Home » මුල්ලේරියාව කත මරා දැම්මාට පසු ඝාතකයන් සඳගල පන්සලේ හැංගුණු හැටි

මුල්ලේරියාව කත මරා දැම්මාට පසු ඝාතකයන් සඳගල පන්සලේ හැංගුණු හැටි

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment
ඝාතනයට ලක්වූ ප්‍රදීපා සිල්වා

ය නමින් ප්‍රදීපා සිල්වාය. තිදරු මවක් වූ ඇය පදිංචිව සිටියේ මුල්ලේරියාව පොලිස් වසමේ පිහිටි තෝමස් චොන්ගමය. ඒ පැත්තේ ඇය ජනප්‍රිය චරිතයක් වූවාය. බොහෝ අය ඇයව දැන හඳුනන්නේ රූපයෙනි. නමින් ඇයව දැන හඳුනන අය සිටියේ නම් ඒ අතළොස්සක් පමණි. ගම්වැසියන්ට අමතරව ඇය වඩාත් කතාබහට ලක්වූ චරිතයක් බවට පත්ව සිටියේ නම් ඒ පොලිස් නිලධාරීන් අතරය.

මුල්ලේරියාව පොලිසිය ඇයට හරියට සිය නිවහන බඳුය. ඒ මුල්ලේරියාව පොලිසිය ඇය නිතර ආගිය තැනක් වූ බැවිනි. ඇය ස්ථානාධිපතිවරු කිහිප දෙනෙකුම ඉතා කිට්ටුවෙන් ද ඇසුරු කර ඇති බව පොලිසිය ඇතුළෙන් කියැවෙන කතාවකි. එම නිලධාරීන් අතර අද වන විට පොලිසියේ ඉහළ නනතුරු දරන අය ද නැත්තේම නැත. ඒ නිසාම ඇයට ලොකු සමාජ බලයක් ද ඒ පැත්තේ ගොඩනැඟී තිබුණාය. ඒ යැයි කියා ඇය එම බලය අයුතු ලෙස යොදා ගත් බවක් නම් අංගොඩ හා මුල්ලේරියාව පැත්තෙන් ඇසෙන්නේ නැත. ඒ බලය යෙදෙව්වේ නම් ඒ විසිවසරක් තිස්සේ ඇය අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයාට යම් පීඩනයක් එල්ල කිරීමට පමණි.

තෝමස් චොන්ගම පිහිටි නිවෙසේ කාලයක් තිස්සේම ප්‍රදීපා ජීවත් වූයේ තනිවමය. ඇගේ දරුවන් දෙදෙනෙක් ම සිටින්නේ යැයි පැවසෙන්නේ රටින් බැහැරවය. වැඩිමහල් දියණිය ජීවත් වන්නේ යැයි කියැවෙන්නේ ඔස්ට්‍රේලියාවේය. ප්‍රදීපාගේ විවාහක සැමියා ද මාස කිහිපයක් තිස්සේ සිටින්නේ එම දියණිය ළඟය. ඒ බිරියගෙන් වෙන්වීය. සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති රැකියාවක නිරතව සිට ඇති ඔහු බිරියගෙන් වෙන්ව සිටින්නේ යැයි කියැවෙන්නේ වසර දහයක් පහළොවක් තිස්සේය. ඒ බිරියගේ අනියම් ඇසුරක් මුල්කරගෙනය. කියැවෙන ආකාරයට අනුව දැන් මේ පවුලේ මෙරට රැඳී සිටින්නේ එක් දියණියක් පමණි. ඇය පදිංචිව සිටින්නේ යැයි කියනු ලබන්නේ වයඹ පළාතට කිට්ටුව මුහුදුබඩ ප්‍රදේශයකය. ප්‍රදීපා නිතර සම්බන්ධකම් පවත්වන්නට යෙදුණේ ඒ දියණිය සමඟිනි.

එදා සැත්තැම්බර් 17 වෙනිදාය.

වේලාව උදෑසන 7.30ට පමණ ඇත.

ගේ දොර වසා දමා ප්‍රදීපා නිවෙසින් එළියට බසින්නේ ලොකු ගමනක් යාමේ අපේක්ෂාවක් ඇතිවය. ඇය යන්නේ කොහේද? කුමක් අරඹයාද? යන්න ගැන දැන සිටියේ ද ඇය පමණි.

