සාලයේ පෙනුමට තියන කැබිනට්ටුව සමාජ තත්ත්වය ගැන ගෙන හැර පාන්නේ එක් පැතිකඩකි. බුද්ධිමත් සමාජයේ ගෙහිමියකුගේ වටිනාකම තක්සේරු කරන්නේ ගෙදර ඇති අඩි පුඩි ගසා ඉවර කළ විස්කි, බැන්ඩි හිස් බෝතල් පිරුණු කැබිනට්ටුවකින් නොවේ. ගෙදර ගෘහ මූලිකයා මෙන්ම පවුලේ ඇත්තන් කියවා ඇති පොත්වල ගුණාත්මක භාවයෙනි. ඒත් නැත්නම් ගෙදර ඇති පොත් සංඛ්‍යාවෙනි.
මට පාසල් කාලයේ සිදුවූ සිදුවීමක් නැවත මතක් වූයේ ඉකුත් 22 වන සිකුරාදා BMICH හි අැරඹුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට එන ජාතික පාසල් සිසුවියන් දුටු විටය. ෙමම ප්‍රදර්ශණය ඔක්ෙතා්බර් 01 ෙතක් පැවැත්ෙව්.
පුතාලා පොත් ගන්න සල්ලි එහෙම ගොඩක් ගේන්න ඇති නේද? මට ඒ එක් කුඩා සිසුවකුගෙන් විමසුවෙමි. ඔහු අත ප්‍රදර්ශනයේ අලෙවි කුටි සඳහන් කළ ප්ලෑන් කොළයක් විය.
අපි ඕන පොත් ටික තියෙන තැන මේකේ ලකුණු කරල තාත්තාට දෙනවා. තාත්තා පුළුවන් ටික අරන් දෙනවා.
පොත් ප්‍රදර්ශනය පටන් ගත්තේ සිකුරාදා උදේ වරුවේය. අප එහි යන විට උදේ නවයට පමණ විය. අප සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව වෙත යන විට එයින් එළියට ආවේ මහාචාර්ය ජේ.බී. දිසානායකයි.
“පොත් බලන්න – අරගන්න එන මේ වගේ පිරිසක් දැක ගන්නත් ලැබීම සතුටක්. මේ එන සෙනඟෙන් පේනවා ජනතාව තාමත් පොත් එක්ක ජීවත් වෙනවා කියලා”
අපි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවට පැමිණියෙමු. ඒ වන විටත් ශාලාව කෙමෙන් කෙමෙන් ජනතාවගේ පිරී යමින් තිබුණි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධානය කර තිබු උදෑසන සංග්‍රහයෙහි කෙසෙල් කොළේ තැබු කිරිබත් මෙන්ම වංගෙඩියේ කෙටු ලුණු මිරිස්ද තිබුණි. ඒ අසල සිටියේ ගල්කිස්ස මහ හෝටලයේ සූපවේදි ආචාර්ය පබිලිස්ය.
සූපවේදී පබිලිස්ගේ පොතක් ගැන අධිකරණ තීන්දුවක් දුන් විට ඔහු හමු වී මුලින්ම සාකච්ඡාවක් එදිනම පළ කළේ සිළුමිණය.
සූප ශාස්ත්‍ර පොත් ස්ටෝල් එකක් දැම්ම ද මම පබිලිස්ට කිට්ටු වී ඇසුවෙමි.
“ඒවාට ඉතිං මං අත දාන්නේ නෑ. ඒවා ප්‍රකාශයන්ට භාරදීලා තියෙන්නේ”
ඉන් පසු පිවිසියේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවටය. එහි අප පිවිසුණු සැණින් කුටිය වූයේ සමුද්‍ර ප්‍රකාශන ආයතනයේ කුටියයි. එහි කැපී පෙනෙන ග්‍රන්ථ රචකයා වුයේ ලූෂන් බුලත්සිංහලය. එහිදී ලූෂන්ගේ ස්වයං ලිඛිත අපදානය එළිදක්වා තිබුණි.
“මම මගේ ජීවිතයේ මතක හිටිය අමතක නොවන දේ මේ පොතේ ලිව්වේ මගේ වෘත්තිය ජීවිතය – රූපවාහිනි, ගුවන්විදුලිය වගේ නාට්‍ය ජීවිතය මේකට ඇතුළත්.
