Home » සීඅයිඩීයෙන් පනින්න හරක් කටා දේවාලෙ ඇතුළෙ ඉඳන් කොස්තාපල් එක්ක ගහපු ගේම

සීඅයිඩීයෙන් පනින්න හරක් කටා දේවාලෙ ඇතුළෙ ඉඳන් කොස්තාපල් එක්ක ගහපු ගේම

by mahesh
September 16, 2023 12:30 am 0 comment

රටින් පලාගොස් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම සහ පාතාල අපරාධ මෙහෙයවමින් සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාව මැඩගස්කරයේ සිට පසුගිය මාර්තු 15 වෙනිදා මෙරටට රැගෙන ආවේ ලොකු ගේමක් ගසාය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැඩගස්කරයේ බලධාරීන්ට පුද්ගලිකවම දුරකතන ඇමතුම් දෙමින් හරක් කටාව සහ ඔහු සමඟ අල්ලාගත් කුඩු සළිඳුව මෙරටට භාරදෙන ලෙස ඉල්ලා නොසිටින්නට අදටත් ඔවුන් දෙදෙනා සිටින්නේ නිදහසේ ජාවාරම් මෙහෙයවමිනි.

මැඩගස්කරයේ සිට හරක් කටාව මෙරටට රැගෙන ආවේ ද ලොකු ගේමක් ගසාය. ආර්ථික අතින් අපේ රට බංකොලොත් තත්ත්වයේ පැවති ඒ කාලසීමාව තුළ හරක් කටාව මෙරටට රැගෙන එන්නට පවා සිදුවන්නේ අවම වියදමක් ඒ වෙනුවෙන් දරමිනි. ඒ නිසාම ඔවුන් දෙදෙනාව මෙරටට ගෙන එන්නට පවා සිදුවන්නේ ලොකු අවධානමක් ද දරමිනි. එසේ ලොකු ගේමක් ගසා මෙරටට රැගෙන ආ හරක් කටාවත් කුඩු සළිඳුවත් රඳවා තබන්නට වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිව් වැනි මහලේ වූ සිරමැදිරි සංකීර්ණයේය. මාස හයක පමණ කාලයක් තිස්සේ ඔවුන් දෙදෙනා රඳවා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම මැදිරි සංකීර්ණයේ සිරමැදිරියකය. සිරමැදිරියක සිටියත් ඔවුන්ට සැප පහසුකම්වලින් නම් අඩුවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන්ම ඇසෙන කතාවකි.

හරක් කටාත් කුඩු සළිඳුත් මැඩගස්කරයේ සිට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තැබූ මුල් මාසය දෙක ගෙවීයත්ම ඇසෙන්නට වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට එතරම් ගැළපෙන දේවල් නොවේ. දැඩි ආරක්ෂාවක් සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා සහ කුඩු සළිඳු සතුව තිබී මත්ද්‍රව්‍ය පවා හමුවන්නේ මෙවන් තත්ත්වයක් හමුවේය.

හරක් කටා සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුවය. එසේ රඳවා තබාගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීති සහ රීති මාලාවකුත් ඇත. හරක් කටාවත් කුඩු සළිඳුවත් සිර මැදිරිවලින් දෛනිකව උදෑසන කාලයේ පිටතට ගෙන ව්‍යායාම සඳහා ඇවිදින්නට ඉඩ දෙන්නේ ද ඒ අනුවය. මොවුන් දෙදෙනා සතුව තිබී මත්කුඩු හමුවන්නේ එසේ ඔවුන් සිර මැදිරියෙන් පිටතට රැගෙන විත් නැවත සිර මැදිරියට දැමීමේදී රාජකාරි භාරව සිටි සැරයන්වරයකු විසින් ඔවුන්ව පරීක්ෂා කිරීමේදීය.

