Home » පිටසක්වළ ජීවීන් ගැන ලොව කැලඹූ අබිරහසේ අලගිය මුලගිය තැන්

පිටසක්වළ ජීවීන් ගැන ලොව කැලඹූ අබිරහසේ අලගිය මුලගිය තැන්

by mahesh
September 16, 2023 12:37 am 0 comment

පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි සම්බන්ධව ලොව පුරා ආන්දෝලනයට තුඩුදුන් ප්‍රකාශ හා හෙළිදරවු සැබෑවක් බවට පත් කරමින් ඊයේ පෙරේදා මෙක්සිකෝවේ කොන්ග්‍රසය හමුවේදී මින් පෙර කිසිවකු සියැසින් නොදුටු පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු දෙකක් ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි. මීට මාසයකට පෙර අමෙරිකානු බුද්ධි අංශයේ හිටපු නිලධාරියකු පියාඹන පීරිසි හා පිටසක්වළ ජීවීන් අමෙරිකාවේ සඟවා ඇතැයි කියද්දී කනකට නොගත් අයට සිතන්නට යමක් ඉතිරි කළ මේ සිද්ධිය දැන් ලොව පුරා දැඩි කතාබහට ලක් වෙමින් තිබේ.

අවුරුදු දහසක් පමණ පැරැණි බව කියන මේ අරුම පුදුම පිටසක්වළ ජීවීන්ගේ පොසිලකරණයට ලක් වූ මළ සිරුරු මෙක්සිකෝවේ හඳුනා නොගත් ආකාශ වස්තූන් (Unidentified flying object-UFO) සහ පිටසක්වළ ජීවීන් සම්බන්ධ සාක්ෂි විමසීමේ විශේෂ කොන්ග්‍රස් කමිටුවේදී ‍ප්‍රදර්ශනය කරනු ලැබුවේ ඒ සම්බන්ධව වසර ගණනාවක් පර්යේෂණවල නිරතව සිටි හඳුනා නොගත් පියාසර වස්තූ අධ්‍යයනය කිරීමේ විද්‍යාඥයකු වන ජයිමි මව්සෑන් විසිනි. මධ්‍යවේදියකු ද වන 70 හැවිරිදි මේ පුද්ගලයා පිටසක්වළ ජීවීන් හා හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ පර්යේෂණ පවත්වමින් සිටින්නේ දශක ගණනාවක සිටය.

ඔහුගේ හෙළිදරවුව ඉදිරිපත් වූයේ සාක්ෂි ද සහිතවය. පේරූ දේශයේ කුස්කෝ පළාතෙන් සොයා ගත් බව කියන මේ අරුම පුදුම පිටසක්වළ ජීවීන්ගේ පොසිලකරණයට ලක් වූ මළ සිරුරු මෙක්සිකෝ කොන්ග්‍රස හමුවේ ප්‍රදර්ශනය කිරීම රූපවාහිනිය මගින් සජීවීව විකාශය කිරීමත් සමඟ එරට පමණක් නොව සමස්ත ලොවම කැලඹීමකට පත් විය. වැඩියෙන්ම කලබලයට පත්වී ඇත්තේ අමෙරිකාව සහ නාසා ආයතනයයි. ජයිමි මව්සෑන්ගේ සාක්ෂි සහිත හෙළිදරවුව කොතෙක් දුරට සත්‍යයක් දැයි සොයා බැලිය යුතු බව අමෙරිකාවේ ආකාශ වස්තූන් පිළිබඳ විද්‍යාඥයන් අභියෝග කරද්දී නාසා ආයතනය හිටි හැටියේම අපූරු වාර්තාවක් නිකුත් කළේය.

පිටසක්වළ ජීවීන් හෝ පියාඹන පීරිසි කාරණාව මව්සෑන්ගේ හෙළිදරවුවෙන් තවදුරටත් ‘විහිළුවක්‘ වූ බව අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කරනු ලැබුවේ මෙක්සිකෝවේ සිද්ධිය හාස්‍යයට ලක් කරමිනි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 2017 වසරේදීත් මෙවැනි කාරණාවක් තහවුරු කිරීමට මව්සෑන් දැරූ උත්සාහය පුස්සක් වූ බවය. නාසා ආයතනයේ වාර්තාව නිකුත් වන්නේ ඊට දිනකට පසුවය. ඔවුන් කියන විදිහට එම වාර්තාව ඔවුන් කාලයක සිට අධ්‍යයනය කළ එකකි. විශේෂත්වය වන්නේ එය නිකුත් වූයේ මෙක්සිකෝ සිදුවීමට පසුව බැවිනි.