“එතකොට ගීත රචනා ගැනත් කියවෙනවාද? මම අසා සිටියෙමි.
“නෑ ඒක මම වෙනම ලියන්න බලා පොරොත්තු වෙනවා”
ලූෂන් බුලත්සිංහල සමඟ කතා කරමින් සිටින විට එතැනට ආවේ බුද්ධදාස ගලප්පත්තිය.
“මම මේ පොත් ප්‍රදර්ශනයට කියන්නේ ප්‍රකාශක – ලේඛක සහ රසිකයන්ගේ ජයග්‍රහණයක් විදියට. ඒ ඔක්කොම මෙතැනට එකතු වෙනවා. පොත් මිල වැඩි වුණා දරාගන්න බෑ. ස්වර්ණ පුස්තක පොත් 5න් 1යි මට නිකන් හම්බවුණේ. පොත් 5කට රුපියල් 10,000ක් වියදම් කරන එක ස්ථීර ආදායමක් නැති මං වගේ කෙනෙක්ට අභියෝගයක්. එත් මේ පොත් ප්‍රදර්ශනය මිත්‍ර සමාගමට තෝතැන්නක්.”
සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ ඇති පොත් අලෙවි කුටි දෙස බැලුවෙමි. ඒවා පිරෙන්නට පොත් තිබුණේය. 2021න් පසු මුද්‍රණය කළ ඇතැම් පිටු 240 ත් 275 අතර පොතක මිල රුපියල් 1200/-කි. බොහෝ පොත්වල මිල උඩින් මුද්‍රිත ස්ටිකර් අලවා තිබේ. ස්ටිකරයක් ගලවා පරණ මිල බැලුවෙමි. මිල උඩින් ‘ටිපෙක්ස්’ නැමැති සුදු තීන්ත උලා තිබේ. එය එකක් හුරා පරණ මිල මතු කර බැලුවෙමි. පොතේ පරණ මිල රුපියල් 600/-කි
ශාලාවේ ටිකක් ඇවිද යන විට ‘සදීපා පොත් කුටියේ අධිපති වන්නිඅච්චි තම සේවකයන්ට උපදෙස් දෙමින් සිටියේය.
අපි හැමදාම තෝරා ගන්නේ සිකුරාදායින් ආරම්භ වන සති අන්ත දෙකක්. ඔබ අහනවා මිල වැඩි වීම පොත් අලෙවියට බලපානවා ද කියලා” පොතක තියෙන්නේ ගුණාත්මක වටිනාකමක්. පොත අවශ්‍ය කෙනා අනිවාර්යෙන්ම ගන්නවා.
සදීපා පොත් කුටියේ ඒ වන විට සිය සම්මාන ලාභී ලේඛකයකු වූයේ බුවනෙක වන්නිආරච්චිය.
“මේ රටේ පොත් කියවන්නේ සම්ප්‍රදායික රැල්ලකට. දැන් අවුරුදු තිහ – හතළිහක ඉඳන් අඹ යාළුවෝ, මඩොල්දූව වගේ පොත් කියවනවා.
අපි මේ පරණ පොත් ට්‍රෙන්ඩ් එක වෙනස් කරල අලුතෙන් පොත් ලියන්න ඕන. වාණිජ අරමුණක් කලාත්මක ස්වරූපයක් දෙන්න වුණත් පොත් නිර්මාණය කරන්න පුළුවන්.
සරත් විජේසූරිය නාමය මේ BMICH පොත් ප්‍රදර්ශනය ගැන කතා කරන විට අමතක කළ නොහැකි නාමයකි.
කොච්චර e – book ප්‍රචලිත කරන්න ගියත් මුද්‍රිත පොතක වටිනාකම ලැබෙන්නේ නෑ. ගියවර ප්‍රදර්ශනය කරන විටත් පැවති කඩදාසි මිල දැන් අඩුවෙමින් තියෙනවා. ඒ වාසිය පාඨකයන්ට – ප්‍රකාශකයන් විසින් ලබාදිය යුතුයි. මේ පොත් ප්‍රදර්ශනයට තරුණ කොටස්වල විශේෂයෙන් තරුණියන්ගේ ආකර්ෂණය හිමිවී තිබෙනවා.
