Home » සූපවේදය ගැන මුලින්ම දැනගත්තෙ මගේ මස්සිනා නිසා

සූපවේදය ගැන මුලින්ම දැනගත්තෙ මගේ මස්සිනා නිසා

by mahesh
September 9, 2023 12:28 pm 0 comment

– දැන් මම කිසිම රැකියාවක් කරන්නේ නැහැ 2020 දී තමයි මුලින්ම සමාජ මාධ්‍යයට වීඩියෝවක් දාන්නේ
– හැම කෙනෙකුටම ස්තුතියි මට මේ තරම් වටිනාකමක් දුන්නාට
– මට පුළුවන් වුණා ශ්‍රී ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබ් සංඛ්‍යාවක් ඇති යූටියුබර් වෙන්න

ටික්ටොක් එකේ කෑම හදන විඩියෝ පෙන්නලා, මුළු ලෝකයේම ජනප්‍රිය වුණ ලස්සන කොල්ලෙක් ගැන කතා කරන්න අපි හිතුවා. ඒ තමයි චරිත් සිල්වා. චරිත් අමුතුම චරිතයක්. ඔහු තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ යූටියුබ් අවකාශයේ වැඩිම සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් හිමිකරගෙන ඉන්නේ. අපි අහමු චරිත්ගේ කතාව. ඒකත් එයා හදන කෑම තරම්ම රසයි.

චරිත්, තමන්ව හඳුන්වන්නේ කොහොමද?

මම හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම ඉතාම සාමාන්‍ය කෙනෙක්. මම හිතන්නේ ඒ වචන දෙකම ඇති මං කවුද කියලා හඳුන්වන්න.

ඔබේ සහ පවුලේ විස්තර ටිකක් කියමු.

මගේ උපන් ගම බළපිටිය. මම පාසැල් ගියේ බළපිටිය රේවත ජාතික පාසැලට. මගේ අම්මා ගෘහණියක්. තාත්තා කරන්නේ පින්තාරු රැකියාව. මට අයියා කෙනෙක්, අක්කා කෙනෙක් සහ නංගියෙක් ඉන්නවා.

කොහොමද මේ සූපවේදය පටන් ගත්තේ.

සූපවේදය ගැන මම මුලින්ම දැනගන්නේ මගේ මස්සිනා හරහා. එයා තමයි මට මේ පැත්තට එන්න පාර කියන්නේ. ඊට පස්සේ මම 2016 මුල් කාලයේ NAITA එකේ පාඨමාලාවක් කරනවා සූපවේදය සම්බන්ධයෙන්. ඊට පස්සේ හොටෙල් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා.

මුලින්ම රැකියාවට යන්නේ කොහෙටද?.

මම මුලින්ම යන්නේ වස්කඩුව සිට්‍රස් හෝටලයේ රැකියාවකට. ඒ ආධුනික සූපවේදියෙක් විදිහට. එතැනින් ලබා ගත් පුහුණුවෙන් පස්සේ මම යනවා ඩුබායි වන් ඇන්ඩ් ඔන්ලි ද පාම් හොටෙල් එකට. එතැන ටික කාලයක් සේවය කරලා නැවත ලංකාවට එනවා. ඊට පස්සේ නුවරඑළියේ හෝටලයක රැකියාව කරනවා. මගේ අවසන් රැකියාව වෙන්නේ උණවටුන අරලිය හෝටලය.

දැන් මොකක්ද කරන රැකියාව හෝ ව්‍යාපාරය?.

මම දැනට කිසිම රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්නේ නෑ. සමාජ මාධ්‍ය තුළ පූර්ණකාලීනව කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා.

මේ හදන කෑමවල රෙසිපි චරිත්ගේමද ?

හුඟක් ඒවා මම විසින් හදපු රෙසිපි ඊට අමතරව නොයෙක් රටවල, නොයෙක් ප්‍රදේශවල දැනට භාවිත කරන රෙසිපිවලිනුත් මම වීඩියෝ කරනවා.

තමන්ගේම රෙසිපි හදා ගන්නේ කොහොමද?

ඒක මගේ අත්දැකීම් සහ පළපුරුද්ද මත කරන දෙයක්. ඕනෑම දෙයක ගුණාත්මක බව හා රසය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අනිත් වැදගත්ම දේ ඒක කොයිතරම් ඉක්මනින් හදන්න පුළුවන් ද කියන එක. රෙසිපියක් අනිවාර්යයෙන්ම සිම්පල් වෙන්න ඕනේ.

ගෙදරදී කෑම හදන්නේ කවුද?

මම හදන ඒවත් තියනවා. අම්මා තමයි අපේ ගෙදර කෑම හදන නියමුවා.

ඔබ සමාජ මාධ්‍ය තුළ දැවැන්ත චරිතයක් එහෙම වුණේ කොහොමද?

2020 දී තමයි මම මුලින්ම සමාජ මාධ්‍යයට වීඩියෝවක් දාන්නේ. එතකොට කෝවිඩ් වසංගත කාලය. ඒ විදිහට පටන්ගත්ත වැඩේ තමයි අද වෙනකොට මේ තරමට ජනප්‍රිය වෙලා තියෙන්නේ.

වයිල්ඩ් කුක් බුක් වගේ අමුතු නමක් ඔබේ සමාජ මාධ්‍ය තුළ භාවිත කරන්න හිතුවේ ඇයි.?

මම රූගත කිරීම් හුඟක් කරන්නේ එළිමහනේ. පරිසර සුන්දරත්වයත් එක්ක. ඒ නිසාම තමයි මේ වගේ නමක් දා ගන්න හිතුවේ. මං හිතන්නේ මේ වීඩියෝ වලට ගැළපෙනම නම තමයි වයිල්ඩ් කුක් බුක් කියන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ යූටියුබ් අවකාශයේ වැඩිම සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් ඇත්තේ ඔබට. මොකද හිතෙන්නේ ඒ ගැන.?

මීට සතියකට විතර කලින් තමයි මට පුළුවන් වුණේ ශ්‍රී ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබ් සංඛාවක් ඇති යූටියුබර් වෙන්න. මේ වෙනකොට යූටියුබ් එකේ මිලියන 4.8ක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 1.3 ක්, ටික්ටොක් ගිණුමේ මිලියන 4.1ක් සහ ෆේස්බුක් ගිණුමේ මිලියන 1.7ක දෙස් විදෙස් රසික රසිකාවියන් පිරිසක් මාත් එක්ක ඉන්නවා.

මොකද හිතෙන්නේ මේ රසික ආදරය සහ ජනප්‍රියත්වය ගැන.?

ඒක කියාගන්න බැරි සතුටක්. ඇත්තටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඒ හැම කෙනෙකුටම. මගේ වීඩියෝ බලලා ඒවා ශෙයා කරලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මේ තරම් වටිනාකමක් මට ලබා දුන්නට. ඒ හැමදෙනාටම මගේ ආදරය සහ ගෞරවය.

තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් නැද්ද?

එහෙම අදහසක් තියනවා අපි බලමු ඉස්සරහට. මගේ ආදරණීය රසිකයන්ට තව අලුත් කෑමවල අත්දැකීම් ලබා දෙන්නට මම බලාපොරොත්තු වෙනවා.

 

මොහාන් සුරවිර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division