ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම සිනමාව ද දැවැන්ත රසික ආකර්ෂණයක් දිනාගෙන ඇති ක්ෂේත්‍ර දෙකක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසාමදෝ මෙම ක්ෂේත්‍ර දෙක අතර විවිධාකාරයේ සම්බන්ධතා ගොඩ නැෙඟන ආකාරයත් දකින්න පිළිවන්. අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රිකට් කණ්ඩායම් රැසකට අනුග්‍රහය දකවන්නේ ජනප්‍රිය නළු නිළියන් වීම මෙයට එක් උදාහරණයක්. ඒ වගේම මෙම ක්ෂේත්‍ර දෙක අතර විවාහ ගනුදෙනු ද සිදු වී ඇති බවත් ප්‍රසිද්ධ කාරණයක්. ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජනප්‍රිය නිළියන් සමඟ විවාහ වී සිටිනවා. මේ එවැනි විවාහයන් කිහිපයක් ගැන කෙටි සටහනක්.
මේ අන්දමේ විවාහයක් ගැන මුලින්ම වාර්තා වන්නේ නවසිය හැට ගණන්වලයි. ඒ එකල බොලිවුඩයේ ජනප්‍රියම නිළියක වූ ෂර්මිලා තාගෝර් සහ මන්සූර් අලි ඛාන් පතාවුදි අතර විවාහය යි. මෙකල ජනප්‍රිය සහ දක්ෂ නළුවකු වන සයිෆ් අලි ඛාන්ගේ මවුපියන් ඔවුන් දෙදෙනා යි. ෂර්මිලා සහ පතාවුදි දෙදෙනා මුලින්ම මුණගැසී තිබුණේ එක්තරා ප්‍රියසාදයක් අතරතුර. 1965 වසරේ මුණගැසුණු මේ දෙදෙනා වසර හතරක ඇසුරකින් පසු 1969 වසරේ යුග දිවියට එළැඹුණා.
කෙසේ නමුත් මෙම විවාහයට යම් යම් විරෝධතා එල්ල වුණු බවත් පැවසෙනවා. ඒ ඔවුන් දෙදෙනා ආගම් දෙකකට අයත් වූවන් නිසායි. කෙසේ හෝ වේවා, ඔවුන්ගේ ආදරය බිඳ දමන්නට එම විරෝධතාවලට හැකිව තිබුණේ නැහැ.
මොහොමඩ් අසරුදීන් ද නිළියක සමඟ විවාහ වූ තවත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. හිටපු ක්‍රිකට් නායකයකු ද වන ඔහු විවාහ වී සිටියේ ජනප්‍රිය නිළියක වූ සංගීතා බිජ්ලානි සමඟ යි.
සංගීතා මුලින්ම ප්‍රසිද්ධියට පත් වුණේ 1980 වසරේ ඉන්දීය රූ රැජින ලෙස කිරුළු පැලඳීමෙන් පසුව යි. අසාරුදීන් සහ ඇය මුල් වරට මුණගැසී තිබුණේ 1985 වසරේ වෙළෙඳ දැන්වීමක් රූපගත කරමින් සිටිය දී බව පැවසෙනවා. 1996 වසරේ ඔවුන් අතර විවාහය සිදු වුණා. නමුත් ඔවුන්ගේ යුග දිවිය වැඩි කලක් පැවතුණේ නැහැ. 2010 වසරේ අසරුදීන් සහ සංගීතා එකිනෙකාගෙන් දික්කසාද වුණා. අසාරුදීන් සහ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක අතර ඇති වූ සම්බන්ධයක් මෙම දික්කසාද ට පාර කැපූ බවටත් කතාවක් තිබෙනවා. සංගීතා සමඟ විවාහ වීමට කලිනුත් අසරුදීන් වෙනත් කාන්තාවක සමඟ විවාහ වී සිටියා. සංගීතා ද අසරුදීන් සමඟ යුග දිවියට එළැඹීමට පෙර සල්මාන් ඛාන් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටි බව පැවසෙනවා. දික්කසාදයෙන් පසු අසරුදීන්වත්, සංගීතාවත් නැවත විවාහ වූ බවක් දැනගන්නට නැහැ.
සුපිරි පන්දු යවන්නකු වූ හර්බජන් සිං විවාහ වී සිටින්නේත් නිළියක සමඟ යි. ඇයගේ නම ගීතා බස්රා. හර්බජන්ගේ සිතේ ඇය ගැන අදහසක් ඇති වී තිබුණේ ඇය රඟ පෑ චිත්‍රපටයක ගීතයක් අඩංගු විඩියෝවක් නැරඹීමෙන් පසුව බව සඳහන්.
හර්බජන්, ගීතා සමඟ හාද වන්නට උත්සාහ කළත් ඇය මුලින් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ. ඇය ඔහුට වචනයක් දී තිබුණේ මාස 10ක පමණ කාලයක් හර්බජන් ඇයගේ කැමැත්ත දිනාගන්නට උත්සාහ කිරීමෙන් පසුව යි. 2015 වසරේ විවාහ වූ ඔවුන් අද සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටිනවා. හර්බජන් ද මෙයට ටික කලකට පෙර ???????? නමැති සිනමාපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. මේ දෙදෙනා දැන් පුතකුගේ සහ දියණියකගේ මවුපියන්.
ඉන්දියාවේ තවත් දක්ෂතම ක්‍රිකට් තරුවක් වූ යුවරාජ් සිංගේ බිරිඳත් නිළියක්. හේසල් කීච් නමැති ඇය සහ යුවරාජ් අතර විවාහය සිදු වූයේ 2016 වසරේ යි. හර්බජන්ට මෙන්ම යුවරාජ්ට ද තම සිත දිනූ තරුණිය යාළු කරගැනීම පහසු වී තිබුණේ නැහැ. තමාට ඒ සඳහා වසර හතරක පමණ කාලයක් ගත වූ බව යුවරාජ්ම වරක් පවසා තිබුණා. මේ කාලය තුළ යුවරාජ් පිළිකා රෝගයට ගොදුරු වී සුවය ලැබීමත් විශේෂත්වයක්. මෙම යුවළටත් මේ වන විට පුතකු සහ දියණියක සිටිනවා.
නිළියක සමඟ විවාහ වී සිටින තවත් දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයකු තමයි විරාත් කෝලි. ඔහු ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මා සමඟ විවාහ වූයේ 2017 වසරේ යි. ඔවුන් දෙදෙනා ද මුල් වරට හමු වී තිබුණේ වෙළෙඳ දැන්වීමක් රූපගත කරද්දී යි. ඒ 2014 වසරේ යි. ඔවුන් දෙදෙනාට දැන් අවුරුදු දෙකක් වයසැති දියණියක සිටිනවා.