Home » කරපිංචා කල්ලියේ සහාය කාටද?

කරපිංචා කල්ලියේ සහාය කාටද?

by mahesh
September 16, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට මතුවී ඇති අර්බුදය තුළ යළි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමේ මෙහෙයුමක් ආරම්භ වී තිබේ. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලනයට පිවිසෙනවා ද කියන කාරණය ගැනත් දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමු වූ කරුණකි.

ජනපති රනිල් කියුබාවට

ජනපති කියුබානු සංචාරයක් සඳහා පිටත්ව ගියේ ඉකුත් බදාදා අලුයමය.

මෙම ගමනට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ද එක්විය. ජනපති ඇතුළු දූත පිරිස කියුබාවේ හවානා නුවරට ළඟා වූයේ මෙරට වේලාවෙන් බ්‍රහස්පතින්දා පෙරවරුවේය. ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කියුබානු ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුනේ 14 වැනිදා ය.

කියුබානු ජනාධිපති මිගායෙල් ඩියෙස් කැනල් ගේ ආරාධනයකට අනුව ජනපති රනිල් ඇතුළු පිරිස එහි ගිය අතර 15 දා හා 16 දා පැවැත්වෙන සමුළුව අවසන් කොට ජනපති රනිල් ඇතුළු දූත කණ්ඩායම 17 දා ඇ‍ෙමරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතය. ජනපති රනිල් ඉකුත් සති අන්තය කොළඹ ගතකළ අතර තෝරාගත් රැස්වීම් කිහිපයක් එදිනට යෙදී තිබුණි.

ජනපති ඉරිදා දින රාත්‍රියේ කෝට්ටේ රාජමහා විහාරය වෙත ගියේ කෝට්ටේ දළදා පෙරහරේ මංගල හස්ති රාජයා මත කරඬුව තැන්පත් කිරීමටය. එහෙත් කරඬුව තැන්පත් කිරීම වෙනුවෙන් ස්ථිරව සකස් කර තිබූ ගොඩනැඟිල්ල අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ඉකුත් ජනපතිගේ පාලන සමයේ කඩා ඉවත් කළ ද මෙතක් එය පිළිසකර කර නොතිබුණි.

ජනපති ආරක්ෂකයන්ගේ බිය සාගල දුරු කරයි

එම නිසා කරඬුව තැන්පත් කිරීම වෙනුවෙන් තාවකාලික අට්ටාලයක් සකස් කර තිබූ අතර ජනපති රනිල් වික්‍රමසිංහ එහි නැංවීමට ආරක්ෂක අංශ අදි මදී කළේය. ඒ අනුව ජනපති රනිල් කරඬුව රැගෙන අට්ටාලය තෙක් රැගෙන ඒමටත් එහි සිට අට්ටාලයට නැග කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම සාගල රත්නායක විසින් කිරීමටත් තීන්දු කෙරිණි.

කරඬුව රැගෙන ජනපති අට්ටාලය අසලට එද්දී එය ශක්තිමත් අට්ටාලයක් බව දුටු ජනපති සැලසුම වෙනස් කළේ කාර්ය මණ්ඩල ප්‍රධානි කියූ දේ ඔහුටද අවබෝධ වී තිබීම නිසාය. “සර් මේ අට්ටාලය ස්ථිර ගොඩනැඟිල්ලක් වගේ හදලා තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. උඩට යමු” සාගල කියූ දේ අනුමත කළ ජනපති කරඬුව රැගෙන අට්ටාලය මතට ගොඩ වැදුණේ ආරක්ෂකයන්ගේ බිය දුරුකරමිනි.

විජයදාස සාගලගේ අතින් අදී

ජනපති කරඬුව තැන්පත් කිරීමෙන් පසු ඒ අසලට සමන් පිච්ච මල් පූජා කිරීමට ඇමැති විජයදාස රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන්ටත් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකටත් ආරාධනා කර තිබුණි. පළමුව මල් පූජා කළ ඇමැති විජයදාස දෙවැනියට මල් පූජා කරන්නට ගිය සාගල ගේ අතින් අදින්නට වූවේ අට්ටාලයේ කෙරවලටම පැමිණ ඔහු කරඬුවට මල් පූජා කරද්දීය.