මේ සිරිමා බණ්ඩාරනායක ශාලාවේ මෙරට ජනප්‍රියතම පොත් ප්‍රකාශකයන් බොහොමයක් දැකගත හැකි විය. දයාවංශ ජයකොඩි අලෙවි කුටිය තුළදීම අපි දයාවංශ ජයකොඩි හමු වුණෙමු.
“මේ රටේ නමක් ඇති ලේඛකයෝ බොහෝ දෙනෙක්ගේ මුල් කෘතිය ප්‍රකාශයට පත් කළේ අපි. 2022දී පොත් ප්‍රදර්ශනයේදි අපි බලාපොරොත්තු වුණාටත් වැඩි අලෙවියක් තිබුණා. වැඩියෙන්ම විකිණෙන්නේ නවකතා. ගොඩක් අය පරිවර්තනත් ඉල්ලනවා. මිල වැඩිවුණා කියලා පොත් ඉල්ලුමේ අඩුවක් වෙලා නැහැ.”
මේ පොත් ප්‍රදර්ශනයට පොත් ප්‍රකාශකයන් එක්වී ඇත්තේ දිදුලන තාරකාවන් ලෙසය. සමයවර්ධන ප්‍රකාශන අධිපති ආරියදාස වීරමන් ද එවැනි ප්‍රකාශන ක්ෂේත්‍රයේ දිදුලන තරුවකි. ආරියදාස අපට පැවසුවේ තමන් මේ පොත් ප්‍රදර්ශනයට එක්වන්නේ 24 වැනි වතාවට බවය. එමෙන්ම ඔහු පවසන්නේ ගියවර බලාපොරොත්තු වූවාට වඩා තුන් ගුණයක් ජනතාව ප්‍රදර්ශනයට ඇදී ආ බවය. එමෙන්ම ඔහු පවසන්නේ ඩොලර් ප්‍රශ්නය නිසා ගියවර පොත් ප්‍රදර්ශනයට විදේශීය ප්‍රකාශකයන් සහභාගි නොවුණත් මෙවර 60කට වැඩි විදේශීය ප්‍රකාශන ආයතන සහභාගි වීම වැදගත් ප්‍රවණතාවක් බවය.
තනුජා අයගම අපේ ළමා සාහිත්‍ය ගැන කතා කරන විට අමතක කළ නොහැකි සම්මානනීය නාමයකි. සම්මානලාභී ලේඛක නෝබට් අයගමගේ ඇගේ බාප්පාය. ග්‍රැපියෝ පොත් කුටියේ සිටි ඇගේ කුටියේ බොහොමයක් තිබුණේ ළමා කෘතීන්ය.
මෙම පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයකු වන්නේ සරසවි පොත්හලයි. එහි එක් කුටියක වූයේ තනිකර ඉංග්‍රීසි පොත්ය. එහි අලෙවි කටයුතුවල නියැළී සිටි මහේෂ් පෙරේරා ඔවුනගේ තවත් අඩු මිල පොත් ‘සරසවි කුටියක්’ ගැන ඔත්තුවක් දුන්නේය. ඉතා අඩු මිලට තිබූ එම ‘Bargain Book Sale’ එකේ පොත් ජනතාව බලන් හිඳිද්දි තෝරා මිලදී ගත්තේ තරගයට මෙනි. එමෙන්ම මරදානේ ගාමිණී හෝල් අසල පරණ පොත් සාප්පු කීපයක් ද මේ පොත් ප්‍රදර්ශනයට එක්කර තිබුණේ අමුතුම ආලෝකයකි. තාරක වරණසූරිය අපට ඒ ගැන විස්තර කිව්වේ තම ව්‍යාපාරයේ ආරම්භකයන් ගැන කෘතඥතා පූර්වකවය. ගියවර දක්නට නොවුණු ‘කවි පොත්’ කුටියක් ද අපට දැකගත හැකි විය. අප යන විට විවිධ කවීන් තමන්ගේ පොත් රාක්කවල අඩුක් කරමින් සිටිනු අපට දැකගත හැකි විය.
