Home » රටේ ඉදිරි ගමන සාධනීයයි

රටේ ඉදිරි ගමන සාධනීයයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

by mahesh
September 16, 2023 12:40 am 0 comment

– ද්විපාර්ශ්වීය ණය හා වාණිජ පදනමින් ලබාගත් ණය වසරකට ඩොලර් බිලියන 3 ගණනේ ගෙවීම අපහසු කරුණක් නොවෙයි
– නියමාකාරයෙන් ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරන්නේ ලබන වසරේදී 
– ණය පොලිය සියයට 12.5 මට්ටමට අඩු කළ යුතුයි

අමෙරිකාවේ නිව්යෝර්ක් ග්ලෝබල් ෆිනැන්ස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව පසුගියදා ඔබ ‘ A’ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරයෙකු ලෙස ඉහළින් ඔසවා තැබුවා. ලොව අදටත් එවැනි අය සිටින්නේ 21 දෙනකු පමණයි…මේ ගැන සඳහනක් කළොත්?

මෙය අපේ සම්බන්ධයක් නැතුව ස්වාධීන ශ්‍රේණිගත කිරීමකට සිදු කළ දෙයක්. එය රටට විශාල ගෞරවයක්. සමහරු කියනවා බටහිර රටවල සම්බන්ධ නිසා හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ නිසා මෙය ලැබුණු බව. එය එසේ නොවන බව පැහැදිලි වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු සම්බන්ධයක් නොවූ රටවලටත් මේ ගෞරවය ලබා දී තියෙන නිසා. ලංකාවට ‘ A’ශ්‍රේණිය ලැබුණු පළමු අවස්ථාව මෙය කියලයි මම හිතන්නේ. අපි මෙතෙක් කරගෙන ගිය වැඩපිළිවෙළ හඳුනා ගැනීමක් හරහායි මේ අවස්ථාව උදා වුණේ.

ආර්ථිකය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියකු ලෙස රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන විග්‍රහයක් කළොත්? මීට වසරකට පෙර පැවැති තත්ත්වයට වඩා අද වෙනස් වන්නේ කෙසේද?

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රට තිබූ තත්ත්වය වඩා යහපත් බව හැමෝම දන්නා කරුණක්. නමුත් ආර්ථිකයේ වූ සංකෝචනය තවමත් යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ ක්‍රමෝපායන්ට අපි පිවිසෙමින් සිටිනවා. ආර්ථික වර්ධනය ඊළඟ පියවරයි. ආර්ථිකය කඩා වැටීම නිසා ආර්ථිකයේ ඇති වූ මන්දගාමි බව හා පසුබෑම මේ වසරේ දෙවැනි කාර්තුවේ සිට නිවැරදි මාර්ගයකට පිවිසෙමින් යනවා. නමුත් නියමාකාරයෙන් ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරන්නේ ලබන වසරේදීයි. 70%කට තිබුණු උද්ධමනය මේ වන විට තනි ස්ථාවර ඉලක්කමකට පවත්වා ගෙන ඇවිත් තියෙනවා. මේ වන විට කිසිවක් නොතිබූ සංචිතය ඩොලර් බිලියන 3.6 ක් දක්වා ඇවිත් තියෙනවා. මෙය තවදුරටත් වර්ධනය කර ගත යුතුයි. මේ වන විට රටේ ආදායම වැඩිවෙලා තියෙනවා. රාජ්‍ය සංස්ථාවල පාඩු අඩුකරගෙන තියෙනවා. මේවා මේ වන තෙක් ලබාගත් වර්ධනයන්. ඉදිරියට මීට වඩා හොඳ මාවතකට පිවිසිය හැකියි.

ඔබ එසේ පැවැසුවත් පසුගිය කාලයේ ජනතාවට ලැබුණු ඉන්ධන සහන, ගෑස් ඇතුළු අනිකුත් මිල සහන යළිත් නැතිවෙමින් යන බව පේනවා. ඉදිරියේදී අත්‍යාවශ්‍ය දෙයෙහි මිල යළිත් වැඩිවීම් සිදුවෙයිද?

තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය පසුගිය කාලයේ අඩු මුදලට සේවාව දුන්නේ බිලියන ට්‍රිලියන ගණනින් පාඩු විඳිමින්. නමුත් අලුත් ප්‍රතිපත්තිය වන්නේ ඒ අයගේ වියදම සොයා ගත හැකි පරිදි මිල තීරණය විය යුතු බවයි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල වැඩිවීම, අඩුවීම අනුවයි මේ ආයතන මිල තීරණය කළ යුත්තේ. තෙල් වැඩිපුර භාවිත කරන්නේ ඉහළ ආදායම්ලාභීන්. නමුත් වැට්, බදු බර වැඩියෙන් දැනෙන්නේ අඩු ආදායම්ලාභීන්ට. එසේ නොවිය යුතුයි. වැඩියෙන් තෙල් භාවිත කරන්නා ඒ බර දැරිය යුතුයි. මේ නිවැරදි ප්‍රතිපත්තියට දැන් රජය අවතීරණ වෙලා තියෙනවා. මෙහි මුල් පියවර ලෙස ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යද්දි ඒ ආයතන පාඩු නොලබා සේවය සැලසිය යුතුයි. දෙවැනි පියවර ඒ ආයතන කාර්යක්ෂම හා තරගකාරිත්වය වැඩි කිරීම තුළින් සිය සේවාව පාඩු නොලබන ආකාරයට ජනතාවට ලබා දිය යුතු යි. ඉදිරියේදි ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල අඩුවැඩි වීම තුළ මිල ගණන් වෙනස් විය හැකියි. දේශීය වශයෙන් නිෂ්පාදිත සූර්ය බල ආදියේ වාසිය ජනතාවට ලැබෙන ආකාරයට මේ පද්ධතිය සකස් කර තියෙනවා.

දේශීය හා විදේශීය ණය ගෙවීම් සිදු වන්නේ කොයි ආකාරයෙන්ද?

අපි පසුගිය අප්‍රේල් මස විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවූවා. ඒ වන විට වසරකට ගෙවීමට තිබූ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6 ක්. ඊළඟ පියවර වුණේ මේ බිලියන 6 ණය බර ගෙවිය හැකි පරිදි අඩුකර ගැනීම සලකා බැලීමයි. ද්වි පාර්ශ්වීය ණය හා වාණිජ පදනමින් ලබාගත් ණය වසරකට ඩොලර් බිලියන 3 ගණනේ ගෙවීම අපහසු කරුණක් නෙමෙයි. මේ නිසා ඉදිරියේදී වසරකට ගෙවීමට ඇති ණය බර භාගයකටත් වඩා අඩුකර ගෙවාගත හැකි පරිදි අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. රජයේ ණය අර්බුදයට විසඳුම වන්නේ දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍ය‍ුහගතකරණය කර දීර්ඝ කාලයක් තුළ ගෙවාගෙන යෑමයි.

රජය ප්‍රකාශ කළා, මේ වසර අග වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙනෙන බව. උද්ධමනයේ අඩු වීමක් පෙන්නුම් වෙනවාද?

පසුගිය මස අග වන විට උද්ධමනය 4% යි. මහ බැංකුවේ ප්‍රධාන වගකීමක් වන්නේ මිල ස්ථායිතාව. අපේ ඉලක්කය වන්නේ උද්ධමනය 5% ක ප්‍රමාණයෙන් දීර්ඝ කාලයක් පවත්වා ගෙන යෑමයි. පසුගිය වසරේ උද්ධමනය 70% ට තිබීම නිසා තමයි පොලී අනුපාතය වැඩිකර, ඉල්ලුම අඩුකර එය පාලනය කළේ. එය මහ බැංකුවේ වගකීමයි. කවුරුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ජුනි මස උද්ධමනය තනි අගයකට ගෙන ඒමට හැකි වුණේ ඒ නිසයි.

පසුගියදා මහ බැංකුව විසින් පොලී අඩු කිරීමක් සිදු කළා. එසේ වූයේ උද්ධමනය පහත බැසීම නිසාද?

ජනවාරි මස සිට උද්ධමනයේ අඩු වීම අපිට පෙන්නුම් වුණා. මේ නිසා මුලින් වෙළෙඳපොළ පොලී අනුපාතත්, පසුව ප්‍රතිපත්ති පොලි අනුපාතත් අඩු කළා. උද්ධමනය අඩු වන විට පොලී අනුපාත අඩු වෙනවා. අපි බැංකුවලින් ඉල්ලා සිටියා උද්ධමනය අඩුවීමෙන් ලැබුණු ඒ සහනය ඉක්මනට ජනතාවට ලබා දෙන ලෙස.

