– ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ මං තොරණ 18ක් නිර්මාණය කළා
– මම ගුරුවරයෙක්. ප්‍රෝග්‍රමර් කෙනෙක්. ඇප් ඩිවලොපර් කෙනෙක්
මේ වන විට ලෝකයේ දිශානතිය තීන්දු කරන, මිල කළ නොහැකි උත්තුංග සම්පත් ප්‍රවාහය මානව සම්පතය. ඉදිරි දශක කීපය තුළ ලෝකයේ වටිනාම ආයෝජනය වනු ඇත්තේ මිනිස්සුන්ගේ බුද්ධිය ය. ඒ සහතිකය යළි අපට ලබා දෙන තරුණ විද්වත් වෘත්තිකයා දැන් මා අබියසය. ඔහු ආචාර්ය කුලාන් රණසිංහය. ඔස්ට්‍රේලියාවෙන් හිමිවූ ශිෂ්‍යත්වයකින් මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ආචාර්ය උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කරන අතරතුරම වික්ටෝරියා ප්‍රාන්තයේ මීටර 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ ශූරයා වූයේ ආචාර්ය කුලාන් රණසිංහය. එමෙන්ම සරසවියේ ආචාර්ය උපාධිය හදාරන අතර, 2009 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ අන්තර් විශ්වවිද්‍යාල මීටර් 400 කඩුළුමතින් දිවිමේ ඉසව්වේ ශූරයා වන්නේ ද ඔහුය. දැන් ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ පෞද්ගලික පාසලක ගණිතාචාර්යවරයෙක් ලෙස සේවය කරන්නේය.
මේ වන විට ඔහු සිය දරු පැටවුන් සිව්දෙනා සමඟ ලංකාවට පැමිණ සිටින්නේ ළමා පොතක් තුළ දරුවන්ට මැවෙන චිත්ත රූප පරාසය ආකර්ෂණීය ලෙස වර්ධනය කිරීමට ඔග්මෙන්ටන් රියැලිටි තාක්ෂණය භාවිතයෙන් කළ යෙදවුමක් සහිත වැඩි දියුණු කළ ළමා පොතක් රටට හඳුන්වා දීමටය. ඒ ඉඩ හසරේ ආචාර්ය කුලාන් රණසිංහ සිය මතක ප්‍රවාහයන් අතර ගිලෙමින් සිය කතාව අප සමඟ කියමින් සිටියේය.
“අපි ජීවත් වුණේ කොට්ටාව මත්තෙගොඩ නිවාස සංකිර්ණයේ. පොඩි කාලේ ඉඳන් 11 වසර වෙනකම් ඉස්කෝලෙ ගියෙ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයට. තාත්තා රණසිංහ චන්ද්‍රදාස. ඔහු වැඩ කළේ ලංකා බැංකුවේ. අම්මා විමල්කා හෙට්ටිආරච්චි. අම්මා සෙත්සිරිපායේ සේවය කළා. නංගියි මල්ලියි ඉන්නවා. නංගි කුලානි රණසිංහ. මල්ලි ජීවන්ත රණසිංහ. ඒ දෙන්නත් එක්ක හරිම සතුටින් තමයි පුංචි කාලෙ ගත වුණේ. මම ඉස්කෝලෙ ඇරිලා එනවා, හවස 2 විතර වෙනකොට. අම්මා එන්නේ පහට විතර. ගෙදරට එන්න ඕන වෙලෙන් එගොඩ වෙලා. ඈත එනකොට වෙල මැද්දේ තිෙයන පාර හරහා දුවලා අම්මගේ බෑග් එක අරන් එනවා. ඉතින් එතැන ඉඳන් අම්මා එක්කමයි කාලය ගත වෙන්නේ. ඒ හින්දා පොඩි කාලේ ගොඩාක් මතකය තියෙන්නේ අම්මත් එක්ක.
