අගනුවර ප්‍රමුඛතම බෞද්ධ දරුවන්ටම වෙන් වූ පාසලක් ලෙස නුවණින් සහ ගුණයෙන් පිරි ශ්‍රේෂ්ඨයන් ලොවට දායාද කිරීම දැක්ම කොටගත් කොළඹ නාලන්දා විද්‍යාලය ආරම්භ වන්නේ බුද්ධාගමත් දේශීය සංස්කෘතියත් රැක ගැනීමට කැපවූ දේශප්‍රේමීන් පිරිසකගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙසිනි. වර්ෂ 1886 දී ආනන්ද විද්‍යාලය ආරම්භ වූයේ බෞද්ධ දරුවන් මිෂනාරී පාසල්වලට යැවීමට බල කෙරුණු කාලයකදීය.
බෞද්ධ සංස්කෘතියත් දේශීයත්වයත් සුරකිමින් අධ්‍යාපන කටයුතු කෙරුණු ආනන්ද විද්‍යාලය රට පුරා ප්‍රචලිත වද්දී ඊට ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට විදුහලේ ඉඩකඩ මදි විය. එවකට ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි පී.ද. එස්.කුලරත්නගේ අදහසකට අනුව 1924දී නාලන්දාවේ ඇරඹුම සටහන් වන්නේ ආනන්ද විද්‍යාලයේම කොටසක් ලෙසිනි. 1925 නොවැම්බර් 01 වැනිදා වෙනම පාසලක් බවට පත්වූ එම විද්‍යාලය බළංගොඩ ආනන්ද මෛෙත්ර්ය නාහිමියෝ ‘නාලන්ද’ ලෙස නම් කළ අතර, “ප්‍රඥාව චරිතය අලංකාර කරයි” යන අරුත ප්රභාවත් කරමින් එදා මෙන්ම අදත් විරාජමාන වන්නේ රටටත් ලොවටත් වැඩදායී පුතුන් රැසක් බිහිකිරීමේ අභිමානය ඇතිවය.
එදා මෙදාතුර නාලන්දා විද්‍යාලයට නායකත්වය දුන් හිටපු විදුහල්පතිවරුන් අතර එල්.එච්.මෙත්තානන්ද, මහාචාර්ය ගුණපාල මලලසේකර, ජී.කේ.ඩබ්ලිව්. පෙරේරා, ජේ.එන්. ජිනේන්ද්‍රදාස, ඩී.සී.ලෝරිස්, එම් ද එස් ජයරත්න, එම්. ඩබ්ලිව්. කරුණානන්ද, කේ.එම්.ඩබ්ලිව් කුරුප්පු, ඩී.ජේ.එදිරිසිංහ, ගුණපාල වික්‍රමරත්න, සුගුණදාස අතුකෝරල, ධර්ම ගුණසිංහ, ඩී.ජී.සුමනසේකර, එඩ්වඩ් රණසිංහ, එච්.යූ. ප්‍රේමතිලක, රංජිත් ජයසුන්දර සහ තිලක් වත්තුහේවා වේ.
