නදීෂා අලහප්පෙරුම කියන්නේ අපිට ඉන්න ආදරණිය රංගන ශිල්පිනියක්. ඉස්සර නම් ඇයව නිරන්තරයෙන්ම ටෙලි තිරයේ දැකගන්න ලැබුණා. ජීවිතේ ලස්සනයි, රුවන් මාලිගා, වැනි ටෙලි නාට්‍යවල අතිශයින් ජනප්‍රිය වන නදීෂා මේ දිනවල නීල පබළු තුළින් ප්‍රේක්ෂකයින් අතරට එනවා. එදා කලාවෙන් කාර්යබහුල වූ ඇය අද කාර්යබහුල වෙලා ඉන්නේ දරුවන්ගේ ලෝකය තුළ. රසඳුන මේ කතාබහ නදීෂා අලහප්පෙරුම සමඟයි.
මේ දවස්වල නිර්මාණ මොනවද?
නීල පබළු නාට්‍යය විකාශය වෙනවා. එහි රූපගත කිරීම්වලටත් සහභාගී වෙනවා. ඊට අමතරව අරුණ අබේරත්නගේ සහ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ අලුත් ටෙලි නිර්මාණ දෙකේ වැඩ කටයුතු සිදු වෙනවා. ඒ නිර්මාණ දෙක ඉදිරියට දැකගන්න ලැබෙයි. නිර්මාණ කටයුතුවලට වඩා දැන් ගෘහජීවිතේට මුල් තැන දීලා නිසා ගෙදර වැඩත් එක්ක නම් ටිකක් කාර්යබහුලයි.
කාලයක් නදීෂා පුංචි තිරයට නැතුවම බැරි කෙනෙක් වෙලා හිටියා නේද?
ඇත්තටම ඔව්. දැන් එහෙම කටයුතු කරන්න අමාරුයි. අම්මා කෙනෙක් විදිහට දරුවන් ඉගෙන ගන්නා කාලය තුළ හොඳ අධ්‍යාපනයක් දෙන එක මගේ යුතුකමක් සහ වගකීමක්නේ. මම ෂූටින් යද්දි මගේ මහත්තයාත් දරුවෝ බලා ගන්නවා. ඒ එක්කම කියන්න ඕනේ මගේ අහල පහල ඉන්න අයත් ඉතාම හොඳයි. එයාලත් මට ගොඩක් උදවු කරනවා.
දුවත් මේ වෙද්දී කලාවට සම්බන්ධයි නේද?
මේ වෙද්දී චිත්‍රපට තුනක රඟපෑවා. අවුරුදු දෙකහමාරේ දී සෝමරත්න දිසානායක මහතාගේ සුනාමි චිත්‍රපටයේ රඟපෑවා. සංජීව පුෂ්පකුමාරගේ ආසු චිත්‍රපටයේ සහ වී සිවදාසන් මහතාගේ චිත්‍රපටයක රඟපෑවා. අධ්‍යාපනයට බාධාවක් නොවන විදිහට එයාගේ කැමැත්තට අපි ඉඩ දෙනවා.
අම්මයි දුවයි එකතුවෙලා යූ – ටියුබ් එකට කෑම රෙසිපි කරනවා නේද?
දුව ආසයි ඒ දේවල්වලට. ඒ නිසා මා එක්ක එකතුවෙලා ටික් ටොක් කරනවා.
දුව වාසනාවන්තයි සිනමා නිළියක් විදිහට එළියට එන්නේ
ඇත්තෙන්ම ඔව්. සෝමරත්න දිසානායක මහතා වැනි දැවැන්ත සිනමාකරුවෙකුගේ නිර්මාණයකින්. ළමයි 500කින් විතර දෝණිව තේරුණේ. සුනාමි කියන්නේ ලංකාවේ වැඩි පිරිවැයක් දරලා කරපු නිර්මාණයක්. මම කොච්චර වැඩ කළත් ඒ වගේ දර්ශන තලයක අත්දැකීම පවා මම ලැබුවේ දෝණි එක්කන් ෂූටින් ගිය නිසා. එයාට ලැබුණේ ලංකාවේ හොඳ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට. ඒ අතින් දෝණි වාසනාවන්තයි.
නමුත් පුතා නම් රඟපෑම පැත්තට එතරම් කැමැත්තක් නෑ. එයා ක්‍රීඩාව පැත්තට තමා ගොඩක් කැමති.
