Home » මම ලිවුවෙ හිත හදා ගන්න මං දැන් නිදහස්

මම ලිවුවෙ හිත හදා ගන්න මං දැන් නිදහස්

ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

මිනිසුන් ගැන ලියන කතන්දර කොතරම් සිත් කම්පා කරන්නේ ද කිවහොත්, මගේ හදවතට කොතරම් ළං වූයේ ද කිවහොත් මම ඒ පොත කියවන අතර දිගට ම ඇඬුවෙමි. කිසිදු අර්ථයක් නැති බර වැඩවලින් ගැහැට විඳින, කිසිදු අර්ථයක් නැති නින්දා අපහාසවලින් බැට කන කොල්ලකු වූ මම වැඩුණු පසු මිනිස්සුන්ට අවංක ව සේවය කරන බවට කොන්දේසි විරහිත ව පොරොන්දු වුණෙමි.

සුරංගනා කතාවල සිට පැමිණි ආශ්චර්යවත් පක්ෂීන් මෙන් පොත්, මට ඇසෙන ලෙස ඔවුන්ගේ ගී ගායනා කළහ. ඔවුහු ජීවිතයේ විවිධත්වය ගැන, සාරවත්කම ගැන, මිනිසා විසින් යහපත හා සෞන්දර්ය පතා ගන්නා ලද නිර්භීත පරිශ්‍රමය ගැන ගී ගායනා කළහ. මා වැඩි වැඩියෙන් පොත් කියැවූ තරමට මගේ හදවත වැඩි වැඩියෙන් නිර්මල විය; කරුණාවෙන් පිරී තිරී ගියේය. මගේ සිත තැන්පත් විය; සන්සුන් විය; මගේ ආත්ම විශ්වාසය වර්ධනය විය; මගේ වැඩ කටයුතු දියුණු විය. ජීවිතය විසින් මට කරන ලද සීමාවක් නොමැති නින්දා අපහාස මම ගණන් නොගතිමි.

හැම පොතක් ම මට තිරිසන් තත්ත්වයෙහි සිට මනුෂ්‍යත්වයට නඟින ඉණිමගේ පෙත්තකට සමාන විය. උසස් ජීවිතයක් අවබෝධ කර ගැන්මේ සිට ඒ ජීවිතය ලබා ගැනීමට ඇති පිපාසයට සමාන විය.’

කළුබෝවිල සිරිල් සී. පෙරේරා විසින් පරිවර්තනය කරන ලද මැක්සිම් ගෝර්කිගේ ‘පොතක මහිම’ කෘතියේ සඳහන් මේ අදහස ගැන ඔබට කියන්නට සිතුවේ ජීවිතයේ බොහෝ අත්දැකීම් නිසා පීඩාවට පත් වූ ලේඛිකාවක ගැන කියන්නට ය. කොතෙක් පීඩා වින්ද ද ඇය ඒ පීඩාව තමාගේ හදවතට ඇතුළු කර නොගන්නට පරිස්සම් වුණු අයුරු මට ඔබට කියන්නට අවැසි ය. සියලු පීඩා ඇය දිය කර හැරියේ අකුරු ඔස්සේ ය. ඒ අකුරුත් ඇගේ කතාවත් කියැවූ කල නෙත අගට බරට දැනෙන කඳුළු මට ද ආගන්තුක වූයේ නැත. එහෙත් ඇය සිනාසෙන්නී ය. අපට ද සිනාසෙන මාවත විවර කරන්නී ය. මිහිකත සේ දරා ගන්නී ය. පෙරළා අනෙක් සියලු කාන්තාවන් වෙනුවෙන් තමාගේ අත්දැකීම් ලියා තබන්නී ය. රෝස මලක් නොව පතොක් මලක් සේ දරා ගන්නා අයුරු කියා දෙන්නී ය.

