Home » ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ රණ-සිංහ සලකුණ
ඒඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ රණ-සිංහ සලකුණ

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ඩ්මන්ඩ් රණසිංහයන් ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ නැවුම් හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කර්තෘය. වර්තමානයේ මෙරට සිටින ප්‍රවීණතම පුවත්පත් කලාවේදියා ද වන ඔහුගේ ජාතික මාධ්‍ය මෙහෙවර අගය කෙරෙන බුහුමන් පෙළහරක සමාරම්භක සම්භාවනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 03 වැනිදා අඟහරුවාදා ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ දී පස්වරු 3.00ට පැවැත්වේ. ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහයන්ගේ යුග මෙහෙවර අගය කරමින් ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ කෘතිය එහි දී ජනගත වන අතර, එම බුහුමන් උලෙළේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් විසිනි.

මේ වන විට සිය ජීවන ගමනේ වසර අනු තුනක් ගෙවා ඇති ප්‍රවින මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහයන්ගේ අසහාය පුවත්පත් කලාව, ඔහු හා සිළුමිණ පුවත්පත අතර වන සබැඳියාව සහ ඒ අපූර්ව දිවි සැරිය ගැනත් කෙරෙන ආවර්ජනයකි මේ.  

ලාංකේය පුවත්පත් කලාවට හේ වනස්පතියකි. නව පරපුරකට මඟ කියූ පත්තර ලොව පහන් තරුව ද ඔහුමය. එදා ඒ වනස්පතිය සෙවණේ පෝෂණය වූ පැළෑටි බොහොමයක් අද විසල් වෘක්ෂයෝ ව තවත් පරපුර කිහිපයකටම මඟ කියා දෙති. ඒ අද්විතීය වනස්පතිය ප්‍රවීණ පුවත්පත් කලාවේදී එඩ්මන්ඩ් රණසිංහයන්ය. ඔහුගේ නාමය මෙරට පොදු ජනතාවගේ හදවතට වඩාත් සමීප වන්නේ ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කතුවරයා ලෙස ජාතික හා සංස්කෘතික වශයෙන් පොදු ජනතා අභිලාෂයන් නිවැරදිව හඳුනා ගනිමින් අභියෝගාත්මක පුවත්පත් කලාවක් මෙරට පත්තර කලාවේ පැළ කළ අසහාය පුවත්පත් කතුවරයා ලෙසිනි. සම්ප්‍රදායික පුවත්පත් කලාව අතික්‍රමණය කළ විප්ලවවාදී පුවත්පතක කතුවරයා වීමේ එඩිතර ජවයෙන් සහ පන්නරයෙන් පොහොසත් වූ එඩ්මන්ඩ් රණසිංහයන්ට පුවත්පත් කලාවේ තිඹිරිගෙය වූයේ පත්තර මහගෙදර වීම සිළුමිණට ද අභිමානයකි.

වර්ෂ 1930 අගෝස්තු 14 වැනිදා අවිස්සාවේල්ලේ පුවක්පිටියේ දී උපත ලැබූ ඔහුට මවුපියන් දුන් නාමය දොන් එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහ විය. ඔහුගේ පියා අවිස්සාවේල්ල බෙලයාර් වතුයායේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළ දොන් ආර්නෝලිස් රණසිංහය. මව මේරියන් වික්‍රමරත්නය. රණසිංහ යුවළට එඩ්මන්ඩ් ඇතුළු දරු දැරියන් පස් දෙනකු විය. කුඩා එඩ්මන්ඩ් මූලික අධ්‍යාපනය ලබන්නේ රත්නපුර ෆර්ගියුෂන් බාලිකාවෙනි. ද්විතීය අධ්‍යාපනය අවිස්සාවේල්ල ශාන්ත මේරි විද්‍යාලයෙනි. එවකට පැවැති ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර විභාගය සමත්ව මාස කිහිපයකින් එඩ්මන්ඩ් තරුණයාට සිය පළමු රැකියාව ලෙස වග, තුම්මෝදර විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබිණ. එකල ගුරු වෘත්තියට ඉහළ පිළිගැනීමක් ලැබුණ ද වෙනස් අදහස්වලින් යුතු වෙනස් විදිහේ තරුණයකු වූ එඩ්මන්ඩ්ට ඒ රැකියාව එතරම් ප්‍රිය නොවීය. අවංකව හා නොපසුබට වීර්යයෙන් යුක්තව රටට සේවයක් කිරීම සිය පළමු දැක්ම කරගත් එඩ්මන්ඩ් රණසිංහ තරුණයාගේ සිත නිතර කීවේ මේ ඒ සඳහා තමාට ගැළපෙනම රැකියාව නොවන බවය. වසර දෙකක පමණ කාලයක් ගුරු වෘත්තියේ වැඩ කරගෙන යද්දී ලේක්හවුස් ආයතයෙන් පළ කළ ඩේලිනිවුස් පුවත්පතේ දැන්වීමක් දැකීමෙන් ඔහුගේ අදහසට නව පණක් ආවේය. පුවත්පත් කලාවේදියකු වීමේ සිහිනය ලුහුබැඳ යෑමට තවත් පමා නොවූ එඩ්මන්ඩ් තරුණයා වහාම ගුරු වෘත්තියට සමු දුන්නේය.