ඇය පාගමනින් මඳ දුරක් ඉදිරියට ගොස් නතර වන්නේ නිවෙසක් අසලය. ඒ ඇගේ මිතුරියකගේය. ඇය එහි යන විට ඇයත් දන්නා කියන එම මිතුරියගේ මිතුරියක් වන ආයුර්වේද වෛද්‍යවරියක් ද එහි පැමිණ සිටියාය. ඔවුන් සමඟ මඳ වේලාවක් සතුටු සාමිචියේ යෙදුණු ප්‍රදීපා මිතුරියගේ නිවෙසින් එළියට බසින විට උදෑසන 8.30ට පමණ ඇත. ඒ ආයුර්වේද වෛද්‍යවරිය ද සමඟිනි. ප්‍රදීපා සිය මිතුරියට පවසන්නේ කොටිකාවත්තේ සහෝදරියකගේ නිවෙසට යන බවය. කොටිකාවත්තට ඇය යන්නට සූදානම් වන්නේ ත්‍රිරෝද රථයක නැඟීය. එබැවින් මිතුරිය ඇයට පවසන්නේ ආයුර්වේද වෛද්‍යවරියවත් අංගොඩ හන්දියට රැගෙන යන ලෙසය. ඒ අනුව ඇය ආයුර්වේද වෛද්‍යවරියත් සමඟ ත්‍රීරෝද රථයක නැඟී ගියා ගියාමය. ඇය එතැන් සිට අතුරුදන්ය.

ඇගේ අතුරුදන් වීම ගැන මුල්ලේරියාව පොලිසියේ පැමිණිල්ලක් සටහන් වන්නේ එදින රාත්‍රී 11.30ට පමණ ය. ඒ ඇගේ දියණිය විසින් පොලිසියට පැමිණ සිය මව අතුරුදන්වී ඇතැයි කියා පැමිණිල්ලක් කිරීමත් සමඟිනි. දියණිය කියන්නට වූයේ උදෑසන 8.50ට පමණ තමා මවට දුරකතන ඇමතුමක් ගෙන ඇගේ සුවදුක් විමසා බැලූ බවය. ඒ වන විට ඇය ත්‍රිරෝද රථයක නැඟී ගමන් කරමින් සිටි බව ඇය පොලිසිය හමුවේ කීවාය.

. “ මම කොටිකාවත්තේ ලොකු අම්මලාගේ ගෙදර යනවා“ ත්‍රිරෝද රථයේ නැඟී යන්නේ කොහේදැයි ප්‍රදීපා දියණියට පවසා තිබුණේ එසේය.

දියණිය නැවතත් ප්‍රදීපාට ඇමතුමක් ගන්නේ උදෑසන 9.20න් පසුවය. එවිට දුරකතනය තිබෙන්නේ අක්‍රිය තත්ත්වයෙනි. සාමාන්‍යයෙන් සිය මවගේ දුරකතනය එසේ අක්‍රිය නොවන බව දැන සිටි ඇයට ඒ ගැන ඇති වන්නේ යම් සැකයකි. ඒ නිසාම කොටිකාවත්තේ පිහිටි ලොකු අම්මාගේ නිවෙසට දුරකතන ඇමතුමක් ගෙන මව එහි පැමිණ සිටීදැයි පරීක්ෂා කර බැලුවාය. ඇය එහි පැමිණ සිටියේ නැත. මෙසේ ඇය දෙතුන් වතාවක්ම ලොකු අම්මාගේ නිවෙසට මව පැමිණ සිටීදැයි කියා පරීක්ෂා කර බලා බැරිම තැන මුල්ලේරියාව පොලිස් ස්ථානයට එන්නේ තෝමස් චොන්ගම නිවෙසට ද ගොස් එම නිවෙස ද අඳුරේ තිබෙනු දැකීමෙන් අනතුරුවය.

