Home » නැණ ගුණ පිරි කතුන් තනන අගනුවර අධ්‍යාපන කෙම්බිම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය

නැණ ගුණ පිරි කතුන් තනන අගනුවර අධ්‍යාපන කෙම්බිම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය

සුරේකා නිල්මිණි ඉලංකෝන්

by mahesh
September 16, 2023 12:30 am 0 comment

ර්ෂ 1986-70 කාලයේ එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි විමලා ලියනගේ නැමැති කුලවත් ශ්‍රී ලාංකේය තරුණියගේ සිතේ අපූරු අදහසක් උපන්නේය. ඒ, තම රටේ අගනුවර ආදර්ශ බාලිකා විදුහලක් ඇරඹීමය. සිය අධ්‍යාපන කටයුතු අවසන් කර යළි මෙරටට පැමිණි ලියනගේ මෙණෙවිය දහසක් අභියෝග මැද සිය සිහිනය සැබෑ කර ගන්නේ 1973 වසරේ ජනවාරි පළමු වැනිදා ස්ටැන්මෝර් චන්ද්‍රවංක ප්‍රාථමික විද්‍යාලය නමින් පාසලක් ආරම්භ කරමිනි. ඒ සිහින පාසල, විමලා ලියනගේ මෙණෙවිය තමාටම ලබාදුන් අමතක නොවන උපන්දින තිළිණයක් වූයේ ජනවාරි පළමු වැනි දින ඇයගේ ජන්ම දිනය ද යෙදී තිබීම නිසාය.

විදුහලේ පළමු විදුහල්පතිනිය විමලා ලියනගේ වූ අතර, පස්දෙනකුගෙන් යුතු ගුරු මණ්ඩලය ආරම්භක සිසුවියන් 183 දෙනා සඳහා පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් සිදු කළහ. වර්ෂ 1973 දෙසැම්බර් මාසයේදී විදුහල සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික බාලිකා විද්‍යාලය ලෙස නම් කරනු ලැබූ අතර, එතැන් සිට විවිධ කඩඉම් පසුකර ආ එම විද්‍යාලය මේ වන විට අගනුවර ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාල අතර ප්‍රමුඛතම විද්‍යාලයක් බව අවිවාදිතය. 2023 ජනවාරි මාසයේදී විද්‍යාලය පනස්වැනි සංවත්සර සමරනු ලැබුවේ තම නිර්මාතෘවරිය සහ පළමු විදුහල්පතිනිය වන දැනට අනූපස්වැනි වියේ පසුවන විමලා ලියනගේ මැතිනියගේ ආශීර්වාදය ලබමින් වීම සිරිමාවියෝ ලැබූ සුවිසල් භාග්‍යයකි.

කෙටි කාලයක් තුළ භෞතික සහ ගුණාත්මක දෙඅංශයේ ශීඝ්‍ර දියුණුවක් ලබමින් සිය ස්වර්ණ ජයන්තිය සමරන සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය අධ්‍යාපන, ක්‍රීඩා, බාහිර ක්‍රියාකාරකම් සහ වෙනත් අංශ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. ජාතික මට්ටමේ විභාගවලින් අවස්ථා කිහිපයකදීම දිවයිනේ මුල් පෙළ විශිෂ්ටයන් බිහිකර ඇති සිරිමාවිය, සිය ඉතිහාසයේ පළමු වතාවට 2022 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ වාණිජ අංශයේ ප්‍රථමයා බිහි කරමින් නව වාර්තාවක් තැබුවාය. ඒ භාග්‍යය සිය පාසල් මාතාවට ලබා දුන්නේ කවිදිනි තරුෂිකා දියණියයි.

ගුණාත්මක අධ්‍යාපනය තුළින් ගුණාත්මක සමාජයක් බිහි කිරීම සිය ආදර්ශ පාඨය කර ගත් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට පරිපාලන නායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ‍ශ්‍රේණියේ විදුහල්පතිනියක වන ආචාර්ය ජේ. සුමේධා ජයවීරය. ඇය ලංකාවේ සිටින එකම ආචාර්ය උපාධිය ලත් විදුහල්පතිනිය වීම විශේෂත්වයකි. පස් අවුරුදු සැලැස්මක් මඟින් සිරිමාවියන්ගේ හෙට දවස ප්‍රභාමත් කරවීමේ භාරධූර වගකීමට උරදී සිටින ඇය, එහි මුල් තෙවසර අවසන් විට විද්‍යාලය මුළුමනින්ම සූර්ය ශක්තියෙන් බලගැන්වීමටත් පාසලේ සියලු පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කිරීමටත් අපේක්ෂිතය. සුහුරු සංකල්පය පන්ති කාමරයට පමණක් සීමා නොකර නැණ නුවණින් මෙන්ම යහගුණෙන් පිරිපුන් වනිතාවන් රටට දායාද කිරීම සිය පළමු වගකීම කොට සලකන බව ද විදුහල්පතිනිය පැවසුවාය.