විසි එක් හැවිරිදි වියේ පසුවූ එඩ්මන්ඩ් ලේක්හවුසියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ හමු වූයේ 1952 වසරේ දවසකදීය.

“ඒ 1952 මහ මැතිවරණයේ උණුසුම දැඩිව තිබූ කාලයක්. ඉහත කී පරීක්ෂණය පැවැත්වුණේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන්. මා සමඟ මීමන ප්‍රේමතිලක, ඇස් සුබසිංහ, ධර්මපාල වෙත්තසිංහ ඒ පරීක්ෂණයට පෙනී සිටියා. පරීක්ෂයෙන් ඉහළම ලකුණු ලැබුවත් අපිව කර්තෘ මණ්ඩයට අනුයුක්ත කරගත්තෙ නැහැ. අපිව දැම්මේ ‘පොලිටිකල් ඩෙක්ස්’ එකට, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක වැඩවලට. මැතිවරණයෙන් පස්සේ අපිව ඩේලිනිවුස්, දිනමිණ පත්තරවල පාර්ලිමේන්තු වාර්තා කිරීමට යෙදෙව්වා. පුදුමය කියන්නේ එදා මාත් ඇතුළුව පරීක්ෂණයට සහභාගි වූ හතර දෙනාම පසු කාලයක දී සිළුමිණ කර්තෘවරු වුණා.’’ එඩ්මන්ඩ් රණසිංහයන් ඒ අතීතය ආවර්ජනය කරන්නේ සිය පුවත්පත් දිවියේ ස්වර්ණ මතක එක්රැස් කරමිනි.

වර්ෂ 1952 මාර්තු මස 21 වැනිදා ඔහු තුන්වැනි පන්තියේ වාර්තාකරුවකු ලෙස ලේක්හවුස් ආයතනයේ ඩේලිනිවුස් පුවත්පතේ සේවයට බැඳෙන්නේ රුපියල් හැත්තෑපහක මාසික වැටුපකටය. මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුණු එඩ්මන්ඩ් එයින් උපරිම ඵල නෙළාගනිමින් සිය පුවත්පත් කලාව පෝෂණය කරගත්තේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එවකට බුද්ධිමතුන්ගේ තෝතැන්නක්ව තිබූ අතර, පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරුණේ ඉංග්‍රීසි බසිනි. බණ්ඩාරනායක, ඇන්.ඇම්, පීටර් කෙනමන්, රොබට් ගුණවර්ධන, දහනායක, ජේ. ආර්, නඩේසන්, සුන්දරලිංගම්, ඊරියගොල්ල, කන්දයියා, පොන්නම්බලම් වැනි කෘතහස්ත දේශපාලඥයන්ගේ චතුර කතා හා වාද විවාද ඇසුරෙන් සිංහල හා ඉංග්‍රීසි පාර්ලිමේන්තු වාර්තා සකස් කිරීම එඩ්මන්ඩ්ට පෘතූල අත්දැකීම් සම්භාරයක් ගෙන දුන් අතර, වේගවත් සහ නිවැරදි වාර්තාකරණයෙන් ඔහු සෙසු මාධ්‍යවේදීන් අතරෙන් නිරායාසයෙන්ම පෙරට ආවේය. ඒ නිසාම වැඩිකල් යන්නට පෙර දිනමිණ පුවත්පතේ ප්‍රාදේශීය පුවත් කර්තෘ ධුරය එඩ්මන්ඩ්ට හිමි විය. එකල දිනමිණ කර්තෘත්වය දැරුවේ ධර්මපාල වෙත්තසිංහයන්ය. එඩ්මන්ඩ් රණසිංහයන් සතු වූයේ පියවරෙන් පියවර ඉහළට ආ අත්දැකීම්වලින් සහ පළපුරුද්දෙන් සන්නද්ධ ගමනකි. පසුකලෙක ඔහු ජනතා පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය ද දැරූ අතර, පසුව දිනමිණ කතුවරයා ද විය.

