Home » අනේ අම්මේ අපිව දරුකමට හදා ගන්න දුන්නට කමක් නැහැ ඉන්න තැනකින් කතා කරන්න

අනේ අම්මේ අපිව දරුකමට හදා ගන්න දුන්නට කමක් නැහැ ඉන්න තැනකින් කතා කරන්න

ලංකාවෙන් යුරෝපයට අරන් ගිය දරුවන් පහළොස් දහසක් අම්මලා හොයන්න රට දරුවන් හැදූ ඩී. එන්. ඒ. ශ්‍රී ලංකා සංවිධානය

by gayana
September 23, 2023 12:30 am 0 comment

ත්‍රීෂාට තම සැබෑ මව දෙනෙතින් දැක බලා ගැනීමේ නොතිත් ආශාවක් සිතේ හට ගන්නට විය. “මගේ සැබෑ මව ලංකාවේ ඉන්නේ කියලා දැන ගත්ත දවසේ මට පුදුම සතුටක් දැනුණා, මගේ අම්මාව දකින්න මම හරිම ආසයි, ත්‍රීෂා බොහෝ සංවේදීව පැවසුවාය. නෙදර්ලන්තයේ හැදී වැඩුණු ත්‍රීෂාට මව් රටේ හිමිවූ නම වසන්ති නම් විය. සිංහල මවක ගේ කුසින් මෙලොව බිහිවනවිට හයක් හතරක් නොදත් සිඟිත්තියක වන එවකට වසන්තී නම්වූ බිලිඳියක නෙදර්ලන්ත මව්පිය යුවළකට හඳා වඩා ගැනීමට භාර දෙන ලද්දේ 1993 වසරේ දීය. වසන්තීගේ මවට ඇගේ කුසින් වැදු බිලිඳිය හදා වඩා ගන්නට තරම් හැකියාවක් නොවීය. එයට අවාසනාවන්ත දෛවය හරස් විය. එසේම ගෙවී ගිය දශක තුනක කාලයත් සමඟ වැසී ගිය අඳුරු යටගියාව නැවත සිහිපත් කිරීමට ඇයට අසීරුකාරියක් විය.

වසන්ති බිලිඳියක ලෙස උපත ලැබුයේ නුවරඑළියේ වුවත් ඇගේ සැබෑ මව මේවන විට පදිංචිය පොලොන්නරුව දිස්ත්‍රික්කයේය. කෙසේ වෙතත් වසන්තිගේ මව වෙනත් විවාහයකින් අනතුරුව එම විවාහයේ දරුවන් සමඟින් නව ජිවිතයක් ආරම්භ කළාය. කාලය ගෙවී ගියේය. දින සති ලෙස ගත වෙමින් ඒවා වසර තිහක් දක්වා දිර්ඝ විය.

වසන්ති නම් කුඩා දැරිය නෙදර්ලන්තයට රැගෙන යාමෙන් පසුව ඇයට ත්‍රීෂා නමින් නෙදර්ලන්ත මාපියෝ නම් තබන ලදී. ඒ නිසා වසන්ති මෙතැන් සිට ත්‍රීෂා නමින් ඇමැතිමට සිදුවෙයි. තරුණ වියට එළඹුණ පසු නෙදර්ලන්ත මවුපියෝ ත්‍රීෂාට සිය ලංකාවේ මවගේ සියලු තොරතුරු පවසන්නට වූහ.

“මගේ සැබෑ මව ලංකාවේ ඉන්නේ කියලා දැන ගත්තම මට පුදුම ආශාවක් ඇති වුණා. මගේ අම්මාව හමු වෙන්න. මම එතෙර දරුවන්ට ලංකාවේ වැදු මවුවරුන් හොයන්න වෙහෙසෙන ඇමන්ඩා ජැන්සන්ට මේ ගැන පැවසුවා. ඇය මගේ මිතුරියක්. ඇය ලංකාවේ මීගමුවේ පදිංචිව සිටින ඇන්ඩෲ සිල්වාට කියලා මගේ අම්මා හොයන්න කටයුතු කළා. මට දැන් පුතෙක් ලැබෙන්න ඉන්නේ මම තව සති දෙකකින් මවක් වෙනවා.

