Home » අපේ ආදරේට ගෙවල්වලින් කැමැති නැහැ

අපේ ආදරේට ගෙවල්වලින් කැමැති නැහැ

by mahesh
September 9, 2023 1:12 pm 0 comment

– මට ඕනේ හැමකෙනෙක්ම ආදරේ කරන චරිතයක් වෙන්න
– සමහර යාළුවො මට බණිනවා ගැහැනු ළමයෙක් වගේ ඉන්නකෝ කියලා
– රෑ වෙලා යද්දී බයටම ඇස්වලට කඳුළුත් ඇවිත් තියෙනවා

අක්ෂා ප්‍රනාන්දු කියන්නේ කලා ලෝකයට පායා එන අලුත් තරුවක්. රාවණා, මිහි, පාරදිගේ, සිහින ගෙනෙන කුමාරියේ, දිව්‍යාදරි වගේ නාට්‍යය වල සුළු චරිත කරපු අක්ෂා මේ දිනවල ශලනි ලෙසින් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබනවා. ඒ “මේක තමයි ජිවිතේ” නාට්‍යය තුළින්. අක්ෂා ආව ගමන් මඟ සහ ඉදිරි නිර්මාණ ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ.

අක්ෂා ගැන මුලින්ම විස්තර ටිකක් කිව්වොත්

මගේ උපන් ගම කල්පිටිය. මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා නංගිලා දෙන්නා සහ මල්ලි කෙනෙක්. පාසල් ගියේ කල්පිටිය නිර්මල මාතා ජාතික විදුහලට.

අක්ෂා පාසලේ වැඩියෙන්ම දක්ෂතා පෙන්නුවේ මොනවටද?

උසස් පෙළට මම කළේ කලා විෂයන්. වැඩිපුර මම හිටියේ සංගීත කාමරේ. ඒත් මම සංගීතය විෂයක් විදියට පාසලේදී හදාරලා නැහැ. ඉගෙන ගන්න ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. මට පොඩි කාලේ ඉඳන්ම සින්දු කියන්න පුළුවන්.

සින්දු කියන්න පුළුවන් නම් ඇයි සංගීතය හැදෑරුවේ නැත්තේ?

ඒ ඇයි කියන්න ඇත්තටම මට අදටත් හිතාගන්න බැහැ. මම පාසලේ හැදෑරුවේ චිත්‍ර විෂය. හැබැයි මට චිත්‍ර අඳින්න බැහැ. සංගීතය විෂයක් විදියට නොකළත් මම පාසලේ ගායන තරගවලට සහභාගි වෙනවා. මම ක්‍රිස්ත්‍රියානි කෙනෙක්. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ පොඩි කාලේ ඉඳන්ම සාමාජිකාවක්. මගේ අම්මට සහ තාත්තට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ දෙන්නම තරුණ කාලේ බෑන්ඩ්වල සින්දු කියලා තියෙනවා. ඒ ආභාෂය වෙන්න ඇති මටත් පිහිටලා තියෙන්නේ.

නිළියක් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ කොයි කාලෙද?

එහෙම නිළියක් වෙන්න ඕනේ කියලා මගේ හිතේ තිබුණේම නැහැ. 2020 දෙරණ අවුරුදු කුමරිය තරගයට මම එනවා. ඒ අවුරුද්දේ කොරෝනා නිසා අවුරුදු කුමරිය තරගය තිබ්බේ ඔන්ලයින් ක්‍රමවේදයට. එතැනදී මම අවසන් 12 දෙනා අතරට එනවා. ඒකෙන් පස්සේ තමා මට ආස හිතුණේ කලාව පැත්තෙන් ඉස්සරහට යන්න ඕනේ කියලා.

ගෙදරින් කැමති වුණාද කලාවට සම්බන්ධ වෙනවට?

ගෙදරින් නම් තදින්ම අකමැති වුණා. කල්පිටිය කොළඹ කියන්නේ ලොකු දුරක්නේ. ඒ නිසා ගෙදරින් බයවුණා. ගෙදරින් කිව්වේ ඕවා ඔයාට ගැළපෙන්නේ නැහැ. රජයේ රස්සාවක් කරන්න කියන එක. ඒ කිව්වට මගේ ඇඟේ තිබ්බේ කලාව නිසා මම ඒ ගැන පැහැදිලි කරලා දුන්නා. මම යන ගමන ඒ අයත් දකිනවනේ. ඒ නිසා එයාලට බය වෙන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම මම හැසිරෙන්නේ කොල්ලෙක් වගේ. ඒ මම හිතලම කරන්නේ. මම කෙල්ලෙක් නිසා මටත් පුළුවන් තාලෙට ඇවිදන් යන්න. හැබැයි මම හිතලා ඇවිදින්නේවත් නැහැ මම ඔහේ යනවා. මම ෂූටින් ඉවරවෙලා ඕනේ තරම් රෑ වෙලා ගිහින් තියෙනවා. කාගෙන්වත් කරදරයක් වෙලා නැහැ. ඒ මම වැඩිය මම ගැන හිතන්නේ නැතුව ඔහේ යන නිසා. ඒ මගේ ආරක්ෂාවට. සමහර යාළුවො මට බණිනවා මොකද ඔය, ගැහැනු ළමයෙක් වගේ ඉන්නකෝ, බලන්නකෝ ඇවිදින කැත කියලා.

කොළඹ ජීවිතේ හරියන්නේ නැහැ ආයේ ගමට යන්න ඕනේ කියලා හිතුණ තැනුත් තියෙනවද?

