– මම තාම රංගනය කියන දැවැන්ත සාගරය පේන මානේ ඉන්නේ
– මායා දැල වේදිකා නාට්‍ය කියන්නේ ජීවිතය පිළිබඳව වඩාත් හොඳ කියවීමක්
– මාව නිවේදිකාවක් විදියට හඳුන්වනවට තමයි මම කැමති
ගුවන් විදුලි වැඩසටහන් සහකාර නිෂ්පාදකවරියක්, නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන ඇය 2020 වර්ෂයේ ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උෙලළේදී ලංකාවේ විශිෂ්ඨතම ගුවන් විදුලි නිවේදිකාව වශයෙන් රාජ්‍ය සම්මානයටද පාත්‍ර විය. ලක්හඬ ගුවන් විදුලි සේවයේ විකාශය වන ප්‍රේම තටාකය වැඩසටහනෙහි නිවේදිකාව වශයෙන් කටයුතු කරන ඇය, මේ වන විට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයටද අවර්ණය වී හමාරයි. මායා දැල නවතම වේදිකා නාට්‍ය තුළින් ඔබ හමුවට එන ඇය නමින් මොනිකා සේරසිංහයි.
කවුද මේ මොනිකා කියන්නේ?
මම ගමක ඉදන් කොළඹ ඇවිත් බොහොම අසීරුවෙන් මේ ගමන ආව කෙනෙක්. තාම බොහෝ දේ ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්. ඒ වගේම හරිම සාමාන්‍ය සරල චරිතයක්.
පාසල් යන අවධියේ ඔබ සම්බන්ධ වුණ කෙනෙක්ද?
මට ඒ කාලේ ඉදන්ම හොඳට ලියන්න පුළුවන්. පාසල් අවධියේ මගේ මූලිකම හැකියාව තිබ්බෙ ගායනයට. නිවේදනයටවත් රංගනයටවත් මම සමීප වුණ කෙනෙක් නෙමෙයි.
ඔබේ පළමු වේදිකා නාට්‍ය අත්දැකීම ගැන කතා කළොත් ?
මගේ පළමු වේදිකා නාට්‍ය අත්දැකීම තමයි මායා දැල වේදිකා නාට්‍ය. එය අධ්‍යක්ෂණය කරන්නේ නීතිඥ කපිල ගාමිණී ජයසිංහ අයියා. ඔහුව දවසක් මම සම්බන්ධකර ගන්නවා ප්‍රේම තටාකේ වැඩසටහනේ පටිගත කිරීමකට. එතැනදී ඔහු මම වැඩසටහන ඉදිරිපත් කළ ආකාරය දැකලා ඊට මාස අටකට විතර පස්සේ තමයි මට මේ නාට්‍ය වෙනුවෙන් ආරාධනා කරන්නේ. මායා දැල වේදිකා නාට්‍ය කියන්නේ ජිවිතය පිළිබඳව වඩාත් හොඳ කියවීමක්. මේ නාට්‍යයට ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙහි කාන්තා චරිත දෙකක් නිරූපණය වෙනවා. ඉන් එකක් නිරුපණය කරන්න මට අවස්ථාව ලැබිලා තියනවා.
ඔබ ඉදිරියටත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවද?
මම කැමතියි රංගනය හරහා ඉදිරියට යන්න. ඒ වෙනුවෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් මට උපදෙස් ලැබෙනවා. ඒ වගේම මගේ බලාපොරොත්තුව රංගනය පිළිබඳ විධිමත් හැදෑරීමක් කරමින් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්නයි.
ඔබ වඩාත් කැමති ඔබව නිවේදිකාවක් වශයෙන් හඳුන්වනවටද? නැත්නම් රංගන ශිල්පිනියක් විදියට හඳුන්වනවටද?
මම තාම රංගනය කියන දැවැන්ත සාගරය පේන මානේ ඉන්නේ. තාම ඊට අවතීර්ණය වීම හෝ සිදු වෙලා නෑ. ඉතිං ඒ වෙනුවෙන් මට තව කාලයක් ගත වෙයි. කොහොම වුණත් මේ වෙනකොටත් මාව ගොඩක් අය දන්නෙ නිවේදිකාවක් විදියට. මාව නිවේදිකාවක් විදියට හඳුන්වනවට තමයි මම කැමති.
ඔබේ පවුලේ තොරතුරු ගැන කතා කළොත්?
මගේ අම්මා සහ තාත්තා දෙන්නම සරල මිනිස්සු. ඒ වගේම මට ඉන්නේ සහෝදරියක්. මම විවහ වෙන්නේ මගේ ප්‍රථම ප්‍රේමය සමඟයි. ඔහු වෘත්තියෙන් සූපවේදියෙක්. මේ වෙනකොට මට දියණියක් ඉන්නවා. මගේ පවුල තමයි මට තියන ලොකුම ශක්තිය. මගේ වැඩකටයුතු සියල්ලක්ම කළමනාකරණය කර ගන්න මගේ පවුලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
ඔබේ නිවේදන ක්ෂේත්‍රයේ ආරම්භය ගැනත් අපි කතා කරමු?
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයෙන් තමයි මගේ ආරම්භය සිද්ධ වුණේ. මම පුංචි කාලේ ඉඳන්ම කියවන්න ගොඩක් කැමති කෙනෙක්. මම පොඩි කාලේ ගෙදරට සීනි, පිටි ඔතලා ගේන පත්තර කෑල්ලේ සිරස්තලය කියලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා වගේ කියලා පුරුදු වෙනවා. දවසක් රජරට සේවයේ සහන නිවේදක නිවේදිකාවන් බඳව, ගන්නවා කියලා මට අහන්න ලැබෙනවා. අප්පච්චි තමයි කිව්වේ ඔයා ආසයිනේ නිවේදනය කරන්න අයදුම් කරන්න කියලා. එහෙම තමයි රජරට සේවයට සම්බන්ධ වෙන්නේ. මම 2006 – 2009 කාලය තුළ එහි සේවය කරනවා. පස්සේ තමයි ලක්හඬ සමඟ සම්බන්ධ වෙන්නේ
ඔබට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?
මට ගොඩක් හොඳ ශ්‍රාවක ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ මගේ ජීවිතයේ මට තරගකරුවන් හෝ තරහකරුවන් නෑ කියලා. එහෙම හිටියත් මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ. මට ආදරෙන් සහ තරහෙන් ලැබෙන සියලූම උපදෙස් ඒ වගේම ප්‍රතිචාර බොහොම ආදරයෙන් භාර අරගෙන මේ ගමන මම බොහෝම කල්පනාවෙන් හිමින් ඉදිරියට යනවා.
දසුනි වත්සලා වික්‍රමසිංහ