ඇයගේ ජීවිත දැක්ම අනුන් මත නොයැපී තමා ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එය ඔබ ජයග්‍රහණය කරා ගෙන යනු ඇත යන්නයි
හිරු නොබසින අධිරාජ්‍යයේදී ඉකුත් 15 වැනිදා ශ්‍රී ලාංකිකයකු දෙවරක්ම සම්මානයට පාත්‍ර විය. ඒ සම්මානිතයා අන් කිසිවකු නොව ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීම් නිලධාරිනී සහ එම රෝහලේම රෝගීන් වර්ගීකරණ ඒකකයේ කණ්ඩායම් නායිකාව ලෙස කටයුතු කරන හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා ය. එහිදී ඇය ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්ම හිමිකර ගත් අතර, ඉන් පළමු සම්මානය ගෝලීය ආර්ථික සංසද සමුළුවේ G20 සංවිධානය මඟින් සංවිධාන කළ Global ICON සම්මානයයි.
ඉකුත් 15 වැනිදා ලන්ඩන් වාණිජ මණ්ඩලයේදී පැවති එම සම්මාන උත්සවය සඳහා ලොව ප්රමුඛ රටවල විවිධ ව්‍යාපාරික ප්‍රබලයන් රැසක් සහභාගි වූ අතර, සම්මානයට අමතරව එම ගෝලීය සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති ධුරය ද එහිදී පුෂ්පා රම්‍යානි මෙණෙවියට පිරිනැමීම විශේෂත්වයකි.
එදින සන්ධ්‍යාවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ද උත්සව සිරියක් ගෙන තිබුණේ ජාත්‍යන්තර මට්ටමේ තවත් සම්මාන ප්‍රදානයක් වෙනුවෙනි. ලෝක මානුෂීය පදනම විසින් සංවිධාන කර තිබූ එම සම්මාන උලෙළ සඳහා රටවල් 10 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පැමිණි දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන්, උගතුන්, විවිධ ක්ෂේත්රවල ප්‍රබලයෝ රැසක් සහභාගි වූහ. එහිදී ශ්‍රී ලාංකේය හෙදි නිලධාරිනී, පුෂ්පා රම්‍යානි සොයිසා සම්මානිත වූයේ ‘වඩාත්ම බලවත් සහ බලගතු කාන්තා සම්මානය’ දිනාගනිමිනි. හෙද නිලධාරිනියක් මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලාංකිකයකු එම සම්මානය දිනා ගැනීම රටම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.
මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳ පුෂ්පා රම්‍යානි සොයිසා මෙණෙවිය එංගලන්තයේ සිට අදහස් දක්වමින් පැවසුවේ ජාත්‍යන්තර සම්මාන දෙකක් මවුබිමට ගෙන ඒමට තමාට භාග්‍යය ලැබීම ගැන ඉතා නිහතමානීව සතුටු වන බවයි.
“එක් ජාත්‍යන්තර සම්මානයක් ගන්න එංගලන්තයට ගිය මට ජාත්‍යන්තර සම්මාන දෙකක්ම ලැබෙනකොට ඒ සතුට මොන වගේද කියලා හිතාගන්නත් බැරි තරම්…විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී මට ලැබුණු ඇගයීම සහ පිළිගැනීම මට මහමෙරක් තරම් වටිනවා. එය මම පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් නොවෙයි රටම ලැබූ ජයග්‍රහණයක්. විශේෂයෙන් හෙද නිලධාරිනියක් මේ සම්මානය ලබාගත් පළමු අවස්ථාව වීම නිසාත් මෙය මට ඉතා සුවිශේෂියි” ඇය ජයග්‍රහණයේ සතුට වදන්වලට පෙරළුවේ එලෙසිනි.
“අපි කවුරුත් රස්සාවක් කරනවා නම් එය හදවතින්ම ඉටු කළ යුතුය. තම ආයතනයේ ගරුත්වය රැකිය යුතුය. එහි දියුණුවට වැඩ කළ යුතුය. එය අප ඉටු කළ යුතු වගකීමක්. ඒවාට ඇගැයීම් අනවශ්‍ය වන්නේ එය අපේ රාජකාරිය වන නිසයි. නමුත් යම් අයෙක් එම රාජකාරී වගකීම ඉක්මවා ගොස් තම කාලය, ධනය සහ ශ්‍රමය කැප කරමින් ලාබ ප්‍රයෝජනයකින් තොරව සමාජයත් රටත් වෙනුවෙන් මෙහෙවරක් ඉටු කරනවා නම් කවදා දිනෙක හෝ ඊට නිසි ඇගැයීමක් ලැබෙනවා…” යනුවෙන් ද පුෂ්පා රම්‍යානි සොයිසා මෙණෙවිය පැවසුවාය.