පුංචි දවස්වල ඉඳන් මම හරිම ආසයි ගණිතයට. මම පහ වසරෙ ඉඳන් අම්මට ගණන් උගන්වනවා. මහන්සි පිට ඇවිත් කුස්සියෙ වැඩ කරන ගමන් අම්මා හැමදාම හරිම ඉවසීමෙන් මම කියලා දෙන දේ අහගෙන ඉන්නවා. ඇය ගණිත අංශයෙන් උසස් පෙළ හදාරපු කෙනෙක්. ඒ නිසාම ඇය ගණිතය සම්බන්ධව ඇති මගේ සහජ හැකියා දකින්න ඇති. ඒ දවස්වලම මට තේරුණා කෙනෙකුට තේරෙන විදිහට කියලා දෙන්න පුළුවන් හැකියාව මට තියෙන වග. පොඩි කාලේ නංගිට ගණනක් කියා දෙනකොට අම්මා මගේ ළඟට ඇවිත් කිව්වා “ඔයාට හොඳට වෙන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ලොකු පුතා” කියලා. අම්මා එදා මගේ අනාගතය දැකලා තිබුණා.
පාසල් අවධියෙත්, විශ්වවිද්‍යාල වකවානුවෙත් හිටපු මගේ යාළුවො ගොඩාක් මට ෙළන්ගතුයි. මට දෙයක් පුළුවන් බව දැනුනට පස්සේ ඔවුන් මගෙන් දෙයක් ගන්නවා වගේම මාව ධෛර්යමත් කළා. කවදාවත් අකුල් හෙළුවෙ නෑ. පාසලේ ඊළඟ දවසේ ටීචර් උගන්වන පාඩම කිව්වම මම ගෙදර ගිහින් ඒ පාඩමට අදාළ ගණන් හදනවා. ඒ උත්තරත් අරන් තමයි මම පහුවදා ඉස්කෝලෙ යන්නේ. ටීචර් මගේ පොත අරන් අනික් අයගේ ගණන් ක්‍රොස් චෙක් කරනවා. ඒකත් එක්ක මට මම ගැනම ලොකු ආත්ම විශ්වාසයක් ඇති වුණා.
තාත්තාගේ ආභාසය හින්දාමයි මම මලල ක්‍රීඩාවලට යොමු වෙන්නේ. තාත්තා හොඳ මලල ක්‍රිඩකයෙක්. ඔහු ඔහුගේ වකවානුවේ පළාත් මට්මේ මෙන්ම ජාතික මට්ටමේත් මීටර 100 -200 ඉසව්වල දක්ෂතා දක්වපු කෙනෙක්. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකොට මට මගේ මලල ක්‍රීඩා ජීවිතය ගොඩක් දියුණු කරගන්න පුළුවන් වුණා. පාසල නියෝජනය කරමින් ජයග්‍රහණ ලබා ගත්තා. පාසලේ දක්ෂම මලල ක්‍රීඩකයා වුණා.
සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙලා උසස් පෙළ හදාරන්න මම ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට. එතැනදි මගේ ක්‍රීඩා ජීවිතයේ වෙනසක් කර ගත්තා. මම දුර දිව්වේ. අවුරුදු 18 දී මීටර් 400 කඩුළු මතින් දිවීම ඉසව්වට මාරු වුණා. මගේ ක්‍රීඩා දක්ෂතා උපරිමයෙන් මතු වුණු කාලය තමයි ඒ. මම පාසල් කාලයේ විවෘත තරගවලදි මේ ඉසව්වෙන් ලංකාවෙන්ම හතර වැනියා වුණා. මට ගොඩාක් උදව් කළා ඒ.ජේ. රොද්‍රිගූ මහත්මයා. ඔහු අද ජීවතුන් අතර නෑ. මගෙ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පුහුණුකරු තමයි එස්. එම් බණ්ඩාර. ඔහුත් මට ගොඩාක් උදව් කළ ගුරුවරයෙක්.
ගණිත විෂයෙන් සමත් වෙලා මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඒ තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මම සරසවියට ගියේ 1999/2000 කණ්ඩායමට. අපේ පළවෙනි අවුරුද්ද ඉවර වෙද්දි මම ඒ වසරේ තිබුණු විෂයයන් 09ටම ඒ සාමාර්ථ ගත්තා. සරසවියෙ ඒ වනවිට මගේ ඉසව්ව සඳහා තිබුණු මලල ක්‍රීඩා වාර්තා සියල්ලම බිඳදැම්මා. අන්තර් විශ්වවිද්‍යාල මීටර් 400 කඩුළු මතින් දිවීම, මීටර් 110 කඩුළු මතින් දිවීම සහ මිටර 400 ඉසව් වාර්තා තබමින් පළමු ස්ථාන දිනුවා. ඉහළම අධ්‍යාපන සාර්ථකත්වය අත් කරගත්තා. ඒක මගේ ප්‍රාතිහාර්ය පෙන්නපු අවුරුද්දක්.” මෙහොතක විරාමයකදී ඇසිය යුතුම යැයි සිතූ ප්‍රශ්නයක් විමසුවෙමි.