ව්‍යායාම් කිරීමට සිර මැදිරියෙන් පිටතට ගෙන නැවත සිරමැදිරිය තුළට රැගෙන යන අතරතුර හරක් කටා සහ කුඩු සළිඳු අතට මත්කුඩු ලැබුණේ කෙසේදැයි කියා නිසි විමර්ශනයක් සිදු කළේදැයි අදටත් සොයා ගන්නට නැති තරම්ය. ඒ හරක් කටාට සහ කුඩු සළිඳුට මත්කුඩු ලබා දීම ඇතුළේම වැඩක් වූ බැවින් උඩ බලාගෙන කෙළ ගසා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් මැලිකමක් දැක්වූ නිසා විය හැකිය. හරක් කටා සහ කුඩු සළිඳු සතුව තිබී මත්කුඩු හමුවී ඇතැයි කසුකුසුවක් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේත් ඉන් පිටතත් සිදුවන විට පොලිස් බලධාරීන් එය බොරැවක් යැයි කියා ඒ හැම දෙයක්ම වසන් කිරීමට පවා ඉදිරිපත් වූයේ එබැවිනි.

හරක් කටා සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටි කාලය තුළ මුදලට ගිජු කමක් දැක්වූ දුර්වල නිලධාරීන් ගණනාවක්ම සිය ග්‍රහණයට ගෙන ඇති බව පෙනී යන කරුණකි. ඒ අයගේ සහය ඇතිව ඔවුන් සිය ගෝලබාලයන්ට දුරකතන ඇමතුම් පවා දී ඇති බවට තොරතුරු ද නැත්තේම නැත. ඒ අතර ඩුබායිවලට පවා හරක් කටා දුරකතන ඇමතුම් ගෙන ඇති බව කියැවෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කරන ආකාරයට හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒමෙන් පසු ඔවුන් දෙදෙනාව ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගන්නේත් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය විසිනි. එම අංශයේ සේවයේ නිරතව සිටින නම් කළ නිලධාරීන් කිහිප දෙනෙකු හැරුණු කොට හරක් කටා සහ කුඩු සළිඳු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමට තබා සිර මැදිරිය අසලට යාමටවත් සෙසු අංශවල නිලධාරීන්ට ඉඩක් නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් ඒ සම්බන්ධයෙන් ලබාදී තිබී ඇත්තේ නියෝගයකි. එම අංශයේ නිලධාරීන් හැරුණු කොට හරක් කටාගෙන් සහ කුඩු සළිඳුගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලැබී තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසය, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, මත්ද්‍රව්‍ය කාර්යාංශය යන අංශවල සීමිත නිලධාරීන් පිරිසකට පමණි. එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රශ්න කරනු ලැබුවේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධික්ෂණය ඇතිවය. ඒ නිසා එම නිලධාරීන් පැමිණ හරක් කටාට හෝ කුඩු සළිදුට මත්කුඩු සහ ජංගම දුරකතන දුන්නේ යැයි කියන්නට බැරි තරම්ය.

රඳවා ගැනීමේ නියෝගයකින් රඳවා තබා ගන්නා සැකකරුවන්ට පිටතින් ආහාර රැගෙන ඒමේදී නීති මෙන්ම රීති මාලාවක් පවතින බව කියැවෙයි. එහෙත් මේ දෙදෙනාට එම නීතිත් රීතිත් අදාළ වී නැති බවට තොරතුරු කියැවෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළෙමිනි. මෙතෙක් කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි අපරාධකරුවන්ට වඩා වෙනස් ආකාරයකට මේ දෙදෙනාට ඇතැම් නිලධාරීන් සලකා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් අතර ඇත්තේ ලොකු කතාබහකි. මේ දෙදෙනාට කන බොන ජාති තබා ගැනීමට ශීතකරණයක් පවා මෙහි වෙන්වී තිබී ඇත්තේ සිර මැදිරියෙන් පිටතය.

