්නෙ කලාවෙ.

මායා දැලෙන් කියැවෙන්නෙ බොහෝ දෙනාගේ ජීවිත අත්දැකීම් කිවුවොත්?

ඇලීම් බැඳීම්වල බැඳුණු මිනිසුන්ගේ කතාව යන තේමාව යටතේ මෙය නිර්මාණය වෙන්නෙ හාස්‍යෝත්පාදක රැල්ලටම ගහගෙන යන්නෙ නැතුව උඩුගං බලා යෑමේ ප්‍රයත්නයක් ලෙසින්. දැනටමත් පාසල් දර්ශන කීපයක් සැලසුම් කරල තියෙනව වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියටත් දාලයි තියෙන්නෙ. ඔක්තෝබර් 12 වැනිදා 6.30ට එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාගතවන මායා දැල සංගීතමය භාවනාවට සමවැදෙන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division