මේ ඇගේ කතාවේ බර ඔබ දැනගත යුතුම මොහොතයි. ඒ හැඬුම්බර මුළු දුක් කන්ද ම නොවුණත් ඈ තමාගේ සීමාවේ සිට ඒ කඳුළු කතාව ලියා මගේ කතාව නමින් සැප්තැම්බර් 30 වැනිදා පෙරවරු 10ට අප අතට පත් කළේ අන්තර්ජාතික පොත් පරිශ්‍රයේදී ය. දෙනෙතේ කඳුළු දිලිසුණ ද සිය සිතේ දශක හයක් තිස්සේ තිබූ බර යම් තරමකින් බිම තැබූ නිසාදෝ ඇයගේ වුවනේ සොම්නසේ රේඛා සිත්තම් වී තිබිණි. සහෘදය ආදරය දෑතින් ම තුරුලු කරගත් ඈ කඳුළු අතරෙන් සිනාසෙමින් සිටියාය. මා මේ සියල්ල වින්දේ දුරින් සිට ඈ දෙස බලා ඉඳිමිනි. ඕනෑම දෙයක් නියමාකාරයෙන් විඳින්නට නම් යම්කිසි දුරක් නඩත්තු කළ යුතු බව ඔබ දනී. මලෙක සුවඳ වුව විඳිය හැක්කේ මඳක් ඈතින් සිට ආඝාණය කළොත් පමණකි.

දුක් කන්දක ශේෂ අතර සැරිසරමින් ඇය ඇගේ කතාවට පාදක වූ සියල්ල මා ඉදිරියේ පැවසුවේ වරෙක අතැති කුඩා ලේන්සුවෙන් කඳුළු පිසිමිනි. තවත් වරෙක ලේක්හවුසියෙන් ඈත පෙනෙන බේරේ වැවත්, ඇහැළ මල් දිහාත් නිනව්වවක් නැති බැල්මක් හෙළමිනි. මම බාධා නොකළෙමි. බාධා කරන්නට තරම් ශක්තිමත් හිතක් මට ද නොවී ය. මා සිටියේ ද කම්පනයෙනි. ඒ මුළු කතාව ම කම්පනයක් බැව් ඔබට කියන්නට මම මැළි නොවෙමි.

‘මට හිතෙනවා මම මේ ලෝකෙ අතෑරලා යන්න ළඟයි කියලා. ගැහැනියක් වශයෙන් ගැහැනුකම නිසා මම විඳි කරදර මට ලියන්න ඕන වුණා. මට ඒක ආවෙ මගේ පවුලෙන්මයි. ඉවසීමයි, කේන්ති නොගැනීමයි, දරාගැනීමයි කියන දේ ජීවිතේට කොච්චර වටිනව ද කියන දේත් මට කියන්න ඕන වුණා. මම කළේ මට දැඩි ව දැනුණු පීඩාව පිට කරගන්න හොඳ ම දේ මොකද්ද කියලා හිතපු එක. මට දැනුණු පීඩාව තව කෙනකුට දැනෙන්න අරින්න හෝ ඒ කෙනා මතින් යවන්න මට ඕන වුණේ නෑ. මම මේ සියල්ල අකුරු කළා. අකුරු නිසා මම නිවුණා. කෙටිකතා ලිවීම තමයි මට මේක කරන්න ලැබුණු හොඳම මාධ්‍යය.

මේ දරාගැනීම අකුරු කළාට පස්සේ සැනසීමක් දැනුණාද…

මම ඒ පැනය ඇහුවෙ ඒ කෙටිකතාවල පාඨකයෙක් වීමෙන් මට දැනුණු සැනසීම ගැන හිතේ මතක් කරගනිමිනි.

ඔව්. මට හිතට සැනසීමක් ලැබුණා. ඒවගේම මගේ හිතට ශක්තියක් දැනුණා. හැබැයි කරදර නැති වුණේ නෑ. නමුත් ඒ ඕනෑම දෙයක් දරා ගන්න මට හැකියාව ලැබුණා. කරදරයක් හරි හිතට දුකක් හරි දැනුණ ම අපි කාට හරි කියනවානෙ. ඒකෙන් අපට සැනසීමක් ලැබෙනවානෙ. ඒක ලිවුවම ඔක්කොටම වඩා සැනසීමක් ලැබෙනවා. කොච්චර පහත් තැනක අපි ඉපැදුණත්, මේ සමාජයේ අපි වැඩ කළොත්, අවංකව හිටියොත් සැනසිල්ලේ අවසන් ගමන යන්න පුළුවන්. අපේ හිත සනසා ගැනීමයි වැදගත්. මම ඒක වෙනුවෙන් ලිවුවෙ. මං හිතන්නෙ මම නිදහස් වුණා කියලා.

