මම මීට වසර 34කට පෙර එනම් 1989 දී මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරයකු ලෙස තේරි පත්වී කැබිනට් අමාත්‍ය ධුර රාශියක් දැරූ හා දරන වගකිවයුතු පුරවැසියකු ලෙස රට හා රටවැසියා මුහුණ පා ඇති දැවැන්ත මූල්‍ය අර්බුදය පිළිබඳ විෂයානුබද්ධ ප්‍රාමාණිකයකු වශයෙන් ජනතාව දැනුම්වත් කිරීම මගේ යුතුකමක් හා වගකීමක් ලෙස සලකමි. ඒ අනුව ඉතා විශාල මූල්‍ය දුෂ්කරතා මැද මධ්‍යම රජයේ හා සබරගමුව පළාත් ආණ්ඩුවේ මූල්‍ය දායකත්වයෙන් කොටස් වශයෙන් මාස 15ක් තුළ නිම කිරීම සඳහා ගරා වැටෙමින් පවතින යටියන්තොට ගරාගොඩ පාලමට මුල්ගල් තැබීමේ උත්සවයක් පැවතිණි. එම උත්සව සභාවේදී රටේ කවුරු ජනාධිපති වුවත්, කවුරු මුදල් ඇමැති වුවත් කවර ආණ්ඩුවක් පත්කර ගත්තත් අත්‍යවශ්‍යයෙන්ම මුහුණ දිය යුතු වූ පළමු අභියෝගය පිළිබඳ පහත සඳහන් කරුණු පැහැදිලි කළෙමු.
2022 වර්ෂයේදී ආදායම් මට්ටම්වල වෙනසක් නොමැතිව සියලූම ජනතාව මත පනවා ඇති භාණ්ඩ හා සේවා මත බදු (වක්‍ර බදු) සහ කෙළින්ම පුද්ගලයන්ගෙන් අය කරන සෘජු බදු මඟින් භාණ්ඩාගාරය රැස්කර ගත් මුළු ආදායම රුපියල් බිලියන 1751 කි. මේ රුපියල් බිලියන 1751 රජය රැස් කළේ විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්යවරු, වෛද්‍යවරු ඉංජිනේරුවරුන් වැනි උගතුන්ගේ පවා දැඩි දෝෂ දර්ශනයකට ලක් වෙමිනුයි. මීටත් වඩා තව දුරටත් මහජනතාව මත බදු බර පැටවීම බෙහෙවින් අසීරු කාර්යයක් නිසා බදු ආදායම ඉහළ නැංවීමේ විශාල අභියෝගයකට බලයට පත්වන ඕනෑම රජයකට මුහුණ දීමට සිදු වේ. රුපියල් බිලියන 2751ක මුළු ආදායමෙන් රුපියල් බිලියන 1265ක් වෙන් වී ඇත්තේ රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් සඳහාය. එනම් සමස්ත මුළු බදු ආදායමෙන් 72%ක් රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් සඳහා කැප කොට ඇත. මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට ලෝකයේ කිසිදු රටක රජයක් මුළු බදු ආදායමෙන් හතරෙන් තුනක් පමණ රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් සඳහා වැය කරන්නේ නැත. එවන් තත්ත්වයක් තුළ බලයට පත්වන කිසිදු රජයකට වැටුප් හා විශ්‍රාම වැටුප් බිල සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග තිබෙනවාදැයි මම ප්‍රශ්න කළෙමි.
වනුව මුළු බදු ආදායම රුපියල් බිලියන 1751න් රුපියල් බිලියන 506ක් සමෘද්ධි කුටුම්භ පැවැරුම් ආදී සහනාධාර සඳහා කැප කොට තිබුණි. ඒ අනුව බදු ආදායමෙන් 28%ක්ම කැප වන්නේ සහනාධාර සඳහාය.