ඒ වන විට රෑ බෝ වී තිබුණු බැවින් පොලිසියට සිදුවන්නේ විමර්ශන පසුදින උදෑසනම ආරම්භ කිරීමටය. ඒ ඇය අනතුරකට ලක්ව රෝහලක සිටීදැයි කියා පෙරදින රාත්‍රිය පුරා යම් සොයා බැලීමකින් ද අනතුරුවය. මෙහිදී අතුරුදන්ව සිටින ප්‍රදීපා සොයා විමර්ශන පැවැත්වීමේ බර කරට ගන්නේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත සහ අපරාධ අංශයේ ස්ථානාධිපති සොයිසා යන නිලධාරීන්ය. මෙහිදී සුනිමල් සුසන්ත ඇතුළු නිලධාරීන් ප්‍රදීපා සොයා විමර්ශන අරඹන්නේ තෝමස් චොන්ගම ඇය පදිංචි නිවෙසේ සිටය. ඒ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ ඇගේ ගමන් මඟ හඹා යමිනි. ඒ අනුව සුසන්ත ඇතුළු කණ්ඩායම මුලින්ම යන්නේ ඇය එදා උදෑසන හමුවන්නට ගිය මිතුරියගේ නිවෙසටය. ඇය මඳ වේලාවක් එහි රැඳී සිට කොටිකාවත්තට යනවා යැයි කියා ආයුර්වේද වෛද්‍ය මිතුරිය සමඟ ත්‍රිරෝද රථයක නැඟී පිටත්ව ගිය බව අනාවරණය වන්නේ එහිදීය. අතරමඟදී ආයුර්වේද වෛද්‍යවරිය ත්‍රිරෝද රථයෙන් බැස ගිය පසු ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කළ ද ඇය ආගිය තැනක් සොයා ගන්නට නොවීය. උදෑසන 8.50ට දියණියගෙන් ලද අවසන් ඇමතුම ලැබෙන විට ඇය රැඳී සිටියේ ද අංගොඩ පැත්තේය. එබැවින් ඉන් එහාට ඇය ගමන් කළ මාර්ගය සොයා ගැනීමට තාක්ෂණික උපක්‍රමයක් යොදා ගැනීමට සුනිමල් සුසන්ත පියවර ගන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරත වෙමින් අපරාධකරුවන් කොටුකර ගැනීමට යොදාගත් තාක්ෂණික විධික්‍රම ඔස්සේය.

මෙහිදී දියණියගෙන් ප්‍රදීපාගේ අන්තර්ජාල තැපැල් ලිපිනය ලබා ගන්නා පොලිස් ස්ථානාධිපති සුනිමල් සුසන්ත එම ගිණුමට ඇය ජංගම ගිණුමෙන් අවසානයට සම්බන්ධ වූ ස්ථානය ගැන යම් සොයා බැලීමක් කළේය. කෙටි කෑම සම්බන්ධයෙන් රටේ ප්‍රසිද්ධ අවන්හල් ජාලයක කඩුවෙල පිහිටි අවන්හලකට ගොස් එහි ආරක්ෂක කැමරා පද්ධතිය සුනිල් සුසන්ත ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂා කර බලන්නේ ඒ අනුවය. ප්‍රදීපා එම අවන්හලට පැමිණ රෝල්ස් දෙකක්, කෝපි කෝප්ප 02ක්, වතුර බෝතලයක් මිලදී ගත් බව අනාවරණය වන්නේ එහිදීය. ඇය මෙම අවන්හලට ඇතුළු වන විට එම අවන්හලේ රථ ගාලේ නවතා ඇති මෝටර් රථයක රියදුරු අසුනක පැත්තේ පැති දොරට තට්ටුවත් දමා විවෘත කරමින් එන අයුරු පවා එහි ඇති ආරක්ෂක කැමරා කාචයේ සටන්ව තිබෙන්නේ එම මෝටර් රථයේ සිටින පුද්ගලයා සමඟ ඇති හිතවත්කමක් ගැන හොඳ සාක්ෂියක් ඒ තුළින් ලබාදෙමිනි. අවන්හලෙන් ඇය ලබාගත් කෙටි ආහාර පවා එකට හිඳ ආහාරයට ඇය ගන්නේ එම මෝටර් රථයේ රියදුරු අසුනෙන් බැස පැමිණි මැදිවියේ පුද්ගලයෙකු සමඟිනි. ඇය අවන්හලේ සිට පිටව යන්නේ ද එම පුද්ගලයා සමඟ මෝටර් රථයේ නැඟීය.