කිහිප විටක්ම ඇමති සාගලගේ අතින් ඇද ඔහුව පසු පසුට ගත්ත ද සාගල කරඬුවට මල් පූජා කොට අවසන් කළේය. ඇමැතිවරයා කළ දේ සාගලට හිතා ගැනීමට නොහැකි වූ අතර ඔහු කිහිපදෙනෙකු සමඟ ද මේ ගැන කියා තිබුණි.

සඳුදා උදෙන්ම සාගලගේ දුරකතනයට ඇමතුමක් දුන්නේ ඇමැති විජයදාසය. දුරකතනයට සම්බන්ධ වෙමින් සාගල විමසා සිටියේ “ ආ ඇමැතිතුමා මොකද ඊයේ මට කරඬුවට මල් පුජා කරන්න නොදී පස්සට ඇද්දේ” කියාය.

“ඔයා දන්නවද මට වෙච්ච දේ..” ඇමැති විමසද්දී සාගල විමතියට පත්වූවේ තමන්ගෙන් යම් අතපසුවීමක් වුණා දැයි සිතමිණි.

ඇමතිවරයෙකුට ඇතෙක් හේත්තු වෙයි

“ඇයි මොකක්ද වුණේ ඇමතිතුමා.” සාගල පෙරළා ප්‍රශ්න කළේය.

“නෑ මම අට්ටාලයේ වැටට අත තියලා මල් පූජා කරද්දී ඇතා මගේ අතට හේත්තු වුණා.” ඇමැති විජයදාස කියද්දී සිදුවූ දේ තේරුම් ගත් සාගල ඇමැතිගේ සුවදුක් විමසන්නට වූයේය. ඇමැතිට වූ අකරතැබ්බය ගැන කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ජනපති රනිල්ව ද දැනුම්වත් කළේය.

අගමැති දිනේෂ් හා බැසිල් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පසුගිය 13 දින රාත්‍රී කොළඹ දී සිදුකෙරිණි.

මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාව හා අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි වඩාත් සහන සලසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති බැවින් ඉදිරි අයවැයේදී ජනතා සුබසාධන හා ජනතා සහන සැලසීම සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කරන මෙන් මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට එහිදී තීරණය විය.

ඇමැති ප්‍රසන්න රාජපක්ෂලාට පිටුපායි ද ?

ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රසිද්ධව සිටියේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවිහිමියෙන්ම කැපවී ක්‍රියා කරන පුද්ගලයකු ලෙසිනි.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටියේ එවකට තමන් දැරූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යධුරය අහිමිවීමේ අවදානම හිසින් දරාගෙනය.

“මට මොනව වුණත් මම මහින්ද මහත්තය වෙනුවෙන් පෙනී ඉන්නවා”එසේ කියූ ඔහු යහපාලන රජය පතුරු ගැසුවේය.

එහෙත් අරගලයෙන් පසුව ජනපතිධුරයට රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමඟ ඇමැති ප්‍රසන්න වැඩිපුරම ජනාධිපතිවරයාගේ ගුණ වයන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහවිය. ⁣”ප්‍රසන්න දැන් යූ.එන්.පීයට වැඩ. අපිත් එක්ක වැඩ නෑ” පොහොට්ටුවේම සමහරු කියන්නට වුහ..

විරුද්ධවාදීන්ගේ මේ කතා බහ නිහඬවම අසා සිටි ඇමැති ප්‍රසන්න පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල්කිරිගල ආසන බල මණ්ඩලයට සහභාගී විය.

“සර් දැන් වැඩිපුර කතා කරන්නෙ යූ.එන්.පී එක ගැන.සර්ගෙ කතා ඇහුවම හිතෙන්නේ අපිව අමතක කරල කියලයි.”

හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇමැති ප්‍රසන්නට කීය.

“මම කවදාවත් මහින්ද මහත්තයට පිටුපාන්නෙ නෑ”ඇමැති ප්‍රසන්න කීය.

ඒ අතරතුර ඇමැතිවරයා මන්ත්‍රී නාමල් රාජපක්ෂට දුරකතන ඇමතුමක් ගත්තේය.