මේ අනුව රජය මුළු බදු ආදායම එම වර්ෂයේ ප්‍රධාන වියදම් දෙකක්වත් පියවා ගැනීමට තරම් නොවන බව සංඛ්‍යා දත්ත සහිතව මම ඔප්පු කළෙමි. 2022 වසරේ රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1751යි. රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 1265යි. සමෘද්ධි සහනාධාර සඳහා රුපියල් බිලියන 506කි. මේ වියදම් දෙකේ එකතුව රුපියල් බිලියන 1771කි. මේ නිසා මෙකී ප්‍රධාන වියදම් දෙක දැරීමටවත් රජයේ බදු ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වය ආර්ථික විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කවරදා කුමන ආණ්ඩු බලයේ සිටිය ද මැත ඉතිහාසයේ බොහෝ වර්ෂවල රාජ්‍ය අය වැයෙහි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් නිර්මාණය කරගත නොහැකි වීමයි.
මේ වියදම් වර්ග දෙකක් පමණි. ආණ්ඩුව එදිනෙදා පවත්වා ගෙන යෑමේදී දරනු ලබන වියදමේ ප්‍රතිඵලය වියදම දරන කාල පරිච්ඡේදයට පමණක් සීමා වන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් පුනරාවර්තන වියදම් නැතහොත් වර්තන වියදම් ලෙස හැඳින්වේ. අධ්‍යයතන ශ්‍රී ලංකාවේ මේ වර්තන වියදම තුළ තිබෙන ප්‍රධාන වියදම වන්නේ රාජ්‍ය ණය සඳහා ගෙවන පොලියයි. 2022 වර්ෂයේදී රාජ්‍ය ණය සඳහා දේශීය හා විදේශීය ණය හිමියන්ට ගෙවා ඇති ණය පොළිය රුපියල් බිලියන 1565කි. රුපියල් බිලියන 1751 ආදායමෙන් වැටුප්, විශ්‍රාම වැටුප් හා සහනාධාර ගෙවීමෙන් පසු පිච්චියක්වත් මහ භාණ්ඩාගාරයේ ඉතුරු නොවුණ විට ණය පොලිය රුපියල් බිලියන 1565ක් ගෙව්වේ කෙසේදැයි විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂය කවරදාකවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා මම දැක නැත. 2022 වර්ෂයේදී මංමාවත්, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ඇනිකට්, වේලී වැනි යටිතල පහසුකම් සංවර්ධනය හා ප්‍රාග්ධන භාණ්ඩ අත්පත් කර ගැනීම වෙනුවෙන් 2022 දරා ඇති වියදම රුපියල් බිලියන 715කි. එවිට මුළු බදු ආදායමින් වැටුප්, විශ්‍රාම වැටුප් හා සනනාධාර ගෙවීමෙන් පසු මෙකී රුපියල් බිලියන 715 ප්‍රාග්ධන වියදම ගෙවූයේ කෙසේද?
කොටින්ම සංඛ්‍යා දත්ත නිවැරදි ලෙසම සටහන් කළහොත් රජයේ බදු හා බදු නොවන මුළු ආදායම රුපියල් බිලියන 1979කි. ( වර්ෂයකට රුපියල් බිලියන 2000ක වත් ආදායමක් ලබා ගැනීමට ලංකා ආණ්ඩුවට පුළුවන්කමක් තිබී නැත) පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදමේ එකතුව රුපියල් බිලියන 4472යි. ආදායම හා වියදම අතර හිඟය රුපියල් බිලියන 2493යි. ලංකා ආණ්ඩුව විවිධ අදාළ අපහාස උපහාස මැද රුපියල් බිලියන 2000කට අඩු අදායමක් උපයා ගෙන රුපියල් බිලියන 4472ක වියදමක් දරන කල ඉතිරි රුපියල් බිලියන 2493 හිඟය පියවා ගෙන ඇත්තේ කෙසේද? සරල පිළිතුර ණය ගැනීම හා මුදල් අච්චු ගැසීමෙනි.