ඒ අනුව පැහැදිලි වන්නේ ප්‍රදීපා අතුරුදන් වන්නේ එම පුද්ගලයා සමඟ කඩුවෙල පිහිටි අවන්හලෙන් පිටව ගිය පසුව බවය. ප්‍රදීපා සොයා ගැනීමට නම් ඇය සමඟ සිටි පුද්ගලයා හඳුනා ගත යුතු බව සුනිමල් සුසන්ත ඇතුළු නිලධාරීන්ට පෙනී ගියේය. ඒ සඳහා එකම මඟ වූයේ මෝටර් රථයේ ලියාපදිංචි අංකය පමණි. මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවෙන් එහි ලියාපදිංචි හිමිකරු කවුරුන්දැයි කියා සොයා බලන්නේ ඒ අනුවය. ඒ විමර්ශන ඉදිරියට යන්නට මඟ ඇත්තේ ඒ ඔස්සේ බව අපරාධ විමර්ශකයෙක් වූ සුසන්ත හොඳින්ම දැන සිටි බැවිනි. සියඹලාපේ ලිපිනයක් සුසන්ත අතට පත්වන්නේ ඒ ඔස්සේය. ඊට අනුව මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු වූයේ සුදීර නැමැති අයෙකි.

එම ලිපිනය සොයා ඒ මොහොතේම සුසන්ත ඇතුළු නිලධාරීන් ගියත් එම නිවෙසේ ඒ වන විටත් මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු බව සඳහන් වූ සුදීර නැමැති පුද්ගලයා සිටියේ නැත. නිවෙස වෙනත් අයකුට කුලියට ලබාදී ඔහු එතැනින් මාරුවී තිබුණේ ඊට පැය 24කට පෙරය.

මේ කියන සුදීර වෙන කිසිවකුත් නොව ප්‍රදීපාගේ පවුල බිඳ වැටීමට මුල්වූ ඇගේ අනියම් සම්බන්ධයයි. ව්‍යාපාරිකයෙක් වූ සුදීර කලක් පී.වී.සී. උපාංග සම්බන්ධ සමාගමක බෙදා හැරීමේ ඒජන්සියක් ද පවත්වා ගෙන ගියේය. අදටත් ඔහුගේ ව්‍යාපාර ඇත්තේ ප්ලාස්ටික් හා පී.වී.සී. ආශ්‍රිතවය. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ව්‍යාපාරයකටද සම්බන්ධකම් පවත්වන සුදීර ව්‍යාපාර රැසකට සම්බන්ධකම් කියන පුද්ගලයෙකි. පැය 24ක් තුළ හිටි හැටියේම ගේ දොර අතහැර අතුරුදන්වන සුදීර ඒ වන විට ඉන්න හිටින තැනක් ගැන කවුරුත්ම ඒ වන විට කිසිවක් දැන සිටියේ නැත. සියඹලාපේ සිටි ඔහුගේ බිරිය හා දරුවන් ද සිටියේ සුදීරත් සමඟ අතුරුදන්වය. ඒ අය අතුරුදන් වන්නේ සුදීර සමඟින් ද නැතිනම් ඊට පෙර ද යන්න පිළිබඳ ව ඇතිවන්නේ දැඩි කුතුහලයකි.