ඇය එවැනි ඇගැයීමකට, ගරු සම්මානයකට සුදුසු බව සිය වෘත්තීය ජීවිතය මඟින් සනාථ කළ හෙද නිලධාරිනියකි. උසස් පෙළ විභාගය ජීව විද්‍යා අංශයෙන් සමත් වූ පුෂ්පාගේ මවගේ සිහිනය වූයේ සිය දියණිය වෛද්‍යවරියක වනු දැකීමයි. එහෙත් ඒ සිහිනය ඊට මඳක් ඈතින් නතර වූ බැවින් පුෂ්පා හෙද වෘත්තියට අවතීර්ණ වූවාය.
“හෙද පුහුණුවේ මුල්ම කාලයේ අත්විඳි සංවේදී සිදුවීම් නිසා හෙදියක් වෙන්න බෑ කියල එය අත්හරින්නම හිතුණු අවස්ථාත් මගෙ ජීවිතයේ තිබුණා. මට මතකයි වාට්ටු සංචාරයේ යන වෙලාවක බොහෝ පිලිස්සුම් තුවාල ලබා වෙව්ලමින් සිටි මහලු තාත්තා කෙනෙක් දුටු මම ඔහු ළඟම ක්ලාන්ත වී වැටුණා. ඒ වෙලාවේ හැමෝම ඉදිරියෙ මම අපහසුතාවට පත් වුණා. මට ඒ දුක, කම්පනය දරාගන්නම බැරි වුණා. ගෙදර ගිහිල්ලත් මම හොඳටම ඇඬුවා, මට මේ රස්සාව කරන්න බැහැ කියල. තව දවසක් දරු ප්‍රසූතියට ඉතා ආසන්න වෙලා වේදනා විඳින අම්මා කෙනෙක් දැකලා මම ක්ලාන්ත වුණා. නමුත් දෛවය ඒ හැමදේම වෙනස් කරලා මාව මේ වෘත්තිය තුළ මේ තරම් දුරක් ගෙනැවිත් තිබෙනවා. මේ වෙද්දි විශාල අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් එක්ක හෙද වෘත්තිය වෙනුවෙන් විශාල සේවයක් කරන්න අවස්ථාව ලැබීම ගැන, හෙදියක් වීම ගැන මම ඉතාම සතුටු වෙනවා…”
වසර 35ක් වන සිය වෘත්තීය ජීවිතයේ මතක ස්මරණය කරමින් ඇය කීවාය. ජාතික රෝහලේ වෛද්‍ය අංශය, පිලිස්සුම් ඒකකය, දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාර, ප්ලාස්ටික් සැත්කම් අංශය ආදී බොහෝ අංශවල සේවය කළ ඇය රටම හඳුනන හෙද නිලධාරිනියක බවට පත්වූයේ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවයට එක්වීමෙන් පසුවය. ඇය එපමණටම තම රාජකාරිය වෙනුවෙන් කැපවූ හෙදියකි.
“ඇත්තටම එය මගේ හෙද ජීවිතයෙත් විශේෂ සන්ධිස්ථානයක්. ජාතික රෝහලේ නව හදිසි අනතුරු අංශය පිහිටුවීමෙන් පසු ආපදා කළමනාකරණය, ආසාදන පාලනය ආදිය පිළිබඳ විශේෂ දැනුමක් ලැබුවා. ඒ වගේම රෝගීන් වර්ගීකරණය කිරීමේ කාර්යය ලංකාවට හඳුන්වා දුන් හෙදිය බවට පත්වීමටත් මට අවස්ථාව ලැබුණා. අද මේ රෝගීන් වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සියලුම රෝහල්වල ක්‍රියාත්මක වීම මට සතුටක්.”
යුද සමයේදී රට පුරා තැනින් තැන බෝම්බ පිපිරීම් සිදුවන අවස්ථාවලදී හෙදියක ලෙස පුෂ්පා රම්‍යානි සිය සේවය වෙනුවෙන්ම කැපවී සිටියාය.