ඉදිරියට එන ආණ්ඩුවලට තව දුරටත් අය වැය හිඟය පියවීමට විදේශ ණය ගැනීමේ විශාල අභියෝගයක් පවති. මක්නිසාද යත් 2022 දෙසැම්බර් 31කට ගෙවීමට නියමිතව තිබෙන හිර වූ විදේශ ණය තොගය අමෙරිකානු ඩොලර් බිලියන 36කි. ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර 5 – 6 තුළ එන ආණ්ඩු විසින් ගෙවීමට නියමිතව ඇත්තේ මේ ණය තොගයෙන් 37%කි. ගෙවීමට ඇති විදේශ ණයවලින් 51%ක් කල් පිරෙන්නේ ඉදිරි වසර 6 -20 අතර කාලය තුළදීය. ගෙවිය යුතු හිර වූ විදේශ ණය තොගයෙන් 12%ක් ගෙවීමට සිදු වන්නේ අවුරුදු 20නුත් පසුවය. ඒ අනුව ලංකාවට නිදහස ලැබී අවුරුදු 100 සපිරෙන තෙක් එනම් 2048 වනතෙක් මේ රටේ බලයට පත්වන කවර රජයකට වුවද මේ විදේශ ණය ගෙවන ආකාරයට රටේ ආර්ථික සැලසුම් සකසා ගත යුතුය. මක්නිසාද යත් මේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය කරනතෙක් ස.ජ.බ හෝ පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනයම් කවුරු හෝ ආණ්ඩු කිරීමට සිතනවා නම් මේ ප්‍රශ්නවලට සංඛ්‍යා දත්ත සහිතව පිළිතුරු සොයා නොගතහොත් මාසයක්වත් ආණ්ඩු කළ නොහැකියි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළට ගොස් ගිනි පොලියට ලංකාවට ණයක් ගැනීමට අවසර ලැබෙන්නේ 2027 වසරේදීය. 2027 වන විට මූල්‍ය අරමුදලේ වැඩ සටහන අනුව අකුරටම ඒ වැඩපිළිවෙළේ සඳහන් කොන්දේසි ඉටු කළහොත් රටේ විදේශිය සංචිත ප්‍රමාණය 2027 දී අමෙරිකානු ඩොලර් බිලියන 14 දක්වා ඉහළ නඟින අතර එවිට ඇතිවන සාර්ව ආර්ථික ගැළපීම් තුළ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 1500 ක සංවර්ධන බැඳුම්කරයක් නිකුත් කිරීමට හැකියාව පවතියි.
නමුත් 2015 යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව ලබාගත් 2029 දක්වා කල් පිරෙන ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවයි. මේ වන විට ශ්‍රී ලංකාව සතු මුළු දළ විදේශ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8කි. කුඩා නගර රාජ්‍යයක් වන සිංගප්පූරුවේ දළ විදේශ වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 763කි. මේ අන්තර් ජාතික හා ජාතික වශයෙන් තිබෙන දැවැන්ත මූල්‍ය හා විනිමය අර්බූදය පිළිබඳ දින ගණන්, වරු ගණන්, මාස ගණන් ලංකා පාර්ලිමේන්තුව විවාද කළ යුතුයි. මක්නිසාද යත් මෙම ලිපියේ දක්වා ඇති පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්පූර්ණ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටයි.