සුදීරට අයත් තවත් නිවෙසක් ඒ කිට්ටුව පාතක ඇති බවට තොරතුරක් සුසන්ත ඇතුළු නිලධාරීන්ට ලැබෙන්නේ සුදීර හා ඔහුගේ පවුලේ උදවිය ගැන වටින් ගොඩින් තොරතුරු සොයා බැලීමේදීය. ඒ වන විට සුදීරගේ ජංගම දුරකතන පවා තිබෙන්නේ අක්‍රියවය. ඒ ගැන පවා ඇති වන්නේ දැඩි සැකයකි. එම සැකය මුල්කරගෙන සුසන්ත ඇතුළු නිලධාරීන් යන්නේ සියඹලාපේම පිහිටි සුදීරට අයත් බව කියන ඒ කිට්ටුව පාත පිහිටි අනෙත් නිවෙස සොයාය. එම නිවෙස පිහිටා තිබෙන්නේ මෝටර් රථයේ ලියාපදිංචි ලිපිනය අනුව සොයා ගිය නිවෙස පිහිටි ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ වූ දුරකිනි. එය දෙමහල් සුවිසල් නිවෙසකි. එම නිවෙස හතර වටේම උස් තාප්පවලින් වටවී ඇත්තේ ඇතුළත පිටතින් නොපෙනෙන ලෙසිනි. ඒ වන විටත් එහි ඇතුළත කිසිවකුත් නොමැති බව වටහාගත් බැවින් සුසන්ත ඇතුළු නිලධාරීන් ගෙවත්තට ඇතුළු වන්නේ උස් තාප්පයෙන් ඇතුළට පැනය. අපරාධයක සලකුණු රැසක් එම නිලධාරීන්ට නිරීක්ෂණය වන්නේ එහිදීය.

නිවස තුළ බාගෙට සේදුණු ලේ පැල්ලම්, ලේ පැල්ලම් වැසෙන්නට අලුත ආලේප කළ තීන්ත, කුණු වූ ලේ ගඳ, මෙන්ම කාන්තාවගේ හිස කෙස් හා බාගෙට පිළිස්සුණු කාන්තා ඇඳුම් ආදී දුටු සුසන්තට මෙහි අපරාධයක් සිදුවී ඇතැයි අමුතුවෙන්ම හිතන්නට යමක් නොවීය. දක්ෂ අපරාධ විමර්ශකයෙක් වූ ඔහු බැලූ බැල්මටම යමක් තීරණය කළේය. ඒ ප්‍රදීපාට යම් අනතුරක් මෙම නිවෙස තුළ සිදුව ඇති බවය. මෙම නිවෙස පිහිටි ප්‍රදේශය අයත් වූයේ සපුගස්කන්ද පොලිස් බලප්‍රදේශයටය. එබැවින් මෙම අපරාධය ගැන සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරීම සුදුසුයැයි සුසන්ත තීරණය කළේය. ඒ අනුව ඔහු සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකා ද සිල්වාට දුරකතන ඇමතුමක් ගෙන හැම දෙයක්ම කීවේය.

මෙම දුරකතන ඇමතුම ලැබෙන විට ඔසිත ලංකා ද සිල්වා ඇතුළු සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් සිටින්නේ ලොකු විමර්ශනයකට මැදිවය. ඒ සපුගස්කන්ද පොලිස් වසමට අයත් කොට්ටුන්න ඔයේ ගසාගෙන විත් ගස් අතර සිරවී තිබුණු හිස හා අත් නැති කාන්තා නිරුවත් මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වමිනි.

ගම්වැසියන්ගේ තොරතුරු මත එම සිරුර පොලිසියට හමුවී තිබුණේ ද එදා උදෑසනය. එම සිරුර පරීක්ෂා කිරීමට සුසන්ත ඇතුළු නිලධාරීන් ද ගියේය. එම සිරුර ප්‍රදීපාගේ බව බැලූ බැල්මට මුල්ලේරියාවේ පොලිසියේ නිලධාරීන් හඳුනා ගත්තේය. ඒ බව එම නිලධාරීන් ඇගේ පවුලේ උදවිය මඟින් පසුව තහවුරු කර ගන්නේ හිස නැතත් සිරුරේ ඇතැම් ලක්ෂණ ඔස්සේය.

මෙම අපරාධය සිදුවන්නේ මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් විසින් සොයාගත් සියඹලාපේ පිහිටි නිවෙසේදී බව තහවුරු කර ගන්නේ කැලණිය කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් විසින් කළ සියුම් විමර්ශන ඔස්සේය. ඒ බව තහවුරු කිරීමට ඕනෑවටත් වඩා සාක්ෂි එහි තිබී අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් සොයා ගත්තේය. ඒ ප්‍රදීපාගේ සිරුරෙන් වැහැරුණු ලේ පැල්ලම්, කෙස් ගස්, ඇඳුම් කොටස්ද සමඟිනි.