කොළඹ මහ බැංකුවේ බෝම්බ පිපිරුම සිදුවෙන දවසෙත් මම මගේ කණ්ඩායම සමඟ රෝගීන් වර්ග කරමින් සිටියා. අදවත් බෝම්බයක් පිපිරෙන්න එපා කියල හිතලා විනාඩි කිහිපයක් ගතවෙද්දි ඉතා විශාල ජනතාවක් හදිසි අනතුරු අංශය වෙත එන්න පටන් ගත්තා. අපේ අංශයේ තිබුණෙ ඇඳන් 3000ක් විතර වුණත් ඒ වෙද්දිත් රෝගීන් 3500ක් විතර හිටියා. ඒ අතරේ මේ බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ තවත් 1500ක් පමණ පිරිසකට අපි ප්‍රතිකාර කළ යුතු වුණා. පහසුකම් අඩු වුණත් ආපදා කළමනාකරණය හොඳින්ම කරන්න අපිට හැකියාව ලැබුණත් එදා දවස අපි හැමෝම කම්පනයට ලක්වූ දවසක්. හැම රෝගියෙක්ම බල බලා වර්ග කිරීම කරමින් ඉන්න අතරේ එහි තිබුණේ කඩි ගුලක් ඇවිස්සුණා වගේ කලබලයක්. රෝහල් කාර්ය මණ්ඩලයෙ හැමෝම සිටියේ කලබලයෙන්. මමත් ඒ අතරේ මගේ රාජකාරිය කරමින් ඉන්න අතරේ කවුදෝ කෙනෙක් මාව එකපාරටම තමා වෙතට ඇදලා ගත්තා. ඔහුගේ එක අතක් ගැලවිලා. කකුලක් නැහැ. උදරය තුවාල වෙලා අභ්‍යන්තර කොටස් එළියට ඇවිත්. ඒත් ඒ තරුණයා ජීවතුන් අතර. මම දැඩි කම්පාවට පත් වුණා. මිස් මට වතුර ටිකක් දෙන්න. ඔහු මගෙන් ඉල්ලුවා. මම දන්නවා එවැනි තත්ත්වයේ පසුවන රෝගියකුට අපි වතුර දෙන්නෙ නැහැ. නමුත් මට දැනුණා ඒ ඔහුගේ අවසාන ඉල්ලීම විය යුතුයි කියලා. මම වහා දිවගොස් තත්පර දෙකක් ඇතුළත ඔහුට වතුර ගෙනාවා. මම හිතුවා වගේම ඒ ඔහුගේ අවසන් මොහොත වුණා. එවැනි පුදුමාකාර වේදනාත්මක අත්දැකීම් මේ හෙද ජීවිතය ඇතුළේ තියෙනවා. තමන්ගේ ආදරණීයයන් මියගිය වේදනාවෙන් පීඩා විඳි හැම කෙනෙක්ගෙම විලාපය, කඳුළු සහ සුසුම්වලින් අපේ හිත් විතරක් නෙවෙයි රෝහල් ගොඩනැඟිලි පවා කම්පාවට පත්වෙන්න ඇති.”
ඇයගේ වදන් කම්පිතය. එහෙත් ඇය සිය වෘත්තීය වගකීම් කඳුළුවලින් දිය කළ හෙදියක නොවේ. ජාත්‍යන්තර පුහුණු පාඨමාලා රැසක් හදාරා ලැබූ දැනුම් සම්භාරයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්රයට සුවිසල් සේවාවක් ඉටු කරන ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියකි. ආපදා කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික හෙදිය මෙන්ම ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ දැනට සිටින එකම හෙදිය වන්නේද ඇය විය හැකිය. එමෙන්ම ඇය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුම්වත් කරන්නට ද කටයුතු කරන්නීය.
2003 වසරේදී ජාත්‍යන්තර මානව සේවාවේ කැපී පෙනෙන විශිෂ්ටතම සම්මානය දිනාගත් ඇය මේ වන විට දෙස් විදෙස් සම්මාන රාශියක් දිනාගෙන ඇත. සෞඛ්‍ය ක්ෂේත්රයේ කොඳු නාරටිය වැනි හෙද වෘත්තිය මඟින් සුවහසක් රෝගීන්ගේ හුස්ම රැකගන්නට තමාට අවස්ථාව ලැබීම ඒ සියලු සම්මානවලට වඩා උතුම් බව ද ඇයගේ අදහසයි. “මම මෙතෙක් ලැබූ දෙස් විදෙස් සම්මාන පෞද්ගලිකව මට පමණක් නොව හෙද වෘත්තියටම ලැබුණු අභිමානයක්. හෙද සේවය වැටුප් ලැබෙන වෘත්තියක් වුවත් එය විශාල කැපකිරීම් කරන කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී කරන අමිල සේවයක්.“
පුෂ්පා රම්‍යානි සොයිසා ඒ බව සිය ජීවිතයෙන් පසක් කළ හෙද නිලධාරිනියකි. දිරිමත් ස්වාධීන වනිතාවකි. “අනුන් මත නොයැපී තමා ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එය ඔබ ජයග්‍රහණය කරා ගෙන යනු ඇත” ඒ ඇයගේ ජීවිත දැක්මයි. ලක් මවගේ දෑතට තවත් ජාත්‍යන්තර සම්මාන දෙකක්ම රැගෙන ආ ශ්‍රී ලාංකේය නයිටිංගේල් දියණියට අපේ සුබ පැතුම්!
සුරේකා නිල්මිණි ඉලංකෝන්