මුල සිටම අදීන, අවංක සහ සහ නිදහස් මතධාරියකු වූ එඩ්මන්ඩ් රණසිංහයන් 1970 දශකයේ දී බලයට පත්වූ සමගි පෙරමුණ රජය විසින් ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට විරෝධය පා ලේක්හවුසියෙන් ඉල්ලා අස්විය. 1977 සිදුවූ බල පෙරළියත් සමඟ හෙතෙම යළි ලේක්හවුසියට ආවේය. එකල ශත දහයේ විශ්වවිද්‍යාලය ලෙස විරුදාවලී ලත් සිළුමිණ පුවත්පත බැබළ වූ මිණක් වන්නට ඔහුට භාග්‍යය උදා වූයේ 1980 දශකයේදීය. එඩ්මන්ඩ් රණසිංහ 1980 සිට 1981 ජුලි දක්වා සිළුමිණ කර්තෘවරයා ලෙස සේවය කළ අතර එවකට කතු මඬුල්ලේ සාමාජිකයන් සංඛ්‍යාව දස දෙනෙකි. නියෝජ්‍ය කර්තෘ ඒ. ඩබ්ලිව්. පී. කේ ගුණවර්ධන, විශේෂාංග කර්තෘ දයාසේන ගුණසිංහ, පී.බී ඉලංගසිංහ, ලක්ෂ්මන් ජයවර්ධන, නන්දසේන සූරියආරච්චි, පර්සි ජයමාන්න. ශාන්ත සේනාධීර, චිත්‍ර ශිල්පී ගුණපාල හේමචන්ද්‍ර සහ කැමරා ශිල්පී රාජා පෙරේරා ඒ අතර වූහ. එපමණක් නොව 2016 ජුලි 01 සිට 2017 මාර්තු 31 දක්වා කාලය තුළද එඩ්මන්ඩ් රණසිංහ දෙවැනි වරටත් සිළුමිණ කතු පදවිය දැරීය. ඒ අනුව හෙතෙම සිළුමිණ කර්තෘ ධුරය දැරූ කාලය වසර දෙකයි මාස තුනකි.

ඉකුත් 2022 වසරේ සිළුමිණ පුවත්පතේ 92 වැනි සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට සිළුමිණ පුවත්පත් කාර්යාලයට පැමිණි අවස්ථාව එඩ්මන්ඩ් රණසිංහයන්ගේ හදවතට සොම්නස ගෙනා මොහොතක් විය. යහපත් ගෝල පරපුරක් තැනීමේ ආත්ම තෘප්තියෙන් සහ නිහතමානී අභිමානයෙන් ඔහුගේ දෑස් බැබළිණ. ඔහුගේ ආනන්දනීය හැඟීමට තවත් වෙසෙස් හේතුවක් තිබිණ. ඒ ගැන එඩ්මන්ඩ් රණසිංහයන් සිහිපත් කළේ මෙලෙසිනි.