ලොව පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ වඩාත්ම කතාබහ ඇති වන්නේ රජයේ ආදායම, රජයේ වියදම, රාජ්‍ය අය වැය, ප්‍රාථමික හා ජංගම ගිණුමේ හිඟය, දේශීය ණය, විදේශීය ණය, සෘජු විදේශ ආයෝජන, රාජ්‍ය අයබදු, බදු නොවන ආදායම්, මුළු වියදම් ආදී මේ ප්‍රබුද්ධ සංවාද මඟිනි. අවාසනාවකට ලංකාවේ පාර්ලිමේන්තුව තුළ එවැනි දේ කතා කළහොත් අධ්‍යතන ශ්‍රී ලංකාවේ එවැනි කතා සලකන්නේ මඤ්ඤං කතා ලෙසය. පාර්ලිමේන්තුව තුළ කුණුහරුපයෙන් බැන්නොත් විහිළු කළොත්, විහිළු තහළු සපයන විවාදයක් පැවැතියහොත් ඒ සඳහා මාධ්‍යවල විශාල ඉඩක් ලබා දෙයි. ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් මම කළ යුත්තේ විහිළු තහළු සැපයීම ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ මඤ්ඤං කතා පැවැත්වීම ද යන්න මේ රටේ සුවහසක් ප්‍රබුද්ධ ජනතාව විසින් මට කියා දිය යුතුව ඇත. මේ රට බංකොලොත් වීම සොයන්න තේරීම් කරක සභා කිසිවක් අවශ්‍ය නැත. ඒ සඳහා වගකිව යුත්තේ හිටපු ජනාධිපතිවරු අගමැතිවරු නොවේ. ඒ සඳහා වගකිව යුත්තේ මෙරට පාර්ලිමේන්තුවයි. මක්නිසාද රට බංකොලොත් වීමට බලපෑ ප්‍රධාන හේතු දෙකකි.
1) දිගු කලක් පවත්වා ගෙන යා නොහැකි අන්දමේ දැවැන්ත රාජ්‍ය අය වැය හිඟය
2) අන්තර් ජාතික ගෙවුම් තුලාවේ ජංගම ගිණුමේ දිගු කාලීන හිඟය
මේ හේතු දෙකට කිසිදු දේශපාලන පක්ෂයකට දේශපාලන විසඳුම් නැත. ඇත්තේ ආර්ථික විසඳුමක් පමණි. එය ඇතිකර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අන්තර් ජාතික වෙනත් සංවිධාන, ආයතන හා රටවල් සමඟ ඉතාම නම්‍යශීලි සුහද සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩමුළු තුළින් මේ රට වැටී ඇති දරුණු ආගාධයෙන් බේරා ගැනීම සඳහා දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව වගකීමකින් කටයුතු කළ යුතු බව මගේ අදහසයි.
මේ රට බංකොලොත් වීම් කිසිසේත් සිදු නොවීමට අවශ්‍ය නීතිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැති ලෙස ආණ්ඩු කරන කල්හි මම මුදල් අමාත්‍යාංශයේ වගකීමක් දරන අවස්ථාවේදී 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ පනත නීතියක් ලෙසින් පාර්ලිමේන්තුවේ සම්මත කළේය. එහිදී මඤ්ඤං කතා රාශියක් කරමින් එකි පනත මඟින් ප්‍රධාන විධි විධාන 3ක් සලස්වනු ලැබීය.
1) 2006 සිට ලංකා ආණ්ඩුවේ අය වැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 5% දක්වා අඩුවිය යුතු අතර ඉන්පසු කවර ආණ්ඩුවක් පැවැතියත් අය වැය හිඟය 15% නොඉක්මවිය යුතු බව
2) 2016 දි නොපියවූ මුළු විදේශ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 60% දක්වා අඩුවිය යුතු අතර ඉන්පසුව එන රජයන් ඒ තත්ත්වය දිගටම පවත්වා ගෙන යා යුතු බව.
3) ලංකා ආණ්ඩුව රාජ්‍ය ණය සඳහා ඇපවිය යුත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් බව
මේ කරුණු ටික ඊට පසුව ආ රජයන් එලෙසින්ම ඉෂ්ට කළා නම් රට බංකොලොත් වන්නේ නැත. අවාසනාවකට ජනතාව විසින් අපි සිතපු ඒ රජය හා චරිත රත්වත්තගේ චක්‍රලේඛනය සේවක බඳවා ගැනීම් යනාදියට ඉඩ නොදෙන නිසා අප පලවා හැර පත්කරගත් රජයන්හි මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය දැරූ ආචාර්ය පී. බී. ජයසුන්දරගේ සියලු කතාවන් දේව භාෂිතය ලෙස සැලකූ නායකකාරකාදීන් ඔහුගේ අවශ්‍යතාව මත පාර්ලිමේන්තුව ලවා මේ නීතිය විටින් විට වෙනස් කරවා ගෙන රට බංකොලොත් වන තැනට රාජ්‍ය මුල්‍ය කළමනාකරණය හා අන්තර්ජාතික ගෙවුම් තුලාව හැසිර වීය.