“කොහොම ද අධ්‍යාපනය සහ ක්‍රීඩාව මේ තරම් ඉහළ තලයකින් සමබරව පවත්වාගෙන ගියේ…” ඔහු පිළිතුරු දුන්නේ අතීත මතක වින්දනය කරමිනි.
“ජීවිතයේ දේවල් මම විසින්ම හදා ගන්නවා. මට දෙයක් අවශ්‍ය නම් එය ලැබෙන තුරු බලාගෙන ඉන්නේ නැතිව ඒ අවස්ථාව උදා කරගන්නවා. පාඩම් කරන එකයි අධ්‍යාපනයයි එකට කරන්න අමාරුයි. ඒ දෙකටම අධික කැප කිරීම, කාලය සහ අවධානය අවශ්‍යයි. පාසල් ගිහින් පාඩම් වැඩ කරන්න වෙනවා. ක්‍රීඩා පුහුණුවට හැමදාම නිශ්චිත වෙලාවක් යොදවන්න වෙනවා. ඒක ශාරීරිකවත් වෙහෙසක්. නමුත් ඒ වෙහෙස දරාගෙන අරමුණුවලට යෑමයි මම කළේ. පාඩම් වැඩවලට සහ ක්‍රීඩාවට මම කාල රාමුවක් හදාගත්තා. ඒ අනුව කාලය කළමනාකරණය කරමින් වැඩ කළා. උසස් පෙළට එනකොට මගේ දවස පටන් ගත්තේ පාන්දර 3.30ට. අපහසුතා නිසා වැඩ හෙටට කල්දමන පුරුද්දක් මට තිබුණේ නැහැ. පාසල් කාලේදී තිබූ ඒ ශික්ෂණය සරසවි කාලයෙදී දිගටම පවත්වාගෙන ගියා.”
ආචාර්ය කුලාන් රණසිංහ පවසන්නේ තමන් තුළම ගොඩනඟාගත් මේ විනය ඔහුට ජීවිතයේ විශාල අවස්ථා නිර්මාණය කර දුන් බවය. එය සරසවි කාලයේම අන්තර් ජාතික තලයේ අත්දැකීම්වලට විවර කළේය.
“2001දී මම චීනයේ බීජිං නුවර ලෝක විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා තරගවලට සහභාගී වනවා. වර්ෂ 2003දී මම ලෝක විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා තරගයට යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට. මේ තත්ත්වයට එන්න ඉතා වෙහෙසකර පුහුණුවීම් කරන්න ඕන. මා හදාරමින් හිටියේ ගණිත විශේෂ උපාධියක්. ඒ සඳහා කැප වෙන්න ඕන. කොහොම හරි දෙවැනි අවුරුද්දෙ විභාගයෙදීත් මම ඒ සාමාර්ථ 08 ක් සහ බී සාමාර්ථයක් එක්ක විභාගය ඉහළින්ම සමත්වුණා. ඒ අවුරුද්දේ දක්ෂතම විද්‍යා සිසුවා වුණා. මුළු විශ්වවිද්‍යාලයෙන්ම දක්ෂතම ශිෂ්‍යයා වුණා.”
ආචාර්ය කුලාන්ගේ ප්‍රිය බිරිය අනූෂා කංකානම්ගේය. “ඇය ඔබේ සරසවි ප්‍රේමය ද?” විමසුවෙමි. ඔහු ඒ මතක ගොන්න වෙත යන්නේ මහත් ප්‍රහර්ෂයෙනි.