කිරිඇල්ල – විමල්ට කීවේ මොනවාද?

හිටපු අමාත්‍ය විමල් වීරවංශට පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මුණ ගැසුණේය.

“කොහොමද විමල්” යනුවෙන් කතාව ආරම්භ කළේ කිරිඇල්ලය.

“අපේ දේශපාලන කටයුතු කරගෙන යනවා. මන්ත්‍රීතුමා” යනුවෙන් ප්‍රතිචාර දැක්වුයේ විමල් වීරවංශය.

ඔයාගේ රැස්වීම්වල කතා හරිම රසවත්. මිනිස්සු ඒ කතා අහන්න ආසයි.‍ හොද්දක් වුණත් හොඳට රස වෙන්නේ රම්පේ, කරපිංචා එහෙම දැම්මම තමයි” යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

“ඒ කියන්නේ හොද්ද රහ කරන්න කරපිංචා දාලා පස්සේ විසිකරනවයි කියන එකද” යනුවෙන් විමල් දැක්වු ප්‍රතිචාරයට දෙදෙනාටම සිනහ නොවී සිටීමට නොහැකි විය.

“අනේ අපි නම් හොද්දට දාන කරපිංචා පස්සේ විසිකරන්නේ නැහැ. ඔබතුමයි. වාසුයි, ගම්මන්පිලයි තමයි පොහොට්ටුවේ හොද්ද හොඳට රස කළේ” යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේය.

නව සන්ධානයෙනුත් අය වැයට යෝජනා

නව සන්ධානයේ ඉදිරි දැක්ම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන නියෝජිත හමු මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් හමුව එහි මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශනගේ කුලියාපිටිය,ඊරියගොල්ල පිහිටි නිවසේ පසුගිය සෙනසුරාදා පැවැත්වුණි. මෙම වැඩ පිළිවෙළ සමඟ අත්වැල් බැඳ ගැනීම සඳහා පොහොට්ටුවේ ඇතැම් ප්‍රතිපත්ති ගැන අතිශය කලකිරීමකට පත්ව සිටින වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 8ක්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් 7ක්, උප සභාපතිවරුන් 8ක් සහ ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් 34ක් පැමිණීම ද විශේෂත්වයකි.

මෛත්‍රී – දයාසිරි ගැටුම ගැන අමරවීරගේ ගෙදර කතා වුණේ මොනවාද?

සන්ධානයේ කටයුතුවලට අමතරව මෙහිදී විශේෂ අවධානයක් යොමුවූයේ දයාසිරි ජයසේකර ඉවත් කිරීම පිළිබඳවය.

දයාසිරි අවස්ථා ගණනාවකදීම පක්ෂ නායකත්වය විවේචනය කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද ආරංචි වී ඇති බව ද මෙහිදී හෙළි විය.

“කොයි නායකයා ද කැමති තමන්ව විවේචනය කරන මනුස්සයෙක්ව දිගටම තියාගන්න”නිමල් ලන්සා කිවේය.

“ඔව්.. ඇමැතිතුමා.. එකක් නෙමෙයි මෙයා හැමතැනම ගිහින් සර්ට බැණල තියනවා, මෙහෙ විතරක් නෙමෙයි. ජපානේ ගිහින් හොඳටම සර්ට දොස් කියලා එකයි වුණේ..”මියුරු භාෂිත කියාගෙන ගියේය

“නායකයට අරින්න ගත්තොත් ඉතින් කරන්න බෑනේ..එහෙමනං බැණ බැණ ඉන්නේ නැතිව එතන ඉන්න බැරිනං නම්බුකාර පිටින් යන්න ඕන “නලින් ප්‍රනාන්දු ද කතාබහට එක්විය.

“දැන්නම් එයා හොඳටම බනින්නේ අපිට.. මගෙනුත් යන යන තැන මීඩියා එකෙන් ඕක අහනවා. මම කිසිදෙයක් කියන්න යන්නේ නෑ..”අමරවීර කිවේය.

“මොන දේ කළත් අපි නායකත්වයට ගරු කරන්න ඕනෑ. එහෙම නොකෙරුවොත් එතන ප්‍රශ්නයක් වෙනවම තමයි” නිමල් ලන්සා පිරිස දෙස බලමින් කිවේය.