මේ රටට ඇතිවිය හැකි භයානක තත්ත්වය පිළිබඳ වසර 34කට පෙර එනම් 1989 මාර්තු 20 දින පාර්ලිමේන්තුවේ හා පුරා කියා ප්‍රථමයෙන් කරන ලද මංගල කතාවේදී මා මේ පිළිබඳව පැවැත්වූ මඤ්ඤං කතාවෙන් කොටසක් පහත දක්වමි.
“ගරු කථානයකතුමනි. 1977 දී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දශ ලක්ෂ 13,321යි. අද විදේශ ණය ප්‍රමාණය මිලියන 1,61,914යි. මේ කාල පරිච්ඡේදය තුළදී විදේශ ණයවල වැඩිවීම පමණක් ඒ කියන්නේ අපි පිටරටවලට පමණක් සියයට 1.115කින් ණය වැඩි කර ගෙන තිබෙනවා. මේ රටේ ඉතාම කුඩාම දිළින්දාගේ පටන් අන්තිම මහල්ලා වෙනකල් සෑම මිනිසෙක්ටම රුපියල් 10,100කට පිටරටට ණයකාරයෝ කරල තිබෙනවා. ඒ නිසා මේ ණය බර තුළින් අද ඇති වෙලා තිබෙන ප්‍රතිඵලය තමයි අවුරුද්දකදී අපි භාණ්ඩ හා සේවා පිටරට යවල උපදවනු ලබන විදේශ විනිමය ආදායමෙන් සියයට 28.8ක් ගත්ත ණයවලට පොලී සහ ණය වාරික ගෙවන්න සිදු වී තිබීම. රටක් තමන්ගේ භාණ්ඩ පිටරට යවල උපදවනු ලබන ආදායමෙන් සියයට 30ක් වෙනත් රටකට පොලී ගෙවන්න වෙන රටකට ණය වාරික ගෙවන්න වියදම් කරන විට ඒ රටේ ජාතික අවශ්‍යතාවන් ඉෂ්ට කරන්න ඒ ආදායමෙන් ඉතුරු වෙන්නේ සියයට 70ක් පමණයි. තව ණය ගන්න ගන්න රුපියලේ අගය අඩු වෙන්න අඩු වෙන්න මෙම ණය බර ආර්ථිකයට ඔරොත්තු නොදෙන මට්ටමට එනවා. තමුන්නාන්සේලාගේ ආර්ථිකය ඔරොත්තු නොදෙන මට්ටමට එනවා. තමුන්නාන්සේලාගේ ආර්ථිකය ප්‍රතිවිපාක යටතේ දැනටත් ණය බර ඔරොත්තු නොදෙන මට්ටමට ඇවිත් තිබෙනවා.