“මට අනූෂව හමු වෙන්නේ 1999දී. ඒ සුගතදාස ක්‍රීඩාංගණයේ මලල ක්‍රීඩා තරගයක් අතරතුර. ඇයත් ඒ දවස්වල ඇත්ලටික්ස් කරනවා. සරසවියට යන්න මාස හයකට පෙර තමයි ඒ හමුව සිද්ධ වෙන්නේ. ඒ දවස්වල දුරකතන නෑ. මම යාළුවෙකුගේ ෆෝන් නම්බර් එක අනූෂට දුන්නේ. ඒ හමුවීම හරිම අපූරුයි. චකිතයක්, කැලඹීමක් එක්ක ඉතාම ආදරණීය සහ බලාපොරොත්තු සහිත හැඟීමක් ඒ හමුවෙදි ඇති වුණා. ඊට පස්සේ අපි මුණගැහුණා. ඒ මුණගැහීම තමයි ජීවිතයේ මේ සාර්ථක ගමනට තබපු හොඳම මුලපිරීම. “
ආදරය ශක්තියක් කරගෙන සරසවි ජීවිතය දිනාගත් මේ අභිලාෂකාමී තරුණයා වඩාත් ප්‍රිය වන්නේ ඉගැන්වීම වෘත්තියක් කර ගැනීමටය. ඒ අභිලාෂය ඔහු බොහෝ දුරක් රැගෙන ගොස් තිබුණේය.
“මම මුලින්ම මාස් හෝල්ඩින් ආයතනයේ විධායක නිලධාරියෙක් ලෙස සේවය කළා. පසුව සරසවියේ සහාය කථිකාචාර්යවරයෙක් විදිහට සම්බන්ධ වුණා. එහෙම වැඩ කරමින් ඉන්නකොටයි වැඩිදුර අධ්‍යාපනය සඳහා ලැබෙන ශිෂ්‍යත්ව පිළිබඳ මගේ සුපවයිසර් මාව දැනුම්වත් කරන්නේ. ඒ ශිෂ්‍යත්වයට මම අයැදුම් කළා. එවැනි ශිෂ්‍යත්වයක් ලබා ගැනීමේ අවස්ථාව හරිම විරලයි. අවුරුද්දටම දෙන්නේ ලෝකයටම 24යි. ඒක දෙන්නේ ඔස්ට්‍රේලියානු රජයෙන් මොනෑෂ් විශ්වවිද්‍යාලයට. ඒ ශිෂ්‍යත්වය මට ලැබුණා. ඒ වන විට මමයි අනූෂායි විවාහ වෙලා අපිට ලොකු පුතා ලැබෙන්න හිටියේ. අපි 2006 පෙබරවාරි මාසෙ දී ඔස්ට්‍රේලියාවට ආවා.
මොනෑෂ් විශ්වවිද්‍යාලයෙ මම ආචාර්ය උපාධිය ලෙස කළේ ඉතා වේගයෙන් වැඩි ප්‍රමාණවලින් එන දත්ත විශ්ලේෂණය කිරීමක්. හරියට කොටස් වෙළෙඳපළ ක්‍රියාකාරකම් වගේ. තත්පරයට දෙකට ගොඩාක් දත්ත එනවා. ඒ දත්ත ගොනුවල මොඩල සම්බන්ධව විශ්ලේෂණය කරලා ඒකට ගණිතමය ආකෘති හැදුවා. ඒ ආකෘතිය හරහා අපට යම් යම් පුරෝකථන කරන්න පුළුවන්. ලෝකයේ පිළිගත් විද්‍යාත්මක සඟරා දෙකක මගේ පර්යේෂණ පළ කළා. මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මගේ ආචාර්ය උපාධියට අවුරුදු හතරක කාලයක් ගත වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි ආචාර්ය උපාධි නිබන්ධනය. විශේෂත්වය වන්නේ මගෙ ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කළාම එහි කිසිම සංස්කරණයක් නොකර පිළිගැනීමයි. අඩුම ගානෙ ව්‍යාකරණ වරදක්වත් තිබුණෙ නෑ. ඒ නිබන්ධනය ඇගැයීමට ලක් කළේ ලෝකයේ ඉන්න විශිෂ්ටම විද්වත් මහාචාර්යවරු දෙපළක්.
