Home » හොඳ ප්‍රතිචාරවලට වැඩිය තියෙන්නේ නරක ප්‍රතිචාර

හොඳ ප්‍රතිචාරවලට වැඩිය තියෙන්නේ නරක ප්‍රතිචාර

by mahesh
September 16, 2023 12:32 am 0 comment
අනුෂා රණසිංහ

බොහෝ ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳගත් ටෙලි නිර්මාණයක් වන ප්‍රදීප් රසාංග අධ්‍යක්ෂණය කරන “හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යයයේ කිරුළිගේ චරිතය වෙනස් වී තිබෙනවා. කිරුළි ලෙසින් දැන් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ නවක රංගන ශිල්පිනියක් වන දුනිෂා පියුමි. රසඳුන මේ සොඳුරු කතාබහ අලුත් වූ කිරුළි සමඟින්

කොහොමද කලාවට එන්නෙ

2018 වසරේ ITN අවුරුදු කුමරිය තරගයේ තුන්වෙනි ස්ථානය ලැබුවා. එතැනින් පස්සේ කලාවට එන්නේ.

නිළියක් වෙන්න හිතුණේ ඇයි

මට රංගනයට එන්න කිසිම අදහසක් තිබ්බේ නැහැ. මගෙ අම්මට තමා ඕනේ වුණේ මම කලාවට සම්බන්ධ වෙනවා දකින්න. ඒ හැර රංගනයට එන්න මට බලාපොරොත්තුවක්වත් තිබ්බේ නැහැ. කොහොම හරි ඒ දේ වුණා. රංගනයට එන්න කලින් මම මොඩ්ලින් කළේ. 2016 ඉඳන් මම මොඩ්ලින් කරනවා. ඒ කාලේ ඉඳන් ස්ක්‍රීන් ටෙස්ට් සහ ඔඩිෂන් වලට ගිහින් තමා මම රංගනයට එන්නේ. බොහෝ නිර්මාණවල සෙසු චරිතවලට දායක වෙන්න ලැබුණා. ඒ දේවල් තුළින් ලද අත්දැකීම් එක්කයි රංගනයට එන්නේ. මම දෛවය විශ්වාස කරනවා. තමන්ට ගැළපෙන දේ තමන්ව හොයාගෙන එනවා. නාඩගම්කාරයෝ, අහස් මාළිඟා, බ්ලැක් පූල්, හේල්‍යන් යන නාට්‍යවල මම රඟපෑවා

කිරුලි මේ වෙද්දී ජනප්‍රිය චරිතයක්. කෙනෙක් කරපු චරිතයක් කරන්න ආරාධනා ලැබෙද්දි මොකද හිතුණේ?

ඇත්තටම කිරුළි කියන චරිතයෙන් ශෙනායා අයින් වෙලා ඒකට මාව සිලෙක්ට් වෙලා තියෙනවා කියලා ඉස්සෙල්ලම මම දැනගත්තම ඒ අභියෝගය එකපාරටම භාර ගන්න හිතුණේ නැහැ. මෙතෙක් ශෙනායා කරපු කිරුළි චරිතය මට ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයිද කියන එක ගැන හිතට පොඩි චකිතයක් ආවා. කෙනෙක් කරපු චරිතයක් මැදින් භාරගෙන කරගෙන යනවා කියන්නෙම ලොකු අභියෝගයක්.

කොහොමද ඒ අභියෝගයට මුහුණ දෙන්න හිතුවේ?

මම ටිකක් කල්පනා කරලා බැලුවා. ජීවිතේට අභියෝග එන්න පුළුවන්. ඒවා මග හැරලා යන්න අපිට බැහැ. ඒ නිසා මම කල්පනා කළා මගේ ජීවිතේට ආව මේ අභියෝගයත් භාර ගන්නවා. ඉස්සරහට මොන දේට මුහුණ දෙන්න වුණත් ඒ දේවල් වලට නොබියව සතුටින් මුහුණ දෙනවා කියලා කිරුළි චරිතය භාර ගත්තා. ප්‍රේක්ෂකයා කිරුළි ලෙස බලාපොරොත්තු වෙන්නේ ශෙනායාව. මට ශෙනායා වෙන්න බැහැනේ, නමුත් මම කිරුළිට උපරිම සාධාරණයක් කරන්න හිතා ගත්තා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

කිරුළි විදියට ප්‍රේක්ෂකයා මාව දැකලා තියෙන්නේ තවම දවස් කිහිපයයි. ඇත්තටම කිව්වොත් හොඳ ප්‍රතිචාරවලට වැඩිය තියෙන්නේ නරක ප්‍රතිචාර. මම හිතනවා කාලයත් එක්ක ප්‍රේක්ෂකයා හිමීට අලුත් කිරුළිට හුරුවෙයි කියලා. ශෙනායාගෙන් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වුණු දේ දුනිෂාගෙනුත් ඉටුවෙයි. ඒ විශ්වාසයෙන් වැඩ කරගෙන යනවා.

ඉදිරි නිර්මාණ මොනවාද?

තව ටෙලි නිර්මාණයකට සහ චිත්‍රපට කිහිපයකට දායක වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී දකින්න ලැබෙයි.

ගෙදරින් කොහොමද ලැබෙන සහයෝගය

මට ලොකුම සහයෝගය ලැබෙන්නේ ගෙදරින්. මට රංගනයට එන්න බලාපොරොත්තුවක් නොතිබුණු කාලයේ පටන් අම්මගේ හීනය වෙලා තිබ්බේ මම කලාවට සම්බන්ධ වෙනවා දකින එක. මුලින්ම මාව මම දන්නෙත් නැතුව මගේ ඇප්ලිකේෂන් දාලා මාව යැව්වේ මගේ අම්මා. නිළියක් වීම මගේ බලාපොරොත්තුවක් කියනවට වඩා මම කැමතියි අම්මගේ බලාපොරොත්තුවක් කියන්න. ඒ නිසා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්න ලොකු සහයෝගයක් ලැබෙනවා.

ආදරවන්තියක් ද?

ඒ ගැන නම් ප්‍රේක්ෂකයින්ට ඉදිරියේදී දැන ගන්න ලැබෙයි.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මම තවම වැඩිදුර ඉගෙන ගන්න ගන්නවා. මගේ ලොකුම බලාපොරොත්තුව ඖෂධවේදිනියක් වෙන්න. මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට කාලය කළමනාකරණය කර ගන්න අමාරු නිසා ඉගෙන ගන්න කටයුතු කරගන්න පොඩ්ඩක් අමාරුයි. ඒත් කොහොම හරි ඉගෙනීම් කටයුතු කරගන්න ගමන් මේ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් උපරිම දුරක් හොඳ විදියට හොඳ නමක් හදාගන්නයි අනාගත බලාපොරොත්තුව.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division