මාගේ දරුවා බිහි වෙන්නට කලින් මට මගේ අම්මාව දැක ගන්නට ලැබුණා. මම එදා මා නෙදර්ලන්තයට රැගෙන එද්දි අන්දවාගෙන සිටි ඇඳුම ගෙනත් අම්මට පෙන්නුවා. එදා මම රට අරන් යද්දි අම්මගේ ජායාරූපයක් තිබ්බා. මම ඒකත් අම්මට පෙන්නුවා. ඉතින් ඇත්තටම මට හරිම සතුටුයි. අවුරුදු 30කින් හරි මට මගේ වැදු මව දැක ගන්නට ලැබුණ ඒක. ඇමන්ඩා සහ ඇන්ඩෲ සිල්වා ඇතුළු කිහිප දෙනෙක් නිසා තමයි මට මගේ අම්මව හොයා ගන්න ලැබු‍‍‍‍ණේ.

ලංකාවෙන් විදේශ රටවල් සඳහා දරුවන් රැගෙන යන කතාව ඇරඹෙන්නේ 1980 වසරේ සිටය. 90 සහ 80 දශකවල ලාංකේය දරුවන් බහුලව යුරෝපයට රැගෙන ගොස් තිබේ. 2010 වසර වන තෙක්ම ලංකාවෙන් දරුවන් පහළොස් දහසක් පමණ විදේශීය දෙමව්පියන් විසින් යුරෝපයට රැගෙන ගොස් තිබේ. වතු ආශ්‍රිත දෙමළ දරුවන් විශාල පිරිසක් ද ඒ අතර වෙති. ලාංකේය මුස්ලිම් දරුවන් සුළු පිරිසක් ද යුරෝපයේ මවුවරු සෙවණෙ වැඩෙති. ඇතැම් ලාංකේය මවුවරුන් මැද පෙරදිග වැනි විදේශ රටවලදී සිය දරුවන් හදාවඩා ගැනීමට ලබා දී ඇති අවස්ථා ද නැතුවා නොවෙයි. එම දරුවෝ ද තම සැබෑ මවුවරු සොයති.

මෙලෙස දරුවන් ලංකාවෙන් රැගෙන ගොස් ඇත්තේ අධිකරණය හරහා නීත්‍යනුකුලවය. එතෙර මවුපියන් දරුවන් තරුණ වියට පැමිණි පසු ඔවුන් සන්තකයේ තිබෙන අදාළ දරුවාගේ මවගේ සියලු විස්තර ලබා දෙයි. සියලු තොරතුරු දැනගත් පසු ඔවුන් ඉතා සතුටින් සිය වැදූ මව පිළිබඳ හිතේ පුංචි හෝ වෛරයක් නොමැතිව හදෙහි උතුරා යන මවු සෙනහසින් මව්වරුන් සොයන්නට වෙහෙසති, ලක්ෂ ගණනක් මුදල් වියදම් කර ලංකාවට පැමිණෙති.

ඔහු මේ වනවිට එතෙර සිටින දරුවන් 200කට පමණ ආදරණිය අම්මාවරුන් සොයා දී තිබේ. තවත් දරුවන් 1200ක් පමණ ඇන්ඩෲ ගෙන් තමන්ගේ අම්මලා සොයා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටිති.

මම 2000 වසරේ ඉඳන් තමයි මේ ආකාරයෙන් එතෙර ඉන්න දරුවන්ට මවුවරුන් සොයලා දෙන් පටන් ගත්තේ.

ඒ කාලේ දරුවා අරන් යද්දි අම්මගේ ජායාරූප අරන් ගිහින් තියෙනවා. ඒ ජායාරූපවල ඉන්න අම්මලා හොයන් ඒ දරුවෝ ලංකාවට ඇවිත් බලද්දි සමහර අය සැබෑ අම්මා නොවෙයි. ගොඩක් වෙලාවට ඒ ව්‍යාජ අම්මා කෙනෙක්.