හරක් කටා සහ කුඩු සළිඳු විසින් කුඩු සල්ලිවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ව බිළිබා ගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළත් ඉන් පිටතත් විවිධ කතාබහ පැවතියත් එය හුදු කතාවකට පමණක් සීමා වූවක් නොවන්නේ හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිහිසුන් කර පලායාමට කළ උත්සාහය සමඟිනි. පසුගිය 10 වෙනිදා සිදුවූ මෙම පලායාමේ සැලසුම හරියට බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක ජවනිකා පෙළකට බොහෝ සෙයින් සමානය.

හතරවැනි තට්ටුව නමින් ප්‍රකට කොටසේ ඇති සිරමැදිරි සංකීර්ණයක හරක් කටාත් කුඩු සළිඳුත් රඳවා තබා ඇත්තේ එකිනෙකට යාබද සිරමැදිරිවලය. ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාවට පැය 24 පුරාම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු ද සිර මැදිරි ඉදිරිපිට සන්නද්ධව යොදවා ඇත. හරක් කටාව සහ කුඩු සළිඳුව ප්‍රශ්න කිරීමට සිර මැදිරියෙන් පිටතට ගෙන ඔවුන්ව රැගෙන යන හැම තැනකම මෙම නිලධාරීන් දෙදෙනාද පස්සෙන්ම වැටී සිටිති. ව්‍යායාම් සඳහා පිටතට ගන්නා අවස්ථාවන්වලදී පවා ගිනි අවි අමෝරාගෙන මෙම නිලධාරීන් දෙදෙනා සිටින්නේ හරක් කටාත් කුඩු සළිදුත් මැඩගස්කරයේ සිට රැගෙන එන විට පවා පලායාමට ගත් උත්සාහයන් ගැන හොඳාකාරවම විශේෂ කාර්ය බලකායේ බලධාරීන් ඔවුන්ව දැනුම්වත්කර සිටි බැවිනි.

හරක් කටා සහ කුඩු සළිඳු සම්බන්ධයෙන් විමර්ශන භාරව කටයුතු කරන මහජන පැමිණිලි විමර්ශන අංශය ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලෙහි හය වැනි මහලේය. සති අත්තයේ හැරුණු කොට දෛනිකව පාහේ මෙම අංශයට හරක් කටාවත් කුඩු සළිඳුවත් රැගෙන යන්නේ සිවුවැනි මහලේ සිට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනාගේද ආරක්ෂාවක් සහිතවය. දෑතට මාංචු දමා ඔවුන්ව සිවුවැනි මහලේ සිට හයවැනි මහලට රැගෙන යන විට එය දකින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකිනෙකා පවසන්නේ “ අරූන් දෙන්නව දේවාලයට අරගෙන යනවා “ යැයි කියාය. ඒ හරක් කටා සහ කුඩු සළිඳු එම අංශයට රැගෙන ගිය පසු වෙන දේවල් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ඒවන විටත් ප්‍රසිද්ධ රහසක්ව පැවති නිසා විය හැකිය.

හරක් කටා සහ කුඩු සළිඳුව දේවාලයට රැගෙන ගොස් ප්‍රශ්න කරන ආකාරයක් හෝ ඔවුන් රැඳී සිටින්නේ කෙසේදැයි කියාවත් වෙන කිසිදු අංශයක නිලධාරියකුට පෙනෙන්නේ නැත. ඒ එම අංශය පිටතට නොපෙනෙන ආකාරයට හතර වටින්ම වටකර ඇති බැවිනි. එම අංශයට පිටස්තර අංශවල නිලධාරීන්ට තහනම් කලාපයක් බවට පත්ව ඇත. ඒ තරමට හරක් කටා සහ කුඩු සළිඳු සම්බන්ධයෙන් වූ විමර්ශන එම අංශයේ නිලධාරීන් විසින් පවත්වනු ලැබුවේ රහසිගතවය.