හඳුනා නොගත් ආකාශ වස්තූන් දර්ශන සිය ගණනක් පිළිබඳ කළ පරීක්ෂණයකින් පසු එම වාර්තාව නිකුත් කළ බව නාසා ආයතනය නිවේදනය කළ අතර, පැහැදිලි කළ නොහැකි සංසිද්ධීන් පසුපස පිටසක්වළ ජීවීන් සිටින බවට කිසිදු සාක්ෂියක් නැති බව එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ වුවද ලොව පුරා කතාබහට ලක්වන පිටසක්වළ ජීවීන් සිටින්නේදැයි යන්න කාරණාව බැහැර කිරීමේ හැකියාවක් ද නැති බව එම වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් වේ. නාසා ආයතනයේ පරස්පර විරෝධී ප්‍රකාශවලින් තවදුරටත් පැහැදිලි වන්නේ ඔවුන් කියන පරිදි දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලැබූ පරීක්ෂණවලින් පසු නිකුත් කරනු ලැබූ මේ වාර්තාව බැලූ බැල්මටම කිසිදු විශේෂ හෙළිදරවුවක් සිදු කර නැති එකක් බවය. අනිත් අතට නාසා ආයතනය නොකියා කියන්නේ ඔවුන්ට පිටසක්වළ ජීවීන් සිටින කතාවට සෘජු පිළිතුරක් දීමට නොහැකි බවකි.

නාසා ආයතනයේ පරිපාලන නිලධාරියා වන බිල් නෙල්සන් කියන්නේ ඉදිරියේදී වඩාත් විනිවිදභාවයකින් යුතුව හෙළිවන කරුණු බෙදාහදා ගැනීමට කටයුතු කරන බවය. වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට ස්වාධීන විශේෂඥ මණ්ඩලයක නිර්දේශ මත පර්යේෂණ අධ්‍යක්ෂවරයකු තෝරා පත් කරගත් බවත් නාසා ආයතනය නිවේදනය කර තිබේ. එහෙත් එසේ පත් කළ පුද්ගලයා ගැන හෙළිදරවු කර නැත. අභ්‍යවකාශය හා ආකාශ වස්තූන් සම්බන්ධව ජාත්‍යන්තර පිළිගන්නා නාසා වැනි ආයතනයක් එසේ ප්‍රකාශ කිරීම තවත් බොහෝ රටවල විමතියට කරුණක් වනු ඇත. මන්ද පිටසක්වළ යානා සම්බන්ධව ඉතිහාසය පුරා ඇසින් දුටු සාක්ෂි ලොව පුරා රටවල් රැසකින් වාර්තා වී ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ ද එවැනි සංසිද්ධීන් ඇති තරම් වාර්තා වී ඇති අතර, හුදු ප්‍රවෘත්තියක් වූවා මිසක ඒවාට කිසිදු වටිනාකමක් ලැබුණේම නැත.

දශක ගණනාවක් ගත වුවද හඳුනා නොගත් ආකාශ වස්තූන් ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මඟින් පෘථිවියෙන් ඔබ්බට ජීවීන් සිටින බවට තහවුරු කරගැනීමට නාසා ආයතනය අසමත්වීම එක් අතකින් විමතියට කරුණකි. එය තමාටත් ප්‍රශ්නයක් බව නෙල්සන්ම ප්‍රකාශ කර තිබේ. එබැවින් හාස්‍යයට කරුණ වන්නේ මෙක්සිකෝවේදී නිරාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ පොසිලකරණයට ලක් වූ මළ සිරුරු නොව නාසා ආයතනය සහ අමෙරිකාවේ විද්‍යාඥයන් එය ප්‍රතික්ෂේප කිරීමය.

ජයිමි මව්සෑන් පිටසක්වළ ජීවීන්ගේ සිරුරු සොයා ගෙන ඇත්තේ 2017 වසරේදී පේරු දේශයේ කුස්කෝ පළාතෙනි. යුනෙස්කෝ ලෝක උරුමයක් වන නස්කා රේඛා අඩවිය පිහිටා ඇති එම කලාපයේදී 2017 වසරේ ජූනි මාසයේදී සොයාගත් බවට එවකට ලොව පුරා පැතිරී ගිය ‘මමි‘ නොඑසේ නම් ඖෂධ ගැල්වූ මළ සිරුරු 5ක් විශ්ලේෂණය කිරීමට මව්සෑන් සම්බන්ධ වී සිටියේය. ඒ සම්බන්ධව පසුව වාර්තා චිත්‍රපටයක් ද නිපදවනු ලැබූ අතර, එහි දිගටි හිස් කබල් සහ ඇඟිලි තුනකින් සමන්විත දෑත් සහ පාද සහිත ළදරු පෙනුමැති මානව රූප පැහැදිලිව පෙන්නුම් කෙරිණි. එවකට එය පිටසක්වළ ජීවීන්ගේ සිරුරු බවට පළ වූ තොරතුරු ද නාසා ආයතනය දෙවරක් නොසිතාම ප්‍රතික්ෂේප කර තිබූ බව වාර්තා විය.