මේ පොත් ප්‍රදර්ශනයේ ජනප්‍රියම පොත කුමක්දැයි ඔබට දැකගත හැකි වන්නේ නවකතාවක් – කෙටිකතා පොතක් හෝ පරිවර්තන කෘතියක් නොවේ. මෙහි පොත් මිලදී ගන්නවාට වඩා වැඩි සෙනඟක් ඇත්තේ ලිපිද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් වලටය. මේ ලිපි ද්‍රව්‍ය අලෙවිසැලක පොරකන සෙනඟ අතරින් ගොස් කැෂියර් කූඩුවෙන් වැඩියෙන්ම විකිණෙන පොත ඇසුවෙමි.
“පිටු 120 තනිරූල් තමයි” ඇගේ පිළිතුර විය.
පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමය මෙහි බීමට නොමිලේ වතුර ඇති බවක් කිව්වත් අපට නම් දියපොදක් සොයාගත හැකි වූයේ නැත. බොහෝදෙනා මේ පොත් ප්‍රදර්ශනයේ විනෝද වූයේ නූඩ්ල්ස්, අයිස්ක්‍රීම්, පොප්කෝන් කමින් සෙල්පි ගසමිනි. බොහෝදෙනා දවල් වන විට ඔතාගෙන ආ බත්පත ලිහාගෙන කෑවේ එළිමහනේය.
“මෙහේ තියන තැන්වලින් බත් එකක් කෑවොත් ගෙදර යන්න වෙන්නේ පයින් තමයි. ඒ තරම් ගණන්.”
මෙම අධික මිල ගැන අප මේ කියන සුපිරි හෝටලයෙන් ඇසූ විට අපට කියා සිටියේ ගිවිසුමක් මත BMICH ආරම්භයේ සිට කේටරින් කරන්නේ තම හෝටලය බවය. ගල්කිස්ස ප්‍රධාන හෝටලයෙන් විමසන ලෙසත්ය.
මේ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ප්‍රධාන වශයෙන් සාහිත්‍ය උදෙසාය. එහෙත් සාහිත්‍ය දිනයක් පවත්වන්නට යෝජනා කළ මෙරට සිටි පත්‍රකලාවේදියා පෙරමුණේ තිලක බව බොහෝදෙනා දන්නේ නැත. 1985 දී ඔහු කල්පනා සඟරාවට පවසා ඇත්තේ 1957 ජයවීර කුරුප්පු සංස්කෘතික ඇමති යුගයේ සාහිත්‍ය දිනයක් යෝජනා කළේ තමන් බවය. පෙරමුණේ තිලක සිටි එදා සාහිත්‍ය උපදේශක සභාවේ සිටි අනික් සාමාජිකයින් වී ඇත්තේ අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත, කෝදාගොඩ ඥානාලෝක, කොටහේනේ පඤ්ඤාකිත්ති, වැලිවිටියේ සෝරත, බඹරැන්දේ සිරි සීවලී, ඇන් කියු දියෙස්, සාගර පලන්සූරිය හා මාර්ටින් වික්‍රමසිංහය.
රුසියන් ප්‍රකාශන කුටියේ අපේ මිතුරකු වූයේ සරත් ලාල් කුමාරය.
“රුසියන් ළමා පොත් තමයි වැඩිපුරම යන්නේ. ගුරු ගීතය වගේ. දැන් වැඩිහිටියෝ පොත් ගන්නෑ. දරුවන්ට අරන් දෙනවා. අපි තාම පරණ පොත් පරණ ගාණටම දෙනවා. උඩින් වැඩි ගාන දාලා ස්ටිකර් ගහන්නේ නැහැ.”
පොත් ප්‍රදර්ශනයේ ඇවිදින විට ඇම්.ඩී. ගුණසේන කොම්පැනිය අමතක කරන්නේ කොහොමද? ගුණසේන කුටියේ කළමනාකාරිණී එච්.එම්. සුදර්ශනී පවසා සිටියේ ගිය වර තම කුටියේ ආනයනික ඉංග්‍රීසි පොත් නොතිබුණත් මෙවර ඉංග්‍රීසි නවකතා සහ වෙනත් විෂයානුබද්ධ කෘති පිරී ඉතිරී ඇති බවය. එමෙන්ම ඇය පැවසුවේ ලබන පෝයත් සමඟ ඇති දින හතරේ නිවාඩුවට ජනතාව කොළඹින් පිටට ගියහොත් මේ පොත් ප්‍රදර්ශනය දැඩි අර්බුදයකට ලක්විය හැකි බවය.
