පැණිපොල් ඉඹුල
ගෙදර කුඹුරු යායේ අත්තන් කයියේ
අපෙ අම්මා තමා මුලපිරුවේ කවියේ
අත්වැල සැවොම අල්ලා දෙන විට කවියේ
කියලා වැඩක් නෑ ගම නැළවෙයි කවියේ
මද්දහනයේ ඕවිටෙ උණ පඳුර යට
විඩාව නිවා ගන්නට තේ පාන යට
ගොඩ වුණ විටදි නෙළුම්කයියම සෙවණ යට
පැණිපොල් ඉඹුල් කිරිබත් තේ පාන යට
වරුවෙ නෙළුම නිමවා අම්මා එන්නේ
දරු කැල නොඉවසිල්ලේ මඟ රැක ඉන්නේ
පැණිපොල් ඉඹුලෙ දරුවෝ තරගෙට කන්නේ
මවගේ කුස ගින්න එසැණින් නිවෙන්නේ
සෝමචන්ද්‍ර දුල්වල
———————————————————————————————————————————
පොත් කියවමු
මිනිසෙකු කරයි මිනිසා පොත් කියවීම
පෙර සිට පැවත එන එම දැනුවත් වීම
පාසල් වියේ සිට ලැබගත් නිසි දැනුම
මනසට ඔසුවක්ය හොඳ පොත් කියවීම
පුස්තකාලයක් ගම තුළ ඇතිවීම
සදහම් දහම් පාසල් වෙත යොමු වීම
දෙගුරුන් ගුරුන්ගේ යහමඟ පෙන්වීම
ගුණයෙන් සපිරු මිනිසුන් ඉන් බිහිවීම
සැම සිත් සතන් කියවීමට යොමු වේවා
ලක්මව මගේ සව්සිරියෙන් සුදිලේවා
පොත් කියවීම දිවියේ කොටසක් වේවා
ලෝක සිතියමේ රන් තිලකය වේවා
ලයනල් ජයලත්
———————————————————————————————————————————
නො එන ගමන
ගිය පසු අපේ අම්මා නො එනා ගමන
හේතුව කිමද හීනෙන් මා වෙත නොඑන
තුන්මහ දානෙටත් පසු හීනෙන් සොයන
ඒ රුව අඳින්නට වෙහෙසෙමි නිරතුරුව
ලෙස සිතුවමක් දිය සායම්වලින් කළ
බොඳ වෙයි මැකෙයි හද ගැඹුර තුළ
ජීවිත පොතේ පිටු හරවා බලන කළ
තේරුම් හැඟෙයි අම්මා කිව් වචනවල
කෙට්ටුයි කළුයි සිරුරින් වටකුරු වුවන
පරවෙයි පිපෙයි හිනැහෙයි හිත නිවෙන
පවු නැහැ කළේ කාලය තුළ දිවි ගෙවන
අම්මා ලබනු ඇත අජරාමර නිවන
ප්‍රියන්ත ජයලත්
———————————————————————————————————————————
බලාපොරොත්තුව
හිරු රැස් ළාවට වැටිච්ච
ගස් ගල් සෙවණින් වැහිච්ච
උදේ නැවුම් පුස්ඹ දැනෙන
මඳ පවනැලි ගත දැවටෙන
අනන්තයට දුර පාරක
තනියෙන් ඔහෙ ඇවිද යන්න
මං හරි ආසයි
සිළිලාරක සිහිල පිරුණ
හීතලෙ ගැහි ගැහි නාන්න
කණාමැදිරි එළිදැල්වෙන
කුඹුරු ලියැදිවල නටන්න
මං හරි ආසයි
දුකින් පිරුණු මුහුණු මතට
හසරැල් බිඳු වඩමවන්න
එක හැල්මට දුවන ලෝකෙ
මං ආසයි නතර වෙන්න
කාටවත්ම නොරිදවන්න
මං කැමතියි හිනාවෙන්න
දිනිති පාරමී ලොකුබාලසූරිය
———————————————————————————————————————————
මායා
කවරය කියූ
බොහෝ දේ
ඇතුළේ නැත
මහගම සීලානන්ද හිමි
———————————————————————————————————————————
සම නොවේ කිසිවක්
සිඳු කුසට ගොරතර
බුදුහිමි ගුණය සමකර
තැනූ කවි මුතුහර
පිදූ අය නොහැඳින සමුදුර
සුළි සුළං මාරුත
දළ රළ අඳුර ලෝහිත
රැඳි සිඳුට ලෝනෙත
ගුණය සසඳනු නොදේ මා හිත
අසම සම සමිඳේ
ඔබ හට ඔබම සැසඳේ
එහැර රැඳි මහදේ