එදා ඉරිදා දිනයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ල ඉරිදාට මෙන්ම පොහොය වැනි රජයේ නිවාඩු දිනවල පාළු සුසාන භූමියක් බඳුය. වෙනත් දිනවල කාර්ය බහුල මේ ගොඩනැඟිල්ල තුළ සේවයේ නිරත වන්නේ නම් ඒ අතළොස්සක් පමණ වූ පිරිසකි.

මෙදින මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් හතර පස් දෙනෙක්ම පැමිණ සිටියේ හරක් කටාගෙන් සහ කුඩු සළිඳුගෙන් මාස තුනක් තිස්සේ ප්‍රශ්න කර අනාවරණයකර ගැනීමට නොහැකි වූ අලුත් තොරතුරු හෙළිකර ගැනීමට ද නැති නම් වෙනත් අරමුණකින්දැයි ඇත්තේ දැන් ලොකු ගැටලුවකි. කාන්තා නිලධාරීන් ද දෙදෙනෙක් එදා පැමිණ සිටින්නේ ප්‍රශ්න කිරීම් සටහන් කර ගන්නටය. උසස්ම නිලධාරියෙකුට එම අංශයේ එදා සේවයට පැමිණ සිටියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් පමණි.

මෙදින සුපුරුදු ලෙස මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් සූදානම් වන්නේ හරක් කටාවත් කුඩු සළිඳුවත් සිවුවැනි මහලේ සිට හයවැනි මහලට ප්‍රශ්න කිරීමට රැගෙන යාමටය. ඒ සඳහා සූදානමින් නිලධාරීන් කිහිප දෙනෙකු සිවුවැනි මහලට ගිය ද කුඩු සළිඳු නිලධාරීන්ට පවසන්නේ තමාට අසනීප තත්වයක් ඇති බැවින් එම මොහොතේ පැමිණිමට නොහැකි බවය. ඒ අනුව නිලධාරීන් විසින් හය වැනි මහලට ප්‍රශ්න කිරීමට රැගෙන යන්නේ හරක් කටාව පමණි.

වෙනත් දිනවල දෙදෙනාවම හයවැනි මහලට රැගෙන යන විට සිරමැදිරිය ඉදිරිපිට ආරක්ෂාව සපයන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනාත් ඔවුන් පස්සේ ආරක්ෂාව සපයමින් ගමන් කළ ද කුඩු සළිදු අසනීප යැයි කියමින් සිර මැදිරියේ රැඳී සිටි බැවින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනාටම හරක් කටාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉඩක් නොවීය. එබැවින් මෙම නිලධාරීන් දෙදෙනා තීරණය කරනු ලබන්නේ එක් නිලධාරියෙක් සිර මැදිරිය අසල රැඳෙමින් කුඩු සළිඳුගේ ආරක්ෂාව ගැන සොයා බැලීමටය. ඒ අනුව හරක් කටාගේ ආරක්ෂාව සපයමින් හයවැනි මහලට යන්නේ එක් නිලධාරියෙක් පමණි. එම නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයෙකි.

හය වැනි මහලට රැගෙන යාමෙන් අනතුරුව සුපුරුදු ලෙස හරක් කටාව එහි පුටුවක් මත අසුන් ගන්වා නිලධාරීන් ඔහුගෙන් බොහෝ දේ විමසමින් ප්‍රශ්න කරන්නට ගත්තේය. සිරමැදිරියෙන් පිටතට ගන්නා විට ඔහුගේ දෑතට දැමූ මාංචු සාමාන්‍යයෙන් ගැලවෙන්නේ නැවතත් සිර මැදිරියට දැමීමේදීය. ඒ හැරුණු කොට මාංචු ගැලවීමක් සිදුවන්නේ වැසිකිළි පහසුකම් සැලසීමේදීය. ඒ එම අවස්ථාවට පමණි.

