ඔබේ කවි නිර්මාණ ‘කවි සිළුමිණ’
සිළුමිණ, ලේක්හවුස්, කොළඹ – 10
ලිපිනයට යොමු කළ හැකිය.
දුරකතනය 011 2429269
සමාවෙයන් අම්මේ…
ලොවට හැංගී සිහින සිතුවම්
මව මවා ඇඳි සොඳුරු මොහොතක්
එදාමයි ඒ දෑස් හෙව්වෙත්
සිනිඳු මල්පෙති පෑව හැඩයක්
පෝරුවක් මත නොවැටි ඉන්නට
හිරු සඳුයි රැකි හීන මල්ලක්
අසුරු සැණකින් ලිහා බැලුවේ
මංමුළා කළ අමුතු මිහිරක්
දවස් ගැන ගැන බලා උන්නත්
හිරකරන් හදවතේ බරුවක්
වැරදුණා මට යහන් තැනුවම
කැකුළ මත බඹරෙකුට වරුවක්
කඳුළු දියකර කුස බිතට විත්
සිතුවමක් මැවු පුංචි තරුවක්
මකාලන්නට හිතුවෙවත් නෑ
ගිලෙන එක අන්නාසි ගැටයක්…
කුසේ ගින්නට හිතේ ගින්නෙන්
රත් කරන් බොන කහට උගුරක්
දිහා නොබලම දවස තිස්සේ
රවටනා මුත් බඩේ පණුවෙක්
දුකම සින්නවු නුඹේ පපුවට
කොහොම දෙන්නද තවත් කඳුළක්
ඒත් අම්මේ සමාවෙනවද
ඉගිල්ලුව නියඟලා අලයක්…
lපුබුදු චින්තක විජේසේකර
කවියක සිටි නුඹ
දුටුව විට මා
පිපෙන නුඹෙ වත
උපමාවකින්
හැඳින්නෙමි මම
මුදු වදන්වල
ළබැඳි වැකි තුළ
සිහි කරන්නෙම
අනුප්‍රාසයයි
කවියෙ පදරුත්
පසිඳලන විට
ව්‍යංගයෙන් නුඹ
මෙමට හමුවිය
lසරත් කුමාර වික්‍රමගේ
ගොවියෙකුගෙ ඉරණම
රජු ලෙසින් රටටම
කුස ගිනි නිවාලන සැම
කර නිතර සටනම
පාණ විකුමන් මේ හෙළ බිම
ඔබ පෙම් බැඳි ගොයම
සින්නව ගියා උකසෙම
සිත් තැවුල සමඟම
අහෝ රජුද අවසන් ගමනෙම
හෙළ ගොවි අභිමනම
පැරකුම් යුගය සිහිනෙම
දකිමින් තුන් යමම
ගොවිඳුන් දිවි සැඟවුනි පොළවෙම
l නිලංග චාමින්ද
නිකිණි පොහෝ අසිරිය
පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ
මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල
පසුවස් වසන්නට පොහොදින විසුල
නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ
දෙසූදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි
මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි
ලැබුවේ රහත් භාවය බිඳ සසර බැමි
නිකිණි පෝයදා මහ ආනන්ද හිමි
සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර
එළඹුණු වස් සමයෙ එකුන් පසළොස් වසර
ඇසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර
ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර
lඒ. එම්. අබේසිංහ බණ්ඩා
පළමුවෙනියා සහ අන්තිමයා
පළමුවැනියා මං පවුලෙ පළමුවැනියා මං
බාලයාට මද්දුමයට මුලින් හිටියෙ මං
පුංචි කාලෙ හැමදේටම මුල්තැන ගත් මං
පාසලේදි හැම වසරෙම පළවෙනියා මං
පළමුවෙනිව මවුපිය සෙනෙහෙ දිනූ මං
දරු සුරතල් පවුලෙ අයට මුලින් පිදූ මං
මහ උපාධි පාස්වෙලා නම්බු ගත්තෙ මං
ආණ්ඩුවේ රස්සාවට මුලින් ගියෙත් මං
වසර ගණන් ගෙවිල ගිහින් හරි පුදුමයි දැන්
කාසි මුදල් ඇති මල්ලිල ඉස්සරහින් දැන්
උගත්කමයි ගරු නම්බුයි වතුරෙ ගිහින් දැන්
මුලින් හිටිය මං පවුලේ අන්තිමයයි දැන්
lගාමිණී චන්ද්‍රසේන
අඩසියවසකට පෙර මා මියගිය දා
සංවේග ධාරාවන් අරා
මුවක් මුවක් පාසා
සවනත් හි රාව දුන්
ළසෝ නද මැද
ලවනතක ස්නේහය
ගාල්කොට නික්ම යනු
සඳ හිතවතෙක්…
හැම හිතක ලැගුම්ගත්
සඳු හිරු හා තරුද
සිකුරු සෙනසුරු රාහුද
මිතුරුකර, උඩු සුළඟ හා
සංවාදයක යෙදී
මගෙන් නාසා
තවත් දින කිපයක්…
වසන්නට නොහැර, විඳින්නට සුවැර
නෙතින් උකහා ලෝ මිහිර
හදවතෙහි ගල්වා ගන්නට නොදී
කිමද හුස්ම නුඹ සුපුරුදු ලෙසින් හමුවි
ආගන්තුක වෙසක් මවා මා
සිරුරු ගැබින් නික්මූයේ…
කාලය ද තටු අරා
බොහෝ දුෂ්කර ක්‍රියාකොට
වැය කරන ලද කාලයෙන්
සමව ගත්කල නුඹ මා
අහිමි කොට හරියටම අදට
පිරෙන කල අඩසිය වසක්
මා මිහිදන් කළ බිමෙහි
හිඳ නුඹ හා පුනරාගමනයක
යෙදෙන්නට නුඹට හැකිම නම්
යළිඳු එනු මැන හුස්ම…
lචතුරංග සම්පත්