බැංකු පොලී අඩුවුණත් ජනතාව පීඩාවට පත්කරන බැංකු ණය පොලී අඩු කිරීමක් සිදුවූයේ නැහැ. ඇයි ඒ?

34% කට තිබුණ භාණ්ඩාගාර පොලී අනුපාත 17% ක් දක්වා අඩු වුණා. ප්‍රධාන ගැනුම්කරුවන්ට සතිපතා දෙන ණය පොලිය 29% ට වැඩිවුණත් දැන් එය 15% ක ප්‍රමාණයකට අඩු වුණා. තව දුරටත් අඩුවිය යුතු නිසයි, අපි බැංකුවලින් චක්‍රලේඛයක් හරහා ඉල්ලා සිටියේ ඉක්මනින් අඩුවීමේ සහනය ජනතාවට ලබා දෙන ලෙස. රාජ්‍ය බැංකු අඩු පොලියට ලබාගත් ණය පොලී පසුගිය කාලයේ වැඩි කළේ නැහැ. චක්‍රලේඛයට අනුව පොලී වැඩි කර ඇති අය එය 12.5% මට්ටමට අඩු කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ට සහන කාලයක් ලබා දී තියෙනවා.

ජනතාවට දැනෙන පරිදි බැංකු ණය පොලී අඩු නොවුණත් මේ වන විට ස්ථාවර තැන්පතු පොලී නම් විශාල වශයෙන් අඩුකිරීමක් සිදු කරන්නට බැංකු කටයුතු කර තියෙනවා?

බැංකුවක් ස්ථාවර ගිණුමක් සඳහා 24% ක පොලියක් දුන්විට එය වසරක් යන තෙක් අඩු වන්නේ නැහැ. මෙය තැන්පත්කරුවන්ගේ කැමැත්ත මත සිදු වූ නිසා වසරක් යාමට මත්තෙන් එය අඩු කරන්න බැහැ. රාජ්‍ය, පෞද්ගලික හා විදේශීය බැංකු අනුව ගෙවූ පොලීය අඩු වැඩි වුණා. සියලු බැංකු තමන්ගේ පිරිවැය අනුව මෙය අඩු කළ යුතුයි.

මේ වන විට ජනතාවට තදින්ම දැනෙන ලිසිං පොලීයේ අඩුවීමක් සිදුවුණේ නැහැ. ඉදිරියේදී අඩුවීමක් සිදු වෙයිද?

එය වෙනමම කොන්ත්‍ර­ාත්තුවක්. මෙහි තිබෙන ලීසිං එක ගෙවා අවසන් කර අලුත් පොලියට යායුතුයි. තිබෙන කොන්ත්‍රාත්තුව වෙනස් කිරීම අපහසුයි. වෙනස් කළ හැකි එකම ක්‍රමය අලුතින් අඩු පොලියට ලීසිං එකක් ගෙන කලින් පොලී ගෙවා දැමීමයි.

වර්තමානයේ ක්‍රෙඩිට් කාඩ් ණය සඳහා විශාල පොලියක් එනම් ණය මුදලට එනම් තුනෙන් එකකට ආසන්න මුදලක් පොලී වශයෙන් අය කරනවා. මෙය පහතට ගෙන ආයුතුයි නේද?

36% තිබූ පොලිය 28% ට අඩු කළා. මෙය ඉතා කෙටිකාලීන ණයක්. ඒ වගේමයි උකස් පොලියක් අඩුකර තියෙනවා. ඉදිරියටත් එය අඩුවෙමින් තියෙනවා.

සමහරක් බැංකු හිතුමතේ බැංකු පොළිය අඩුු වැඩි වීම් සිදු කරද්දී මහ බැංකුව අනුගමනය කරන ක්‍රමවේදය කුමක්ද? ජනතාවට එවැනි සහන නොදෙන ආයතන පිළිබඳ අනුගමනය කරන්නේ කුමන ක්‍රියාදාමයක්ද?