මේ හැම දෙයක් ගැනම සපුගස්කන්ද පොලීසිය විමර්ශන සිදුකරමින් සිටින අතරතුර කැලණිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයවර්ධන විසින් මහබාගේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශනට භාර දෙන්නේ ඒ වන විට පළා ගොස් සැඟවී සිටින සුදීර කොටුකර ගැනීමේ වගකීමය. ඒ වන විටත් සුභාෂ් ප්‍රියදර්ශනට යම් තොරතුරු රැසක් ඒ සම්බන්ධයෙන් ලැබී තිබුණු බැවිනි.

සුදීරගේ දියණියක් විවාහ වී පදිංචිව සිටියේ ද මහබාගේ පොලිස් වසමට කිට්ටුවපාතකය. ඒ වන විට එම දියණිය ද සිය සැමියා සමඟ සිටියේ පලාගොස් සැඟවීය.

මහබාගේ පොලිස් ස්ථානාධිපති සුභාෂ් සිය විමර්ශන දියත් කරනු ලබන්නේ සුදීරගේ ජංගම දුරකතන ඇමතුම් විශ්ලේෂණයක් ඔස්සේය. ඊට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද යම් සහයක් ලැබී තිබුණේය. එහිදී පෙනී යන්නේ නුවරඑළිය පැත්තේ සුදීර කරක් ගසමින් සිටින බවය. විමර්ශනයේදී හෙළිවන්නේ ඔහු තවත් අයෙක් සමඟ නුවරඑළිය සඳතැන්න පැත්තේ ඇති විහාරස්ථානයකට ගොස් එහි රැඳී සිට ඇති බවය. ඒ තැන පැහැදිලිවම හඳුනා ගැනීමට මහබා‍ගේ පොලිස් ස්ථානාධිපති සුභාෂ් නුවරඑළිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් හෙට්ටිආරච්චිගේ සහයද ලබාගත්තේය.

පොලිස් කණ්ඩායම විහාරස්ථානයට යන්නේ රාත්‍රී 11ට පමණය. දින දෙක තුනක් විහාරස්ථානයේ නවාතැන් ගැනීමට ආ සුදීර එතැනින් පැනගෙන තිබුණේ මහබාගේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් එහි එන්නට පැය හතරකට පමණ පෙරය. ඒ එදින රාත්‍රී කාලයේ රූපවාහිනී ප්‍රවෘත්ති මඟින් ප්‍රදීපාගේ අතුරුදන්වීම ගැන මෙන්ම කඩුවෙල අවන්හලේදී ඇය සුදීරගේ වාහනයට ගොඩවන අයුරු රූපරාමු දැකීමෙනි. සුදීර මෙම විහාරස්ථානයේ නවාතැන් ගන්නට එන්නේ ද ඔහුගේ සගයෙක් සමඟිනි. සගයෙක් යැයි කීවාට ඔහු ගුරුකම් කරන කපුවෙකි. එම කපුවා විහාරස්ථානයේ වැඩ සිටින හිමිනමක් දන්නා කියන අයෙකි. කන්දක් මුදුනේ ඇති මෙම විහාරස්ථානයට ඔවුන් දෙදෙනා නවාතැන් ගැනීමට පැමිණ ඇත්තේ සැඟවී සිටීමට හොඳම ආරක්ෂක ස්ථානය එය නිසා විය හැකි බව බැලූ බැල්මට මහබාගේ පොලිස් ස්ථානාධිපති සුභාෂ්ට නම් පෙනී ගියේය. සුදීරත් ඔහු සමඟ එහි නවාතැන් ගැනීමට පැමිණි කපුවාත් එදා විහාරස්ථානයෙන් මාරුවී යන්නේ ඔවුන් පැමිණි මෝටර් රථයද එහි දමාය. ඒ එහි යතුර පවා හිමිනමක් අතට පත්කරය. ඒ යන්නේ ද කොළඹ බලා ධාවනය වන මගී බස් රථයකට ගොඩ වෙමිනි. නුවරඑළියට පැමිණි සුභාෂ් ඇතුළු නිලධාරීන් මෙහිදී මෝටර් රථය සිය භාරයට ගත්තේය.

