– මිතුරු ඇසුරට ඉතා ප්‍රියයි
– අලුත් දේ ඉගෙනීමට දක්ෂයෝ
මෙහිදී හෘද අංක 7 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේද යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් ගැන දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. මුලින්ම කොළයක ඔබගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. අනතුරුව අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් එනතුරු එකට එකතු කරගත යුතුය.
ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි හෘද අංක 7 හිමි ඔබ සෑම දෙයක්ම විමසිලිමත්ව සොයා බලා කටයුතු කරන කෙනෙකි. කිසිම දෙයක් එක විට පිළිගන්නේ නැත. එසැණින් ප්‍රතික්ෂේප කරන්නේද නැත. සෑම දෙයක්ම විශ්ලේෂණාත්මකව ගවේෂණය කරන ගතියක් ඔබ තුළ ඇත. හෘද අංක 7 හිමි ඔබ හොඳ පර්යේෂකයෙක් ලෙසද හඳුන්වන්නට පුළුවනි. ඉවෙන් මෙන් යම් යම් දේ දැනෙන ගතියක් ඔබට තිබේ. යම් දෙයක් හොඳින් තෝරා-බේරා අවබෝධ කරගෙන එය ජීවිතයට සම්බන්ධ කර ගනී.
හෘද අංක 7 හිමියන් මිනිසුන් ඇසුරු කිරීමට ඉතා ප්‍රිය කරයි. තනිව හුදෙකලාව ජීවත් වීමට කැමති නැත. මිනිසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවල ජීවත් වීමට කැමති වෙයි. තමා දන්නා දේ ඉගෙන ගත් දේ අන් අයට කියා දීමට කැමතිය. තම ජීවිත අත්දැකීම් අනුව අන් අයටද උදවු කිරීමට ඉදිරිපත් වෙයි. ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී අවංක පිරිසිදු ආදරයක් බලාපොරොත්තු වෙයි. තම බිරිය හෝ ස්වාමියා සමඟ ඉතා විශ්වසනීය බැඳීමකින් යුතුව ජීවත්වීමට කැමතිය. හොඳ විවාහ ජීවිතයක් ගතකිරීමේ හැකියාව පවතී. නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඔබේ සිතේ පවතින ආකර්ෂණය පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි.
සැබවින්ම ඔබ ඉතා අවංක ගතිගුණ ඇති පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැකිය. සිතේ හිරකරගෙන නොසිට තම අදහස් සිතැඟි අන් අය සමඟ බෙදාහදා ගැනීමට නිරන්තරයෙන් පෙළඹෙයි. රහස් සඟවන ගුප්ත ගති ඔබ තුළ නැත. විවෘත මනසකින් යුතුව කටයුතු කරයි. සෑම විටම කරන කියන කටයුතු තමාගේ හදවතට එකඟව සිදු කරයි. කෙසේ වුවත් හෘද අංක 7 හිමියන් අනිත් අයට වඩා වෙනස් පුද්ගලයෙක් වෙයි. බොහෝ විට එය ඔබ සිතන ආකාරය අනුව වෙයි. අන් අයට වඩා වෙනස් ආකාරයේ සිතුවිලි ඔබ තුළ පවතී. ඔබ ඔබටම ආවේණික කෝණයකින් ලෝකය දකිනවා සේම එය තේරුම් ගනියි. හෘද අංක 7 හිමි ඔබ ආවට-ගියාට යමක් ප්‍රකාශ කරන්නේ නැත. හොඳින් කරුණු සොයා බලා විමර්ශනය කිරීමෙන් අනතුරුව කරුණු සහිතව යමක් ප්‍රකාශ කරයි.
එසේම හෘද අංක 7 හිමියන් අලුත් දේවල් ඉගෙන ගැනීමටත් තමාගේ දැනුම දිනෙන් දින වර්ධනය කරගැනීමටත් නව ලෝකයට අනුව හැඩ ගැසීමටත් ඉතා කැමතිය. කිසිම විටෙක මතුපිට දේ පමණක් බලා තීරණ නොගනී. ඔබගේ ඇසට පෙනෙන දේ මෙන්ම නොපෙනෙන දේ පිළිබඳවද වඩාත් සැලකිලිමත්ව හිතයි. ඔබේ අාධ්‍යාත්මික වටිනාකම හොඳින් තේරුම්ගෙන කටයුතු කරයි. වැරදි දේටත් අසාධාරණ දේවලටත් ඉදිරිපත් නොවේ. ජීවිතයේ සැබෑ වටිනාකම තේරුම්ගෙන මනුස්සයෙක් ලෙස උසස් තත්ත්වයෙන් ජීවත් වීමට හෘද අංක 7 හිමියන් නිරන්තරයෙන්ම අපේක්ෂා කරයි. ඒ අනුව ඔබේ ජීවිත සාර්ථකත්වය ද ඒ මත රඳා පවතී.
හෘද අංක 8 පිළිබඳව ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ. ජේ. දීපාලෝක