මට සතුට තියෙන්නේ මම මේ වකවානුව තුළ නොකඩවාම මගේ ක්‍රීඩාව කරගෙන යෑම. 2009 මගේ ආචාර්ය උපාධිය අවසන් කළා. මෙල්බර්න්වල තියනවා ඔස්ට්‍රේලියානු අන්තර් විශ්වවිද්‍යාල තරග. ඔස්ට්‍රේලියාවෙම ඉන්න දක්ෂතම සරසවි ක්‍රීඩකයො මේ තරගාවලියට එක් වෙනවා. මා ඒ අවුරුද්දේ මොනෑෂ් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ ශූරයා වෙනවා. ඒක කළ එකම ශ්‍රී ලාංකිකයා මම. මා ආචාර්ය උපාධිය කළ අවුරුදු හතරෙදීම වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුළු මතින් දිවීමේ අනුශූරතාව හිමිවුණේ මට. මා කල්පනා කළා ඇයි මට ශූරතාවය දිනා ගන්න බැරි කියන එක. මෙතනදි මම පුහුණු කරලා තිබුණු මා පිළිබඳ කියැවීම මට ඉතා වැදගත් වුණා. විශාල පරසායක විහිදුණු වැඩ සම්බන්ධව ඇගැයීමක් කරලා සැලැස්මක් හදාගත්තා, මේ ඉසව්ව ප්‍රමුඛ වන විදිහට. මගේ පුහුණුවීම්වලට ඉඩක් දුන්නා. ඉන් පසුව මා මීටර් 400 කඩුළු මතින් දිව යෑමේ ඉසව්වේ වික්ටොරියා ප්‍රාන්ත ශූරයා වුණා.”
මේ ක්‍රීඩා ශූර විද්වත් ගණිත ආචාර්යවරයා ක්‍රීඩාව හා අධ්‍යාපනය පමණක් වින්දනය කළ අයෙක් නොවේ. ඔහු අපූරු විනෝදාංශ වින්දනය කළ අයෙකි.
“කුඩා අවදියේ ඉඳන් ඉලෙක්ට්‍රොනික් පද්ධති නිර්මාණය කිරීම මගේ විනෝදාංශයක්. වෙසක් කූඩු හැදුවා. ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ මේ වනවිට මං තොරන් 18 ක් නිර්මාණය කර තිබෙනවා. ඒ හැම එකක්ම මගේ විනෝදාංශවල ප්‍රකාශන ලෙසයි එළියට එන්නේ. ඒ වගේම මම ඇබ්ස්ට්‍රෑක් පේන්ටින්වලට හරිම කැමතියි.”
ආචාර්ය කුලාන් සිවුදරු පියෙකි. නිදුක නිරෝග, ඉරුසි ශික්ෂා, ශාඛ්‍ය සහ මිහිඳු ඔස්ට්‍රේලියාවේ හැදි වැඩී අධ්‍යාපනය ලැබුවත් අපේ ගමේ හමුවන දරුවන් මෙන් සිංහල වහරති. පුංචිම පුතා තුරුළට ගන්නා ගමන් ඔහු සිය දරුවන් පිළිබඳ අභිලාෂය අපට කිවේය.
“මම මගේ දරුවන්ට කියන්නෙ තමන්ගෙ හොඳම ධාරිතාවෙන් ඉගෙන ගන්න. මම තාත්තා කෙනෙක් විදිහට සහයෝගය දක්වනවා ඒ අය හිතන තැනට වඩා පොඩ්ඩක් ඉස්සරහට යන්න. එතකොට ඔවුන්ට තේරෙනවා හිතුවට වඩා වැඩි දෙයක් කරගන්න පුළුවන් කියලා. මේ රටේ හැම අම්මෙක් තාත්තෙක්ම දරුවන්ට කළ යුත්තේ තරවටු කිරීම නෙමෙයි… ඔවුන්ට විශ්වාසය ඇති වන සේ ඔවුන්ව ඇගැයීමට ලක් කර ආත්ම විශ්වාසය ඇති කිරීමයි. එහෙම කරනවා නම් මේ රටේ මහා මානව සම්පතක් විශේෂ අනන්‍යතාවයක් සහිතවම ගොඩ නැගේවි. ඒ අනාගත සම්පත වෙනුවෙන් තමයි මම මගෙ අලුත් නිර්මාණය අරන් මගේ රටට ආවෙ.