මේ සඳහා සති දෙකකට පෙර අපි නියාමනයක් ඇතුළත් නිර්දේශ නිකුත් කළා. යම් බැංකුවක් ගිවිසුමට පිටින් ආසාධාරණ විදිහට කටයුතු කරනවා නම් ජනතාවට යම් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය වෙතොත් එය කළ හැකිය. අදාළ චක්‍රලේඛයට විරුද්ධව යම් බැංකුවක් කටයුතු කරනවා යැයි සිතනවා නම් ඒ අයට විරුද්ධව වාර්තා කළ පසු අපි ඒ පිළිබඳ සොයා බලා දිය හැකි සාධාරණයක් ලබා දීමට කටයුතු කරනවා.

සැප්තැම්බර් මස වන විට IMFදෙවැනි ණය වාරිකය ලැබෙන බව කිවුවා. කවද්ද දෙවැනි ණය වාරිකය ලැබෙන්නේ?

ඊළඟ ණය වාරිකය ලබා ගන්න කලින් අපි එකඟ වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තියෙනවාද, ඊළඟ වර්ෂයේ ඉලක්ක මොනවාද යන්න පිරික්සීමට IMF කණ්ඩායමක් මේ මාසයේ ලංකාවට එනවා. ඔක්තෝබරයේදි ඔවුන්ගේ විධායක මණ්ඩලයට එම වාර්තාව යොමු කරනවා. නොවැම්බර් මස වන විටයි දෙවැනි වාරිකයේ මුදල් ලැබීම් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන්න ලැබෙන්නේ. මීට ක්‍රම කිහිපයක් තියෙනවා. රජය එකඟ වූ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරාගත හැකිද, දෙවැන්න ඉදිරියේදි සපුරා ගන්නා ඉලක්ක මොනවාද යන්න සාකච්ඡා කර එකඟ විය යුතුයි. සෑම වාරිකයකටම සම්පූර්ණ කළ යුතු වැඩ කොටසක් තියෙනවා. දෙවැනි වාරිකයේ ඉලක්ක සම්පූර්ණ කරගෙන යනවා වගේම තවත් සපුරා ගැනීමට කොටසක් තියෙනවා. යම් යම් අය මේ කටයුුතුවලට බාධා කිරීම නිසා ප්‍රමාද වීම් වෙනවා. මේ ප්‍රමාදවීම්වලට දායක වූ අය දැන් අහනවා ඇයි ප්‍රමාද වුණේ කියලා. ඒ නිසා ප්‍රමාද වීමේ වගකීම ඊට කටයුතු කළ අය විසින්ම බාරගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය අපි බලාපොරොත්තු වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස. නමුත් ලැබුණේ මාර්තුවල. ක්‍රියාවලිය ප්‍රමාදවීම දිගටම බලපානවා. නමුත් ප්‍රමාද වී හෝ ඒ දිශාවට යාම විශාල දෙයක්. දිශාව වෙනස් කරනවා කියන්නේ රට නැවතත් අගාධයකට යාමක්.

බදු ගෙවීම් සම්බන්ධව මහ බැංකුවේ අදහස ප්‍රකාශ කළොත්…?

මහ බැංකුව කරන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය. බදු කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මේ සම්බන්ධව තීරණ ගන්නේ මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය හා පාර්ලිමේන්තුවයි. අපි කරන්නේ රජයට උපදෙස් දීම පමණයි.

මහ බැංකු අධිපතිවරයා ලෙස ඉදිරිය ගැන පැවැසිය හැක්කේ කුමක්ද?

රට දැන් ස්ථාවර වී තියෙනවා. එය ඉදිරියට ගෙන යාමට ඇති මාර්ගය පටු මාර්ගයක්. කවුරු ආවත් යාමට ඇති මාර්ගය එයයි. එහි යනවා නම් පවතින රජය කුමක්ද යන කරුණ අදාළ නැහැ. නමුත් කවුරු හෝ මේ මාර්ගය වෙනස් කරන්න උත්සාහ දරනවා නම් වෙන්නේ රට තවත් අර්බුදයකට ගමන් කිරීමයි. ඒ නිසා පරිස්සමෙන් ඉදිරියට යා යුතුයි. එවිටයි ජනතාවගේ ආදායම් මාර්ග, දේශීය නිෂ්පාදන, රැකියා අවස්ථා වැඩි වී ජීවන තත්ත්වය නඟාසිටුවීමට හැකි වන්නේ. මේ යන ගමන ඉදිරියේදී සාධනීය තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි මගේ අදහසයි.

සුභාෂිණි ජයරත්න, ඡායාරූපය- නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division