සමහර වෙලාවට මෙවැනි අම්මලා රෝහලේදි හඳුනා ගත්ත අයට දරුවා ලැබුණු පසු සමහර රෝහල් සේවක සේවිකාවන්ගේ සහායෙන් ඇතැම් සංවිධානාත්මක පිරිසක් එම දරුවන් ලැබුණම අරන් ගිහින් ළමා නිවාසයක හරි එහෙම නැතිනම් එවැනි පුංචි දරුවන් එකතු කරලා කවුරු හරි විදේශික දෙමව්පියන්ට දරුවන් දරුකමට ඉල්ලුවාම දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වෙලාවට අධිකරණවලට පැමිණෙන අය නියම අම්මලා නෙවෙයි. ගොඩක් වෙලාවට බොරු අම්මා කෙනෙක්. එතකොට ගොඩක් වෙලාවට උප්පැන්න සහතිකත් ව්‍යාජ ඒවා නියම අම්මාගේ නම නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ අම්මලා හොයන්න යද්දි අපිට නියම මව හම්බ වෙන්නේ නැහැ.

මේ දරුවන් රට ඉන්න දරුවන්ට දෙන්න කටයුතු කළ අතරමැදි අය දන්නවා නියම අම්මා කවුද කියලා. ගොඩක් වේලාවට ඒ අය රට ඉන්න දරුවන්ට ඇත්ත අම්මා පෙන්නන්නේ නැහැ. බොරු අම්මලා තමයි ගොඩක් වෙලාවට පෙන්නන්නේ. ඇත්ත අම්මා හෙළි කරන්නේ නැතිව රට ඉන්න දරුවන්ව රවටලා ඒ අය මුදල් ගන්න ජාවාරමත් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අවුරුදු10ක් පමණ තමන්ගේ අම්මා කියලා වෙනත් අයට මුදල් දීලා ගෙවල් හදලා දීලා, වාහන අරන් දිලා උදව් උපකාර කළාට පස්සේ රට ඉන්න දරුවා පස්සේ තමයි දන්නේ මේ තමන්ගේම අම්මා නෙමෙයි කියලා. ඒ වගේ අවස්ථා ගොඩක් සිදු වෙලා තියෙනවා. ඒ තත්ත්වය නිසා අපි සැබෑ මව සොයන්න ඩී. එන්.ඒ. තාක්ෂණයේ පිහිට ලබා ගන්නවා යැයි ඇන්ඩෲ පවසා සිටියේය.

වතුකරයේ දෙමළ මවුවරුන්ගේ දරුවන් විශාල පිරිසක් ද මේ ආකරයෙන් දැන් සිටින්නේ යුරෝපයේය. ඒත් එම මවුවරු තවමත් එම දරුවන් ලංකාවේ ජීවත් වෙනු ඇතැයි සිතති. ඒ නිසා විශේෂයෙන් වතු ආශ්‍රිතව ජීවත් වන අය මේ පිළිබඳව අවධානය යොමු කළහොත් තමන්ට අහිමිව ගිය දරු සෙනෙහස නැවත ලබා ගැනීමට හැකි වෙනු ඇත.

මේ නෙදර්ලන්තයේ දැනට ජිවත් වෙන ලංකාවෙන් දරුකමට හදා ගන්නට රැගෙන ගිය ඇමැන්ඩා ජැන්සෙන් පැවසූ කතාවයි.

“මාව දරුකමට හදා ගන්න අරන් ගිහින් තියෙන්නේ ලංකාවෙන්. තවත් නංගි කෙනෙකුත් මගේ මවුපියන් ලංකාවෙන් අරන් ගිහින් හදාගෙන තිබෙනවා. මාව ලංකාවෙන් අරන් ගිය මවුපියන් ඉතා ආදරයෙන් මාව රැක බලාගෙන මට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. දැන් මම හොඳ සැපවත් ජීවිතයක් ගත කරනවා. මාව හදාගත්ත නෙදර්ලන්තයේ අම්මයි තාත්තයි මගේ ලංකාවේ අම්මගේ විස්තර උප්පැන්න සහතික එහෙම දුන්නා. හොයලා බලද්දි මට උප්පැන්න සහතික දෙකක් තියෙනවා. එක උප්පැන්න සහතිකයක් දඹදෙණියේ රෝහලේ, අනෙක් කොළඹ කාන්තා රෝහලේ.