“සිළුමිණයි මමයි, අපි දෙන්නම එකම වයසෙ. මාස ගණනක පරතරයක් විතරයි තියෙන්නේ. 1930 මාර්තු 30 සිළුමිණ උපන්දිනේ. ඊට මාස පහකට පසුව මම ඉපදුණා. ඒ වගේම 1980දී සිළුමිණ පත්තරේට වසර පනහක් පිරෙද්දි එහි කතු පුටුව දැරීමට ලැබීම මගේ ජීවිතේ දුර්ලබ අවස්ථාවක් වගේම පුවත්පත් කලාවේදියකු විදිහට ලැබිය හැකි උසස්ම සතුට විදිහටත් සලකන්න පුළුවන්.’’

එඩ්මන්ඩ් රණසිංහ යනු තම පෞද්ගලික වරප්‍රසාද, තනතුරු තානාන්තර වෙනුවෙන් තනතුර පාවා නොදුන් අභීත කතුවරයෙකි. පාලනාධිකාරිය සමඟ ඇතිකරගත් මත ගැටුමක් මත ඔහු ලේක්හවුසියෙන් ඉවත් වන්නේ සිළුමිණ කතු පුටුව දරමින් සිටියදීමය. එවකට සිරිමා බණ්ඩාරනායක රජයේ ප්‍රබල ඇමැතිවරයකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී. ඉලංගරත්නගේ නවකතාවක් කොටස් වශයෙන් සිළුමිණ පුවත්පතේ පළ වෙමින් තිබිණ. පාලනාධිකාරය වහාම එය නවත්වන්නැයි කළ නියෝගයට එඩ්මන්ඩ් රණසිංහ විරුද්ධ විය. එකී නවකතාව නිසා සිළුමිණ අලෙවිය ඉහළ ගිය බව සාක්ෂි සහිතව ඔහු පාලනාධිකාරියට සනාථ කළ ද පාලනාධිකාරිය දුන් නියෝගය වූයේ එසේ නම් කතාව කෙටි කර ඉක්මනින් අවසන් කරන ලෙසයි. “දක්ෂ ලේඛකයකුගේ නවකතාවක් කප්පාදු කිරීම දක්ෂ ප්‍රතිමා ශිල්පියකු විසින් නෙළන ලද ප්‍රතිමාවක අතපය කඩා දැමීම මෙන් දරුණු ක්‍රියාවක්, ඉලංගරත්නගේ දේශපාලන අදහස් මේ කතාවේ නැහැ. මට ඔය අදහසට එකඟ වෙන්න බැහැ’’ එඩ්මන්ඩ් රණසිංහයන් එසේ කියමින් පාලනාධිකාරිය ඉදිරියේ සිය අදීනත්වය ප්‍රකට කළේය. එපමණක් නොව තවත් ලේඛකයකුගේ බුද්ධිමය අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි ඔහු ලේක්හවුසියෙන් ඉල්ලා අස්විය.