සිසුන් 4,500ක් ඉගෙනුම ලබන නාලන්දා විද්‍යාලයේ වත්මන් ආචාර්ය මණ්ඩලය 205කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය 64කි. නාලන්දාවේ වත්මන් නියමුවා වන්නේ විදුහල්පති යූ. දර්ශන ඉරාජ් චම්පික ද සිල්වා ය. 2005 වසරේ අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත් වූ ඉරාජ් චම්පික ද සිල්වා 2006 ජනවාරි 8 වැනිදා සිය පළමු පත්වීම ලබන්නේ කඩුවෙල බෝමිරිය මධ්‍ය විදුහලේ විදුහල්පතිවරයා ලෙසය. එම පාසලේ වසර 11ක් සහ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ වසර 6ක් විදුහල්පති ලෙස කටයුතු කළ හෙතෙම මීට තෙමසකට පෙර නාලන්දාවේ විදුහල්පති ලෙස පත්විය. දැනුමෙන් පමණක් නොව කුසලතාවන්ගෙන් සහ ගුණදම්වලින් පොහොසත් අනාගත පරපුරක් තැනීමේ වගකීම වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන විදුහල්පතිවරයාට ඒ සඳහා නොමඳ සහයෝගය ලබා දෙන කළමනාකරණ කමිටුව, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන එච්.මහේෂිකා විජයරත්න සහ ඩබ්.ඒ.පී.අජිත් වික්‍රම, සහකාර විදුහල්පතිවරුන් වන පූජ්‍ය ලැගුම්දෙණියේ සුනන්ද හිමි, එස්.ඩබ්.එම්.එස්. කුමාරිහාමි, කේ.කේ.ජේ.අමරසිංහ, ජේ.ඩබ්.එස්.එන්. ජයනන්ද, දීප්ති කුලතුංග, එස්.පී.ගොඩගම, ඩබ්.ඒ.ඩී.නිශාන් ක්ලැසිඩස්, රජීව් රත්නසිංහ, එල්.එම්. අනුරාධ පෙරේරා, එම්.එම්.ජේ. මාරසිංහ, එල්.එම්.එන්.විජේසේකර සහ වසන්ත කල්යාණප්රිය යන ආචාර්යවරුන්ගෙන් සමන්විත වේ.
පළමු ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා පන්ති ක්‍රියාත්මක නාලන්දා විද්‍යාලයේ උසස්පෙළ අංශය භෞතික විද්‍යා, ජීව විද්‍යා, වාණිජ, කලා සහ තාක්ෂණ විෂයය ධාරාවන්ගෙන් ක්‍රියාත්මක වේ. අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් සහ විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් දරුවන් තුළ නායකත්වය සහ පෞරුෂය ගොඩනැඟීමේ අරමුණෙන් විද්‍යාලය තුළ ක්‍රීඩා 33ක් සහ සංගම් 58ක් ක්‍රියාත්මක වේ. ක්‍රීඩා අතරෙන් ක්‍රිකට් ක්‍රීඩාව නාලන්දාවට විශේෂ වන්නේ ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය නිසාවෙනි. නාලන්දාව මේ වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් බිහිකොට ඇති ප්රමුඛ පාසලකි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා බන්දුල වර්ණපුර කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි. එදා මෙදාතුර නාලන්දාවෙන් බිහිවී රටත් ලෝකයත් බබළවන විද්වතුන්, විද්‍යාඥයන්, පරිපාලන නිලධාරීන්, ක්‍රීඩකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, නීතිඥවරුන් ඇතුළු විවිධ ක්ෂේත්රවල ප්‍රකට වූවෝ රැසකි.