පරිසරවේදි ජගත් ගුණවර්ධන නම් මේ පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටියේ මනස, දර්ශනය හා වනජීවී පරිසර ආදී බොහෝ ඉංග්‍රීසි කෘති මිලදී ගැනීමටය. ජගත් ගුණවර්ධන පැමිණ සිටි තවත් කාරණයක් වූයේ හොරණ තක්ෂිලා විදුහලේ ශිෂ්‍යයකු වන සසිරු යොනාල් ලියූ වත්ත පහළ සුමිතුරෝ නම් පරිසර කෘතියේ එළිදැක්වීමට එහි සංවිධානය කර තිබූ උත්සවයේ දේශනයක් පැවැත්වීමටය. මෙම පොත ප්‍රකාශයට පත්කොට තිබුණේ සූර්ය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩිය. පොතේ මිල රුපියල් 1000/=කි.
“පොත්වල දැන් මිල වැඩියි නේද?” අතුලගෙන් ඇසුවෙමි.
“ඇයි පොත්වල මිල විතරක් වැඩියි කියන්නේ හැමදේම මිල වැඩි වෙලා. මිල වැඩිවීම පොත්වලට විතරක් බලපාපු තත්ත්වයක් නොවෙයි.”
රත්න ප්‍රකාශන ආයතනයට ගිය කෙනකුට ලේඛක සිරිල් කරුණාරත්න හදබැඳි ලේඛකයෙකි. අප සිරිමාවෝ ශාලාවට ඇතුළු වන තැන සිරිල් කරුණාරත්න සිටියේ තමන් මිලදී ගත් පොත් තම සූට්කේසයට අසුරමිනි.
පොත් ප්‍රදර්ශනයේ ඇති පොත් එළිදැක්වීමේ ශාලාවේ මුල්ම උත්සවය වූයේ අජිත් පී. ධර්මසූරියගේ අකිල වර්ෂා කෘතිය එළිදැක්වීමය. අප එයට ද සහභාගී වී සුබ පතන්නට අමතක කළේ නැත.
පොත් ප්‍රදර්ශන ගමන නිමාකොට ගිනිකාස්ටක අව්වේ එළියට බහින්නට පෙර අප තෝරා ගත්තේ ලේඛක සමරසිංහ ගුණසේකරගේ සුනෙර ප්‍රකාශන කුටියටය.
“මේක දෙල්කඳපොළ වගේ. බුද්ධ රූපත් තියෙනවා. ඌරු මසුත් තියෙනවා. මේකට එන්නේ පොත් මිලදී ගන්න එක්තරා පිරිසක්. එම කුටියෙන් අපට හමුවූයේ නලින් ප්‍රකාශන අධිපති නලින් රත්නායකය. ඔහු පවසා සිටියේ මුහුණු පොතේ සඳහන් පොතක් තමන් පිටපත් 20ක් අලෙවියට ගෙනා අතර පැයකට අඩු කාලයකදී එම පොත් විස්ස අලෙවි වී අහවර වූ බවය. මුද්‍රිත කෘති අලෙවියට මුහුණු පොත යොදාගත හැකි ප්‍රබලම මාධ්‍යයක් බව එය කදිම සාක්ෂියක් විය. පොත් කඩයකට පොත් 20ක් දමා මාස ගාණක් – අවුරුදු ගණනක් බලනවාට අලුත් තාක්ෂණය නොහොත් සමාජ මාධ්‍ය ජාලා ආබද්ද භාණ්ඩ වීම මෙයින් අපට කියාදෙන පාඩම නොවේද?
සම්මාන ලාභී කෘති දහස් ගණනක් මුද්‍රණය කළා යැයි ප්‍රකාශකයන් වහසි බස් දෙඩුව ද කිසිවකු පොත් ගණන කීයක්දැයි කියන්නට කැමති වූයේ නැත. මේ සම්මාන ලාභි පොත් ලේඛකයන්ගේත් ප්‍රකාශකයින්ගේත් රෝයල්ටිය. කොපමණ මුදලක් ලැබුණාදැයි ඇසූ විට පෑවේ මඳ සිනහවක් පමණකි.