මාස තුනක් තිස්සේ හරක් කටා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණයේ වූ බැවින් එහි සේවයේ නිරත නිලධාරීන්ට මෙන්ම හරක් කටාට ද එකිනෙකා ආගන්තුකයින් නොවීය. හරක් කටාටද එම අංශය ආගන්තුක ස්ථානයක් ද නොවීය. අහන හැම ප්‍රශ්නයකටම නිලධාරීන්ට උත්තර දෙමින් සිටියදී ඒ අතර සිටි පොලිස් කොස්තාපල්වරයකු ස්ව කැමැත්තෙන්ම නිලධාරීන්ට තේ සකස් කරනු ලබන්නේ එම අංශයේ ඒ සඳහා ඇති පහසුකම් උපයෝගී කරගෙනය. ඒත් එක්කම තේ සමඟ අතුරුපසක් ලෙස ආහාරයට ගැනීමට කිරි ටොෆිද එම නිලධාරීන්ට කොස්තාපල්වරයා විසින් ලබාදී ඇත්තේය. කියැ­‍ෙවන ආකාරයට අනුව එම කිරිටොෆි තමා ගමේ ගොස් එන විට රැගෙන ආ ඒවා බව කියමින් ලබාදුන් බවය. තේ බොමින් කිරිටොෆි කමින් ප්‍රශ්න කිරීම් සිදුවන විට හරක් කටාට වැසිකිළියට යාමට අවශ්‍යතාවක් ද පැන නැඟී ඇත්තේය. ඔහුව වැසිකිළියට රැගෙන ගොස් මාංචු ගලවා දොර අසල රැඳී සිටින්නේ තේ සකස් කළ කොස්තාපල්වරයාය. ඔහු නමින් මුනිපාලගේ රවිඳු සදීප ගුණසේකරය. පොලිස් සේවයට එක්ව වැඩි කාලයක් තවමත් ගතවී නොමැති ඔහු කන්තලේ සේරුනුවර පදිංචිකරුවෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසකගේ හිත් දිනාගෙන සිටින නිලධාරියෙක් බව කියැවෙන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇතැයි කියනු ලබන්නේ යම් නිලධාරියකුගේ ආශිර්වාදය ඇතිව බවද කියැවෙයි.

හරක් කටා වැසිකිළියේ සිට පිටතට එනතුරු දොර අසල රැඳී සිටි මෙම කොස්තාපල්වරයා නැවත ඔහුගේ දෑතට මාංචු දමා ප්‍රශ්න කිරීමට ලක්වූ ස්ථානයට රැගෙන ආවේය. නැවතත් ප්‍රශ්න කිරීමට සූදානම් වන විට මහජන පැමිණිලි අංශයේ රැඳී සිටි කොස්තාපල්වරියක සිටින්නේ මේසය මත හිස ගසාගෙනය. උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරු දෙනෙක් සිටින්නේ තමන් තේ පානය කළ කෝප්ප සෝදා පිරිසිදු කිරීමට ජල කරාමය අසලට ගොසිනි. මහජන පැමිණිලි අංශයේ දොර අසල රැකවල් ලාගෙන සිටින්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයාය. කොස්තාපල් රවිඳු සිටින්නේ ද ඒ කිට්ටුව පාතකමය.