ඉස්සර කලාව එක්ක කාර්යබහුල වෙලා දැන් ගෘහ ජීවිතේ එක්ක කාර්යබහුල වීම දැනේනේ කොහොමද?
මට පුතා ලැබෙන්නේ 2012. ඒ වෙද්දී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා තුනක මම ඉන්න මෙගා නාට්‍ය තුනක් විකාශය වුණා. එහෙම කාලයක මම ක්ෂේත්රයෙන් අයින් වුණේ. හැබැයි ඒ ගැන චුට්ටක්වත් දුක නැහැ. දරුවෝ කියන්නේ ලැබෙන සම්පතක් නිසා බොහොම සතුටින් භාරගෙන මම ඒ වෙලාවේම හිතුවේ ආයේ රඟපාන්නේ නැහැ කියලා. පුතා වෙනුවෙන් කැපවෙලා ඉන්නකොට මට ආයෙම ආරාධනා ආවා රඟපාන්න කියලා. මම ඒත් රංගනයට ආවේ නැහැ. ඔහොම ඉන්නකොට පුතාට අවුරුදු තුනක් වෙද්දී දුව ලැබෙන්න ආවේ. මම දැන් දරුවොත් එක්කම ඉන්නවා කියලා හිතන් ඉන්නකොට මට දිගින් දිගටම ආරාධනා ලැබුණා. මගේ මහත්තයාත් කිවුවා කමක් නැහැ ඔයා ගිහින් වැඩ කරන්න කියලා. ඉස්සර වගේ මට කලාව වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න බැහැ. මගේ ජීවිතේ වැඩිම කාලය මම දෙන්නේ දරුවන්ට. ඒ අතර මගේ වෘත්තීය රඟපෑම නිසා ලැබෙන නිර්මාණ අනුව තෝරා ගත්ත නිර්මාණවලට දායක වෙනවා. දැන් දුර තියෙන රූපගත කිරීම්වලට යන්න අමාරුයි. මම දැනුත් සතුටු වෙනවා මම මේ ගත කරන ජීවිතේ ගැන.
දැන් චරිත තෝරා ගන්නේ කොහොමද?
අපිට දැන් අවුරුදු 18-20 චරිත කරන්න බැහැනෙ. අපි කරන්න ඕනේ අපේ වයසට ගැළපෙන චරිත. තවම මම පෙම්වතියගේ චරිත කරන්න ඕනේ කියලා හිතන්න තරම් මම බොළඳ නැහැ. දැන් ඒ චරිත කරන්න තරුණ දක්ෂ අය ඉන්නවා. අපි ආව කාලේ වගේ නෙවෙයි දැන් ක්ෂේත්රයට එන්න ලේසියි. මට ගැළපෙන මොනවා හරි දෙයක් කරන්න පුළුවන් චරිතයක් නම් මම භාර ගන්නවා. ඒ එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ මූල්‍යම වටිනාකමක් ඇති නිර්මාණ පමණයි කරන්නේ. දැන් ගොඩක් නිර්මාණ කරන්නේ කතා කරන්නේ රටේ තියෙන ප්‍රශ්න ගැන කියලා ලෝ බජට්වලට. ඒ කවුරුත් හිතන්නේ නැහැ කලාකරුවන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා. අපේ ශ්රමයට වටිනාකමක් ලැබෙනවා ද කියන එක අද කාලේ බලන්න වෙනවා.
නදීෂා කියන්නේ කොහොම කෙනෙක් ද?
මම ක්ෂේත්රයට ආව කාලේ කළේම නපුරු චරිත. මෑතක තමා අහිංසක චරිත ලැබුණේ. ඒ නිසා ගොඩක් අය හිතනවා මම නපුරු ආඩම්බර කෙනෙක් කියලා. ඇත්ත ජීවිතේ මම පොඩ්ඩක්වත් ආඩම්බරත් නැහැ නපුරුත් නැහැ. මම සාමාන්‍ය විදිහට ඉන්න කැමති සාම්ප්‍රදායික කාන්තාවක්. මම කැමති මගේ පවුලේ අයත් එක්ක, මගේ දරුවන් එක්ක සතුටින් ඉන්න. ලොකු හීන බලාපොරොත්තුත් මගේ ළඟ නැහැ. මම ජීවිතේ සරලව දැකලා ජීවත් වෙන්න කැමති කෙනෙක්.
අනුෂා රණසිංහ