Home » හදවතට දැනෙන ආදරයක් ගැන කැමැත්තක් තියෙනවා

හදවතට දැනෙන ආදරයක් ගැන කැමැත්තක් තියෙනවා

by mahesh
September 16, 2023 12:30 am 0 comment
සමන්ති මිරියගල්ල

කුඩා කල සිටම කලාවට ආදරය කළ ඇය සිහින මැවූයේ රංගන ශිල්පිනියක වීම සඳහාය. පාසල් අධ්‍යාපනය අවසානයේ ඇයට එම සිහිනය සඵල කර ගැනීමට අවකාශය උදා විය. අද අපේ කතා බහට එක්වන නව යෞවනයේ සොඳුරු රුවැත්තියක වන ඇය නමින් අංජලී මධුවන්තිය.

අංජලී කොහොමද රංගන සිහිනය සැබෑ කර ගත්තෙ?

මගේ උපන් ගම ගාල්ල, හැබැයි කාලයක සිටන් මම ජීවත් වෙන්නෙ කොළඹ. කුඩා කාලෙ හක්මන මාර/ කොග්ගල කනිටු විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා. පසුව කොළඹ පදිංචියට ආවට පස්සෙ කඩුවෙල බෝමිරිය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබනව. අධ්‍යාපනය නිම වුණාට පස්සෙ මට සොෆ්්ලොජික් ආයතනයෙ රැකියාව ලැබෙනවා. පවුලෙ අම්මයි තාත්තයි ඇතුළුව අයියා සහ නංගී, මල්ලි ඉන්නව. අයියයි, නංගියි, මල්ලියි විවාහකයි. මට රඟපෑමට එන්න උදව් කළේ ඉංගිරියෙ මගෙ යාළුවෙකුගේ අයියා කෙනෙක්. මේ වසර දෙක තුළ මම කලාවේ බොහෝ දේ ඉගෙන ගත්තා . බොහෝ රංගන ශිල්පීන් කලාකරුවන් රැසක් මට මුණ ගැසුණා. ඒ හමුවීම් මාව දිරිමත් කළා.

අංජලීව අපිට දකින්න පුළුවන් කලා නිර්මාණ මොනවද?

මම මුලින්ම දෙරණ රූපවාහිනියෙ ධරණි ටෙලි නාට්‍යයට තමා සම්බන්ධ වෙන්නෙ. ඒ සඳහා මට උදව් කරන්නෙ දිලින සිල්වා සහ ප්‍රදීප් මානවඩු දෙපළ ,පසුව හිරු ටීවී එකේ අළු යට ගිනි, අඳුරු සෙවණැලි කියන නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. පසුව ස්වර්ණවාහිනියෙ BO, හිරු ටීවී සංසාරිනී, දිවිතුරා වගේ නාට්‍ය එක්ක එකතු වෙනවා. ස්වාධීන රූපවාහිනීයේ කොළඹ ඉතාලි, සියත ටීවී වෙස්ගත්තෝ සහ තවත් නාට්‍ය විකාශය වෙනවා. මීට අමතරව මියුසික් වීඩියෝ, වගේම වෙළෙද දැන්වීම්වල කටයුතු කරල තියෙනවා.

මට රඟපාන්න ලැබුණු වෙනස්ම සහ අමතක නොවන රංගනය තමා මල් ශාලාවක රාත්‍රියේ මිනී පෙට්ටියක් ඇතුළේ පැය දෙකකට වඩා රංගනයේ යෙදෙන්න සිදුවීම. ඒක නම් අමුතුම අත්දැකීමක්, පෙට්ටියට පස් දැම්මා. හැබැයි මට බය කියල කිසිම හැඟීමක් දැනු‍ණෙ නෑ.

අංජලී නව යෞවනයේ ඉන්නෙ ආදරය ගැන අත්දැකීම් ඇති. ආදරය ගැන මොකද හිතන්නෙ?

මම ආදරයට කැමතියි. කාලයක් ආදරය කළා. ආදරය වින්දා. නමුත් එයා මගෙන් ඈත් වෙලා ගියා. මට හිතෙන්නෙ සැබෑම ආදරයක් ලැබුණා නම් ඒ අම්මාගෙන් ලැබුණු ආදරේ විතරමයි. ඒ නිසා හදවතට දැනෙන ආදරයක් පිළිබඳව කැමැත්තක් තියනව. මොකද ආදරය හැම කෙනෙකුටම අවශ්‍යයි. ආදරයෙන් තොර ජීවිතයක් අපි කාටවත් නෑ.

මොනවද අංජලීගෙ අනාගත බලාපොරොත්තු?

මම ආසයි රස්තියාදුකාර කෙල්ලකගෙ චරිතයකට පණ පොවන්න. ඒ වගේම මගෙ කියල සැලෝන් එකක් පටන් ගන්න ආසාවක් තියනවා. මට ඕන ගොඩක් සල්ලි හම්බ කරන්න නෙමෙයි. කලාවෙ රැඳිල ඉඳලා කලාවෙන්ම ඉදිරියට යන්න. ඒ නිසා මම දිගටම කලාවෙ රැඳිල ඉන්නව.

මට මගේ සිහිනය සැබෑ කර ගන්න මේ ක්ෂේත්‍රයට එන්න උදවු කරපු සියලුම දෙනාට‍ හදවතින්ම ස්තුති කරනව.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division