මෙක්සිකෝ කොන්ග්‍රසයේදී ජයිමි මව්සෑන් දිවුරා ප්‍රකාශ කළ පිටසක්වළ ජීවීන්ගේ මළ සිරුරුවල ඩීඑන්ඒ සාම්පල පරීක්ෂා කර අනෙකුත් DNA සාම්පල හා සසඳන විට එම සාම්පලයෙන් සියයට 30කට වැඩි ප්‍රමාණයක් හඳුනාගත නොහැකි සාම්පල බවට තහවුරු වූ බවත් මෝසෑන් සඳහන් කර ඇත. එම මළ සිරුරුවල එක්ස් කිරණ ද ප්‍රදර්ශනය කර ඇති අතර, එමඟින් එක් මළ සිරුරක් තුළ “බිත්තර” සහ දුර්ලභ ලෝහ බද්ධ කිරීම් ඇති බව පෙන්නුම් කර තිබිණි.

නාසා ආයතනය සහ අමෙරිකාව මේ ප්‍රතික්ෂේප කර ඇත්තේ මීට මාසයකට පමණ පෙර අමෙරිකානු ගුවන් හමුදාවේ සහ බුද්ධි අංශයේ හිටපු නිලධාරී ඩේවිඩ් ග්‍රස්ච් එරට විශේෂිත සෙනෙට් කමිටුවක් හමුවේ දිවුරා ප්‍රකාශ කළ පිටසක්වළ ජීවීන් සම්බන්ධ කතාවේහිම දිගුවකි.

ඔහු පුන පුනා කීවේ හඳුනා නොගත් ආකාශ වස්තූන් සහ හඳුනා නොගත් අද්භූත ගුවන් සිදුවීම් සම්බන්ධව අමෙරිකානු රජය අතිශය රහසිගත වැඩසටහනක් පවත්වාගෙන යන බවය. එමෙන්ම මිනිසුන් රහිත පිටසක්වළ අභ්‍යවකාශ යානා සහ පිටසක්වළ ජීවින් යැයි පැවැසෙන ගුවන් නියමුවන්ගේ මළ සිරුරු අමෙරිකානු රජය සතුව ඇති බවය. වසර ගණනාවක් පුරා තමා නම් ගම් හෙළි නොකරනු ලබන නිලධාරීන් රැසක් සමඟ මේ සම්බන්ධව අදහස් හුවමාරු කරගත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. බුද්ධි අංශයේ හිටපු නිලධාරියකු පුන පුනා ප්‍රකාශ කරන මේ ආන්දෝලනාත්මක හෙළිදරවුව සුළුවෙන් තැකිය නොහැකි බවට තවත් හේතු සාධක රැසකි. ඊට හේතුව වන්නේ තමා සමඟ එම කාරණා බෙදාහදාගත් පුද්ගලයන් රැසක් තොරතුරු වසන් කිරීමට රජය දරන උත්සාහයේ කොටසක් ලෙස මේ වන විට ඝාතනයට ලක්වී ඇතැයි වාර්තා වන බැවිනි.

නාසා ආයතනය පමණක් නොව පෙන්ටගනය පවා තැති ගැන්මට ලක් කළ ඩේවිඩ් ග්‍රස්ච්ගේ හෙළිදරවුවට සාක්ෂිකරුවකු ලෙස සහභාගී වූ අමෙරිකාවේ හිටපු නාවික ගුවන් නියමුවකු වන රයන් ග්‍රේව්ස් ද මෙක්සිකෝ කොන්ග්‍රසයේ සිදුවීමට සම්බන්ධ වූ අතර, ඔහු ද කොන්ග්‍රසය ඉදිරියේ පෙනී සිටියේය.