“එක්සිබිෂන් එකෙන් පස්සේ ගණන් බේරයි.” එක් සම්මානලාභියකු අප සමඟ පැවසීය.
“රෝයල්ටි කියන්නේ කර්තෘ භාගය. ඒක පොත විකිණෙනකම් ඉන්න ඕන නෑ නේද?” යි අසද්දි ලේඛකයා ආඳකු මෙන් ලිස්සා ගියේය.
මෙවර පොත් ප්‍රදර්ශනයේ ගෝල්ෆේස් අරගලය ගැන කිසිදු අලුත් පොතක් අපට දැකගත නොහැකි විය. එමෙන්ම ප්‍රධාන පොත් ප්‍රකාශකයන්ගේ කුටිවල කිසිදු කර්තෘ ප්‍රකාශනයක් දැකගත හැකි වූයේ නැත. එක් ලේඛකයකු තම කර්තෘ ප්‍රකාශනයක් අලෙවි කුටිවලට දමමින් යන විට අප සමඟ කතාබහේ යෙදුණේය.
“කර්තෘ ප්‍රකාශන ලොකු කොම්පැණි ගන්නේ නැහැ. පොඩි ස්ටෝල්වලට දාපුවට ගිය සැර් දීපු චෙක් ගොඩක් රිටන්. සමහරු පස්සේ සල්ලි දෙන්නම් කියල ඩේට් චෙක් දෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි හරියට සල්ලි බේරන්නේ.”
වෙනදාට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කුටි මඟ බලා සිටියේ පාසල් පුස්තකාල, සංස්කෘතික දෙපාර්තමේන්තුව, පුස්තකාල සේවා මණ්ඩලය, පළාත් සභා පුස්තකාලවල ගැණුම්කරුවන් එනතුරු සැදීපැහැදීය. ඒත් දැන් ආණ්ඩුව ප්‍රතිපාදන කපා ඇති බැවින් ඒ කවුරුත් එනතුරු පොත් ප්‍රකාශකයන් බෙල්ල කඩාගෙන බලා සිටියත් වැඩක් වන්නේ නැත. පොත් ප්‍රදර්ශනයට පොත් මුද්‍රණය ආරම්භ වන්නේ තෙමසකට පමණ පෙර ජුනි මාසයේ පමණය. පොත් මුද්‍රණය කරන ජනප්‍රියතම කඩදාසිය 70 gsm කඩදාසියයි. ගිය වසරේ සැප්තැම්බරයේ එම කඩදාසි රිම් එකක් නොහොත් පැකට්ටුවක මිල වූයේ රුපියල් 17,000/= කි. ඊටත් කලින් වසරේ එය තිබුණේ රුපියල් 4000/=ත් අඩුවෙනි. ඒත් 2023 ජුනි වන විට කඩදාසිය රුපියල් 9000/=ටත් වඩා අඩු විය. ඒත් අපේ ප්‍රකාශකයන් තවමත් පොත් මිල කරන්නේ පසුගිය වසරේ කඩදාසි මිලට වීම පාරිභෝගිකයාට මරු පහරක් එල්ල කොට හමාරය.
ලංකාවට ඕෆ්සෙට් මුද්‍රිත පොත් ආරම්භකයා මහරගම තිබූ යුනෙස්කෝවේ සමන් මුද්‍රණාලයයි. ජේ.ආර්. වරක් ඇසුවේ සාහිත්‍ය කන්නට දැයි කියාය. එහෙත් ලංකාවේ ඕෆ්සෙට් මුද්‍රණ ප්‍රචලිත වූයේ 77න් පසු ජේ.ආර්. ගේ ධර්මිෂ්ඨ යුගයේය. ඒත් මේ පොත් ප්‍රදර්ශනයේ සාහිත්‍ය කන්නටදැයි ඇසූ ජේ.ආර්.ට පින් සිදුවන්නට ආගමනය වූ ඕෆ්සෙට් මුද්‍රිත පොත් විනා එදා ගල් අච්චුවේ පහරවපු උස්තල නොහොත් ලෙටර් ප්‍රෙස් පොත් කිසිවක් දැකගත නොහැකි වීම විශේෂත්වයකි.
වජිර ලියනගේ, ඡායාරූප - ගයාන් පුෂ්පික