“මැණික කොතැන තිබුණත් දිලිසෙන්නේය’’ යන කියමන සනාථ කරමින් එඩ්මන්ඩ් රණසිංහයන්ගේ දක්ෂතාව රටම හඳුනා ගන්නේ ඉන් අනතුරුව ඔහු කරා එන අනගි අවස්ථාව මඟිනි. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ධනවතකු ලෙස ප්‍රකටව සිටි උපාලි විජයවර්ධනයන් නව පුවත්පතක් ඇරඹීම සඳහා එඩ්මන්ඩ් රණසිංහයන්ට ආරාධනා කරන්නේ ඒ අනුවය. එහි ප්‍රතිඵලය ලෙස මෙරට පත්තර කලාවේ විසල්ම පෙරළිය සහ විප්ලවයක් කළ දිවයින පුවත්පත ආරම්භ වූයේ එඩ්මන්ඩ් රණසිංහයන්ගේ කර්තෘත්වයෙනි. ඔහු දිවයින කර්තෘ මෙන්ම උපාලි පුවත්පත් සමාගමේ සමාරම්භක කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ද විය. එඩ්මන්ඩ් රණසිංහ සමඟ සිළුමිණ එවකට විශේෂාංග කතුවරයා වූ දයාසේන ගුණසිංහ ඇතුළු දක්ෂයෝ කිහිපදෙනකුම දිවයිනට එක් වූහ. 1981 ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා දිවයින සංග්‍රහයත් 1982 පෙබරවාරි 4 වැනිදා දිනපතා දිවයින පුවත්පතත් ආරම්භ වන්නේ ඒ වන විට රටම ඉල්ලා සිටි ජනතාවාදී, නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක අවශ්‍යතාව සම්පූර්ණ කරමිනි. ඒ ජාතික කර්තව්‍යය විසල් බර ඉසිලූ හදවත එඩ්මන්ඩ් රණසිංහයන්ගේය. ඔහුගේ දෑත් ශක්තිමත් කරන්නට එකම හැඟීමෙන් එකට බැඳුණු ජවසම්පන්න කණ්ඩායමක් සිටීම රණසිංහයන්ට ආශීර්වාදයක්ම විය. නව පුවත්පතක් ආරම්භ කිරීමේ දී විධිමත් දැක්මක්, ඉලක්කගත පාඨක ප්‍රජාව තෝරා ගැනීම, පුවත්පතටම සුවිශේෂී අනන්‍යතාව ඇතිකරගැනීම, දක්ෂ කතෘ මාණ්ඩලිකයන් පිරිසක් එක්රැස් කර ගැනීම, තරගකාරී පුවත්පත් අතර කරට කර සිටිමින් ජාතික අවශ්‍යතා සපුරා ගැනීමට සැදී පැහැදී සිටින පුවත්පතක් බව රටට තහවුරු කිරීම යන අභියෝග ඉතා සාර්ථකව ජයගත් කතුවරයකු ලෙස රණසිංහ නාමය අදත් අවිවාදිතය.

සියලු ලේඛකයන්ට ස්වකීය අදහස් පළ කරන්නට පුවත්පත තුළින් විවෘත වේදිකාවක් තනා දුන් මේ කතුවරයාණෝ සිය මඟපෙන්වීම යටතේ නිර්මාණකරුවන් සහ පුවත්පත් කලාවේදීන් විශාල පිරිසක් බිහි කළහ. දේශපාලන, ආර්ථික සහ සමාජ කාරණා අළලා කාලීනව ඔහු විසින් ලියා ඇති ලිපි, තීරු ලිපි පාඨකයන් අතර අතිශය ජනප්‍රිය වූ අතර, සිළුමිණ සහ දිවයින පුවත්පත්වල කතුවැකි සහ ලිපි මඟින් ඔහු ජනතාවගේ ප්‍රඥාව අවදි කළේය. ‘දේශයක කඳුළු, උරුමයක හිමිකරුවෝ, ශ්‍රියාලතා සහ සෝම හාමුදුරුවන්ගේ බෞද්ධ දේශපාලනය’ යන කෘති සතර ඔහු අතින් ලියැවෙන්නේ ද පුවත්පත් කලාවේදියකු සහ ජාතික පුවත්පතක කතුවරයකු ලෙස ඉතා වගකීම් සහිත කාර්යක නියැළෙමින් සිටියදීය.

ඉකුත් අගෝස්තු මස 14 වැනිදා ජීවිත ගමනේ අනූ තුන් වැනි විය පසු කළ ඔහු අද ජීවිතය ගෙවන්නේ බොහෝ සැහැල්ලුවෙනි. රට වෙනුවෙන් අභීත පත්තරකාරයකු ලෙස සිය යුතුකම ඉටුකළ අභිමානය ඔහුගේ වියපත් දිවිය සැහැල්ලු කර ඇතිවා සේය. වර්ෂ 1958 අප්‍රේල් 25 වැනිදා එඩ්මන්ඩ් රණසිංහ විවාහ දිවියට එළැඹෙන්නේ වෘත්තියෙන් ගුරුවරියක වූ මිලිනා කුමාරගේ සමඟය. එඩ්මන්ඩ්- මිලිනා යුවළගේ වැඩිමහල් දියණිය නිර්මලා රණසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිධාරිනියක අතර ඉංග්‍රීසි ගුරුවරියකි. ඇයගේ සැමියා සිවිල් ඉංජිනේරුවකු වන ලක්ප්‍රිය රත්නායකය. බාල දියණිය දර්ශනී රණසිංහ, පරිගණක දත්ත නිලධාරිනියක වූ අතර ඇයගේ සැමියා වෙළෙඳ ව්‍යාපාරික ලක්සිරි වික්‍රමාරච්චිය.