ඒ නිසා මම නියම අම්මා හොයන්න ඇන්ඩෲ මහත්තයාත් එක්ක වෙහෙසෙනවා. දඹදෙණිය රෝහලෙන් නිකුත් කළ උප්පැන්න සහතිකය අනුව මම අම්මා හොයන්න යද්දි එයා මිය ගිහින්. එයාගේ පුතෙක් මුණ ගැසුණ. එයාව ඩී. එන්. ඒ පරික්ෂණයට ලක් කළාම මගේ සහෝදරයා නෙවෙයි කියලා තහවුරු වුණා. ඊට පස්සේ ඒ ඩී.එන්.ඒ වාර්තා වෙන කාට හරි ගැළපෙනවා කියලා බලද්දි මගේ නෙදර්ලන්තයේ මවුපියන් දරුකමට අරන් ගිහින් තිබ්බා. නංගිගේ ඩී. එන්. ඒ වාර්තාවට ගැළපුණා. ඒ අනුව මගේ නංගිගේ සහෝදරයන් සහ පවුලේ අය හොයා ගන්න හැකි වුණා. මම තවමත් වසර 10ක සිට මගේ අම්මව හොයනවා. මුණ ගැසුණ අම්මලාගේ ඩී. එන්. ඒ. පරීක්ෂාවට ලක් කරලා බලද්දි ඒ නියම අම්මා නෙවෙයි. ඒ නිසා මම මේ වනවිට ඇමන්ඩා ශ්‍රී ලංකා ඩි. එන්. ඒ. කියලා සංවිධානයක් හැදුවා. ලංකාවෙන් දරුකමට අරන් ගිය ගොඩක් අයගේ ඩී. එන්. ඒ. වාර්තා මගේ සංවිධානය සතුව තිබෙනවා.

ඒ නිසා විශේෂයෙන් 1980, 1990 කාලයේ රෝහලක, පාරක, බස් නැවතුම් පොළක, එහෙම නැතිනම් කොහෝ හරි නිවාසයක රඳවා තබා සිටිනවා නම් හෝ දරුවන් දුන්න මව්වරුන් ඉන්නවා නම් ඩි.එන්.ඒ.ශ්‍රී ලංකා සංවිධානයේ [email protected] ඊමේල් ලිපිනයට දැනුම්දී අපිට කතා කරන්න. ඒ තොරතුරු ඉතා රහසිගතව තියා ගන්නවා. අපි දන්නවා අපේ අම්මලා අපිව ඒ විදිහට කරන්න ඇත්තේ ඔවුන් අසරණ වෙලා වෙන කරන්න දෙයක් නැති නිසා කියලා. අපි පොඩ්ඩක්වත් ඒ ගැන තරහා නැහැ අපිට දැන් අවශ්‍ය අපිව වැදු අම්මලාට උදව් කරන්න, පිහිට වෙන්න, ආදරයෙන් රැකගන්න, අපේ සහෝදර සහෝදරියන් බලාගන්න අපිට කතා කරන්න යැයි අවසන් වරට පැවසුවේය.

ඔබගේ සහය ලැබුණොත් හෙට දිනයේදි ත්‍රීෂාට මෙන්ම එතෙර සිටින අපේ මව්වරුන්ගේ දරුවන්ට එනම් ලාංකික දු පුතුන්ට සිය වැදු මවගේ සෙනහස ලබාගන්නට තරම් වාසනාවක් හිමි වෙනු ඇත.

සුභද්‍රා දේශප්‍රිය පසුබිම් වාර්තා සහ ඡායාරූප සුසන්ත අමරබන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division