මෙහිදී සුභාෂ් ඇතුළු නිලධාරීන්ට තොරතුරක් ලැබෙන්නේ සුදීරට අයත් ගොවිපොළක් උඩුපුස්සැල්ලෑව ප්‍රදේශයේ ඇති බවටය. පොලිස් කණ්ඩායම එම ගොවිපොළ සොයා උඩුපුස්සැල්ලාවට ගියේය. ඒ යන විට එහි සිටියේ සුදීරගේ බිරිය හා පුතා පමණි. ඔවුන් දෙදෙනා උඩුපුස්සැල්ලාවට පැමිණ තිබුණේ 29 වෙනිදා බව විමර්ශනයේදී පෙනී ගියේය. ඔවුන්ට එහි යන්නැයි කියා තිබුණේ සුදීරය.

අනතුරුව සුභාෂ් ඇතුළු පොලිස් කණ්ඩායම ඉව අල්ලන්නේ සුදීරගේ දියණිය වෙතය. ඒ වන විට දියණිය සිය සැමියා සමඟ පේරාදෙණියේ සැමියාගේ ඥාති නිවසක රැඳී සිටින බවට තොරතුරක් සුභාෂ්ට ලැබී තිබුණේය. එතැනට ද සුභාෂ් ඇතුළු කණ්ඩායම සොයා ගියේය. ඔවුන්ගෙන් ද සුදීර ගැන ප්‍රශ්න කරන්නට ගත්තේය. ඒ පවුලේ හැමෝම පොලිස් භාරයට ගනිමිනි. ඒ අතර කොළඹ පැත්තේ තැන් තැන්වල රැඳෙමින් සුදීර පොලිසියට දුරකතන ඇමතුම් දෙමින් සෙල්ලම් පාන්නට ද ගත්තේය. ඔය අතරතුර සුදීර උසාවි අවට සැරිසරන්නට වූයේ කෙළින්ම උසාවියකට භාරවීමේ අපේක්ෂාවෙනි. එය ද ව්‍යර්ථ වන්නේ පොලිස් නිලධාරීන් අධිකරණ අවට සුදීරගේ පැමිණීම අපේක්ෂාවෙන් රැඳී සිටින්නට වූ බැවිනි. නුවරඑළියට ගොස් මෝටර් රථයත් සමඟ පවුලේ උදවිය සමඟ සුභාෂ් ඇතුළු පොලිස් නිලධාරීන් සපුගස්කන්ද පොලිසියට එන විට සුදීරට සිදුවන්නේ නීතිඥවරුන් පිරිවරාගෙන සපුගස්කන්ද පොලිසියට භාරවන්නටය. ඒ ඔහුට වෙන විකල්පයක් නොමැති වූ තැනය. සුදීර භාර වෙන්නේ තනිවම නොව කපුවා ද සමඟිනි. ප්‍රශ්න කිරීම් හමුවේ සුදීර නම් පවසන්නේ තමාගේ ව්‍යාපාර දියුණුවට විවිධ ශාන්තිකර්ම මෙන්ම අණවින කොඩි වින පවා කර දෙනු ලබන්නේ මෙම කපුවා බවය. රෝහිත කුමාර නැමැති මෙම කපුවා සමඟ ඔහුට ඇත්තේ දිගු සම්බන්ධයකි. පොලිසිය පැත්තෙන් නම් කියන්නේ මොහු හොර කපුවකු බවය.

සුදීර පවසන ආකාරයට අනුව ප්‍රදීපාව කෑලිවලට කපා මරා දමා ඇත්තේ මෙම කපුවාය. කපුවාට ඇයව මරා දැමීමට අදහසක් පහළ වී ඇත්තේ සුදීරව ඇගෙන් බේරා ගැනීමටය. ඒ සුදීරව ඇය ප්‍රාණ ඇපකරුවෙක් ලෙස තබාගෙන සිටි බැවිනි. ඇය හැම විටම සුදීරව බිය ගන්වමින් ඔහුගේ දේපොළ හා මුදල් ද කඩා වඩා ගන්නා බව විමර්ශනවලින් ද පෙනී ගොස් ඇත්තේය.