අව්‍යාජව නව පරපුරකට එළිය දුන් පහන් තරුවක් බඳු ප්‍රවිණ මාධ්‍ය‍ෙව්දී එඩ්මන්ඩ් රණසිංහයන් පුවත්පත් කලාව වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළේය. පිළුණු නොවූ උණුසුම් පුවත් හඹා යෑම සහ දැනුම සහ තොරතුරු යාවත්කාලීන කරගැනීමට නිතර උනන්දු වූ ඔහුගේ සෙවණේ එදා නවකයන් ලෙස පුවත්පත් කලාවට ප්‍රවිෂ්ට වූ බොහෝ දෙනකු මේ වන විට මෙරට පුවත්පත් කලාව තුළ නොමැකෙන සලකුණු තැබූවෝ වෙති. විශේෂයෙන් 2000 දශකයේ මුල් භාගය තුළ මෙරට ජාතික තලයේ පුවත්පත්වල කතු පදවිය ඇතුළු මුල් පෙළ තනතුරුවලට පත් වූයේ එදා එඩ්මන්ඩ් රණසිංහයන්ගේ ආභාසය ලත් ඔහුගේ ගෝලයන් බව ලියා තැබිය යුතුමය.

විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ, දිනපතා ලංකාදීප පුවත්පතේ කර්තෘ සිරි රණසිංහයන්, රිවිර පුවත්පතේ කර්තෘ ලෙස කටයුතු කළ උපාලි තෙන්නකෝන්, ඉරිදා ලක්බිම කර්තෘව සිටි සුන්දර නිහතමානී ද මැල්, ලක්බිම දිනපතා කර්තෘ ධුර දැරූ කිත්සිරි නිමල් ශාන්ත සහ ජටිල වැල්ලබඩ, සිළුමිණ කතු පදවිය දැරූ කරුණාදාස සූරියආරච්චි, දිනමිණ කර්තෘව සිටි මහින්ද අබේසුන්දර, රිවිර ඉරිදා සහ දිනපතා පුවත්පත්වල මෙන්ම, මව්බිම දිනපතා සහ ඉරිදා පුවත්පත්වල කර්තෘ ධූරය දැරූ ලේක්හවුස් හි වත්මන් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍ර, සිළුමිණ වත්මන් කර්තෘ ධර්මන් වික්‍රමරත්න, ස්වාධීන රූපවාහිනියේ සභාපති ධුරයේ කටයුතු කළ ගයිරික පේරුසිංහ සහ අනුර සිරිවර්ධන, පුවත්පත් සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස කලක් කටයුතු කළ වත්මන් ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන දීප්ති අධිකාරී, ස්වර්ණවාහිනියේ දේශපාලන අංශයේ ප්‍රධානීව සිටි පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ශාන් විජේතුංග, සිරස ටීවී සහ එම්ටීවී අධ්‍යක්ෂ අසෝක ඩයස්, සැලසිනේ ආයතනයේ වත්මන් සභාපති හරිත් ගුණවර්ධන මෙන්ම මවුබිම ඉරිදා සහ දිනපතා පුවත්පතේ වත්මන් කර්තෘ චාමින්ද වාරියගොඩ ද බිහි වූයේ දිවයින පුවත්පත ඇසුරේය. තම ගෝලයන් පුවත්පත් කලාව තුළ පාන සුරුවිස්කම් දෙස බලා එඩ්මන්ඩ් රණසිංහ නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍ෙව්දියා අද සතුටු වන්නේ ඔවුන් සිය දරු තනතුරේ ලා හදවතේ තබා ශිල්ප දක්වන්නට අවකාශ සැලසූ අභිමානය ද සිතේ තබාගෙන විය යුතුය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division