Home » පුද්ගල දත්ත ආරක්ෂණ අධිකාරියක්

පුද්ගල දත්ත ආරක්ෂණ අධිකාරියක්

by Mahesh Lakehouse
October 7, 2023 12:40 am 0 comment

පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ පනත 2022 වසරේ මුල භාගයේදී සම්මත වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් එය ක්‍රියාත්මක නොවීම නිසා මෙලෙස සභාපතිවරයකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මෙම පනත මඟින් පුද්ගල දත්ත සුරක්ෂිත කරන අතර පුද්ගල දත්ත වැරදි ලෙස පරිහරණය කරන අයට දඬුවම් පැමිණවීමේ බලය ද මෙම පනත යටතේ පිහිටුවන පුද්ගල දත්ත ආරක්ෂණ අධිකාරියට හිමි වේ.

එම අධිකාරිය පිහිටුවීම ඊට අයත් කාර්ය මණ්ඩලය තීන්දු කිරීම හා කාර්යාලය පවත්වාගෙන යාම යන කරුණු මෙම කමිටුව මඟින් සකස් කරනු ලැබේ.

ඒ අනුව පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ සභාපති ලෙස අර්ජුන හේරත් ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජනනාත් ප්‍රනාන්දු, සුලක්ෂණ ජයවර්ධන, සෞම්‍ය අමරසේකර, ෂෙහාන් විජේතිලක, බිසර සෙනවිරත්න සහ නිෂිත් අබේසූරිය පත් කර තිබේ.

මෙම අධිකාරියට අවශ්‍ය සහාය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ මැදිහත්වීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය හා ලෝක බැංකුව එකතු වී ලබා දෙනු ලබයි.

මෙතෙක් දත්ත ආරක්ෂණ අධිකාරියක් නොමැතිවීම නිසා විදෙස් තොරතුරු තාක්ෂණ සමාගම් මෙරට ආයෝජනය කිරීමට අකමැත්ත පළ කර තිබූ අතර මෙම අධිකාරිය පිහිටුවීමෙන් පසුව එම බාධාව තුරන් වනු ඇතැයි රජය අවධාරණය කරයි. එමෙන්ම ආයතන මගින් පෞද්ගලික දත්ත සකස් කිරීම හා භාවිත කිරීම සම්බන්ධයෙන් මෙම අධිකාරිය විසින් නිර්නායක ඉදිරිපත් කරනු ඇත.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division