“ඒ විතරක් නෙමෙයි දැන් ලක්ෂ 50ක් ඔට්ටුවක් අල්ලපු කෙනෙක් ගැනත් කියනවා. ගම්පහ රාජ්‍ය ඇමැති කියල කියන්නේ.. සමහරු මගෙනුත් අහනවා අනේ මම නම් කාටවත් කිසිම ඔට්ටුවක් අල්ලලා නෑ”ලසන්ත අලගියවන්න එසේ ප්‍රතිචාර දැක්විය.

“දැන් දයාසිරි කියන්නේ අපි පක්ෂේ ගෙනිහිල්ල යු.එන්.පී එකට හේත්තු කරන්නලු යන්නේ, යන යන තැන දැන් එහෙම කියනවා”දුමින්ද තවත් කතාවක් එකතු කළේය.

බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස්ට සජිත් කිව්වේ මොනවාද?

ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සිය වැඩ භාර ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් හමුවිය. මෙම සුවිශේෂී හමුවේදී මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගනු ලැබීය. එහි දී විපක්ෂ නායක සජිත් විසින් වත්මන් රජය පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ නියමිත වේලාවට නොපැවැත්වීම සහ මැතිවරණ දිගින් දිගටම කල් දමන බව පවසමින් බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස්වරයාව දැනුම්වත් කිරීමට පියවර ගත්තේය.

රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම උදෙසා මැතිවරණවල අවශ්‍යතාවය එහිදී සජිත් අවධාරණය කළේය. මහ කොමසාරිස්වරයා ද එය අනුමත කරනු ලැබීය.

මේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ඩැනියෙල් ෂෙරී ද එක් විය.

කැරම් ගහන්න දන්නේ නැති මහ ලේකම් කවුද?

පසුගියදා බෙලිඅත්ත ආසන බලමණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසිනි. මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, රාජ්‍ය ඇමැති ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ යන අය ඇතුළු තවත් බොහෝ දෙනෙකු සහභාගී වී සිටියහ. සාගර කාරියවසම් ඩී. වී චානක වීරසිංහ මන්ත්‍රීවරුන් උදෑසනම තංගල්ල කාල්ටන් නිවසට පැමිණ තිබිණි. දිවා ආහාරය ද ගත් පසු රැස්වීමට තවත් වේලාවක් තිබූ හෙයින් කැරම් අතක් සෙල්ලම් කිරීමට යෝජනා විය. මෙහිදී සාගර කාරියවසම් කීවේ තමා කැරම් ගහන්න දන්නෙ නෑ කියාය. “ඔන්න ඔහෙ ගහමු“ මෙසේ කීවේ ඩී.වී චානකය. අපි දාම් අදිමු සාගර කාරියවසම් නැවත යෝජනාවක් ඉදිරිපත් කළේය.

“අම්මෝ අපි කපාගෙන යන්නෙ නෑ ඉත්තෙක් වුණත්“ නාමල් සිනාසෙමින් පවසන විට සියල්ලෝ සිනාසුනහ.ඉන් අනතුරුව ඔවුන් පැමිණියේ බෙලිඅත්තේ මාබි හෝටලයටය. බලමණ්ඩල රැස්වීම පැවත්වූයේ එහි වූ අතර ඊට විශාල සෙනඟක් ද සහභාගී වී සිටියහ.

නාමල්ගෙන් ප්‍රශ්න කළේ අදෘශ්‍යමාන මිනිසෙක්ද?

පසුගිය කාලය පුරාම නාමල් පරණ නඩුවලට උසාවි පැමිණියේය. ඔහු තවත් නඩුවක් සඳහා සැප්තැම්බර් 14 සහභාගි විය. ආණ්ඩුවෙ ඉන්නෙ කිවුවත් තාම නඩුටික බේරගන්න බැරි වුණා නේද? කෝචොක් එකට මෙහෙම ඇසුවේ නාමල්ගේ මිත්‍ර නීතිඥවරයෙකි. අපි එහෙම නෑ. එන විදියට මුහුණ දෙනවා. නාමල් පෙරළා පැවසීය. සිය නඩු කටයුත්ත අවසන්ව එළියට පැමිණෙන විට මුණගැසුනේ අමුත්තෙකි. ඔහු නාමල් ඉදිරියට පැමිණ නාමල්ගෙන් ඉංග්‍රීසි‍යෙන් ප්‍රශ්න දෙකක් ඇසීය. “මොකද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙන්නෙ“ අමුත්තා ඇසීය