නාසා ආයතනය ප්‍රතික්ෂේප කරන පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සම්බන්ධ සිදුවීමට අමෙරිකාවේ ඇති සම්බන්ධතා ගැන තවත් කතා රැසකි. ඒවා වරින් වර කරළියට පැමිණ මැකී ගියේ කිසිදු තහවුරු කිරීමකින් තොරවය. අමෙරිකාව කලබලයට පත් කළ මෙක්සිකෝවේ අනාවරණයේ සැබෑව නම් පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි සම්බන්ධ දීර්ඝතම ඉතිහාසයට හිමිකම් කියනු ලබන්නේ අමෙරිකාව නොව මෙක්සිකෝව බවය. එබැවින් හඳුනා නොගත් ආකාශ වස්තූන් ගැන වැඩිපුරම සංසිද්ධීන් ඇත්තේ මෙක්සිකානු ඉතිහාසයේ බව පැහැදිලිය.

1947 වසරේ මැද භාගයේදි ලොව කැලඹූ විශාලතම අනාවරණය සිදු වූයේ ද මෙක්සිකෝවේදීය. මෙක්සිකෝවේ දේශසීමාව අසල පිහිටි රොස්වෙල් පළාතේදීය. අදටත් රොස්වෙල් ප්‍රදේශය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ ‘හඳුනා නොගත් ආකාශ වස්තූන් කඩා වැටුණු ස්ථානය‘ හැටියටය. මැක් බ්‍රේසල් නමැති පුද්ගලයකු සිය ගොවිපොළේ අක්කර කිහිපයක් පුරා විසිරී තිබූ අද්භූත හා අසාමාන්‍ය යානාවක සුන්බුන් සොයාගත් බවත්, පසුව ගිනි තබා විනාශ කර දැමීමට ඒවා එකතු කර පැත්තක ගොඩගසා තිබියදී ටවුමට ගොස් මධුවිතකින් සප්පායම් වෙමින් සිටියදී ඔහු ඒ ගැන කයිවාරු ගැසීම නිසා නගරයේ ශෙරිෆ්වරයට එය ආරංචි වීමෙන් එහි සැබෑ තතු ලොවට රහසක් වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙක්සිකෝ රජයට පවරා ගත් එම සුන්බුන් සම්බන්ධව පසුව රජය නිවේදනය කර තිබුණේ ඒවා අමෙරිකානු කාලගුණ නිරීක්ෂණ බැලූනයක කොටස් බවය.

එහි ඇත්ත නැත්ත හෙළිදරවු වූයේ 1980දී චාල්ස් බර්ලිස්ට් සහ විලියම් එල්. මුවර් නමැති ලේඛකයන් විසින් මේ සම්බන්ධව පොතක් ලියා පළ කරනු ලැබූ කෘතියකිනි. එහි සඳහන් වූයේ කාලගුණ බැලූනයේ කතාව පියාඹන පීරිසියේ තොරතුරු සැඟවීමට ගොතනු ලැබූ ආවරණ කතාවක් හැටියටය.

දැන් සිදුවෙමින් පවතින්නේ ද එයමය. සාක්ෂි සහිතව ප්‍රදර්ශනය කළ ද, ජයිමි මව්සෑන්ගේ කතාව පිළිගැනීමට නාසා ආයතනය සූදානම් නැත. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන සෙවීමට ස්වාධීන මණ්ඩලයක් පත් කරන බව නාසා ආයතනය නිවේදනය කළ ද, අමෙරිකාව හඳුනා නොගත් ආකාශ වස්තූන් සහ හඳුනා නොගත් අද්භූත ගුවන් සිදුවීම් සම්බන්ධව අතිශය රහසිගත වැඩසටහනක් පවත්වාගෙන යන බව හෝ මිනිසුන් රහිත පිටසක්වළ අභ්‍යකාශ යානා සහ පිටසක්වළ ජීවින් යැයි පැවැසෙන ගුවන් නියමුවන්ගේ මළ සිරුරු අමෙරිකානු රජය සතුව ඇති බව කිසිදිනෙක හෙළි නොවනු ඇත. පිටසක්වල යානා හා ජීවීන් රඳවා තබාගෙන විවිධ පර්යේෂණ පවත්වමින් සිටින බවට ජනතාව අතර විවිධ කතා පැතිරී ඇති අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ කාන්තාරයක් මැද ස්ථාපිත කර ඇතැයි කියන ‘ඒරියා 51‘ රහසිගත ගුවන් හමුදා කඳවුර ගැනත් කිසිවක් අනාවරණය නොවනු ඇත. කවුරුත් දන්නේ එහි මෙහෙයුම් සී.අයි.ඒ. සංවිධානය හා අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශය ඒකාබද්ධව සිදු කරනු ලබන බව පමණකි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division