සුදීරත් ප්‍රදීපාත් අතර අනියම් සම්බන්ධය දීර්ඝකාලීනය. ප්‍රදීපාව ඇගේ සැමියා අතහැර දමන්නේද එබැවිනි. ඇය සුදීරට තර්ජනයකර තිබී ඇත්තේ පුතාගේ විවාහයෙන් පසු බිරියව දික්කසාද කර ඇය සමඟ විවාහ වී සියලු දේපළ තමාගේ නමට ලියා දිය යුතු බවටය. සුදීර ඇය විසින් කරනු ලබන ඒ තර්ජනවලට බියෙන් සිට ඇත්තේ ඇයට ඇති හයි හත්තිය ගැන දැන සිටි බැවිනි. ඒ නිසා සුදීර පසුගිය කාලය පුරාම සිට ඇත්තේ තරමක් කලකිරීමකින් මෙන්ම සිත් තැවුලකිනි. සුදීරගේ එම වෙනස දුටු කපුවා ඒ ගැන හාරා අවුස්සා ඇති බව සඳහන්ය. එතෙක් කලක් සුදීරගේ හිතේ සිරවී තිබුණු හැම දෙයක්ම එළියට පැන ඇත්තේ එහිදීය. ප්‍රදීපා මරා දැමීමේ සැලසුම ක්‍රියාත්මක වී ඇත්තේ ඒත් එක්කමය. ප්‍රදීපාව මරා දැමීම භාරගෙන ඇත්තේ කපුවාය. සුදීරට පැවරෙන්නේ ඇයව සියඹලාපේ නිවෙසට රැගෙන එන්නටය. 17 වෙනිදා සුදීර ඇයව කඩුවෙලදී මුණ ගැසී රැගෙන එන්නේ ඒ අනුවය. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සුදීර පවසා තිබුණේ කපුවා නිවෙස තුළ මන්නයක්ද රැගෙන සැඟවී සිටි බවය. තමා ඇය සමඟ මෝටර් රථයෙන් පැමිණ ගෙවත්තේ මෝටර් රථය නතර කර ඇයට නිවෙස තුළට යන්නට යැයි කී බව සුදීර කියයි. ඒ අනුව ඇය නිවෙස තුළට ගිය විට සැඟවී සිටි කපුවා ඇයට මන්නයෙන් බෙල්ලට කොටා හිස කදින් වෙන්කර මරා දමන්නේ අත් දෙක ද වෙන්කරමිනි.

සුදීර එසේ කීවත් කපුවා කියන්නේ වෙනත් කතාවකි. ඔහු පවසන්නේ ප්‍රදීපා සියඹලාපේ නිවෙසට ආවේ ත්‍රිරෝද රථයකින් තනිවම බවය. සුදීර එහි ආවේ යැයි කියන්නේ පසුවටය. ඒ කෙසේ වෙතත් ප්‍රදීපාව මරා දැමෙන්නේ සියඹලාපේ නිවෙසේදීය. එහිදී ඇයව මරා දමා සිරුරු කොටස් කර රැගෙන යන්නේ මෝටර් රථයේ ඩිකියේ දමාගෙනය. ඒ රැගෙන ගොස් විසිකර දැමුවේ යැයි කියන්නේ සියඹලාපේ ගලහිටියාව පාලම අසලින් හා මල්වාන පහුරු ඔය පාලම අසළින් ඇළවල් දෙකටය. ඒ ඇයව කැපූ පිහියත් සමඟිනි. මේ කියන තැන් දෙකේ කිමිදුම්කරුවන් යොදා මෙහෙයුමක් දියත් කළත් පිහිය නම් මෙම සටහන තබන මොහොත දක්වා හමුවී තිබුණේ නැත. නමුත් ඔවුන් දෙදෙනාට එරෙහිව ඕනෑවටත් වඩා සාක්ෂි පොලිසිය විසින් රැස්කර හමාරය. එම සාක්ෂි අධිකරණයේ ගොනුවන ආකාරයට අනුව මොවුන් දෙදෙනාගේ ඉරණම තීරණය වනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ, ඡායාරූප - මල්වාන සමූහ මහනාම විතානගේ සහ මුල්ලේරියාව එස්. ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division