කරුණා පෙරේරා දශක හතරකට අධික කාලයක් තිස්සේ පුවත්පත් කලාවේදිනියක ලෙස සිය අත්දැකීම් පත්තර පිටු අතරේ ලියා තැබුවේ අතිශය පාඨක ආදරයට ලක් වෙමිනි. ඇය අඳුරට එළියක් නම් කෙටිකතා සංග්‍රහය රචනා කරමින් නිර්මාණකරණයට පිළිපන්නී ය. 1971 දී රචනා කළ ඒ ප්‍රථම කෙටිකතා සංග්‍රහයෙන් ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ ඇය, මේ වන විට කෙටිකතා සංග්‍රහ 9ක් සහ නවකතා 12ක් පාඨක ලොවට තිළිණ කර ඇත්තී ය. ඇගේ නිර්මාණ එක් හුයකට කැටි කරගත් කල්හි ඒවා හි විදාරණය වන අත්දැකීම් සිය ජීවිතයේ විඳි හා විඳ වූ දෑ ය. ජීවිතයේ විඳවීම් දාර්ශනික චින්තනයක දවටා අප වෙත ප්‍රදානය කරන ඇය රළු පරළු මාවතේ සුමුදුවට ඇවිදින්නේ කෙසේ ද යන්න ගැන කාන්තාවන්ට මඟ පෙන් වූ නිර්මාණකාරිනියකි. ඕනෑම කෙනෙකුට සිය වේදනාව විසින් තෝරා ගන්නට බලකරන පහසු ම මාර්ග තිබේ. ඒ පළි ගැනීමේ හා නපුරුකමේ මාවත් ය. ඒ වෙනුවට ඈ සිය වේදනාව දිය කර හැරියේ ප්‍රඥාවන්ත මාවතේ ඇවිදිමිනි. එ එවැනි ම වූ වේදනාබරිත බොහොමයකගේ අත් ආදරයෙන් අල්ලා ගනිමිනි. මේ ඒ මාවතේ අලුත් ම ප්‍රවේශයයි. මගේ මතක කියවා ගන්නට ආරාධනා කරන්නේ එ් ඔස්සේ ඔබට ඔබව ද මුණ ගැසීමට හැකි වනු ඇති බවට වන විශ්වාසයෙනි.

පාඨකයන් වන අප ජීවිතයේ විඳින අනේකවිධ දෝමනස්ස මඳකින් හෝ සමනය කර ගන්නේ අප වැනි ම කෙනෙක් අප ගැන ලියන මෙවැනි හෘදය සංවේදී සටහන් නිසා ය. මිනිසකු ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ක්‍රම තුනක් තිබෙන බැව් මහා කවි විලියම් ‍ශේක්ස්පියර් පවසා තිබේ. අයෙක් උපතින් ම ශ්‍රේෂ්ඨ වෙති; තවත් කෙනෙක් ශ්‍රේෂ්ඨත්වය ධෛර්යයෙන් ලබා ගනිති; තවත් අයකුගේ ඇ‍ෙඟහි ශ්‍රේෂ්ඨත්වය ගසනු ලැබෙති. මේ අතරෙන් කුමක් හොඳ දැයි තර්ක කිරීමේ ඵලක් නැත. කුමන විදිහට ලැබුණත් ශ්‍රේෂ්ඨත්වය, ශ්‍රේෂ්ඨත්වය ම ය. එහෙත් වැර වෑයමින් ශ්‍රේෂ්ඨත්වය ළඟා කර ගන්නා පුද්ගලයා ජනතා වීරයකු වන්නේ ය. වැදගත්කම ගොඩනැඟෙන්නේ එවිට ය; කරුණා පෙරේරා වැනි ලේඛිකාවන් වැටෙන්නේ ඒ ගණයටය.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division