තමුන්නාන්සේලාගේ රජය යටතේ අනුගමනය කර තිබෙන ප්‍රතිපත්ති යටතේ මේ රටේ විරැකියාව – රැකියා අර්බුදය උත්සන්න තත්ත්වයකට පත් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්යවරයාගේ ඉදිරිපත් කිරීම අනුව මේ රටේ තරුණ තරුණියන් මිලියන දස ලක්ෂයකට රක්ෂාවල් නැහැ. වැඩ කළ හැකි වයසේ පසුවන ශ්‍රමය සපයන්න කැමති සියයට 20කට අධික ප්‍රමාණයකට අද රැකියා නැහැ. තරුණයන් සියයක් අරගෙන තමන් මොකක්ද කරන්නෙ කියල ඇහුවොත් ‘කරන්න දෙයක් නැහැ’ රක්ෂාවක් සොයමින් පසු වෙනවා.” කියන එකයි ඒ හැම තරුණ තරුණියක්ම කියන්නෙ. එහි දරුණුතම තත්ත්වය අපි තමුන්නාන්සේලා අවධාරණය කර ගන්න ඕනෑ. විශාල තරුණ සේවා වියුක්තියක් තිබෙන්නේ රැකියා නැති අවුරුදු 25ට අඩු වයසේ සිටින අයගේ ප්‍රමාණය සියයට 40ක් පමණ වෙනවා. එහි තරුණ සේවා වියුක්තියක් තිබෙන්නෙ. අනිත් අතට උගත් සේවා වියුක්තියකුයි තිබෙන්නේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වුණ රැකියා නැති අයගේ ප්‍රමාණය සියයට 35 ක් පමණ වෙනවා. උගතුන්ට රැකියා නැති වෙන විට තරුණයන්ට රැකියා නැති වෙන විට තමන් උපන් තමන් ජනිත කළ තමන් නිර්මාණය කළ සමාජ ක්‍රමයට සාප කරනවා විනා ඔවුන්ට වෙන පිළිසරණක්, වෙන පිටුබලයක් නැහැ. “
(1989 මාර්තු 20 දින පාර්ලිමේන්තු හැන්සාඩ් තීරු අංක 20, පිටු අංක 733 හා 734)
රජයේ ආදායම, වියදම, අය වැය හිඟය ආදි කරුණු පිළිබඳ ඡන්දදායකයන්ට ලැජ්ජා හිතෙන මංඤ්ඤං කතා පවත්වනවා යැයි සඳහන් කරන වියත් මහත්වරුන්ට මගේ සැනසීම පිණිස බුදු වදනේ ධම්ම පදයේ පහත ගාථාවෙන් මේ ලිපිය අවසන් කරමි
අප්පස්සුතායං පුරිසො – බලිවද්දොව ජිරති
මංසානි තස්ස වඩ්ඪන්ති – පඤ්ඤා තස්ස න වඩ්ඪති
අල්පශ්‍රැත ( ශාස්ත්‍රයක් පුහුණු නොකළ, මඳ කරුණක් දත්) පුද්ගලයා වැඩෙන්නේ නිකම් ගොනකු මෙනි. ඔහුගේ මස් නම්
ලියලයි. එහෙත් නුවණ නො වැඩේ.
———————————————————————————————————————————
රාජ්‍ය මුදල් පරිහරණයේ පාර්ලිමේන්තුව සතු බලය පිළිබඳව ඊට අදාළ රෙගුලාසි ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති අයුරු
රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතු බව
148. රාජ්‍ය මූල්‍යය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නීතියක හෝ පවත්නා යම් නීතියක හෝ අධිකාරය අනුව හෝ ඒ යටතේ හෝ මිස කිසිම පළාත් පාලන ආයතනයක් විසින් හෝ වෙනත් පොදු අධිකාරයක් විසින් හෝ කිසිම බද්දක්, වරිපනමක් හෝ වෙනත් යම්කිසි බදු විශේෂයක් නියම කිරීමට බලයක් නොමැත්තේය.
ඒකාබද්ධ අරමුදල
149. (1) නියමිත කාර්ය සඳහා නීතියෙන් වෙන් කරනු නොලැබුවාවූ ද ජනරජය සතු වූ ද සියලුම අරමුදල් එක්ව ඒකාබද්ධ අරමුදල නමැති අරමුදලක් වන්නේය. සියලුම අයබදු, තීරු බදු, වරිපනම් හා ගාස්තු යන මාර්ගවලින් ලැබෙන ආදායම් ද නියමිත කාර්යය සඳහා වෙන් කරනු නොලැබූ ජනරජය සතු සෙසු සියලුම ආදායම් සහ ලැබීම් ද ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුත්තේය.