ක්‍රිකට්වලට අමතරව දුනු විදීම, වූෂු, වෙඩි තැබීම, ටේබල් ටෙනිස්, ටෙනිස්, බැඩ්මින්ටන්, පිහිනුම්, මලල ක්‍රීඩා, බොක්සින්, ස්කොච්, චෙස් ක්‍රීඩාවලින් නාලන්දා පුතුන් ලබා ඇති ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකි. ඒ අතරෙන් ඉකුත් තෙමස තුළ පමණක් විවිධ සංගම් නියෝජනය කරමින් නාලන්දා පුතුන් ලබා ඇති සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසකි. SLIIT BOBOFEST 2023 තරගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය විදුහලේ රොබෝ තාක්ෂණ සංගමයේ ඉසුම් සත්මිර සිල්වා, ඡායාරූපකරණය පිළිබඳ කනිෂ්ඨ අංශයේ සමස්ත ලංකා ජයග්‍රහණය යෙනුල ආදිත්‍ය හේවාවසම් සහ ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රහණය නෙතුල් විස්වර විසින් දිනාගත් අතර, කනිෂ්ඨ සමූහ පිරිමි තුරඟා වන්නම සමස්ත ලංකා 3 වැනි ස්ථානයත් ජ්‍යෙෂ්ඨ සමූහ පිරිමි ගාහක වන්නම තරගයෙන් කලාප මට්ටමේ ප්‍රථම ස්ථානයත් ජ්‍යෙෂ්ඨ ඒකල පිරිමි ප්‍රථම ස්ථානයත් නාලන්දාව සතුවිය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය මඟින් පැවැත්වූ විවාද තරගාවලියේ ප්‍රථම ස්ථානය සහ සමස්ත ශූරතාව, මංකඩ 2023 විවාද තරගාවලියේ සමස්ත ලංකා තරගාවලියේ සමස්ත ශූරතාව සහ වාගාන්තර 2023 සමස්ත ලංකා අන්තර් පාසල් විවාද තරගයේ අනු ශූරතාව සහ කොළඹ නීති පීඨය විසින් පැවැත්වූ කථික තරගයේ අනු ශූරතාවත් නාලන්දාවේ කථික හා විවාද සංගමය දිනා ගත්තේය. පාණදුරාවාදයේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති සමස්ත ලංකා කථික තරගයේ වසරේ විශිෂ්ටතම කථිකයා ලෙස අබිසෙස් ලැබුවේ තෙවිරු ජිත්නුක ය. කනිෂ්ඨ ඒකල වාදන හාර්මෝනියම් ප්‍රථම ස්ථානය ජේ. සරිඳු නෙත්සර, ගී අනුවාදන පළමු ස්ථානය ඉමෙත් අකලංක රාජකරුණා සහ කනිෂ්ඨ ඒකල ගායනා ශාස්ත්‍රීය සහ කාපිරාගය ප්‍රථම ස්ථානය ජේ. සරිඳු නෙත්සර විසින් දිනාගත් අතර, කොළඹ කලාපයේ සමූහ වාදන ප්‍රථම ස්ථානය ද නාලන්දාව සතුය. මීට අමතරව විද්‍යාලයීය බටහිර සංගීත ඒකකය, සිංහල සාහිත්‍ය සංගමය, පරිගණක සංගමය, නව නිපැයුම් සංගමය, තාරකා විද්‍යා සංගමය, දැනුම මිනුම සහ ගණිත ඔලිම්පියාඩ් අංශ තුළින් ලැබූ සමස්ත ලංකා ජයග්‍රහණ රාශියකි. කලා කුසලතාවන්ගෙන් ද නාලන්දා පුතුන් අග තැන්පත් අතර, ඉකුත් ඔක්තෝබර් 4 වැනිදා නාලන්දා නෘත්යාභිමානි අබිසෙස් මංගල්‍යය චාරිත්‍රානුකූලව සහ අභිමානවත් අන්දමින් පවත්වනු ලැබුවේ විදුහලේ නර්තන ශිල්පීන් 34 දෙනකුට වෙස් පලඳා අබිසෙස් ගන්වමිනි.
භෞතික සම්පත්වලින් ඉතා ආඪ්‍ය නාලන්දා විද්‍යාලය පාසල තුළ විනය සහ හැදියාව අංක එකේ ලා සලකන අතර, ඒ වෙනුවෙන් විද්‍යාලයේ බෞද්ධ සංගමයෙන් ඉටුවන්නේ විසල් මෙහෙවරකි. බෞද්ධ සංගමය විසින් සෑම මසකම පෙර පෝය වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර වෙසක්, පොසොන් උත්සව වෙනුවෙන් දාන, ශීල, භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඕල්කට් දිනය වාර්ෂිකව හරසරින් සමරන අතර, සෑම වසරකම නොවැම්බර් 25,26 දෙදින ශ්‍රී දළදා මාලිගාවට මුල්තැන් පූජාවක් සහ සාංඝික දානයක් ද පිළිගැන්වීම විදුහලේ සම්ප්රදායකි. මේ සියල්ල මඟින් රට දැය සමය වෙනුවෙන් කැපවූ සමබර පෞරුෂයකින් යුතු උදාර පුතුන් ලක්මවට දායාද කරන්නට නාලන්දා විද්‍යාලය අද මෙන්ම හෙටත් කැපවී සිටී.
ඡායාරූප- නිශ්ශංක විජේරත්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්