මෙහිදී හරක් කටා එකවරම තමාගේ දෑතට දමා තිබුණු මාංචු ගලවාගෙන අසුන් ගෙන සිටි පුටුවෙන් නැගිට දිව යන්නට සූදානම් වී ඇත්තේ මහජන පැමිණිලි අංශයේ දොර අසලටය. එන පොට හොඳ නැති බව දැනගත් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයා හරක් කටාගේ ගමන වළක්වන්නට සූදානම් වන විට හරක් කටා එකවරම ඔහුගේ ඇඟට පනින්නේ ගිනි අවිය උදුරා ගැනීමටය. මෙහිදී නිලධාරියා ගිනි අවිය හරක් කටාගේ අතට පත්වීමටත් ඔහුට එම ස්ථානයෙන් පැන යන්නට ඉඩ නොදී තනිවම සටනක නිරත වන විට රවිදු ඇතුළු නිලධාරීන් ඒ දෙස බලා සිටියා මිස විශේෂ කාර්ය බලකා උප පොලිස් පරීක්ෂකවරයාගේ සහයට ඉදිරිපත් වූ බවත් නම් දැනගන්නට නැත. එතරම් දෙයක් සිදුවෙද්දීත් කාන්තා නිලධාරිනිය සිට ඇත්තේ මේසය මත හිස තබාගෙනය. හැමෝම එතැනට රැස්වන්නේ විශේෂ කාර්ය බලකා උප පොලිස් පරීක්ෂකවරයා හරක් කටාව පාලනය කර ගැනීමෙන් අනතුරුවය. අවුරුදු 52ක් වන එම විශේෂ කාර්ය බලකා උප පොලිස් පරීක්ෂකවරයාට ලොකු සටනක් දෙන්නට සිදුවී තිබුණේ අත පය ද තුවාල කර ගනිමිනි.

කොස්තාපල් රවිඳු මේ දේවල් අස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලෙන් ඉක්මන් ගමනින් පිටව යන්නේ කිසි දෙයක් නොවූ ගාණටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයට අමුත්තන් ඇතුළු කර ගන්නා ගේට්ටුවෙන් පිටතට යන ඔහු පාර හරහා මාරු වන්නේ දිව යමිනි. ඉන් එහාට ඔහු ගිය මඟ ගැන සොයා බලමින් සිටින්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශය විසිනි. ඒ හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ මෙම සැලසුම පිටුපස මෙම කොස්තාපල්වරයා ද සිටි බව පෙනී යන්නට වූ බැවිනි.

මෙතරම් දෙයක් සිදුවෙද්දී කිසිවක් නොවූ ගාණට මේසය මත හිස තබාගෙන සිටි මහජන පැමිණිලි අංශයේ කොස්කාපල්වරිය ඒ ගැන විමසීමේදී පවසා ඇත්තේ තමා ඒ කිසිවක් නොදන්නා බවය. කිරිටොෆි කෑ පසු තමාට නිදිමත ගතියක් ඇතිවූ බවත් මේසය මත හිස තබාගෙන සිටියේ ඒ නිසා බවත්ය. නමුත් සෙසු නිලධාරීන්ට එවැනි තත්ත්වයක් ඇතිවූ බවක් නම් පැහැදිලි නැත. නමුත් එම කිරිටොෆිවලට සිහිසුන් වන යම් රසායනික ද්‍රව්‍යක් එක්කර තිබේදැයි සොයා බැලීමට මේ වන විටත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහය පතා අවසන්ය.

මේ හැම දෙයකින්ම මේ වන විට පැහැදිලිවී ඇත්තේ සැලසුම් සහගතව හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට එදා සූදානම් වී ඇති බවය. කොස්තාපල් රවිඳු එහි සැලසුම්කරුවෙක් බව බැලූ බැල්මට පෙනෙන්නට ඇතත් තවත් පිරිසක් මේ පිටුපස සිටින්නට ඇති හැකියාව බොහෝය. මේ වන විට විමර්ශනයක් පැවැත්වෙමින් ඇත්තේ ඒ ගැන සොයන්නටය.

හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ මෙම සැලසුම වෙනුවෙන් විශාල මුදලක් හුවමාරුවී ඇති බවට සැකයක් ද මතුවී ඇත. පසුගිය වසරේ අගොස්තු 11 වෙනිදා හරක් කටා ඩුබායි සිට මලයාසියාව බලා ගමන් කිරීමට යාමේදී ඩුබායි ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට පත්වූ විට ද සිය නිදහස වෙනුවෙන් ලොකු මුදලක් ඔහු වැයකර තිබුණේය. ජනාධිපති නීතීඥවරුන් පවා ඔහු ඩුබායි වෙත ගෙන්වාගෙන තිබුණේ රුපියල් මිලියන 150ක පමණ වූ මුදලක් වැය කරමිනි. අවසානයේදී එදා ඩුබායි හිදී අත්අඩංගුවට ගත් හරක් කටා නිදහස ලැබෙන්නේ අපේ රටේ පැත්තෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා ඉදිරිපත් කළ යුතුව තිබුණු උදර්පන ලේඛන හුවමාරුවේදී සිදුවූ ප්‍රමාදයක් ද මුල්කරගෙනය. ඒ අනුව එම වසරේම ඔක්තෝබර් 03 වෙනිදා ඩුබායි ආරක්ෂක අංශ භාරයෙන් නිදහස ලබන හරක් කටා නැවත කොටුවන්නේ ඩුබායි සිට පුද්ගලික ගුවන් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදීය. ඔහු එහි යන්නේද කුඩු සළිඳු ඇතුළු සිය ගෝලබාලයන් පිරිසක් සමඟිනි. පසුගිය මාර්තු 01 වෙනිදා මැඩගස්කර ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් හරක් කටා මැඩගස්කරයේ පොලිස් නිලධාරීන්ව පවා මුදලට ගැනීමට ලොකු උත්සහයක් ගෙන තිබුණේය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මැදිහත්වීම හේතුවෙන් ඒ සියල්ල ව්‍යර්ථ වන විට හරක් කටාත් කුඩු සළිඳුත් නීතීඥ කණ්ඩායමක්ම මැඩගස්කරයට ගෙන්වා ගෙන සිය නිදහස වෙනුවෙන් ලොකු සටනක නිරත වන්නේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 06ක් වැය කරමිනි. අවසානයේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා පැන යන්නට ලොකු ගේමක් ගැසුවේ ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිමත් ආයතනයක් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද කළු පැල්ලමක් එක්කරමිනි.

මේ හැම දෙයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදුවන්නේ එහි ආරක්ෂක කැමරා පද්ධතිය පවා අක්‍රියව තිබියදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි සුවිශේෂී පොලිස් අංශයක ඇති ආරක්ෂක කැමරා පද්ධතිය යම් දෝෂයකට ලක්ව තිබේ නම් එය යථා තත්ත්වයට කඩිනමින් පත්කළ යුතුව ඇතත් එසේ නොවීම ලොකු අඩුපාඩුවක් බව වගකිව යුතු හැමෝටම දැනෙන්නට ගෙන ඇත්තේ දැන්ය. එම කැමරා පද්ධතිය පැහැදිලිවම ක්‍රියාත්මකව තිබුනේ නම් පලාගිය පොලිස් නිලධාරියාගේ හැසිරීම ගැන මෙන්ම මේ වන විට සැකයට තුඩුදී සිටින තවත් නිලධාරීන් කිහිප දෙනකු ගැන පවා එම කැමරා දර්ශන නිරීක්ෂණයෙන් හොද අවබෝධයක් පවා ලබා ගැනීමට හැකි වනු ඇත. හරක් කටා පලායාමේ උත්සහය ගැන විමර්ශන පවත්වන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට දැන් ඒ අවස්ථාව අහිමිවී ගොස් හමාරය.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මේ වන විට සිය වැඩි අවධානයක් යොමුකර ඇත්තේ මේ වන විට පලාගොස් සැඟවී සිටින කොස්තාපල් රවිඳු කොටුකර ගන්නටය. ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ලැබෙන්නේ ලොකු සහයකි.

