Home » හිරිමල් තාරුණ්‍ය යේ ආදරය ගැන කියන අරුන්දතී මං මනමාලයි

හිරිමල් තාරුණ්‍ය යේ ආදරය ගැන කියන අරුන්දතී මං මනමාලයි

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

පුවත්පත් කලාවේදියකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය වසර තිස් දෙකකි. ඔහු අතින් ලියැවුණු පොත් ප්‍රමාණය මතකයෙන් කිව නොහැකි තරම්ය. ඔහු වේදිකාවට අමුත්තකු ද නොවේ. විටෙක ඔහු වේදිකාවේ රංගන ශිල්පියෙකි. ඔහුගේ වේදිකා රංගන කෞෂල්‍ය නාට්‍ය තිහක පමණ පරාසයකට විහිදී යයි. තවත් විටෙක ඔහු නාට්‍ය නිර්මාණකරුවෙකි. මේ වන විට ඔහු නමින් නාට්‍ය 4ක් වේදිකාගත වී අවසන්ය. අරුන්දතී මං මනමාලයි ඔහුගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණයයි. තිර රචනය, අධ්‍යක්ෂණය මෙන්ම නිෂ්පාදනය ද ඔහුගේය. වේදිකාවට කවදත් ළෙන්ගතු සුගත් ශාන්ත මොරගහකුඹුර නම් ඔහුගේ නවතම පෙරළිය වන අරුන්දතී මං මනමාලයි ගැන කතාවයි මේ.  

ඔක්තෝබර් 7 වැනිදා හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහලේ දී වේදිකාගත වන ‘අරුන්දතී මං මනමාලයි’ සුගත්ගේ පස්වැනි වේදිකා නාට්‍ය නිර්මාණයයි. එදින සවස 3.30ට සහ 6.30ට වේදිකාගත වන මංගල දර්ශනය රූපා ගෝමස්, කුලසිරි මල්ලිකාරච්චි, දිල්හාරා ජයසිංහ, රොෂාන් ජයසුන්දර සහ නිෂාන් සම්පත්ගේ රංගන දායකත්වයෙන් විචිත්‍රවත් වෙයි. සම්මානිත සංගීතවේදියකු වන සමීර සුබසිංහගේ සංගීතයට ශාලුක මදුශංක සහ රිශ්මිනා සමීන්ගේ පද රචනයෙන් අර්ථවත් වුණු ගීත 4ක් ඇතුළත් වීම ද විශේෂත්වයකි. විදුලි ආලෝකයෙන් ජිනදාස හේන්ගොඩ දායකත්වය සපයන එහි වේදිකා පසුතල නිර්මාණය එච්. ඒ. සුනිල්ගෙනි. ජීවනී මීගොඩ නිෂ්පාදන කළමනාකාරීත්වයෙන් දායක වන මෙහි පෙළ මතක් කිරීම චින්තක පතිරණ සහ තුෂාරි බණ්ඩාරනායකගෙනි.

ආදරය තේමා කරගත් නිර්මාණයක් ලෙසින් බිහිවුණු ‘අරුන්දතී මං මනමාලයි’ සමාජයට සිතිය යුතු පණිවුඩයක් දෙන අතරම ආර්ථික, සමාජයීය ප්‍රශ්න හමුවේ පීඩා විඳින ජනතාවගේ සිතට ප්‍රහසනය ඔස්සේ සැහැල්ලුවක් ගෙනදීමට ගත් උත්සාහයක් ගැන විමසීමේ දී සුගත් අප හා පැවසීය. පියාගේ බීමත්කම නිසා අසරණ වන දියණියකගේ මානසික තත්ත්වය සේම ඇය සමාජයට මුහුණ දෙන ආකාරය හමුවේ මව ක්‍රියා කරන ආකාරය මෙහිදී කතාබහට ලක්වේ. ක්‍රමක්‍රමයෙන් ඈත් වෙමින් යන පවුලේ ආදරය රැකගැනීමට පවුලේ සාමාජිකයන්ගේ දායකත්වය කෙසේ විය යුතු ද යන්න සමාජගත කිරීමට මෙමඟින් උත්සාහ කරයි. මවුපිය ආදරය මෙන්ම හිරිමල් තාරුණ්‍යයේ ආදරය ගැනද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කරයි. ඇත්තටම ආදරේ කරන තරුණයකුගේ හදවත මොන විදිහට ක්‍රියා කරන්නේ ද යන්න මෙන්ම බොරුවට ආදරය කරන්නෙක් හැසිරෙන ආකාරය කෙසේද යන්නත් මෙමඟින් ඉස්මතු කිරීමට උත්සාහ කරයි.

දේශපාලන චරිත හරහා ප්‍රහසනය උත්පාදනය කිරීමට උත්සාහ කරමින් නිපදවන නිර්මාණම රසවිඳිමින් සිටින ප්‍රේක්ෂකයාට තමාට සමීප අත්දැකීමක් මෙන්ම තම පවුලේ ඇති වන ප්‍රශ්නයක් විසඳා ගැනීමට මෙය උත්තේජකයක් වනු ඇත. මෙතරම් දියුණු සමාජයේ වුවත් ආදරය හමුවේ අදටත් තරුණ තරුණියන් රැවටීමට ලක්වීම, මුල් බැසගත් සත්‍යයක් ලෙස පෙන්වා දෙන සුගත් මෙතෙක් කළ නිර්මාණවලට වඩා වෙනස්, ප්‍රේක්ෂකයාට සමීප අත්දැකීමක් අරුන්දතී මං මනමාලයි හරහා ලබා දෙනු ඇත. දේශපාලන චරිත ඔස්සේ ප්‍රහසනය විඳි ප්‍රේක්ෂකයාගේ මනෝභාවයෙන් ඔබ්බට යමින් සියුම් වින්දනාත්මක සිතුවිල්ලකින් රසවිඳීමට හැකි අරුන්දතී මං මනමාලයි නැරඹීමට ඔහු ප්‍රේක්ෂකයාට ආරාධනා කරන්නේ සහනදායී තත්ත්වයක් මත නාට්‍ය නැරඹීමේ අවස්ථාව ද උදාකර දෙමිනි. ගැබිනි මාතාවන්ට නොමිලේ නැරඹීමට විවෘත වන අරුන්දතී මං මනමාලයි වේදිකා නිර්මාණය සරසවි විද්‍යාර්ථීන්ට ද සහනදායී මුදලකට නැරඹිය හැකි බව ඔහු පවසන්නේ වත්මන් ආර්ථික තත්ත්වයට සහනයක් සැලසීමේ අරමුණ පෙරදැරි කරගෙනය.

උතුරේ රාහුල හිමි, එයා වගේද මෙයා, යකඩ සපත්තු, පාරුව එනතුරු සහ එළ පඹයා වැනි වේදිකා නිර්මාණ හරහා තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ සුගත් ශාන්ත මොරගහකුඹුර මිනිස්සු, විලංගුව, ධර්මිෂ්ටලා, ගැට සහ මඩ නාට්‍ය වේදිකාවට නිර්මාණය කරමින් තම නිර්මාණශීලිත්වය ද ඉස්මතු කළේය. නවකතා, කෙටිකතා සහ පර්යේෂණ ග්‍රන්ථ ඇතුළුව ග්‍රන්ථ 86ක් රචනා කර ඇති ඔහුගේ අභිප්‍රාය වන්නේ සමාජයට ආදර්ශවත් නිර්මාණ තවදුරටත් දායාද කිරීමයි.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division