(2) රාජ්‍ය ණය අරමුදලේ පොලිය ද නිදන් අරමුදලට ගෙවන මුදල් ද ඒකාබද්ධ අරමුදලට එකතු කිරීම, පාලනය කිරිම සහ භාරගැනීම යනාදී කටයුතු හා සම්බන්ධ පිරිවැය, ගාස්තු සහ වියදම් ද පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන්නා වූ වෙනත් වියදමක් වේ නම් ඒ වියදම ද ඒකාබද්ධ අරමුදලට වැය බරක් කළ යුත්තේය.
ඒකාබද්ධ අරමුදලෙන්ඉවත් කර ගැනීම
150. (1) මේ ව්‍යවස්ථාවේ (3) වන අනුව්‍යවස්ථාවේ සහ (4) වන අනුව්‍යවස්ථාවේ ප්‍රකාශිතව ම විධිවිධාන සලසා ඇති පරිදි හැර මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක අධිකාරය අනුව මිස ඒකාබද්ධ අරමුදලෙන් කිසිම මුදලක් ඉවත් කරගත නොහැක්කේය.
(2) යම්කිසි මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් ඉවත් කර ගැනීමේදී ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් ඉවත් කර ගන්නා වූ මුදල් වර්ෂය තුළදීම රජයේ නියමිත සේවාවක් සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනා සම්මතයකින් ම හෝ වෙනත් යම්කිසි නීතියකින් හෝ ඒ මුදල වෙන් කොට දී ඇත්නම් මිස, එසේ නැත්නම් වෙනත් ආකාරයකින් ඒ මුදල නීත්‍යනුකූල පරිදි ඒකාබද්ධ අරමුදලට වැය බරක් කරනු ලැබුවහොත් මිස ඉහත කී බලපත්‍රය නිකුත් නොකළ යුත්තේය.
අවිනිශ්චිත අවස්ථා අරමුදල
151. (1) 149 වන ව්‍යවස්ථාවේ කවර විධිවිධානයක් ඇතත්, අනපේක්ෂිත හදිසි වියදම් සඳහා මුදල් සැපයීම පිණිස අවිනිශ්චිත අවස්ථා අරමුදලක් නීතියෙන් පිහිටුවීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය.
(2) (අ) අනපේක්ෂිත හදිසි වියදමක් දැරීම අවශ්‍ය බව ද,
(ආ) එවැනි යම්කිසි වියදමක් සඳහා ප්‍රතිපාදන සලසා නොමැති බව ද,
මුදල් විෂයය භාර අමාත්‍යවරයාට අවබෝධ වුවහොත් ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇතිව අවිනිශ්චිත අවස්ථා අරමුදලෙන් අත්තිකාරම් මුදලක් ගෙවීමෙන් ඒ වියදමට අවශ්‍ය මුදල සැපයීමට නියෝග කිරීමේ බලය මුදල් විෂයය භාර අමාත්‍යවරයාට ඇත්තේ ය.
(3) අත්තිකාරම් වශයෙන් එවැනි මුදලක් දුන් සෑම අවස්ථාවකම ඒ මුදල ආපසු ගෙවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අප්‍රමාදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේය.
රජයේ ආදායමට බලපාන පනත් කෙටුම්පත් පිළිබඳ විශේෂ විධිවිධාන
152. ජනරජයේ ඒකාබද්ධ අරමුදලෙන් නැතහොත් ජනරජයේ වෙනත් අරමුදලකින් යම්කිසි මුදලක් ගෙවීමට හෝ එකී අරමුදල්වලට වැය බරක් පැවරීමට හෝ යම්කිසි බද්දක් පැනවීමට හෝ තත් කාලයේ බලපවත්නා යම්කිසි බද්දක් ඉවත් කිරීමට, වැඩි කිරීමට නැතහොත් අඩු කිරීමට හෝ බලය පවරන්නා වූ කිසිම පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක්, අමාත්‍යවරයකු විසින් විනා අන් කිසිවකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය. තවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇතොත් මිස හෝ අමාත්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලබන යම්කිසි ආකාරයකට අනුමත කොට ඇතොත් මිස, එවැනි පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හෝ අමාත්‍යවරයකු විසින් වුව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක්කේය.
සිරිල් ලියනාරච්චි