මෙම කොස්තාපල් පස්සේ පන්නන්නේ හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැලසුමේ මහ මොළයක් ලෙස ඔහු කටයුතු කර ඇති බව මේ වන විටත් පැහැදිලිවම අනාවරණය වී ඇති බැවිනි. මෙම නිලධාරියා පසුගිය අගෝස්තු 21 වෙනිදා හෝ ඒ ආසන්න දිනකදී විදෙස් ගමන් බලපත්‍රයක් පවා සකස් කරගෙන ඇත්තේ මෙම සැලසුමට අනුව බව පෙනී ගොස් හමාරය. ඒ යැයි කියා මෙම නිලධාරියා තාමත් ගුවන් මඟින් නම් රටින් පිටව ගොස් ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඔහුගේ පෙම්වතිය බව කියන ප්‍රභූ ආරක්ෂක අංශයක සේවයේ නිරත කොස්තාපල්වරියකගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත්තේ එබැවිනි. ඇගෙන් වැඩි තොරතුරක් දැන ගන්නට ලැබී නැත. එහෙත් සිය පෙම්වතා විදෙස්ගත වන බවක් නම් කල්වේලා ඇතිව ඇයට පවසා තිබී ඇත. ඒ යන්නේ කුමන රටකටදැයි කියා නැතත් ඇයවත් ඒ රටට ගෙන්වා ගන්නා බවක් නම් ඔහු ඇයට කියා තිබුණාය.

මේ අතර ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් මෙම නිලධාරියාගේ සහෝදරියගේ සැමියාව පොල්හේන්ගොඩ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා ප්‍රශ්න කිරීමක්ද කර තිබුණි. ඒ හැරුණු කොට සේරුනුවර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ද කොස්තාපල්වරයාගේ නිවෙසට ගොස් පරීක්ෂාවක්කර ලැප්ටොප් පරිගණකයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් සිය භාරයට ගන්නේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයෙන් කළ දැනුම්දීමකට අනුවය. ඒ එම නිවසේ කොස්තාපල්වරයාට අයත් එම උපකරණ දෙක ඇති බවට ඔහුගේ මස්සිනා විසින් කළ හෙළිකිරීම මතය. දැන් එම ලැප්ටොප් පරිගණකයත් ජංගම දුරකතනයත් ඇත්තේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවේය. මෙම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පලා යමින් සිටියදී මෙම කොස්තාපල්වරයා සිය පවුලේ සාමාජිකයන්ට දුරකථන ඇමතුමක් දෙමින් තමා විදෙස්ගත වන බව පවසා ඇති බවය. තවත් ඇමතුමකින් කියැවී ඇත්තේ තමා නිරුපද්‍රිතව වෙනත් රටකට පැමිණ ඇති බවය. මේ දේවල්වල ඇත්ත නැත්ත තාමත් ඇත්තේ විමර්ශන මට්ටමේය. සැබෑ ලෙසම මෙම කොස්තාපල්වරයා රටින් පැන්නේ නම් ඒ බෝට්ටුවක නැඟීය. එය එසේ සිදුවී තිබේ නම් එම බෝට්ටුව හරක් කටාට පැන යාමට සූදානම් කළ එක විය හැකිය. හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එදා පැන්නේ නම් එක මොහොතක් මෙරට රැඳී සිටින්නේ නැත. ඒ සඳහා හැම දෙයක්ම ඒ වන විටත් සූදානමින් තිබී ඇතැයි විමර්ශන නිලධාරීන් විශ්වාස කරයි. මේ හැම දෙයක්ම හෙළිකර ගැනීමට හැකියාව ලැබෙන්නේ කොස්තාපල් කොටුකර ගැනීමෙනි. ඒ අතර මෙම සැලසුම පිටුපස සිටින්නන් හදුනා ගැනීමට දුරකතන ජාල විශ්ලේෂණයක් ඇතුළු තවත් විද්‍යාත්මක විමර්ශන ගණනාවක්ම සිදුවෙමින් ඇත. මෙම පොලිස් කොස්තාපල්වරයා පලා ගිය මඟ දෙපස ඇති ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කිරීම්ද ඊට ඇතුළත්ය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division