අපි කැමති උනත් නැති උනත් දැන් දරුවො ඉපදෙන්නේ ෆෝන් එකත් එක්ක. අපි කරන්න ඕන ෆෝන් එක ඵලදායිව භාවිත කරන්න දරුවන්ට උගන්වන එක. මෙතනදි ‘ඔග්මෙන්ටඩ් රියැලිටි‘ කියන තාක්ෂණය යොදාගෙන දරුවන්ට ලෙකු අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් බව මට තේරුණා. ළමා පොතක් ගැන කල්පනා කළේ ඒ පසුබිමේදි. මං කළේ මේ තාක්ෂණයෙන් ලංකා ඉතිහාසයේ පළවෙනි ළමා පොත හඳුන්වාදීමයි. මට අවශ්‍ය වුණේ දරුවන්ගේ චිත්ත රූප මැවීමේ විභවය වැඩිකර මේ අයට ඉදිරියට යන්න අවස්ථාව ලබා දෙන්නයි. දැන් සති 10ක් ආසන්නයි එළි දක්වලා. ඉතාම හොඳ ප්‍රතිචාර තියනවා.
මම ගුරුවරයෙක්. ප්‍රෝග්‍රමර් කෙනෙක්. ඇප් ඩිවලොපර් කෙනෙක්. ඒ නිසා මට පහසු වුණා මේ තාක්ෂණය දරුවන්ට ගැළපෙන ළමා පොතකට යොදා ගන්න. තාක්ෂණය වෙනස් වෙන්නෙ ඒක භාවිත කරන පුද්ගලයාගේ සිතුවිලි අනුව. ඔග්මෙන්ටන් රියැලිටි තාක්ෂණය පොතකට යොදාගත් අවස්ථා ඔස්ට්‍රේලියාවෙදිවත් මා දැක නෑ. එය ලංකාව ට හඳුන්වා දීමට හැකි වීම ගැන සතුටුයි.
මේ තාක්ෂණය යොදගෙන ලංකාවෙ මුල්ම 3D හෝඩි පොත නිර්මාණය කළා. එය මේ මාසයේ අග වනවිට වෙළෙඳපළට ඒවි. ලබන අවුරුද්දේ මුල වන විට දුවා දරුවන්ට ගොඩාක්ම ප්‍රයෝජනවත් විද්‍යාව පොතක් ඒවී.”
අවසාන වශයෙන් ආචාර්ය කුලාන් රණසිංහ විමසුවෙමි. “ඔබ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ කෙනෙක්. දැන් ඔබ විදේශයක පුරවැසියෙක්. විදේශ රටකට අයිති කෙනෙක්. ඔබව එතෙන්ට ඔසවා තැබූ මේ රට වෙනුවෙන් ඔබේ වගකීම කුමක් ද?” ආචාර්ය රණසිංහ බෙහෙවින්ම සංවේදී වුණේය.
“ඔව්… මා නිදහස් අධ්‍යාපනයේ අගය දන්නවා. ඒ පිළිබඳ ඉපදුන මහා ගැඹුරු කෘතවේදී බවක් මා තුළ තියනවා. මා අන්තර්ජාතිකව අනාවරණය වීමත් සමඟ ලබාගත් දැනුමක් සහ අත්දැකීම් ප්‍රමාණය හා ඒ වරප්‍රසාදයේ ඵල මේ රටේ දරුවන්ට දීමයි මගේ ප්‍රධාන අභිලාෂය. එය සහතිකවම කරනවා. ඒ වගේම මගේ රටේ මගේ ආදරණීය දූ දරුවන්ට මේ කතාව කියන්න ඕන.
පුතේ… වැඩ කරනකොට පුදුම වෙහෙසක් දැනෙනවා. වෙහෙස මැඩලන්න තියන එකම ඖෂධ්‍ය තමයි අපට මේ වෙහෙසකර අභ්‍යාසයේ කෙළවර ලැබෙන ප්‍රතිඵලය මෙනෙහි කිරීම. එතකොට වෙහෙස නැති වෙනවා. සතුට සමඟ ඉන්න. මම කළේ එහෙම. කරන දේ විඳින්න. ඒ සතුට ඔබ ඔබව නොහිතන මහා විශාල තැනකට ගෙන යාවි..” ජීවිතයේ නොදුටු ඉමක් ආලෝවත් කර පෙන්නූ ඒ විශිෂ්ට විද්වතාගෙන් සමු ගතිමි.