“ ඒක අපි හැමෝම පොදුවේ ගන්න ඕනෙ ප්‍රශ්නයක්. පහුගිය කාලය පුරාම අප උත්සාහ කළා ප්‍රශ්න නිරාකරණයට පාර්ලිමේන්තුවේදිත් වාද විවාද කළා. වහාම අපි එම ගැටළුවලට ජනතාවගෙ පැත්තෙන් විසඳුම් ලබා දිය යුතුයි. නාමල් ඉංග්‍රීසි භාෂාවෙන්ම උත්තර ලබා දුන්නේය. අමුත්තාගේ දෙවෙනි ප්‍රශ්නය වූයේ චැනල් 4 චෝදනා පිළිබදවය. මෙහිදී නාමල්ගේ මිතුරන් විමසුවේ ඔහු මීට කලින් දන්නවා ද කියාය.“අනේ මට මේ අදමයි හම්බ වුණේ. එකපාරටම ආවා හිතා ගන්න බැරිවුණා“ නාමල් පැවසීය.

විපක්ෂයට වජිර දුන් අනාවැකිය

වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවැති විශේෂ හමුවක් පසුගිය අඟහරුවාදා උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම විශේෂ හමුවට පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් වන නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය අචල ජාගොඩ, සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත්, එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.

මහලේකම් රංගේ බණ්ඩාර විසින් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පැමිණ සිටි සංවිධායකයින් දැනුම්වත් කළ අතර සභාපති වජිර විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඉතා හරවත් පැහැදිලි කිරීමක් සිදුකළේය.

චැනල් 4 හා වර්ජන ගැන වජිර කට අරී

මෙම රැස්වීම අවසානයේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් වජිරගෙන් දුම්රිය වර්ජනය සහ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් රජය පාර්ශ­්වයේ ප්‍රතිචාරය කුමක්ද යන්න විමසා සිටියේය.

එම ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් වජිර ප්‍රකාශ කළේ,

පාස්කු ප්‍රහාරය පිළිබඳ ගැටලුවේදීත් මම හිතනවා එක්සත් ජාතීන්ගේ වැඩකටයුතු ආරම්භ වෙනකොට මේ වගේ කාරණා සිද්ධ වීම ඉතිහාසය පුරා සිදුවෙලා තිබෙනවා. ජාත්‍යන්තර පරීක්ෂණයක් මීට ඉහතත් සිදුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ රාශියක් සිදුවෙලා තිබෙනවා. ඊට අමතරව වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳවත් ජනාධිපතිතුමා ඒ කියන කරුණු ගැන නැවත පරීක්ෂා කර බලන්න කමිටු කිහිපයක් පත් කර තිබෙනවා. යනුවෙන් ද වජිර අබේවර්ධන සඳහන් කළේය.

මහින්දගේ හා රනිල්ගේ අභියෝග භාරගැනීම

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සමඟ සම්මුඛ සාකච්ජාවක් සිදු කළ ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක නිලධාරියෙකු විමසා සිටියේ මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයින් ලෙස අභියෝගවලට මුහුණදුන් ආකාරය පිළිබඳවයි.

“මේ රටට වැඩිම විනාශයක් සිදු කළ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකෙන කොටි සංවිධානය පරාජය කරලා රට නිදහස් කරගැනීමට නායකත්වය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒක වෙන කාටවත් ඒ වෙලාවේ කරන්න බැරි වැඩක්.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට දරුණුතම ආර්ථීක අර්බුදයෙන් බේරා ගැනීමට කටයුතු කළා.

ඒකත් විශාල අභියෝගයක්. මං හිතන්නේ නැහැ. මේ අවස්ථාවේදී මේ ආර්ථීක අර්බුදයෙන් රට ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරම් වෙන නායකයෙක් ඉන්නවාද? කියලා” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division