මට එහෙම නම් හිතිලම නැහැ. ගෙදරින් නිතරම කිව්වා ඕක හරියන්නේ නැහැ කියලා. මුල් කාලේ අම්මත් ආවා. නංගිලා මල්ලිලා ඉස්කෝලේ යන නිසා දිගටම අම්මට එන්න බැරි වුණා. අපේ අම්මට වුණත් තනියම කොළඹ ඇවිත් මම ඉන්න තැනට එන්න දන්නේ නැහැ. මම හැසිරෙන්නේ කොල්ලෙක් වගේ නිසා සහ මගේ හිතේ හයිය නිසා එයාල දන්නවා ලංකාවේ කොහේ ගියත් පරිස්සමෙන් ගිහින් එනවා කියන එක. ඒ නිසා එයාලගේ හිතේ බය ඇරිලා ගියා. මම මේ තිබ්බ අඩිය පස්සට අරන් ආයේ ගමට යන්න ඕනේ කියලා හිතුනෙම නැහැ. මම වැඩ නැතුව සෑහෙන කාලයක් බලන් හිටියා. මම මේක ඒත් අතහැරියේ නැහැ. ඒ වගේ සෑහෙන්න කට්ටක් කාලා මේ තැනට ආවේ. තව මට යන්න බොහෝ දුර ගමනක් තියෙනවා. ඒ ගමන මම හිමින් යනවා.

මුල්ම නිර්මාණය මොකක්ද?

මුලින්ම සම්බන්ධ වෙන්නේ දෙරණ නාලිකාවේම රාවණා නාට්‍යයට. එහි සුළු චරිතයක් මට ලැබුණේ. මට අත්දැකීම් මුකුත් නැති නිසා මට උවමනාව තිබ්බේ කොහොමද මේ දේවල් වෙන්නේ කියන අත්දැකීම ගන්න. කොහොමත් මට ඕනේ වුණේ අද ඇවිත් හෙට වෙද්දී ජනප්‍රිය වෙන්න නෙවෙයි. අදටත් එහෙමයි. මට උවමනාව තියෙන්නේ මගේ මහන්සියෙන් මගේ හැකියාවන්ගෙන් හෙමින් ගමනක් යන්න.

මෙතෙක් දායක වෙන්න ලැබුණු නිර්මාණ මොනවද?

තුෂාර සර්ගේ රාවණා නාට්‍යයෙන් පස්සේ එයාගෙම මිහි නාට්‍යයට සමබන්ධ වුණා. පාරදිගේ, සිහින ගෙනෙන කුමාරියේ, දිව්‍යාදරි ඒ වගේ නාට්‍යය කිහිපයකම සුළු චරිත කළා. ප්‍රධාන චරිතයක් මට ලැබෙන්නේ මේ දිනවල විකාශය වන “මේක තමයි ජිවිතේ” නාට්‍යය තුළින්. එහි මගේ චරිතය වෙන්නේ ශලනි.

කොහොමද ශලනිට ලැබෙන ප්‍රතිචාර

ප්‍රතිචාර කියන්නේ හිතාගන්න බැරි විදියට ප්‍රතිචාර ලැබෙනවා. ශලනි කියන්නේ ආදරණිය චරිතයක්. සංජය මොරමුදලිගේ පෙම්වතිය විදියට ඉන්නේ. මේ නාට්‍යය වෙනස් විදියේ නාට්‍යයක්. සංජය සහ මගේ තියෙන්නේ අපේ ආදරේට ගෙවල් වලින් කැමති නැහැ. අපි ගමෙන් කොළඹට එන්නේ දුක් මහන්සියෙන් හම්බ කරලා දියුණුවෙලා ගෙදරින් කැමැත්ත අරන් ආදරේ ජයගන්න අහිංසක පැතුමක් එක්ක. ඒ නිසාම ද මන්දා ප්‍රේක්ෂකයින් හරි ආදරෙයි.

සැබෑ ජීවිතේදී අක්ෂා ආදරවන්තියක් ද?

ඔව්.

කොහොමද ඔහුගෙන් ලැබෙන සහයෝගය

මේ ගමන එන්න මට වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක් ලැබෙනවා. මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳන්ම එයා මගෙත් එක්ක හිටියා. මට ගෙදරින් මේ ගමන එන්න එපාම කියද්දී, මගේ හැකියාවන් දක්ෂතා තේරුම් අරන් එයා මගේ පැත්තේ හිට ගත්තා. මට මේ ගමන එන්න මගේ සියලු වගකීම් සහ බර කරට අරන් ශක්තියක් වුණේ එයා. එදා ඉඳන් අද වෙනකම් මාව විශ්වාස කරලා මගෙත් එක්ක ඉන්නේ මගේ ඒ ආදරේ.

අක්ෂාගේ ඉලක්කය මොකක් ද?

මට ඕනේ මට හැමකෙනෙක්ම ආදරේ කරන චරිතයක් වෙන්න. අක්ෂා කියන නම හැමෝම චරිතයක් වෙන්න ඕනේ.

ඇයි ජනප්‍රිය වෙන්න ඔය තරම් ආස

මම මේ ආව ගමන තුළ මම දකිනවා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ අයට ප්‍රේක්ෂකයින් දක්වන ආදරය. මමත් ආසයි කවදා හරි අක්ෂා ප්‍රනන්දුටත් ඒ වගේ ආදරයක් ලැබෙනවා නම්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division