යහගුණ ඇති චරිතවත් කාන්තාවන් හෙට ලෝකයට බිහි කිරීම සඳහා සමබර සහ අභිමානවත් පෞරුෂයක් ඇති කිරීමට උපකාරී වන ක්‍රීඩා 20ක් සහ බාහිර ක්‍රියාකාරකම්වල නියැළීමේ අවස්ථාව සලසන විවිධ සංගම් 50ක් පාසල තුළ ක්‍රියාත්මක වේ.

සියලු භෞතික සම්පත්වලින් ආඩ්‍ය සිරිමාවෝ බාලිකාවියන්ට දැන් අවැසිව ඇත්තේ වැඩි පිරිසකට එකවර රැස්විය හැකි නවීන තාක්ෂණයෙන් පිරි ශ්‍රවණාගාරයකි.

විද්‍යාලයීය නේවාසිකාගාරය ඉදිකිරීමට පුරෝගාමී වූ ආදි බාලිකා ශිෂ්‍ය සංගමය ශ්‍රවනාගාරය ඉදිකිරීමට සුදුසු බිම්කඩක් ලැබීමෙන් පසු එහි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මූල්‍ය ආධාර රැස් කරමින් සිටී. විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය සෑම සහයෝගයක්ම නොපැකිළිව ලබා දෙන ආදි ශිෂ්‍ය සංගමයටත් පාසල් සංවර්ධන සමිතියටත් සුබ පතන්නන්ටත් සිය කෘතවේදීත්වය පළ කිරීමට විදුහල්පතිනිය අමතක නොකළාය. කළමනාකරණ කමිටුව නියෝජනය කරන නියෝජ්‍ය විදුහල්පතිනියන් වන අනූෂා වීරරත්න සහ රේණුකා ගලප්පත්ති, සහකාර විදුහල්පතිනියන් වන බී.ජී.ඒ.තරංගනී, එල්.එල්.ලියනගුණවර්ධන, එම්.ඒ.සී. එස්, අමරසිරි, එන්. පී. කදන්හේවා, ප්‍රාථමික අංශ ප්‍රධානි ජේ. එම්. සුධර්මා උදයකුමාරි, විද්‍යා අංශ ප්‍රධානි සී.පී. හනන්ගලආරච්චි, වාණිජ අංශ ප්‍රධානි ඊ.එම්.එස්.නාපාගොඩ, කලා අංශ ප්‍රධානි අනූෂා ලියනගේ, 6,7, 8 අංශ ප්‍රධානි චන්ද්‍රානි සේනානායක සහ 9,10, 11 අංශ ප්‍රධානි සුරංගි පෙරේරාගෙන් විද්‍යාලයීය පරිපාලනය වෙනුවෙන් නොමඳ සහායක් ලැබේ.

අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩා සඳහා ද වෙසෙස් දස්කම් පාන සිරිමාවියෝ මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික්, ත්‍රෝබෝල්, පිහිනුම්, කිමිදුම්, ඉලක්කයට වෙඩි තැබීම, මේස පන්දු, හොකී, චෙස්, ස්කොෂ් තරග ඉසව්වලින් 2023 වසරේදී සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් දිනා ඇත. සිරිමාවෝ දියණියක් චෙස් ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර, පරිසර නියමු කණ්ඩායම නියෝජනය කරන සදින්සා විපුල්නි සූරියආරච්චි දියණිය සිරිමාවෝ විද්‍යාලයීය ඉතිහාසයේ පළමු ජනාධිපති පදක්කම්ලාභිනිය ලෙස ඉතිහාසයට එක්වන්නීය. විද්‍යාලයේ පනස් වැනි සංවත්සරය වෙනුවෙන් ආදි බාලිකා ශිෂ්‍ය සංගමය විසින් 2023 වසර පුරාම වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර, ඒ අතරෙන් නොවැම්බර් 04 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ප්‍රසංගය සඳහා සහභාගි වන ලෙස ඔවුහු දසත විසිරී සිටින සිරිමාවියන්ට ආරාධනා කරති.

කෙටි කලක් තුළ ඉහළ තලයකට පාසල ඔසවා තැබීමට දායක වූ විද්‍යාලයීය නිර්මාතෘවරිය විමලා ලියනගේ සහ ආර්. එම්. එල්. ජයසේකර, නන්දා සිල්වා, පුෂ්පා කළුබෝවිල සහ මාලනී හේරත් යන හිටපු විදුහල්පතිනියන් වත්මන් විදුහල්පතිනි ආචාර්ය ජේ. සුමේධා ජයවීර ඉතා කෘතවේදීව සිහිපත් කළාය.


ඡායාරූප- නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division