සුදුසු උවටක් දියත නොරැඳේ
ගාමිණි සූරියආරච්චි
———————————————————————————————————————————
නිමවන දවස
සුබ සීන හතක් රඟ පාලා
මම සීත ගඟුලෙ අද නාලා
නීල ගුවනෙ සුවිසාලා
එන්න රවිඳු මම මාලා
දිවා රැයේ හමු වීලා
දිඟු කළ දෑත පතාලා
අද, දූ දරුවන් ඇක දරලා
දැන්, නිම නැති ගමනක මාලා
හමුවන මොහොත දැනීලා
සිදු වන විපත පෙනීලා
මම, සීත ගඟුලෙ අද නාලා
ඔබ, නයන තුසර පුර වාලා
ජේ.එම්. ඩී.බී. ජයසුන්දර
———————————————————————————————————————————
මලෙවි හී
කතර මැදකදි මලකට පිපුණ
හිමි නැතිය වස්සාන සුබ සිහින
“පතොක් මල්වල කටුනේ” අහගෙන
හැමදාම විතරමය කොන්වුන
රෝස මල් වල නටුවෙ කටු ගැනය
කවිවලත් ලියවෙන්නේ ඒකය
වැරදි තැනකදි හිතට වැදුනාමය
හී සරත් ඉතින් මලවිගේ දරුණුය
ප්‍රේම ගීවල තනුව අරගෙන
ඒකය රහස විරහ ගී පබදින
සමහරක් ආදර කතාවල රිදෙන
නැත්තේම ආදරය විතරමය ඇඳෙන
දර්ශනී වනිගසේකර
———————————————————————————————————————————
කඳුළේ කඳුළු
ඇල දොළ සිඳී වියළෙන අවදියක මෙහි
හිස අත දිදී මිනිහා දෙව් පුදට බහී
එම මැතිරීම නොමැරී නුඹ ගැබට ඇහී
වැහි පොද නමින් කඳුළැලි මගෙ බිමට වහී
ආදර හැඟුම් බර අදහස් අනුව හිත
මී මැසි ඹබර විහඟුන් වුව අතර ඇත
එක වන මලට උන් ආලය පිදුවෙ නැත
මල් පැනි නමින් මල් කඳුළැලි හෙළනු ඇත
මගෙ බිම විසු විරුවන් දැය සමය රට
රැකගත් සටන් වලදී අසි පතෙහි මිට
තෙත් වුනු බවක් ඉතිහාසය කියන විට
ලේ, යන නමින් වැගිරී ඇත කඳුළු කැට
ලක්ෂපාන.එම්. ආර්. සමරසේකර
———————————————————————————————————————————
ඉටි මල්
දිලිසි දිලිසි
ඉටි මල්
මල් පෝච්චියේ
ගාමිණී දළුවත්ත
———————————————————————————————————————————
කවි සිතක සමුගැන්ම
ඌවේ පිපුණු කවි සිත අද කොහිද
වෙල්ලස්සේ මඳනල සමඟින් මුසුවීද
රෑහි හඬන හඬ මහ රෑ නෙළුවිද
සොඳුරු ලිවිසැරියට ඊයේ සමුදුන්නාද
පුවත්පත් ලොව පිළිබඳව සැරිසරා
ගමේ විත්ති ලොවටම හෙළි කළ
ගැමිකම පෑනෙන් මැවු සිත්තරා
නිහඬව ම ගලන උල්පත් වියළි දෝ
රටම දන්නා කවිකම් නිම වීදෝ
කැලෑ මලක සුවඳත් අද වියැකී දෝ
හෙටවත් පත්තරේ කවි පිටුවක හමුවේ දෝ
නයන්ත ජගත් පුංචිහේවා
———————————————————————————————————————————
වෙනසක අරුමය
නටුවේ කටු ඇතිමුත් රෝස මල ලස්සනයි
මී මැසි තුඩ විස වුවත් මී පැණි රසවත්ය
තිත්ත කටුක රස වුවත් කරවිල ඉතා ගුණවත්ය
නපුරු දුදනන්ගේ වුවත් පාඩම් උගත හැකිය
කපුරු මල් චමත්කාර ලස්සන වුවත්
කපුරු මල් සුවඳින් ඹබරු වැනසෙත්
බාඳුරා නිල් මොනරුස්ස කදුලැස්ස මල් ගොමුවක්
උපාය දැලේ සතුන් එය පටලවා මස් බුදිත්
සුනේත්‍රා විජේරත්න